යෞවන අය අසති . . .
මගේ දෙමාපියන් මගේ විවාහයට විරුද්ධ වුණොත්?
ලකීෂ සහ ඇගේ පෙම්වතා බලාපොරොත්තුවෙන් ඉන්නේ විවාහ වෙන්නයි, නමුත් ඇගේ මව එය අනුමත කරන්නේ නැහැ. “මට මේ අවුරුද්දේ 19ක් වෙනවා, හැබැයි අම්මා තදින්ම කියලා ඉන්නේ මට 21 වෙනකං ඉන්න කියලා” කියා ලකීෂ පවසයි.
ඔබ විවාහ වෙන්න සැලසුම් කරමින් සිටිනවා නම්, ඔබගේ දෙමාපියන් ඔබ ගැන සතුටු වීමට උවමනා වීම සාමාන්‍ය දෙයක්. කලත්‍රයෙකු පිළිබඳ ඔබ කර ඇති තේරීම වෙනුවෙන් ඔබේ දෙමාපියන් අනුමැතිය නොදෙන විට එය ඇත්තෙන්ම ඔබව රිදවිය හැක. ඔබ කළ යුත්තේ කුමක්ද? ඔවුන්ගේ ප්රාර්ථනයන් නොතකා, විවාහ සැලසුම් ඉදිරියට ගෙනයෑමද?a
ඔබ හරි වයසට පැමිණ ඇත්නම් හා දෙමාපියන්ගේ අවසරය නොමැතිව නීත්‍යනුකූලව විවාහ විය හැකි නම් මෙය ඇත්තෙන්ම පරීක්ෂාවක් වෙන්න පුළුවන්. කෙසේවූවත්, බයිබලය කෙනෙකුගේ දෙමාපියන්ට ගෞරවය හා නම්බුව දීම පිළිබඳව වයස් සීමාවක් පනවන්නේ නැත. (හිතෝපදේශ 1:8) එමෙන්ම ඔබ ඔවුන්ගේ හැඟීම් නොතකා හරිනවා නම්, ඔවුන් සමඟ ඔබට ඇති සම්බන්ධතාවට ස්ථිර හානි පමුණුවන්න පුළුවන්. තවදුරටත්, ඔබගේ දෙමාපියන් විසින් ඔබගේ විවාහයට විරුද්ධ වීම සඳහා හොඳ හේතු තියෙන්න ඉඩ තියෙනවා මෙන්ම සමහරවිට වැඩි හැකියාවක් පවා තියෙන්න පුළුවන්.
හොඳටම බාල වැඩියි කියන්නේ මොන වයසද?
උදාහරණයක් හැටියට, ඔබ විවාහ වීමට හොඳටම බාල වැඩියි කියා ඔබේ දෙමාපියන් පවසනවාද? ඇත්තෙන්ම බයිබලය නම් විවාහය සඳහා අවම වයස් සීමාවක් පනවන්නේ නැහැ. නමුත් විවාහ වීමට පෙර යමෙකු, ලිංගික ආශාවන් එහි උච්චයටම පැමිණ ඇති වැඩිවියට පැමිණීමත් සමඟ එන කාලය—එනම් ‘යෞවනයේ මල් පූදින විය පසු කොට’ තිබිය යුතුය කියා එය නිර්දේශ කරයි. (1 කොරින්ති 7:36, NW) ඇයි? මන්දයත් එවැනි යෞවනයන් තවමත් සිටින්නේ විවාහ ජීවිතය සාර්ථකව ගෙන යෑමට අවශ්‍ය චිත්තවේගීය මේරූබව, ආත්ම-දමනය හා ආත්මික ගුණාංග වර්ධනය කිරීමේ මුල් අවධියක නිසයි.—සසඳන්න 1 කොරින්ති 13:11; ගලාති 5:22, 23.
