ඉලක්කය අත් කරගන්න මම අදිටන් කරගත්තා
මාර්ටා චාවෙස් සර්නා පැවසූ පරිදි
එක දවසක් මම ගෙදර වැඩ කර කර ඉන්නකොට එක පාරටම මට සිහි නැති වුණා. එතකොට මගේ වයස අවුරුදු 16යි. මට සිහිය එනකොට මම හිටියේ ඇඳේ. තද හිසේ ඇම්මක් ඇති වෙලා තිබුණා. ඒ වගේම මම අන්දමන්ද වෙලා හිටිය නිසා විනාඩි කීපයක් යනකම් කිසි දෙයක් පෙනුණෙවත්, ඇහුණෙවත් නැහැ. මං හොඳටම බය වුණා. මොකක්ද මට සිද්ධ වුණේ?
කලබලයට පත් වුණ මගේ දෙමාපියන් මාව වෛද්‍යවරියක් ළඟට අරගෙන ගියා. ඈ විටමින් වගයක් ගන්න කියලා ලියලා දුන්නා. මට සිහි නැති වුණේ මම නිදිමැරුව හින්දා කියලයි ඇය කිව්වේ. මාස කීපයකට පස්සේ දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් මට සිහි නැති වුණා. ඒ පාර අපි වෙන වෛද්‍යවරයෙක් ළඟට ගියහම ඔහු සිතුවේ මගේ ස්නායුවලට ඇති වුණ බලපෑමක් නිසා එහෙම වුණා කියලයි. ඒ සඳහා සුදුසු වෙන බෙහෙත් වගයක් ගන්න කියලා ඔහු කිව්වා.
කොහොමවුණත් එකපාරටම සිහි නැති වෙන ගතිය එන්න එන්නම වැඩි වුණා. එහෙම වෙනකොට මම ඇදගෙන වැටෙනවා. මට තුවාලත් වෙනවා. සමහර වෙලාවට මම මගේ දිව හපාගන්නවා. කට තුවාල වෙනකම්ම මම දත්මිටි කනවා. ආපහු සිහිය එනකොට තද හිසේ කැක්කුමකුත් ඔක්කාර ගතියකුත් තියෙනවා. ඒ වෙලාවට මගේ මුළු ඇඟම රිදෙනවා. හුඟක් වෙලාවලදී සිහි නැති වෙන්න කලින් මොනවාද වුණේ කියලත් මට මතක නෑ. මේ තත්වයෙන් ගොඩ එන්න නම් දවසක් දෙකක් ඇඳේම ඉන්න වෙනවා. ඒ වගේ වෙලාවලදී මට හිතුණේ මම ඉක්මන්ටම සනීප වෙයි කියලයි.
මගේ ඉලක්කවලට බාධා වූ අයුරු
මං පොඩි කාලේදී මගේ පවුලේ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. අපිට උගන්වන්න ආපු අය විශේෂ පුරෝගාමීන් දෙන්නෙක්. ඔවුන් අනිත් අයට බයිබල් සත්‍යයන් උගන්වන්න හැම මාසෙකම බොහෝ පැය ගානක් ගත කරමින් පූර්ණ කාලීන දේවසේවයේ යෙදුණ අයයි. ඔවුන්ගේ එම සේවයෙන් ඔවුන් ලොකු ප්‍රීතියක් ලබන බව මම දැක්කා. මමත් මගේ ගුරුවරියට සහ පාසැල් මිතුරන්ට බයිබලයේ තිබෙන පොරොන්දු ගැන කියන්න පටන්ගත්තාම මටත් ඒ වගේ සතුටක් දැනුණා.
වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මගේ පවුලේ හුඟදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණා. ශුභාරංචිය අන් අයට කියද්දී මට ලොකු ප්‍රීතියක් දැනුණා. මම වයස අවුරුදු හතේදී ඉලක්කයක් තියාගත්තා මමත් කවදා හරි විශේෂ පුරෝගාමියෙක් වෙන්න ඕන කියලා. වයස අවුරුදු 16දී මම බව්තීස්ම වුණහම ඒ ඉලක්කය අත් කරගන්න මම ලොකු පියවරක් ඉදිරියට තැබුවා. ඒ කාලයේදී තමයි මට මේ සිහි නැති වෙන ලෙඩේ හැදෙන්න පටන්ගත්තේ.
