ඔබේ වකුගඩු ජීවිතය සුරැකීමට පෙරහනක්
අයර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
පොළොවට සහ මනුෂ්‍ය ශරීරයට පොදු වූ එක දෙයක් තිබෙනවා: ජීවිතය පවත්වාගෙන යෑම සඳහා දෙකටම පෙරහනක් අවශ්‍යයි. සූර්යයාගෙන් නිරන්තරයෙන්ම එල්ල වන හානිකර කිරණවලින් පොළොවට ආරක්ෂාවක් අවශ්‍යයි. අපේ වායුගෝලයේ තිබෙන ඕසෝන් ස්තරය මේවා පෙරමින්, ජීවනදායක ආලෝකය පොළොව කරා ගමන් කරන්න ඉඩහරිනවා. එතකොට ඔබේ ශරීරය? ඔබේ ශරීරයේ සිදු වන රසායනික ක්‍රියාවලීන් බොහොමයක් ඔබේ රුධිර ධාරාවට විෂකර ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුදාහරිනවා. දිගටම පවතින්න එම ද්‍රව්‍යවලට ඉඩ දුන්නොත්, ඔබට බරපතළ ගැටලු, මරණය පවා සිදු කරයි. ඒවා නිරන්තරයෙන්ම පෙරා ඉවත් කිරීම අවශ්‍යයි.
මෙලෙස පෙරීම, ඔබේ වකුගඩුවල ප්‍රධාන ක්‍රියාකාරිත්වයන්ගෙන් එකක්. ඒත් ඔබේ ශරීරයට පෝෂණය ගෙන දීම සඳහා අවශ්‍ය වැදගත් මූලද්‍රව්‍යයන් රැකගැනීමට වගබලාගන්නා අතරම, හානිකර ද්‍රව්‍යයන් හඳුනාගෙන, වෙන් කර ඉවත් කිරීමට මෙම කුඩා ඉන්ද්‍රියන්ට පුළුවන් වෙන්නේ කොහොමද? එමෙන්ම ඔබව සෞඛ්‍යසම්පන්නව තබාගන්න ඔබේ වකුගඩුවලට උපකාර කිරීමට ඔබට පුළුවන් වෙන්නේ කොහොමද?
ඔබේ වකුගඩු තුළ මොනවාද තිබෙන්නේ?
සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ට වකුගඩු දෙකක් තිබෙනවා—එනම් පිටේ පහළ කෙළවරේ කොඳු ඇට පෙළේ දෙපැත්තෙහි එක බැගින්. එකක් දිගින් සෙන්ටිමීටර් 10ක්ද, පළලින් සෙන්ටිමීටර් 5ක්ද, ඝනකමින් සෙන්ටිමීටර් 2.5ක්ද වන අතර, බරින් ග්‍රෑම් 110 සිට 170 අතර ප්‍රමාණයක් වෙනවා. ඉහළ ඉඳන් පහළට වකුගඩුවක හරස්කඩක් ගත්තොත්, ඉතා පැහැදිලිව විස්තර කර තිබෙන අංගලක්ෂණ හෙළි කරන අතර, මේ සමඟ ඇති රූපසටහන්වලින් ඒවා දැකගත හැකියි.
වකුගඩුව ක්‍රියාත්මක වන ආකාරය සිතින් මවාගැනීමට, යම් තරඟයක් සඳහා ප්‍රේක්ෂකයන් දහස් ගණනක් පැමිණෙන ක්‍රීඩාංගණයක් ගැන සිතන්න. මුලින්ම, ඒ පිරිසව, කුඩා පෝලිම් රාශියකට බෙදිය යුතුයි. ඊළඟට, එක් එක් පෝලිමේ සිටින සෙනඟ එක් එක්කෙනා බැගින් ආරක්ෂක දොරවල් තුළින් යනවා; එහිදී ප්‍රවේශ පත් නැති අයව නවත්වා විසුරුවා හරිනවා. ප්‍රවේශ පත් තිබෙන ප්‍රේක්ෂකයන්ට ඇතුල් වී නියමිත ආසනවල ඉඳගන්න පුළුවන්.
