නාට්සි සමූලඝාතන ව්‍යාපාරයක් නැවතත්?
ස්වීඩනයේ පිබිදෙව්! ලේඛක විසිනි
වර්ෂ 2000 ජනවාරි 26 සිට 28 දක්වා, ස්වීඩනයේ අගනුවර පැවති ස්ටොක්හෝම් අන්තර්ජාතික නාට්සි සමූලඝාතන ව්‍යාපාරය පිළිබඳ සම්මන්ත්‍රණයට ලොව වටා රටවල් 48ක නායකයෝ සහ නියෝජිතයෝ එක්රැස් වූහ. වේදිකාවෙන් ඇතමුන් පළ කළ අදහස්වලින් හෙළි වූයේ ලෝක පාලකයන් නාට්සිවාදය යළි හිස ඔසවයිදෝ කියා බියෙන් පසු වන බවය. ඊශ්‍රායෙල්හි හිටපු අගමැති එහුඩ් බාරාක් මෙසේ පැවසීය. “මෙම සම්මන්ත්‍රණයෙන් මුළු ලෝකයාටම අවධාරණය කළ කරුණක් වූයේ මෙයයි. එනම්, අප කිසිදාක මනුෂ්‍යයන්ගේ ආගම, ජාතිය හෝ සමේ වර්ණය නිසා ඔවුන්ට වෙනස්කම් කරන, නොයෙකුත් හිරිහැර කරන හෝ ඔවුන්ව ඝාතනය කිරීමට පවා පෙලඹෙන පාලනයක් මිහිපිට කොතැනකවත් යළි හිස එසවීමට ඉඩ නොදිය යුතුයි යන්නයි.”
සමස්ත ලෝක ප්රශ්නයකි
ලොව පුරා බොහෝදෙනෙක් “නාට්සි සමූලඝාතන ව්‍යාපාරය” යුදෙව්වන්ට පමණක් අදාළ කරති. එනමුත්, ඔවුන් අමතක කරන දෙයක් වන්නේ, මෙම ව්‍යාපාරයට වෙනත් පිරිස්ද ගොදුරු වූ බවය. ඉහත සඳහන් සම්මන්ත්‍රණය පැවති කාලයේදී, ස්ටොක්හෝම්හි මහා සිනගෝගයෙහි නාට්සි සමූලඝාතන ව්‍යාපාරයට හසු වූ යුදෙව්වන් සැමරීම නිමිත්තෙන් පැවති ප්‍රසිද්ධ උත්සවයේදී ස්වීඩනයේ අගමැති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහු කියා සිටියේ, නාට්සි සමූලඝාතන ව්‍යාපාරය ගැන මහජනයාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලොව වටා ලේඛනාගාර විවෘත කිරීම සඳහා සියලුදෙනාම යම් ගිවිසුමකට එළඹිය යුතු බවයි. නාට්සි සමූලඝාතන ව්‍යාපාරය “රෝමාවරුන් [අහිකුණ්ටකයන්] සමූලඝාතනය කළ ආකාරයත්, ආබාධිතයන්ව කුරිරු ලෙස මරා දැමූ ආකාරයත්, සමලිංගිකයන්ට, විරුද්ධ මතධාරීන්ට සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා කළ ආකාරයත්, ඔවුන්ව ඝාතනය කළ ආකාරයත් සියලුදෙනාටම දැනගැනීමට සලස්වමු” යන්න ඔහුගේ ඉල්ලීම විය.
මේ අනුව, ස්වීඩන රජය නාට්සි සමූලඝාතන ව්‍යාපාරය ගැන තොරතුරු ඇතුළත්, ඔබේ දරුවන් දත යුතු දෑ යන මැයින් යුත් පොතක් නිකුත් කර ඇත. මෙම පොත, රට පුරාම දරුවන් සිටින පවුල්වලට නොමිලේ ලබා දී තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් “හිට්ලර්ටවත්, නාට්සි ජර්මනියටවත් පක්ෂව කටයුතු කිරීම සහමුලින්ම ප්‍රතික්ෂේප කළ බව” මෙම පොතෙහි සඳහන්ය. එහි තවදුරටත් මෙසේ සඳහන් වේ. “තමන් සහයෝගය දක්වන බවට ලියවිල්ලකට අත්සන් කිරීමෙන්, ඔවුන්ගේ පීඩා කෙළවර කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිණ. එහෙත් ඔවුහු සිය ස්ථාවරයෙහි රැඳී සිටියෝය. ඇත්තෙන්ම ඊට පිටුපෑවේ අතළොස්සක් පමණි.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා නාට්සි සමූලඝාතන ව්‍යාපාරය
වර්ෂ 1933දී ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ 25,000ක් පමණ සිටියෝය. නාට්සි කඳවුරු හෝ බන්ධනාගාරවලට මුලින්ම දැමූ අය අතර ඔවුන්ගෙන් දහස් ගණනක්ද සිටියහ. ක්‍රිස්තියානීන් වශයෙන්, දේශපාලන සහ යුද්ධමය කටයුතුවලදී තමන් සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථව සිටින බව ඔවුහු තරයේ ප්‍රකාශ කර සිටියහ. ඔවුන් හිට්ලර්ට ආචාර කළේ නැත. ආර්ය ජාතිය අන් සියලු ජාතීන්ට වඩා උසස් බවට වූ නාට්සිවරුන්ගේ ජාතිවාදී මතය ඔවුන් කොහෙත්ම පිළි නොගත් අතර, හිට්ලර්ගේ යුද ව්‍යාපාරයට කිසිදු ආකාරයකින් සහභාගි වූයේ නැත. මේ නිසා, ඔවුන්ගෙන් 2,000ක් පමණ මිය ගියෝය. එයින් 350කට වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම ඝාතනය කරනු ලැබීය.