පුරෝගාමී සේවය
අසනීප තත්වයක් තිබුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙක් වෙන්න මට පුළුවන් කියන හැඟීම නැති වුණේ නැහැ. ඒත් මගේ අසනීපය නිසා සතියකට දෙවරක් විතර මට සිහි නැති වුණා. ඒ නිසා මම ඒ වගේ ලොකු වගකීමක් ගන්න එක සුදුසු නෑ කියලා සභාවේ හිටිය සමහරු හිතුවා. මට දුක හිතුණා විතරක් නෙවෙයි මාව අධෛර්යයටත් පත් වුණා. ටික කාලෙකට පස්සේ මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන විවාහක යුවළක් අපේ සභාවට ආවා. මම පුරෝගමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න බව දැනගත්ත ඔවුන් මාව හුඟක් දිරිගැන්නුවා. අසනීපය පුරෝගාමී සේවයට බාධාවක් කරගන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ මට ඒත්තුගැන්නුවා.
ඉතින් 1988 සැප්තැම්බර් 1වෙනිදා මට ස්ථාවර පුරෝගාමියෙක් හැටියට මෙක්සිකෝවේ සාන් ආන්ඩ්රේස් චියෝට්ලා නම් මම ඉපදුණ නගරයේම සේවය කරන්න පැවරුමක් ලැබුණා. ශුභාරංචිය ගැන කතා කරන්න මම හැම මාසෙකම පැය ගණනාවක් ගත කළා. මට සිහි නැති වෙන දවස්වලදී මට ප්‍රසිද්ධ දේශනා සේවයේ හවුල් වෙන්න බැරි වුණා. ඒ වගේ අවස්ථාවලදී මම ශුද්ධ ලියවිල්ලේ විෂයක් ගැන සඳහන් කරමින් ප්‍රදේශයේ ජනයාට ලිපි ලිව්වා. බයිබලය පාඩම් කරන්න කියලා ලිපි මාර්ගයෙන් ඔවුන්ව දිරිගැන්නුවා.
මගේ රෝගය හඳුනාගත්තා
ඒ කාලයේදීම වගේ මගේ දෙමාපියන් සෑහෙන මුදලක් වැය කරලා මාව ස්නායු වෛද්‍ය විශේෂඥයෙක් ළඟට ගෙන ගියා. මට හැදිලා තියෙන්නේ අපස්මාරය කියලා ඔහු හඳූනාගත්තා. ඔහු දුන්න ප්‍රතිකාරය නිසා මගේ අසනීපය වසර හතරක පමණ කාලයක් තිස්සේ මර්දනය වෙලා තිබුණා. මේ අතරතුර කාලයේදී පුරෝගාමී සේවා පාසැලට යන්න මට ප්‍රස්තාව ලැබුණා. එහිදී මං ලැබුව දිරිගැන්වීම නිසා දේවසේවකයන් වැඩියෙන් අවශ්‍ය වූ ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න මට තිබුණ ආශාව තවත් වැඩි වුණා.
වැඩි සේවයක් කරන්න මං හුඟක් ආශාවෙන් හිටිය බව මගේ දෙමාපියන් දැනගෙන හිටියා. මගේ අසනීපය යම් දුරකට අඩු වෙලා තිබුණ නිසා මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 200ක් විතර ඈතක පිහිටි මිචෝආකාන් ජනපදයේ සීටාක්වාරෝවලට යන්න ඔවුන් මට ඉඩ දුන්නා. එහෙ හිටිය පුරෝගාමීන්ව ඇසුරු කිරීමෙන් පූර්ණ කාලීන සේවය තවත් වැඩියෙන් අගය කරන්න මම පෙලඹුණා.
ඒත් සීටාක්වාරෝවල වසර දෙකක් ගත කළාට පස්සේ ආපහු අපස්මාරය හැදෙන්න පටන්ගත්තා. නැවතත් ප්‍රතිකාර ගන්න සිද්ධ වුණ හින්දා මම ගෙදර ගියේ කලකිරීමකින් වගේම කනගාටුවකින්. මේ පාර ස්නායු වෛද්‍ය විශේෂඥවරයෙක් ළඟට ගියහම ඔහු කිව්වේ මම ගන්න බෙහෙත් නිසා මගේ අක්මාවට හානි වෙලා කියලයි. ඔහුගේ ගාස්තුව ගෙවන්න තවදුරටත් හැකියාවක් නොතිබුණ හින්දා වෙන ප්‍රතිකාර ක්‍රමයක් හොයන්න මම පටන්ගත්තා. මගේ තත්වය එන්න එන්නම දරුණු වුණ නිසා මට සිද්ධ වුණා පුරෝගාමී සේවය නතර කරන්න. අපස්මාරය හැදුණ හැම අවස්ථාවකදීම මම අධෛර්යයට පත් වුණා. ඒත් බයිබලයේ ගීතාවලිය පොත කියවද්දී සහ යෙහෝවාට යාච්ඤා කළහම මට සැනසීමක් ලැබුණා. ඒ වගේම මම ශක්තිමත් වුණා.—ගීතාවලිය 94:17-19.