විසි හැවිරිදි ඩේල් විවාහ වීමට තීරණය කළ විට, තමාගේ දෙමාපියන්ගේ විරුද්ධත්වය ගැන ඔහු කැලඹීමට පත් වුණා. “මම තාම හොඳටම බාල වැඩියි කියලත් මට අද්දැකීම් අඩුයි කියලත් ඒගොල්ලන් කිව්වා” කියා ඔහු පවසයි. “මට හිතුණේ අපි ලෑස්තියි කියලා, ඒ වගේම අපි විවාහ වුණාට පස්සේ අපිට ඉගෙනගන්න පුළුවන් කියල, හැබැයි මම හැඟීම්වලට වහල් වෙලා නෙමෙයි කටයුතු කරන්නේ කියල මගේ දෙමාපියන්ට ස්ථිරයෙන්ම දැනගන්න ඕන වුණා. ඒගොල්ලන් ගොඩක් ප්‍රශ්න ඇහුවා. මම එදිනෙදා ගන්න අවශ්‍ය තීරණ, මූල්‍යමය කටයුතු, පවුලකට ද්‍රව්‍යමයව, චිත්තවේගීයව හා ආත්මිකව සපයන එකේ යථාර්ථය එක්ක කටයුතු කරන්න ලෑස්තිද කියලා? මම දෙමාපියෙක් වෙන්න ලෑස්තිද කියලා? මම අදහස් හුවමාරු කරන්න ඇත්තෙන්ම ඉගෙනගෙන තියෙනවාද කියලා? මම කලත්රයෙක්ගේ අවශ්‍යතාවන් ඇත්තටම තේරුම් අරගෙන තිබුණද කියල? තවත් වැඩිහිටියෙක්ව රැකබලා ගන්න හදන්න ඉස්සෙල්ලා, වැඩිහිටියෙක් හැටියට මං කටයුතු කළ යුතු ආකාරය ගැනම තවත් වැඩියෙන් දැනගන්න අවශ්‍යයි කියලා ඒගොල්ලන්ට හිතුණා.
“අපිට තවත් කල් ඉන්න උවමනා වුණේ නැති වුණාට, අපි මේරූභාවයට පත් වෙන්න කලක් යනකං අපේ විවාහය කල් දැම්මා. අපි අන්තිමට විවාහ වෙද්දී, වඩාත් හොඳ අත්තිවාරමකින් වගේම එකිනෙකාට ඉදිරිපත් කරන්න තවත් දේවල් ඇතුව අපි දෙන්නා සම්බන්ධතාවයට එළඹුණා.”
ආගමික වෙනස්කම් සැලකිල්ලට භාජන වන කරුණ වන විට
තම ආගමික විශ්වාසයන් බෙදාගන්නේ නැති මිනිසෙකු සමඟ ටෙරී ආලයේ හැඟීම් වර්ධනය කරගත් විට, ඇය ඔහු සමඟ රහසින් ආශ්‍රය කළා. විවාහ වීමට වූ ඔවුන්ගේ සැලසුම් දැන්වීමෙන් පසු, ඇගේ මව විවාහයට විරුද්ධයි කියා දැනගැනීමට ලැබීමෙන් ටෙරී උමතුවට පත් වුණා. “අම්මට මං ගැන මේ විදිහට හැඟෙනවාට මම කැමති නැහැ. මට තාමත් ඕනෙ අර අම්මයි දුවයි සම්බන්ධතාවය ඒ විදිහටම තියාගන්න” කියා ටෙරී ශෝකයෙන් පැවසුවා.
නමුත් ඇත්තටම එම සම්බන්ධතාවට බාධා ඇති කළේ කවුද? ටෙරීගේ මව සැර පරුෂ හා අසාධාරණ වෙමින් හිටියාද? නැහැ, ඇය ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වෙන්න කියන ක්‍රිස්තියානීන්ට දුන් බයිබල් අවවාදය තහවුරු කරමින් සිටියා පමණයි. (1 කොරින්ති 7:39) ඇත්තෙන්ම, බයිබලය මෙසේ ආඥා කරනවා: “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න.” (2 කොරින්ති 6:14, 15) ඇයි ඒ?
එක් හේතුවක් නම්, සන්තෝෂවත් හා සාර්ථක විවාහයකට ඉතා වැදගත් සාධකයක් තමයි ආගමික එකමුතුකම. අන්තර් ඇදහිලි විවාහවල සාමාන්‍ය දෙයක් වූ කාංසා පීඩා බොහෝවිට මඟ පාදන්නේ දික්කසාදවලට කියා ප්‍රවීණයන් පවසනවා. එහෙත් මීටත් වඩා වැදගත් හේතුවක් නම්, කෙනෙකුගේ ආගමික විශ්වාසයන් පාවා දීමට හෝ ඒවා සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට පීඩන ඇති කිරීමට තිබෙන හැකියාවයි. නොඇදහිලිකාර කලත්‍රයෙකු ඔබේ නමස්කාරයට බාධා නොකළත්, තමාගේ ගැඹුරු විශ්වාසයන් ඔහු හෝ ඇය සමඟ බෙදාගැනීමට නොහැකිය කියන හද වේදනාව සමඟ ඔබට ජීවත් වෙන්න සිදු වෙනවා. මෙය විවාහ සැපතට දායක වන සංයෝගය මෙන්ද පෙනෙන්නේ?