ඒ හා සමානව, ඔබේ රුධිරය සාදන විවිධ වූ මූලද්‍රව්‍යයන් සියල්ල, ඔබේ මුළු ශරීරය පුරා සංසරණය වීම අවශ්‍යයි. කොහොම වුණත්, එසේ වෙද්දී, එක වකුගඩුවකට එක බැගින් තිබෙන වෘක්කීය ධමනි ලෙස හැඳින්වෙන විශාල රුධිර වාහිනි ඔස්සේ ඔබේ වකුගඩු තුළින් නැවත නැවත යෑමට ඒවාට සිදු වෙනවා. (24වන පිටුවේ රූපසටහන බලන්න.) වකුගඩුවට ඇතුල් වීමෙන් පස්සේ, වෘක්කීය ධමනිය වකුගඩුවේ අභ්‍යන්තර සහ බාහිර තට්ටුවලට පිවිසෙමින් වඩාත් කුඩා වාහිනිවලට බෙදී යනවා. මේ අනුව ඔබේ රුධිරයේ විවිධ මූලද්‍රව්‍යයන් වඩාත් කුඩා මෙන්ම හැසිරවිය හැකි “පෝලිම්” වශයෙන් බෙදා වෙන් කරනු ලබනවා.
අවසානයේදී, රුධිරය කුඩා පොකුරුවලට ළඟා වෙනවා; මේ එක එක පොකුර තදින් පුඩුවක් විදිහට සෑදුණු, කුඩා රුධිර වාහිනි 40කින් සකස් වී තිබෙනවා. ගුච්ඡිකාව ලෙස හඳුන්වනු ලබන ඒ සෑම පුඩුවක්ම, බෝමන් ප්‍රාවරය යනුවෙන් හැඳින්වෙන ස්තර දෙකකින් සෑදුණු පටලයකින් වැසී තිබෙනවා.a ගුච්ඡිකාව සහ බෝමන් ප්‍රාවරය යන දෙකෙන් ඔබේ වකුගඩුවේ ‘ආරක්ෂක දොරටුවේ’ පළමුවන කොටස එනම් වෘක්කාණුවක් සෑදෙනවා; ඒ තමයි ඔබේ වකුගඩුවේ මූලික පෙරහන් ඒකකය. සෑම වකුගඩුවකම වෘක්කාණු දශලක්ෂයකටත් වැඩිය තිබෙනවා. ඒත් ඒවා කොතරම් කුඩාද කිව්වොත් එකක් සෝදිසි කර බැලීමට ඔබට අණ්වීක්ෂයකින් බලන්න සිදු වෙනවා!—25වන පිටුවේ, සෑහෙන ලොකු කර දක්වා ඇති වෘක්කාණුවක රූපසටහන බලන්න.
ඔබේ රුධිරය පෙරනු ලබන අවස්ථා දෙක
ඔබේ රුධිර ධාරාවේ තිබෙන රුධිර සෛල සහ ප්‍රෝටීන අත්‍යවශ්‍ය ඒවා වෙනවා. ඒවා ඔබේ ශරීරයට, ඔක්සිජන් සැපයුමක්, ආරක්ෂාව සහ සිදු වූ හානි අලුත්වැඩියා කිරීම වැනි අතිවැදගත් සේවාවන් සපයනවා. රුධිර සෛල සහ ප්‍රෝටීන අහිමි වීම වැළැක්වීමට, පෙරහන් කිරීමේ පළමුවන අවස්ථාවේදී ඒවා අන් සියලු මූලද්‍රව්‍යවලින් වෙන් කරනු ලබනවා. මෙම විශේෂ කාර්යය බෝමන් ප්‍රාවරය මගින් ඉටු කරනු ලබනවා. ඒත් කොහොමද?
