ඉණිමං පාවිච්චිය—ඔබ මෙම ආරක්ෂිත පියවර ගන්නවාද?
අයර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
පෝල්ට තම නිවසෙන් පිටත ඇති හෝල්ඩරයට බල්බයක් සවි කිරීමට තිබුණා. එමෙන්ම උඩ තට්ටුවේ ඇති ජනේලවල පිට පැත්ත පිරිසිදු කිරීමටත් ඔහුට අවශ්‍ය වුණා. ඔහුගේ බිරිඳ එය කිහිප වතාවක්ම මතක් කොට තිබුණා. හැබැයි පෝල් මේ හැම වැඩක්ම කල් දමමින් හිටියා. ඇයි? ඔහුට ඉණිමඟක් පාවිච්චි කිරීමට සිදු වන නිසයි.
ඔහුට එවැනි බියක් සැකක් තිබීම සාධාරණ වුණා. ඉණිමං නිසා ඇති විය හැකි අතුරු අන්තරා බරපතළ මෙන්ම මාරාන්තික විය හැකි බව ඔහු දැන සිටියා. මෙය බොහෝදුරට සිදු වන්නේ වැඩ කරන තැනැත්තා ඉණිමඟ නිසි අයුරින් පාවිච්චි කිරීම ගැන කල්පනා කර නැති නිසයි.
මේ වැඩ කොටස ඔහු කිරීමට කලින්, ඉණිමං ගැන පෝල්ට දැනගැනීමට අවශ්‍යව තිබුණේ මොනවාද? දේවල් පරෙස්සමින් කිරීමට ඔහුට උපකාරි වූ යෝජනා දහයක් මෙන්න.
ඉණිමඟ ආරක්ෂා සහිතද?
1 සුදුසු ඉණිමඟ යොදාගන්න. ඉණිමඟ කොට වැඩි නම් අවශ්‍ය ස්ථානයට ළඟාවීමට, වැඩියෙන් ඒ දෙසට බර වෙන්න ඔබට සිදු විය හැකියි. එය දිග වැඩි නම් අන්තරාදායක ආකාරයකට එය ඇල කොට තැබීමට ඔබට සිදු වනු ඇත. අට්ටාලයට ඇතුල් වීමට පඩි ඉණිමඟක් පාවිච්චි කිරීමෙන් වළකින්න. ඔබේ අට්ටාලයට සුදුසු ඉණිමඟක් සවි කරන්න එසේත් නැතිනම් ඇල කොට පාවිච්චි කරන ඉණිමඟක් පාවිච්චි කරන්න.
2 ඔබේ ඉණිමඟ හොඳින් පරීක්ෂා කරන්න. ඉණිමඟ තබා ඇත්තේ එළියේද? ලී ඉණිමං තෙතව පවතින විට ප්‍රසාරණය වන අතර වියළිව පවතින විට සංකෝචනය වෙයි. කාලයත් සමඟ ඉණිමං පෙත්ත බුරුල් විය හැකි අතර, මෙමගින් එයට අස්ථාවර ගතියක් දිය හැකියි. ලී ඉණිමං පෙත්තක් පැලී ඇද්ද? එසේත් නැතිනම් ලී දිරාපත් වී ඇති බවට ලක්ෂණ පෙන්වයිද? බොහෝ අවස්ථාවලදී, සෑම ලී ඉණිමං පෙත්තක් යටින්ම ආධාරක යකඩ පොල්ලක් තිබෙනවා. මෙය නිසි තැන ආරක්ෂිතව සවි කර ඇද්ද? ඉණිමං පෙති, ඉණිමං කකුල්වලට සම්බන්ධ කිරීමට යොදාගැනෙන ඇණ හෝ රිවට් (මිටියම) ගැළවී ඇද්ද? එසේත් නැතිනම් මළ බැඳී ඇද්ද? දිගහැරීමට හැකි වඩාත් විශාල ඉණිමංවල කප්පි හා ලණු තිබිය හැකියි. කප්පි හොඳින් වැඩ කරනවාද? ලණුව දිරාපත් වී ඇති බවක් දක්නට ඇද්ද? එමෙන්ම එහි දිග ප්‍රමාණවත්ද? හැකි විගස අලුත්වැඩියා කිරීමට පියවර ගන්න.