මගේ ඉලක්කය අත් කරගත්තා
අසනීපය දරුණුම වුණ කාලේදී මට දවසට දෙපාරක් අපස්මාරය හැදුණා. වෛද්‍යවරයෙක් මගේ ලෙඩේට විශේෂ ප්‍රතිකාරයක් කළහම හුඟ කාලෙකට මට ඒක හැදෙන්නේ නැතුව තිබුණා. ආපහු මගේ ජීවිතයේ වෙනසක් ඇති වුණා. යළිත් 1995 සැප්තැම්බර් 1වෙනිදා ඉඳලා පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. ඊට පස්සේ අවුරුදු දෙකක් ගත වෙන තුරුත් මට අපස්මාරය හැදෙන්නේ නැතුව මගේ සෞඛ්‍යය තත්වය දිගටම හොඳට තිබුණ නිසා විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න කැමැත්ත පළ කරලා ඉල්ලුම් පත්‍රයක් යැව්වා. විශේෂ පුරෝගාමී සේවය සඳහා දේවසේවයේ වැඩි කාලයක් ගත කරන්නත් දෙන ඕනෑම ස්ථානයක සේවය කරන්නත් අවශ්‍ය වුණා. පැවරුම ලැබුණහම මට ඇති වුණේ කියා නිම කළ නොහැකි සතුටක්! කුඩා කාලයේදී මම තියාගත්ත ඉලක්කය අත් කරගන්න අවස්ථාව උදා වුණා.
මට අලුත් පැවරුම ලැබුණේ ඊඩාල්ගෝ ජනපදයේ කඳුකර ප්‍රදේශයේ සේවය කරන්නයි. ඒ 2001 අප්‍රියෙල් 1වෙනිදා ඉඳලයි. දැන් මම සේවය කරන්නේ ග්වානාජුආටෝ ජනපදයේ කුඩා නගරයකයි. බෙහෙත් ටික සහ ප්‍රමාණවත් විවේකයක් ගැනීම ගැන මම නිතරම කල්පනාවෙන් ඉන්නවා. මගේ කෑම බීම ගැනත් මම පරෙස්සම් වෙනවා. තෙල් සහිත ආහාර ගන්නකොටත්, කෝපි බොනකොටත්, ටින් කෑම කනකොටත් මම විශේෂයෙන්ම පරෙස්සම් වෙන්න ඕනේ. තදබල හැඟීම් පවා මට පාලනය කරන්න වෙනවා. ඒ කියන්නේ කේන්තිය නැත්නම් ලොකු දුකක් වැනි හැඟීම් ඇති කරගන්නේ නැතුව ඉන්න මම උත්සාහ කරනවා. මේ විදිහට හැම දෙයක්ම අකුරට කිරීමෙන් මට ප්‍රයෝජන ලැබිලා තියෙනවා. විශේෂ පුරෝගමියෙකු හැටියට සේවය කළ කාලය පුරාවටම මට අපස්මාරය හැදුණේ එක වතාවක් විතරයි.
මම තනිකඩයෙක් නිසාත්, පවුල් වගකීම්වලින් නිදහස්ව ඉන්න නිසාත් විශේෂ පුරෝගාමියෙකු හැටියට දිගටම සේවය කරන්නේ හරි සතුටකින්. ‘අපි කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට යෙහෝවා අධර්මිෂ්ඨ නැති’ බව දැනගෙන සිටීම මට සහනයක්. අපට දෙන්න බැරි දෙයක් ඔහු අපෙන් නොඉල්ලන නිසා ඔහු මොන තරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද! මගේ සිතුවිලි සමබරව තියාගන්න ඒ බයිබල් සත්‍යය මට උපකාරවත් වෙලා තියෙන හින්දා, ආපහු අසනීප තත්වය නිසා මට පුරෝගාමී සේවය නතර කරන්න සිද්ධ වුණත් පූර්ණ හදවතකින් මම කරන සේවය ගැන යෙහෝවා ප්‍රසන්න වෙන බව මම දන්නවා.—හෙබ්‍රෙව් 6:10; කොලොස්සි 3:23.
හැම දවසකම මගේ විශ්වාසයන් අනිත් අයට පැවසීමෙන් මාව ශක්තිමත් වෙන බව නිසැකයි. අනාගතයේදී දෙවි ලබා දෙන ආශීර්වාද ගැනත් මගේ සිතේ රැඳී තිබෙනවා. නව ලොවේදී අසනීප මෙන්ම “වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය [යයි]” කියා බයිබලයේ පොරොන්දු කර තිබෙනවා.—එළිදරව් 21:3, 4; යෙසායා 33:24; 2 පේතෘස් 3:13.
[27වන පිටුවේ පින්තූර]
වයස අවුරුදු 7දී පමණ (ඉහළ); බව්තීස්මයෙන් ටික කලකට පස්සේ 16දී පමණ
[28වන පිටුවේ පින්තූරය]
මිතුරියක් සමඟ සේවයේ යෙදෙමින්