එහෙයින් ටෙරීට තිබුණේ ඉතාමත්ම අසීරු තීරණයක් ගැනීමටයි. “මම යෙහෝවාට ආදරෙයි” කියා ටෙරී පැවසුවා. “හැබැයි මට උවමනා නැහැ මගේ පෙම්වතාව නැති කරගන්න.” ඔබට කොහෙත්ම බැහැ ක්‍රම දෙකටම දේවල් තියාගන්න. ඔබට බැහැ දෙවිගේ ප්‍රතිපත්ති පාවා දෙන අතරතුරේදී ඔහුගේ අනුමැතිය හා ආශීර්වාදය භුක්ති විඳින්න.
එහෙත් සමහරවිට, ඔබේ දෙමාපියන් ඔබ යම් සෙසු ක්‍රිස්තියානියෙකුව විවාහ කරගන්නවාට විරුද්ධ ඇති. ඇදහිලිවන්තයෙකුට අසම ලෙස බැඳී සිටීමට හැකිද? ඔව්, එම තැනැත්තා ඔබගේ ආත්මික ඉලක්ක හා දෙවිට ඇති භක්තිය බෙදාගන්නේ නැත්නම්. තත්වය එය නම් හෝ ඔහුගේ හෝ ඇගේ සභාවේ සහෝදරයන් විසින් “හොඳ වාර්තාවක්” දීමට නොහැකි කෙනෙක් නම්, ඔබ එම තැනැත්තා සමඟ විවාහ වීම පිළිබඳව සැලකිලිමත් වීම ඔබගේ දෙමාපියන්ගේ පැත්තෙන් යුක්තිසහගතයි.—ක්‍රියා 16:2, NW.
වාර්ගික හෝ සංස්කෘතික වෙනස්කම් ගැන කුමක් කිව හැකිද?
ලින්ගේ දෙමාපියන් වෙනත් හේතුවකට විරුද්ධත්වය ප්‍රකාශ කළා: ඇයට උවමනා වුණා වෙනත් ජාතියක මිනිසෙකු හා විවාහ වෙන්න. බයිබලය මෙය සම්බන්ධයෙන් උගන්වන්නේ කුමක්ද? ‘දෙවි තරාතිරම් නොබලන’ බවත් ‘එක මිනිසෙකුගෙන් සියලු ජාතීන්’ මැවූ බවත් එය අපට කියනවා. (ක්‍රියා 10:34, 35; 17:26) මනුෂ්‍යයන්ට පොදු මූලාරම්භයක් ඇති අතර දෙවිගේ ඇස් හමුවේ ඔවුන් සමාන වටිනාකමකින් යුක්තයි.
තත්වය එසේ වුණත්, සියලුම විවාහ යුවළයන් “මාංසයෙහි දුක්” විඳිය හැකි අතරතුරේදී, අන්තර් වාර්ගික යුවළයන් අමතර අභියෝගද අද්දැකිය හැක. (1 කොරින්ති 7:28) ඇයි? මන්දයත් වෛරයෙන් පිරි අද ලෝකයේ මිනිසුන් වැඩි හරියක් ජාතිය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිකෝණය පිළිගන්නේ නැහැ. සමහරක් බටහිර රටවල අන්තර් වාර්ගික විවාහ පොදු දෙයක් බවට පත් වී ඇතත්, දැඩි අගතියට පාත්‍ර වන මිශ්‍ර යුවළයන් සිටින ප්‍රදේශ තවමත් තියෙනවා. එවැනි පීඩනවලට මුහුණ දීමට ඔබ සූදානම් නැති බවට ඔබේ දෙමාපියන් බිය විය හැක.