බොහෝ අවස්ථාවලදී, ලිස්සීම වළකාලීමට ඉණිමඟේ පඩිවල කට්ට කපා තිබෙනවා. කට්ටවල එකතු වී ඇති කුණු අයින් කිරීමට වගබලා ගන්න. සෑම ඉණිමඟකම කකුල්වල ලිස්සීම වැළකීම සඳහා රබර් ඝර්ෂක තිබිය යුතුයි. ඒවා තිබෙන බවටත් වැඩියෙන් ගෙවී නැති බවටත් සහතික වන්න.
3 ඉණිමං පරෙස්සමින් ප්රවාහණය කරන්න. වාහනයක ගෙන යන විට, ඉණිමඟ ඊට සුදුසු ඉණිමං රාක්කයක බහාලන්න. එසේත් නැතිනම් අඩුම තරමින් වාහනයේ තැන් දෙකකටවත් එය ගැටගසන්න. දිග ඉණිමඟක් ගෙන යෑමේදී එය වාහනයේ පිටුපසින් එළියට පැන තිබිය හැකි නිසා, වාහනය පිටුපසින් එන කෙනෙකුට පහසුවෙන් දැකගැනීමට හැකි වන පිණිස ඊට අනතුරු ඇඟවීමේ කොඩියක් ගැටගසන්න.
දිග ඉණිමඟක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගෙන යනවා නම් එය වඩාත් ආරක්ෂා සහිත වන්න යනවා. නමුත් යමෙකුගේ ආධාරය නොමැතිව එය කරේ තබාගෙන යෑමට ඔබ තීරණය කරයි නම්, ඉණිමඟ උරහිසේ තබාගෙන එතුළින් එක් අතක් යවා තදින් අල්ලාගනිමින්, එහි සමබරතාව රැකගැනීම සඳහා අනික් අත යොදාගන්න. කෙනෙකුගේ ඇඟේ වැදීමෙන් වළකාගැනීම සඳහා ඉදිරි අන්තය කෙනෙකුගේ හිසට වඩා උස් වූ පිහිටීමක තබාගන්න. නමුත් ඔබ ඉදිරියෙන් ඇති ඉණිමඟේ ප්‍රමාණය ඔබ පසුපසින් ඇති බවත් මතක තබාගන්න! ඉණිමඟක් කෙනෙකුගේ ඇඟේ වැදීම හාස්‍යජනක දෙයක් හැටියට විකට ජවනිකාවල පෙන්වන්න පුළුවන්. නමුත් සැබෑ ජීවිතයේදී, විශේෂයෙන්ම අනතුර සිදු වන්නේ ඔබට නම්, එය කවදාවත් හාස්‍යජනක දෙයක් වන්නේ නැහැ.
ඉණිමඟ කෙළින් අතට ඇඟට හේත්තු කරගෙන ගෙන යන විට, එය එසවීමට එක අතක්ද සමබර කරගැනීමට අනිත් අතද පාවිච්චි කරමින්, බර ඔබේ උඩුකය මත ඇති ආකාරයකට ගෙන යන්න. ඉහළ ඇති වයර්, බල්බ් හෝ සංඥා පුවරු ගැන සැලකිලිමත් වෙන්න!
4 ඉණිමඟ නිසි අයුරින් ස්ථානගත කරන්න. ආරක්ෂක හේතූන් මත ඉණිමඟ කිසි විටකත් එක පැත්තකට බර නොවිය යුතුයි. එමෙන්ම එය පොළොවේ සිට අංශක 75ක කෝණයකට තැබිය යුතුයි.
5 ඉහළට හා අඩියට ආධාරක සපයන්න. ඉණිමඟේ ඉහළ කොටස හේත්තු කරන ස්ථානය ගැන සැලකිලිමත් වෙන්න. ඉණිමඟ හේත්තු කරන ඉහළ පෘෂ්ඨය ස්ථාවර මෙන්ම නොලිස්සනසුලු එකක්ය යන්නටත් වගබලා ගන්න. ඉණිමඟ වීදුරු හෝ ප්ලාස්ටික් පෘෂ්ඨයක් මත කවමදාකවත් හේත්තු නොකරන්න. හැකි අවස්ථාවලදී, එය හේත්තු කරන දෙයට අල්ලා ආරක්ෂිත ලෙස ගැට ගසන්න. එසේ කිරීමේදී, ඉණිමඟේ ඉහළ කොටස, ඉණිමඟ හේත්තු කර ඇති ස්ථානයට මීටරයක් පමණ ඉහළින් ඇති බවටත් වගබලා ගන්න.
