බයිබලයෙන් පිළිතුරක්
ප්‍රශංසා කළ යුත්තේ ඇයි?
අද හුඟදෙනෙකුට හැඟෙන්නේ තමන් කරන දේවල් අන් අය අගය කරන්නේ නැහැ කියායි. උදාහරණයකට සේවකයන්ට හැඟෙන්නේ තමන්ගේ හාම්පුතුන් තමන්ව අගයන්නේ නැති බවයි. විවාහ වූ අයට හැඟෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන්ව අගයන්නේ නැහැ කියායි. සමහර දරුවන්ට හැඟෙන්නේ මොන දේ කළත් දෙමාපියන්ව සතුටු කරන්න බැහැ කියායි. ඒත් අප එකිනෙකාව දිරිගන්වනවා නම් හා ප්‍රශංසා කරනවා නම් එවැනි හැඟීම් ඇති වීම අවම කරගන්න පුළුවන්.
අවංකව අන් අයට ප්‍රශංසා කිරීම අද සමාජයේ දකින්නට නොලැබෙන දෙයක්. එය පුදුමයට හේතුවක් නොවෙයි. මන්ද බයිබලයේ මෙසේ පවසා තිබුණා. ‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත.’—2 තිමෝති 3:1, 2.
කවුරු හරි ඔබට ප්‍රශංසා කර තිබෙනවාද? එසේනම් එවැනි දෙයකින් කෙනෙකු කොයි තරම් දිරිගැන්වීමක් ලබනවාද කියා ඔබ දන්නවා ඇති. ‘සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන වටිනවා’ කියා බයිබලයේද සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:23) අන් අයට කාරුණිකව සැලකීමට බයිබලය අපට උපකාරවත් වෙයි.
හොඳ ගුණාංග දකින්න
යෙහෝවා දෙවි ඉතාමත් ප්‍රේමණීය කෙනෙක්. ඔහු අපේ හොඳ ගුණාංග සහ යහපත් ක්‍රියා දකින අතර ඒවා අගය කරනවා. බයිබලයේ අපට මෙවැනි සහතිකයක් දෙනවා. “දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේකම් 16:9) අප දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙමින් ඔහුට ප්‍රේම කරන බව පෙන්වන විට එය ඔහු දකින බව ස්ථිරයි.
යෙහෝවා දෙවි අපේ වැරදිවලට පමණක්ම අවධානය දෙනවා නම් අප කිසිවෙක් ඔහු ඉදිරියේ නිර්දෝෂ පුද්ගලයන් වන්නේ නැහැ. (ගීතාවලිය 130:3) පතල්කරුවෙක් ගැන සිතන්න. ඔහු ගල් අතරින් වටිනා මැණික් සොයන අතර මැණිකක් ලැබුණු විට ඔහු ඉතා සතුටු වෙනවා. නමුත් ඒ මැණික බැලූ බැල්මට කිසි වටිනාකමක් නැති ගලක් ලෙස පෙනුණත් එය ඔපමට්ටම් කළ විට එහි වටිනාකම වැඩි වන බව ඔහු දන්නවා. ඒ හා සමානව යෙහෝවා දෙවි අපේ සිත සෝදිසි කරද්දී ඔහු බලන්නේ අප සතු හොඳ ගුණාංග දෙසයි. එම ගුණාංග දකින විට ඔහු සතුටු වන අතර ඒවා තවදුරටත් දියුණු කරගත් විට අප වටිනා පුද්ගලයන් බවට පත් වන බවත් දෙවි දන්නවා. එනම් දෙවිට විශ්වාසවන්ත පුද්ගලයන් වන බව ඔහු දන්නවා.
බොහෝවිට අප දකින්නේ අන් අයගේ අඩුපාඩුයි. ඒත් දෙවි මෙන් අපත් අන් අය දෙස බලනවා නම් ඔවුන්ගේ හොඳ ගතිගුණ දකින්න හැකි වෙයි. (ගීතාවලිය 103:8-11, 17, 18) අප අන් අයගේ හොඳ ගුණාංග දකින විට ඒ ගැන ඔවුන්ට ප්‍රශංසා කළ හැකියි. එසේ කිරීමෙන් ඔවුන් දිරිගැන්වෙන අතර තව තවත් හරි දේ කරන්න පෙලඹෙයි. අන් අයට ප්‍රශංසා කිරීමෙන් අපටත් සතුටක් ලැබෙයි.—ක්‍රියා 20:35.
හොඳ ක්‍රියා අගය කරන්න
යේසුස් අන් අය කරන හොඳ ක්‍රියා අගය කළා. එක් අවස්ථාවක රෝගී කාන්තාවක් සුවය ලබාගැනීමට යේසුස්ගේ සළුව ඇල්ලුවා. ඇය එසේ කළේ මහත් බියකිනුයි. එවිට යේසුස් “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි” කියා ඇයට පැවසුවා.—මාක් 5:34.
තවත් අවස්ථාවකදී යේසුස් යෙරුසලමේ දේවමාලිගාවේ සිටිද්දී ධනවතුන් එහි මුදල් බඳුනට සල්ලි දමන ආකාරය ඔහු දුටුවා. ඒ වගේම දිලිඳු වැන්දඹුවක්ද ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් දමන ආකාරයත් ඔහු දුටුවා. යේසුස් මේ වැන්දඹු ස්ත්‍රියගේ පරිත්‍යාගශීලීකම අගය කරමින් සියලුදෙනා ඉදිරියේ මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ වැන්දඹුව දුප්පත් වුණත් ඇය අන් සියලුදෙනාටම වඩා වැඩියෙන් දැමූ බවයි. මන්ද සියලුදෙනාම පරිත්‍යාග කළේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනුයි. නමුත් ඇයට අගහිඟකම් තිබුණත් තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා.”—ලූක් 21:1-4.
අපට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? බයිබලයේ මෙසේ පවසනවා. “අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න.”—හිතෝපදේශ 3:27.
ප්‍රශංසාව බලවත්
අප සෑම කෙනෙක්ම ආදරය හා ප්‍රශංසාව ලබන්න කැමතියි. නමුත් අප ජීවත් වන්නේ අන් අයට සැලකිල්ලක් නොදක්වන සමාජයකයි. අප අවංකව අන් අයට ප්‍රශංසා කරද්දී ඔවුන් දිරිගැන්වෙන අතර ඔවුන්ගේ උපරිමයෙන් යහපත් දේ කරන්නත් පෙලඹෙනවා.—හිතෝපදේශ 31:28, 29.
බයිබලයේ සියලු ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ ‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න’ කියායි. (හෙබ්‍රෙව් 10:24) සෑම කෙනෙක්ම අන් අය කෙරෙහි උනන්දුවක් දක්වනවා නම්, ඔවුන්ගේ යහපත් ගුණාංග හා ක්‍රියා අගය කරනවා නම් මේ ලෝකය මොන තරම් ලස්සන තැනක් වෙයිද!
මේ ගැන ඔබ සිතුවාද?
● අන් අයගේ යහපත් ක්‍රියා අගය කළ යුත්තේ ඇයි?—හිතෝපදේශ 15:23.
● දෙවි අප දෙස බලද්දී අවධානය දෙන්නේ කුමකටද?—2 ලේකම් 16:9.
● අන් අයට ප්‍රශංසා කළ හැක්කේ කුමන අවස්ථාවලදීද?—හිතෝපදේශ 3:27.
[29වන පිටුවේ පින්තූරය]
අන් අය කරන යහපත් ක්‍රියා ඔබ අගය කරනවාද?