ගුච්ඡිකාවට ඇතුල් වන රුධිර වාහිනි ඉතා තුනී බිත්ති සහිත කුඩා කේශනාලිකාවලට බෙදෙනවා. මේ අනුව, ඒවායේ සියුම් පටල තුළින් ජලය ස්වල්පයකුත් වෙනත් කුඩා අණුත් ඔබේ රුධිර ධාරාවේ සිට බෝමන් ප්‍රාවරය සහ එයට සම්බන්ධ කර තිබෙන දඟරාකාර නාළය තුළට ඇතුල් කරන්න රුධිර පීඩනයට පුළුවන්. මෙම නාළයට කියන්නේ සංවලිත නාලිකාව කියලයි. වඩාත් විශාල ප්‍රෝටීන අණු සහ රුධිර සෛල රුධිර ධාරාවේ පවතින අතර, කේශනාලිකා තුළින් දිගටම ගලා යනවා.
දැන් පෙරීම වඩාත් සියුම් ලෙස තෝරා බේරා කරනු ලබනවා. ඔබේ ශරීරයට වටිනා කිසිවක් අපතේ නොයන බවට වගබලා ගන්න, ඔබේ වකුගඩුවලට අනිවාර්යයෙන්ම සිදු වෙනවා! මේ අවස්ථාව වෙද්දී නාලිකාව තුළින් ගලායන ද්‍රාවණය දියාරු මිශ්‍රණයක් වන අතර, දිය වූ ප්‍රයෝජනවත් අණු සමඟ අපද්‍රව්‍ය සහ අනවශ්‍ය ද්‍රව්‍ය එහි අඩංගු වී තිබෙනවා. ජලය, ලවණ, සීනි, ඛනිජලවණ, විටමින්, හෝමෝන සහ ඇමයිනෝ අම්ල වැනි ප්‍රයෝජනවත් අණු, නාලිකාවේ අභ්‍යන්තර බිත්තියේ තිබෙන විශේෂ සෛල හඳුනාගන්නවා. මේවා නාලිකා බිත්තියට නැවත උරාගෙන, ඔබේ රුධිර ධාරාවට නැවත ඇතුල් වීම සඳහා අවට තිබෙන කේශනාලිකා ජාලයට නැවත ගෙනයනු ලැබීමෙන්, අපතේ යෑමෙන් ඒවා සඵල ලෙස වළක්වනු ලබනවා. මෙම කේශනාලිකා නැවතත් කුඩා ශිරා හැටියට එකතු වන අතර, අනතුරුව නැවතත් සම්බන්ධ වී වෘක්කීය ශිරාව යනුවෙන් හඳුන්වන රුධිර වාහිනිය බවට පත්වනවා. මෙමගින්, දැන් පෙරහන් වී, පිරිසිදු වූ ඔබේ රුධිරය වකුගඩුවෙන් ඉවත් වී ඔබේ ශරීරයේ ජීවය රැකගැනීමට ඉවහල් වෙනවා.
අපද්‍රව්‍ය ඉවත් කිරීම
ඒත් නාලිකාවේ ඉතිරිව තිබෙන ද්‍රාවණයට මොනවාද වෙන්නේ? ඔබේ ශරීරයට අවශ්‍ය නැති ද්‍රව්‍ය මෙහි තිබෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එම ද්‍රාවණය නාලිකාව දිගේ වඩාත් විශාල සංග්‍රාහක නාලිකාව නැතහොත් සංග්‍රාහක ප්‍රණාලය දක්වා ගලා යද්දී, ඇමෝනියා, පොටෑසියම්, යූරියා, යූරික් අම්ලය සහ වැඩිපුර ජලය ඇතුළු අමතර ශ්‍රාවයන් නාලිකා බිත්තිය මගින් මුදාහරිනු ලබනවා. අවසාන නිෂ්පාදනය වන්නේ මූත්‍රා.