“මගේ දෙමාපියන් හිතුවා අපි දෙන්නට ඒක හුඟාක් අමාරු වෙයි කියලා” කියා ලින් පිළිගනියි. ඥානාන්විතව, ලින් ඔවුන්ගේ හැඟීම්වලට ගෞරවය පෙන්වූ අතර විවාහ වීමට ඉක්මන් වූයේ නැත. ඇගේ දෙමාපියන් ලින්ගේ මේරූබව නිරීක්ෂණය කරමින් ඇය ප්‍රේම කළ තැනැත්තාව වඩාත් හොඳින් දැනගැනීමත් සමඟම, ඇයට මේ විවාහයේ පීඩන සමඟ කටයුතු කරන්න හැකියි කියා ඔවුන් ටිකෙන් ටික බොහෝදුරට නිසැක වෙන්න පටන්ගත්තා. ලින් මෙසේ පවසයි: “අපිට ඇත්තෙන්ම සතුටින් ඉන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට වැටහුණාම, අපි දෙන්න ගැන ඒගොල්ලනුත් සතුටු වුණා.”
නමුත් සමහර අවස්ථාවලදී ප්රශ්නය වන්නේ ජාතිය නොව සංස්කෘතියයි. දීර්ඝ කාලීනව ගතහොත්, ජීවන-රටාව, බලාපොරොත්තූන් හා ආහාර, සංගීතය හා විනෝදාස්වාදය සඳහා තිබෙන රුචි ඔබට වඩා හාත්පසින්ම වෙනස් විය හැකි කෙනෙකු සමඟ ජීවිතය භුක්ති විඳීම අසීරු වෙයි කියා, ඔබේ දෙමාපියන් සැලකිලිමත් වෙනවා ඇති. තත්වය කොයික වූවත්, වෙනත් ජාතියක හා සංස්කෘතියක කෙනෙකු සමඟ විවාහ වීම විශාල අභියෝග ඉදිරිපත් කළ හැක. ඒවා සමඟ කටයුතු කරන්න ඔබ ඇත්තෙන්ම ලෑස්තිද?
දෙමාපියෙකුගේ විරෝධතාව අසාධාරණ එකක් සේ පෙනෙන විට
ඔවුන්ගේ විරුද්ධත්වය සම්බන්ධයෙන් ගත් කල, ඔබේ දෙමාපියන් සම්පූර්ණයෙන් අසාධාරණයි කියා ඔබට හැඟෙනවා නම් තත්වය කුමක්ද? ෆේත් නම් ලත් එක් තරුණ ස්ත්‍රියක් ඇගේ මව ගැන මෙසේ පවසයි: “අම්මා වතාවන් කීපයක්ම දික්කසාද වෙලා තියෙනවා. විවාහ වෙන පුද්ගලයාව ඇත්තටම දැනගන්න කොට ප්‍රමාද වැඩියි කියලා අම්මා කියනවා. අම්මට ස්ථීරයි මම විවාහයේ සන්තෝෂ වෙන්නේ නැහැයි කියලා.” බොහෝ අවස්ථාවලදී, තමන්ගේම විවාහ අසාර්ථක වී ඇති දෙමාපියන් තම දරුවන්ගේ විවාහ දෙස යථාර්ථානුරූපීව බලන්නේ නැහැ. සමහර තත්වයන්වලදී, දරුවෙකුගේ ජීවිතය කෙරෙහි පාලනය පවත්වාගැනීමට ඇති ආශාව වැනි ප්රශ්නකටයුතු චේතනා දෙමාපියන්ට තිබෙනවා.
ඔබේ දෙමාපියන් තර්කානුකූල හේතු සාධකවලට ඇහුම්කන් දෙන්න අකමැති නම්, ඔබට කළ හැක්කේ කුමක්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර, පවුලේ ප්‍රශ්න විසඳාගැනීමේදී සහය පතා සභා වැඩිමහල්ලන්ව කැඳවන්න පුළුවන්. පැති නොගෙන නිසංසල, සාමකාමී හා ඵලදායී අන්දමකින් කාරණා සාකච්ඡා කිරීමට පවුල් සාමාජිකයන්ට උපකාර කරන්න ඔවුන්ට පුළුවන්.—යාකොබ් 3:18.
