11වෙනි පරිච්ඡේදය
යොහන් මාර්ගය පිළියෙළ කරයි
දොළොස් හැවිරිදි යේසුස් දේවමාලිගාවේ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කළ කාලයේ සිට වසර 17ක් ගත වෙලා. දැන් ක්‍රි.ව. 29වන වසරේ වසන්ත සමයයි. මේ කාලයේ සැමෝම කතා කරමින් සිටින්නේ යොර්දාන් ගඟ අවට මුළු පළාතේම දේශනා කරන යේසුස්ගේ ඥාති සහෝදර වන යොහන් ගැනයි.
පෙනුමෙන් හා කතාවෙන් නම් යොහන් ඇත්තෙන්ම කැපීපෙනෙන මනුෂ්‍යයෙක්. ඔහු ඇඳගෙන සිටින්නේ ඔටු රෝමවලින් සෑදූ වස්ත්‍රයක්. ඉඟටිය වටා ඔහු හම් පටියක් බැඳගෙන සිටිනවා. පළඟැටියන් හා වන මී පැණි තමයි ඔහු ආහාරයට ගන්නේ. ඔහුගේ පණිවුඩය කුමක්ද? “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” යන්නයි.
ඔහුගේ ශ්‍රාවකයන් මෙම පණිවුඩයට ප්‍රතිචාරය දක්වන්නේ ඉතා උද්යෝගයෙන්. බොහෝදෙනෙක් පසුතැවිලි වීමේ අවශ්‍යතාව වටහාගන්නවා. පසුතැවිලි වෙන්න නම් ඔවුන් තමන්ගේ ආකල්ප වෙනස් කරගනිමින් අතීතයේ තමන් ගත කළ ජීවිත මාර්ගය වැරදි බව පිළිගෙන එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතිං යොර්දාන් අවට පිහිටි මුළු පළාතෙන්ම සහ යෙරුසලමෙන් පවා, මිනිසුන් විශාල සංඛ්‍යාවක් යොහන් වෙතට ඇදී එනවා. ඔහු ඔවුන්ව යොර්දාන් ගඟේ සම්පූර්ණයෙන්ම ගිල්වමින් බව්තීස්ම කරනවා. යොහන් එහෙම කරන්නේ ඇයි?
දෙවිගේ නීතියට විරුද්ධව කරන පාප සඳහා ඔවුන් මුළු හදින්ම පසුතැවිලි වන බව සංකේතවත් කිරීමටයි. ඒ නිසා සමහර පරිසිවරුන් හා සද්දුසිවරුන් යොර්දානය වෙතට පැමිණෙන විට යොහන් ඔවුන්ව හෙළා දකිනවා. ඔවුන්ට “පොළොං වංශය” කියා අමතමින් ඔහු මෙසේ පවසනවා. “පසුතැවිලි වූ බව පෙන්වන පල උපදවන්න. ‘අපේ පියා ආබ්‍රහම්’ යයි කියාගන්න නොසිතන්න. මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවිට බලය තිබේයයි මම ඔබට කියමි. දැනටම පොරව ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින්, හොඳ පල නොදරන සෑම ගසක්ම කපා ගින්නෙහි දමනු ලැබේ.”
යොහන් සියලුදෙනාගේම අවධානයට ලක් වන නිසා, යුදෙව්වරු ඔහු වෙතට පූජකයන් හා ලෙවීවරුන්ව එවනවා. ඔවුන් ඔහුගෙන් අසනවා “ඔබ කවුද” කියා.
යොහන් මෙසේ පිළිගන්නවා. “මම ක්‍රිස්තුස් නොවෙමි.”
“එසේ නම් ඔබ කවුද? ඔබ එලියාද” කියා ඔවුන් අසනවා.
ඔහු පිළිතුරු දෙන්නේ “මම ඔහු නොවෙමි” කියායි.
“ඔබ අනාගතවක්තෘද?”
“නැත!”
ඉතිං ඔවුන් පෙරැත්ත කරමින් මෙසේ අසනවා. “අපව එවූ අයට අප පිළිතුරක් දිය යුතුයි. ඔබට මොනවාද ඔබ ගැනම කියන්න තිබෙන්නේ?”
යොහන් ඔවුන්ට පැහැදිලි කරන්නේ මෙසේයි. “මම නම්, අනාගතවක්තෘ යෙසායා කී පරිදි, ‘යෙහෝවාගේ මඟ කෙළින් කරන්න’ යයි පාළුකරයේ හඬ නඟන කෙනෙකුගේ හඬක් වෙමි.”
“ඔබ ක්‍රිස්තුස්වත්, එලියාවත්, අනාගතවක්තෘවත් නොවේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මන්ද” කියා ඔවුන් අසයි.
“මම වතුරෙන් බව්තීස්ම කරමි. ඔබ නාඳුනන කෙනෙක් ඔබ අතරේ සිටගෙන සිටී. ඔහු මට පසුව එන තැනැත්තා” කියා ඔහු පිළිතුරු දෙනවා.
රජකම් කරන්න යන මෙසියස්ව පිළිගැනීමට හැකි වන සේ නිසි හෘද තත්වයක් ඇති කරගැනීමට මිනිසුන්ට උදව් කිරීමෙන් යොහන් මාර්ගය පිළියෙළ කරනවා. මෙසියස් පිළිබඳව යොහන් පවසන්නේ මෙහෙමයි. “මට වඩා බලවත් තැනැත්තා එන්නේය. ඔහුගේ පාවහන් පටිය ලිහන්න තරම්වත් මම නොවටිමි.” යොහන් මෙහෙමත් කියනවා. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි හෙයින්, ඔහු මට ඉදිරියෙන් සිටී.”
මේ ආකාරයට, “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” යන යොහන්ගේ පණිවුඩය, යෙහෝවාගේ පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සේවය ආරම්භ වීමට කාලය ආසන්න බවට ප්‍රසිද්ධ දැනුම් දීමක් වෙනවා. යොහන් 1:6-8, 15-28; මතෙව් 3:1-12; ලූක් 3:1-18; ක්‍රියා 19:4; NW.
▪ යොහන් කොයි ආකාරයේ මිනිසෙක්ද?
▪ යොහන් මිනිසුන්ව බව්තීස්ම කරන්නේ ඇයි?
▪ ස්වර්ග රාජ්‍යය ළං වී ඇත කියා යොහන්ට පැවසිය හැක්කේ ඇයි?