වෘක්කාණු කිහිපයක සංග්‍රාහක ප්‍රණාල එකට එකතු වී, පිරමිඩවල අග තිබෙන විවරවලින් මූත්‍රා මුදාහරිනවා. මූත්‍රා වෘක්කීය ශ්‍රෝණියට ඇතුල් වී, අනතුරුව වකුගඩුව මූත්‍රාශය සමඟ සම්බන්ධ කරන නාළය වන මූත්‍ර වාහිනිය මාර්ගයෙන් ඉවත් වෙනවා. ඔබේ ශරීරයෙන් බැහැර කරන්න කලින්, මූත්‍රා ඔබේ මූත්‍රාශයේ ගබඩා කරනු ලබනවා.
ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණත්, ඔබේ වකුගඩුවල තිබෙන වෘක්කාණු දශලක්ෂ දෙකකටත් අධික සංඛ්‍යාව ඉතා විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ කියනවා: “වෘක්කාණු, . . . ලීටර් පහක් වන රුධිරයේ අඩංගු ජලය හැම විනාඩි 45කටම වරක් පෙරනවා.” විවිධ ද්‍රව්‍යයන් නැවත උරාගෙන, ක්‍රියාවලීන් කිහිපයක්ම නිම කළායින් පස්සේ, සාමාන්‍ය, සෞඛ්‍යසම්පන්න ශරීරයකට පුළුවන් හැම පැය 24කටම මූත්‍රා වශයෙන් අපද්‍රව්‍ය ලීටර් දෙකක් පමණ ඉවතලන්න. එය මොනතරම් වෙහෙසී වැඩ කරන අංග සම්පූර්ණ පෙරහන් පද්ධතියක්ද!
ඔබේ වකුගඩු රැකබලාගන්න!
ඔබේ වකුගඩු ස්වයංව පිරිසිදු වන සහ නඩත්තු වන අතර, ඒවාට සෑහෙන කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කොහොම වුණත්, ඒවායේ කාර්යය කිරීමට උපකාරයක් වශයෙන්, ඔබට කොටසක් තිබෙනවා ඉටු කරන්න. ඔබේ ශරීරයට එහි සෞඛ්‍යසම්පන්නබව රැකගන්න නම් ඔබේ වකුගඩු තුළින් සෑහෙන ජල ප්‍රමාණයක් ගමන් කළ යුතුයි. ඇත්තෙන්ම, ප්‍රමාණවත් ලෙස ජලය ගැනීම, වකුගඩු ආසාදන සහ වකුගඩුවල ගල් සෑදීම වැළැක්වීමට ප්‍රධාන මාර්ගයක් බව සලකනවා.b ජලය පානය කිරීම ඔබේ ජීරණ සහ හෘත්සනාල පද්ධතීන්වලටත් ආධාර වෙනවා කියා, නියූ යෝක්හි ලෝං අයිලන්ඩ් විද්‍යාල රෝහලේ මෞත්‍ර විද්‍යා අංශයේ සභාපති වෛද්‍ය සී. ගෝඩෙක් පැහැදිලි කරනවා.
කොතරම් ජල ප්‍රමාණයක්ද? වෙනත් ආහාර පාන ගැනීමට අමතරව, සෑම පුද්ගලයෙක්ම දිනපතා අඩුම තරමින් ජල ලීටර් දෙකක්වත් පානය කළ යුතු බව වෛද්‍ය ගෝඩෙක් සහ වෙනත් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. “පුද්ගලයන් වැඩිහරියක් විජලනය වෙලයි ඉන්නේ,” වෛද්‍ය ගෝඩෙක් පිබිදෙව්!ට පැවසුවා. ඔබේ වකුගඩු හෝ හෘදයවස්තුව රෝගී තත්වයක නොතිබෙන තාක් කල්, ඒවා සඳහා ජලය හොඳ බව ඔහු සඳහන් කළා. “ඒත් ප්‍රමාණවත්ව බොන්න අවශ්‍යයි,” වෛද්‍ය ගෝඩෙක් කිව්වා. “බොහෝදෙනෙක් එහෙම කරන්නේ නැහැ.”