සාමය සෙවීම
මූල්‍යමය කාරණා ගැන සැලකිලිමත් වීම් හෝ අපේක්ෂිත විවාහ කලත්‍රයාගේ පෞද්ගලිකත්වය වැනි වෙනත් විවිධ කාරණාවලට, ඔබ විවාහ වීම සම්බන්ධයෙන් ඔබේ දෙමාපියන්ට ඇති විරෝධතාව වැඩිවර්ධනය කරන්න පුළුවන්. එමෙන්ම ඒඩ්ස් හා වෙනත් ලිංගිකව පැතිරෙන රෝගවලින් යුත් සමයක, ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයා ක්‍රිස්තියානියෙකු වීමට පෙර දුරාචාරමය ජීවිතයක් ගත කළා නම්, ඔබේ දෙමාපියන් ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම යුක්තිසහගතයි.b
ඔබ ඔබේ දෙමාපියන්ගේ නිවසේ ජීවත් වන තාක් කල්, ඔබ කෙරෙහි ඔවුන්ට ඇති අධිකාරිත්වය හඳුනාගැනීමට ඔබ බැඳී සිටිනවා. (කොලොස්සි 3:20) නමුත් ඔබ තනිව සිටියත් ඔබගේම තීරණ ගැනීමට හැකි පරිදි වයසින් වැඩි වුණත්, ඔබගේ දෙමාපියන්ගේ සැලකීම් නොතකා හරින්න ඉක්මන් වෙන්න එපා. ඇහුම්කන් දෙන්න කැමැත්තෙන් සිටින්න. (හිතෝපදේශ 23:22) විවාහ වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක පරෙස්සමින් ගණනය කරන්න.—ලූක් 14:28 සසඳන්න.
එසේ කිරීමෙන් පසුවද, ඔබට විවාහ වීමට උවමනාය කියා ඔබ ස්ථිරයෙන්ම තීරණය කරන්න පුළුවන්. එවැනි තීරණයක සම්පූර්ණ වගකීම දැරීමට ඔබට සිදුවීම ස්වාභාවිකයි. (ගලාති 6:5) ඔබ ඔබේ දෙමාපියන්ගේ දෘෂ්ටිකෝණය ගැන සැලකිලිමත් වීමට සෑම උත්සාහයක්ම දරා තිබෙනවා නම්, සමහරවිට ඔබේ තීරණයට සහය දීමට ඔවුන් පෙලඹෙන්න පුළුවන්, ඒත් පසුබට වෙමින්. නමුත් ඔවුන් විරුද්ධ අදහස් දිගටම පළ කරනවා නම්, කර්කශ වීමට හෝ තරහ ගැනීමට හදන්න එපා. මතක තබාගන්න: ඔබේ දෙමාපියන් ඔබට ප්‍රේම කරන අතර, ඔබේ අනාගත සතුට ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන් සමඟ සමාදානයෙන් සිටින්න උත්සාහ කරමින් සිටින්න. ඔබ ඔබේ විවාහය සාර්ථක කරගැනීමත් සමඟම, සමහරවිට ඔවුන්ගේ ආකල්පය වඩාත් මෘදු වෙන්න ඉඩ තියෙනවා.
අනික් අතට, ඔබේ දෙමාපියන්ට කීමට ඇති සියල්ල සම්පූර්ණයෙන්ම සලකා බලා ඔබ ගැනත් ඔබ විවාහ වීමට යන පුද්ගලයා ගැනත් සියුම් ලෙස පරීක්ෂා කරනවා නම්, අන්තිමයට ඔබේ දෙමාපියන් නිවැරදි වෙන්න පුළුවන්ය යන තිගැස්සවන නිගමනයට ආවොත් පුදුම වෙන්න එපා.
[පාදසටහන්වල]
a මෙම ලිපියේ දැක්වෙන කරුණු යොමු කර ඇත්තේ තමාගේ විවාහ සහකරුවා තෝරාගැනීම චාරිත්‍රානුකූල දෙයක් වී ඇති රටවල සිටින යෞවනයන්ටයි.
b 1994 මාර්තු 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ “ඒඩ්ස්වලින් පෙළෙන්නන්ට උපකාර කිරීම” නමැති ලිපිය බලන්න.
[21වන පිටුවේ පින්තූරය]
ඔබ විවාහ වීමට හොඳටම බාල වැඩියි කියා ඔබේ දෙමාපියන්ට හැඟෙන්න පුළුවන්