ඔබ ඉහළ කොටස ගැටගැසීමට ඉණිමඟට නඟින පළමු අවස්ථාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. ඔබ නඟින පළමු වතාවත්, එය ගැළවීමෙන් පසුව පහළට බසින අවසාන වතාවත්, එතරම්ම ආරක්ෂිත එකක් වන්න යන්නේ නැහැ. පළමුවෙන්ම නඟින හා අවසානයටම බසින අවස්ථා වඩා ආරක්ෂිත එකක් කරගැනීම සඳහා, ඔබ නඟින අවස්ථාවේදී ඉණිමඟ අල්ලාගැනීමට කෙනෙකුව යොදාගන්න. කොහොම වුණත්, මෙය සාර්ථක වන්නේ ඉණිමඟ මීටර් 5කට වැඩි නොවූ විටයි.
ආධාරක පෘෂ්ඨය ඇලයකට පිහිටා ඇත්නම්, ඉණිමඟේ අඩියට බර යමක් තබන්න. එසේත් නැතිනම් ස්ථාවර යමකට ඉණිමං පෙත්තක් ගැටගසන්න. ආධාරක පෘෂ්ඨය සමතලා විරහිත පෘෂ්ඨයක් නොවන මුත් එය ස්ථාවර නම්, එය සමතලා එකක් කරගැනීමට කූඤ්ඤයක් ගසන්න. පෘෂ්ඨය මෘදු හෝ බුරුල් ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇතිනම්, ස්ථාවර පෘෂ්ඨයක් සඳහා පැතිලි ලීයක් හෝ වෙනත් යමක් යොදාගන්න.
ඔබ පඩි ඉණිමඟක් පාවිච්චි කරනවා නම්, එහි කොටස් දෙකම දෙපැත්තට ඈත් වී ඇති ආකාරයකින්, ආරක්ෂක අගුල් ඇත්නම් ඒවා සන්ධි කර කකුල් හතරම පෘෂ්ඨයේ ස්ථාවරව පවතින බවට වගබලා ගන්න.
ඔබ ආරක්ෂා සහිතද?
6 ඔබේ පාවහන් පරීක්ෂා කරන්න. ඉණිමඟකට නැඟීමට පෙර, ඔබේ පාවහන් අඩි තෙත නැති බවට සහතික වන්න. ලිස්සා යෑමට හේතු විය හැකි මඩ වැනි ඕනෑම දෙයක් අයින් කරන්න.
7 බඩුබාහිරාදිය පරෙස්සමින් ගෙන යන්න. ඔබ නඟිද්දී ඉණිමඟේ නැඟීමට අත් දෙකම යොදාගැනීම සඳහා, හැකි නම්, ඉණ වටේ බැඳිය හැකි මල්ලක ආයුධ ටික ගෙන යන්න. හැකි නම් ඉසිලීමට අපහසු වස්තූන් ඉසිලීමට විකල්පයන් සොයාගන්න. නමුත් ඔබට ඉණිමඟක් පාවිච්චි කිරීමට සිදු වෙයි නම්, ඔබ ඉණිමඟේ නඟිද්දී සැමවිටම එක් අතකින් ඉණිමඟ අල්ලාගන්න. කල්පනාකාරිව, ක්‍රමවත් ආකාරයකට හදිසි වන්නේ නැතුව නඟින්න.
ඔබ විදුලියෙන් ක්‍රියා කරවන ආයුධ පරිහරණය කරනවා නම්, එය ක්‍රියා කිරීම සඳහා කෙදිනකවත් අත් දෙකම පාවිච්චි නොකරන්න. උදාහරණයක් හැටියට, ඔබ නොසිතන අවස්ථාවකදී, විදින කටුව හිර වෙන්න පුළුවන්, එසේත් නැතිනම් ලිස්සන්න පුළුවන්. එය ඔබේ සමබරතාව නැති වී වැටීමට හේතු වෙන්න පුළුවන්. කවමදාකවත් එය දිගටම ක්‍රියාත්මකව පවතින තත්වයකට සකස් නොකරන්න. මන්දයත් ඒවා ක්‍රියාත්මකව පවතින අතරේම වැටෙන්න පුළුවන්.
8 අන්‍යයන් ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ප්‍රසිද්ධ ස්ථානයක වැඩ කරනවා නම්, ඉණිමඟ සැමෝටම පෙනෙන ආකාරයකට තබන්න. හැකි නම් එය ටේප් පටියකින් කොටු කරන්න. ඔබ වංගුවකින් ඉණිමඟ ගෙන යන විට, අන්‍යයන් එවැන්නක් අපේක්ෂාවෙන් නොසිටින බව මතක තබාගන්න. ඔවුන්ගේ යහපත උදෙසා, ඔබ එන බවට ශබ්දයකින් අඟවමින්, කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට යා හැකිදැයි බලන්න.