දෙහි වැනි ටිකක් රසගැන්වූ ජලය වඩාත් රුචි උපදවන බව සමහරුන්ට පෙනීයනවා. වෙනත් අය උල්පත් ජලයේ හෝ පිළියම් කළ අඟුරු තුළින් පෙරා තිබෙන ජලයේ රසයට රුචිකමක් දක්වනවා. කොහොම වුණත්, වෙනත් ඕනෑම පානයකට වඩා තනිකර හෝ ඉතා ළාවට රසගැන්වූ ජලය ඔබේ වකුගඩුවලට හොඳයි. ඇත්තෙන්ම, පලතුරු යුෂවල සහ පැණි රස පානවල සීනි, ජලය සඳහා ශරීරයේ අවශ්‍යතාව වැඩි කරවනවා. මද්‍යසාරය හෝ කැෆේන් අඩංගු බීම වර්ග ශරීරයට ජලය අහිමි කිරීමට සලස්වනවා.
දිනපතා ජලය ලීටර් දෙකක් පානය කිරීමේ පුරුද්දට පිවිසීම සෑහෙන අභියෝගයක් විය හැකියි. එක දෙයක් තමයි, සාමාන්‍යයට වඩා වැසිකිළියට යෑම බොහෝදෙනෙක් අපහසු හෝ ලජ්ජාසහගත දෙයක් හැටියට සලකනවා. ඒත් ඒ අමතර වෑයම දැරීම නිසා ඔබේ ශරීරය ඔබට ස්තුතිවන්ත වේවි. ඔබේ සෞඛ්‍යය රැකගැනීමට උපකාරයක් වනවාට අමතරව, ප්‍රමාණවත් ජලය පානය කිරීම ඔබේ පෙනුම පැහැපත් කරන්න පවා පුළුවන්. හොඳ පෝෂණයක් සහ ද්‍රව වැඩි ප්‍රමාණයක් ගැනීම, සමෙහි ගල්වන ඕනෑම බාහිර ආලේපනයකට වඩා ඔබේ සම පැහැපත්ව තබාගැනීමෙහි සාර්ථක වෙනවා කියලා වෛද්‍යවරුන් පෙන්නුම් කරනවා.
අභාග්‍යයකට, පිපාසය දැනීමට අපිට තිබෙන හැකියාව අසම්පූර්ණයි; එමෙන්ම වයසින් වැඩි වෙන කොට ඒ හැකියාව තව තවත් දුර්වල වෙනවා. මේ අනුව, අපිට අවශ්‍ය වන්නේ කොපමණ ජල ප්‍රමාණයක්ද කියා කීමට, පිපාසය දැනීම මත පමණක් රඳා සිටින්න බැහැ. ප්‍රමාණවත්ව පානය කිරීමට ඔබට වගබලා ගත හැක්කේ කොහොමද? සමහරුන් දවස ආරම්භ කරන්නේ වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන්; ඉන් අනතුරුව ඔවුන් විධිමත් කාලාන්තරයන්වල තවත් වතුර වීදුරුවක් බොනවා. වෙනත් අය විනිවිද පෙනෙන ජල භාජනයක් ළඟ තියාගන්නවා; දවස පුරාම විටින් විට වතුර උගුරක් ගැනීමට එය සිහිගැන්වීමක්. ඔබ මොනම ක්‍රමයක් පාවිච්චි කළත්, පවිත්‍ර, පිරිසිදු ජලය හුඟක් පානය කිරීම ඔබේ ජීවිතය සුරැකීමට පුදුමසහගත පෙරහනක් වන ඔබේ වකුගඩුවලට අගය දැක්වීමට හොඳ මාර්ගයක් වෙනවා.