මීට අමතරව, සාක්ෂිකාර සිරකරුවෝ, ඔවුන්ගේම සගයන් ඇතුළුව යුදෙව්වන් සහ වෙනත් අයට උපකාර කළෝය. ඔවුන් එය කළේ බයිබලය මත පදනම් වූ ඔවුන්ගේ බලාපොරොත්තුව ඔවුනොවුන් සමඟ මෙන්ම අන්‍යයන් සමඟද කතා කිරීමෙන් හා අසනීප මෙන්ම දුබල අය සමඟ තමන්ට ඉතිරි වූ අන්තිම පාන් කැබැල්ල පවා බෙදාගැනීමෙනි. නාට්සි පීඩා සමයේ මුල් කාලයේදී, ගාල් කඳවුරු සහ ඒවා තුළ සිදු වූ කුරිරු ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ඔවුහු ජර්මනියෙන් පිට සිටි අයට දැනගැනීමට සැලැස්වූහ. එපමණක්ද නොව, මේ දක්වා ලොව පුරා පළ වන ඔවුන්ගේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලද නාට්සි භීෂණ සමයේ සිදු වූ අමානුෂික දේවල් සහ එයින් බේරුණු අයගේ ජීවිත කතා පළ කරයි.
ස්ටොක්හෝම් අන්තර්ජාතික නාට්සි සමූලඝාතන ව්‍යාපාරය පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගි වූ නියෝජිතයන් අතර එවැනි ව්‍යාපාරයක් නැවත එළි දකීදෝ යන්න සම්බන්ධයෙන් සෑහෙන බියක් පැවතිණ. ඊශ්‍රායෙල්හි පිහිටි වත්මන් යුදෙව් ප්‍රජා ආයතනයෙහි අන්තර්ජාතික නාට්සි සමූලඝාතන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය යෙහූඩා බවර් එම බිය මෙම වදන්වලින් පැහැදිලි කළේය. “මෙය එක වතාවක් සිදු වූ නිසා, නැවතත් සිදු විය හැකියි. ඒ විදිහටම නොවුණත්, කලින් ගොදුරු වූ ජාතියම ඊට ගොදුරු නොවුණත්, කලින් එය සිදු කළ ජන පිරිසම එය පිටුපස නොසිටියත්, යම් කෙනෙකු වෙනත් ජන පිරිසකට එය කළ හැකියි. නාට්සි සමූලඝාතන ව්‍යාපාරය ඉන් පෙර නොවූ විරූ ආකාරයේ භීෂණයක් ලෙස හැඳින්විය හැකියි. එනමුත්, දැන් එවැන්නක් සිදු වූවොත්, අප ඒ ගැන දැනගෙන හිටියේ නැහැයි කියා කිව හැක්කේ කාටද?”
[12වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුන්වනු ලැබුවේ දම්පාට ත්රිකෝණයකිනි
[12, 13වන පිටුවේ පින්තූරය]
1. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූ ජූලියස් එන්ගල්හාට්, 1944 අගෝස්තු 14වනදා බ්රැන්ඩන්බර්ග්හිදී නාට්සිවරුන් විසින් ඝාතනය කරන ලදි
2. 1945දී සාක්සන්හව්සන් ගාල් කඳවුරෙන් නිදහස් කරහැරීමෙන් පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තිදෙනෙක් සිය නිවෙස් බලා යති
3. තම සිඟිති දියණියගෙන් ඈත් කොට, වසර තුනකට පමණ සිරගත කළ සාක්ෂිකාරියක් වන එල්සා ඇබ්ට්
[හිමිකම් විස්තර]
Nordrhein-Westfälisches Hauptstaatsarchiv, Düsseldorf
[13වන පිටුවේ පින්තූර]
ගාල් කඳවුරුවලින් බේරී ආ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් මෙම වීඩියෝවලින් දැනගත හැක