ඉණිමඟ උඩ ආයුධ ඇති විට, ඉහළ ස්ථානයක සිට ඉස්කුරුප්පු නියනක් පවා වැටීමේදී හානියක් ඇති කළ හැකි බවට මතක තබාගන්න. ආරක්ෂිතව ඉණිමඟ ගැට නොගසා, යම් හේතුවක් නිසා ඔබට එතැනින් යන්න සිදු වුණොත්, ඔබ නැවත පැමිණෙන තුරු කෙනෙකුව ඒ අසල තබන්න. නැතිනම් ඉණිමඟ බිමින් තබා යන්න. ඉණිමඟ අසලින් කෙනෙකුව තබා යෑමට වගබලා ගන්න.
9 ඔබේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරන්න. නැඟීම කියන්නේ සමබරතාව හා රිද්මයානුකූල දෙයක් නිසා, ඔබට අසනීප ගතියක් දැනෙයි නම් හෝ ඔක්කාරයට එනවා නම් නැතිනම් කරකැවිල්ල ඇති වෙනවා නම් නඟින්න එපා.
10 පරෙස්සමින් නඟින්න. සෑම අවස්ථාවකදීම ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින්න. ඉණිමඟකට එකම අවස්ථාවකදී දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයකට නැඟීමට කිසිදාක ඉඩ නොදෙන්න. කිසිදාක චණ්ඩ මාරුතයක් ඇති විටකදී නඟින්න එපා. පඩි ඉණිමඟක ඉහළම ඉණිමං පෙත්තේ හෝ දිග ඉණිමඟක ඉහළ කෙළවරේ හතරවන ඉණිමං පෙත්තට ඉහළින් තිබෙන පෙතිවල කිසිදාක හිටගන්න එපා. දිගහැරිය හැකි ඉණිමඟක් කිසිදාක ප්‍රමාණයට වැඩියෙන් දික් කරන්න එපා. අඩුම තරමේ ඉණිමං පෙති තුනක්වත් එකකට එක උඩින් තිබෙන බවට සහතික වන්න. යමක් ඇල්ලීමට ඒ දෙසට ප්‍රමාණයට වැඩියෙන් කිසිදාක යොමු නොවන්න. ඉණිමඟේ සිටින විට ඔබ වැඩියෙන් එක් පැත්තකට ඇල වුණොත්, සමබරතාව නැති වී වැටීමට එය වඩාත් පහසු වන්න යනවා. හානියක් ඇතිවීමේ අවදානමට ලක් වනවා වෙනුවට, කාර්යය ඉටු කරගැනීමට වැඩිපුර කාලයක් ගත වුවත්, ඉණිමඟ අවශ්‍ය ස්ථානයට ළං කරන්න. ඉණිමඟේ නඟිද්දී කෙළින් බලාගෙන නඟින්න.
කලින් ඔබ කුමන ආරක්ෂිත පියවර ගත්තත්, ඉණිමඟක් පාවිච්චි කිරීමේදී අතුරු අන්තරාවන් තිබෙනවාට සැකයක් නැහැ. සමහරක් විට මෙම යෝජනා පාවිච්චි කිරීමෙන් ඔබට ඒවා අවම කරගැනීමට හැකි වන්න පුළුවන්. ඒවා පෝල්ට උපකාර වුණා. ඒවා අනුගමනය කිරීමෙන් එළියේ තිබූ විදුලි බුබුළ ඔහු පරෙස්සමින් සවි කළා. එතකොට ජනෙල් පිරිසිදු කරන එක? ඔහු එය වෙනත් අවස්ථාවකදී කරයි . . . ඒත් සමහරක් විට!
[18, 19 යන පිටුවේ පින්තූර]
1 සුදුසු ඉණිමඟ යොදාගන්න
2 ඔබේ ඉණිමඟ හොඳින් පරීක්ෂා කරන්න
3 ඉණිමං පරෙස්සමින් ප්රවාහණය කරන්න
4 ඉණිමඟ නිසි අයුරින් ස්ථානගත කරන්න
5 ඉහළට හා අඩියට ආධාරක සපයන්න
6 ඔබේ පාවහන් පරීක්ෂා කරන්න
7 බඩුබාහිරාදිය පරෙස්සමින් ගෙන යන්න
8 අන්‍යයන් ගැන සැලකිලිමත් වෙන්න
9 ඔබේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරන්න
10 පරෙස්සමින් නඟින්න