[පාදසටහන්වල]
a එක්දහස් අටසිය හතළිස් ගණන්වල මුල් භාගයේ, ඉංග්‍රීසි ජාතික ශල්‍ය වෛද්‍ය මෙන්ම පටක විද්‍යාඥ විලියම් බෝමන්, මෙම කුඩා ප්‍රාවරය සහ එහි ක්‍රියාකාරිත්වය විස්තර කළා. පසු කාලයේදී එය ඔහුගේ නමින් හඳුන්වනු ලැබුවා.
b පිබිදෙව්! කලාපවල (ඉංග්‍රීසියෙන්) 1993 අගෝස්තු 22 පිටු 20-2 සහ 1986 6-3 (සිංහලෙන්) 30වන පිටුව බලන්න.
[25වන පිටුවේ කොටුව]
වෘක්කාණුව මූලික පෙරහන් ඒකකය
හැම වකුගඩුවකම වෘක්කාණු දශලක්ෂයකටත් වැඩිය තිබෙනවා. එක් එක් වෘක්කාණුවේ තිබෙන නාළාකාර පද්ධතිය, දිගින් සෙන්ටිමීටර් 3කුත් පළලින් මිලිමීටර් 0.05ක් තරම් කුඩා සංඛ්‍යාවකුත් වෙනවා. ඒත්, තනි වකුගඩුවක නාලිකා සියල්ල දිගහරින්න පුළුවන් වුණොත්, ඒවා කිලෝමීටර් 30ක තරම් දුරකට දිගහරින්න පුළුවන්!
බෝමන් ප්‍රාවරය කියන්නේ ඇත්තටම වෘක්කාණුවේ සංවලිත නාලිකාවේ ඇතුළට නෙරා තිබෙන කෙළවරයි. මෙම නාලිකාව, කේශනාලිකා ලෙස හඳුන්වන ඉතා කුඩා රුධිර වාහිනි ජාලයකින් වට වී තිබෙනවා. මෙම නාලිකාව වඩාත් විශාල සංග්‍රාහක ප්රණාලයකට සම්බන්ධ වෙනවා; එම ප්‍රණාලය, වෘක්කාණුව මගින් පෙරා ඉවතට ගත් අපද්‍රව්‍ය සහ විෂකර ද්‍රව්‍ය ඉවතට ගෙන යනවා.
[24, 25වන පිටුවේ රූප සටහන]
වෘක්කීය ශිරාව අලුතින් පෙරනු ලබන රුධිරය ශරීරයට බෙදාහරියි
වෘක්කීය ධමනිය නොපෙරූ රුධිරය වකුගඩුව තුළට ගෙනයයි
වෘක්කීය පිරමිඩ කියන්නේ වෘක්කීය ශ්‍රෝණියට මූත්‍රා ගෙන යන කේතුකාකාර ව්‍යූහයන්
බාහිකයේ හැම වෘක්කාණුවකම ගුච්ඡිකාව අඩංගු වෙනවා
වෘක්කීය ශ්‍රෝණිය කියන්නේ මූත්‍රා එකතු කර මූත්‍ර වාහිනියට යවන පුනීලයක්
මූත්‍ර වාහිනිය වකුගඩුවේ සිට මූත්‍රාශය දක්වා මූත්‍රා ගෙනයයි
[25වන පිටුවේ රූප සටහන]
දශලක්ෂ දෙකක් පමණ වන ඉතා කුඩා නාළාකාර පෙරහන් වන වෘක්කාණු රුධිරය පිරිසිදු කරයි
බෝමන් ප්‍රාවරය
ගුච්ඡිකාව
මූත්‍රා සංවලිත නාලිකාවට එකතු වී, අනතුරුව මූත්‍රාශයට යයි
රුධිර වාහිනි