57වෙනි පරිච්ඡේදය
පීඩිත වූවන්ට අනුකම්පාව දැක්වීම
පරිසිවරුන් තමන්ගේ වාසියට සාදාගත් සම්ප්‍රදායන් නිසා ඔවුන්ව හෙළා දැකීමෙන් අනතුරුව, යේසුස් තම ගෝලයන් සමඟ පිටත්ව යනවා. මීට දින කිහිපයකට පෙර, ඔහුගේ ගෝලයන් සමඟ පාළු තැනකට ගිහින් කෙටි විවේකයක් ගැනීමට වෑයම් කර තිබුණත් සෙනඟ ඔවුන්ව සොයා ආ නිසා ඔවුන්ට විවේක ගැනීමට නොහැකි වූ බව ඔබට මතක ඇති. ඔහු දැන් තම ගෝලයන් සමඟ උතුරට වෙන්න පිහිටා ඇති තීර් හා සීදොන් යන දුර පළාත්වලට ගමන් කරනවා. පෙනෙන විදියට, යේසුස් තම ගෝලයන් සමඟ ඊශ්‍රායෙල් දේශ සීමාවලින් පිටව යන එකම ගමන මෙයයි.
නැවතීමට නිවසක් සොයාගැනීමෙන් පසු, ඔවුන් නැවතී සිටින්නේ කොහෙද කියා කිසිවෙකුට දැනුම් නොදෙන මෙන් යේසුස් ඉල්ලා සිටිනවා. එහෙත්, ඊශ්රායෙලයට පිටින් වූ මේ ප්‍රදේශයේදී පවා ඔවුන්ට බැරි වෙනවා මනුෂ්‍යයන්ගේ අවධානයට හසු නොවී සිටීමට. සිරියාවට අයිති ෆිනීෂියාව නම් වූ මෙම ප්‍රදේශයේ උපන් ග්‍රීක ස්ත්‍රියක් ඔහුව සොයාගෙන ඇවිත් මෙසේ කන්නලව් කරනවා. “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමිනි, මට අනුකම්පා කරන්න. මාගේ දුව බලවත් ලෙස භූතාවේශව සිටී.” නමුත් යේසුස් ඇයට කිසි උත්තරයක් දෙන්නේ නැහැ.
අන්තිමේදී, ඔහුගේ ගෝලයන් යේසුස්ට පවසන්නේ, “ඇය කෑගසමින් අප පස්සේ එන බැවින් ඇයට යන්න කියන්න” කියායි. තමා ඇයව නොසලකා හරින්නේ ඇයි කියා පැහැදිලි කරමින් යේසුස් මෙසේ පවසනවා. “මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට මිස වෙන කිසිවෙකු වෙතට නොවේ.”
එහෙත් එම ස්ත්‍රිය ඇගේ උත්සාහය අත්හරින්නේ නැහැ. ඇය යේසුස් වෙතට පැමිණ, ඔහු ඉදිරියෙහි වැඳ වැටී “ස්වාමිනි, මට උදව් කරන්න” කියා කන්නලව් කරනවා.
එම ස්ත්‍රිය මුළු හදින්ම කළ ඉල්ලීමෙන් යේසුස්ගේ හද කොතරම් උණු වී යන්න ඇද්ද! එහෙත්, ඔහු නැවත වරක් සඳහන් කරනවා තමාගේ ප්‍රධාන වගකීම වන්නේ ඊශ්‍රායෙල්හි වෙසෙන දෙවිගේ ජනයාට සේවය කිරීම බව. ඒත් එක්කම, වෙනත් ජාතිකයන් කෙරෙහි යුදෙව්වරුන්ගේ අගතිසහගත හැඟීම් පදනම් කරගනිමින්, යේසුස් මෙලෙස තර්ක කරනවා. “දරුවන්ගේ රොටි රැගෙන බලු පැටවුන්ට දැමීම සුදුසු නැත.” පෙනෙන ආකාරයට යේසුස් මෙසේ පවසන්නේ ඇගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමටයි.
තම කටහඬේ දයානුකම්පිත ස්වරයෙන් හා මුහුණේ ඉරියව්වෙන් යුදෙව් නොවන අය කෙරෙහි තමාට ඇති මුදු මොළොක් හැඟීම් යේසුස් පිළිබිඹු කරන බවට සැකයක් නැහැ. අන්‍යජාතීන්ව බල්ලන්ට සමාන කරන නමුත් ඔහු වඩාත් කාරුණික ලෙස ඔවුන්ව හඳුන්වන්නේ “බලු පැටවුන්” ලෙසයි. ස්ත්‍රිය ඒ ගැන අමනාප නොවී, යුදෙව්වරුන්ගේ අගතිසහගත හැඟීම්වලට යේසුස් කළ යොමු දැක්වීමම භාවිත කරමින් නිහතමානි ලෙස මෙසේ සඳහන් කරනවා. “එසේය, ස්වාමිනි, නමුත් බලු පැටව් තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි කන්නෝය.”
යේසුස් පිළිතුරු දෙන්නේ, “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා” කියායි. ඇත්තෙන්ම, යේසුස් පැවසූ ආකාරයටම සිදු වෙනවා! ඇය ආපසු නිවසට පැමිණෙන විට, යහන මත සිටින තම දියණිය සම්පූර්ණයෙන්ම සුව වී සිටිනවා.
යේසුස් සහ ඔහුගේ ගෝලයන් සීදොන් නමැති වෙරළබඩ ප්‍රදේශයේ සිට රට මැදින් යොර්දාන් ගඟ ආරම්භ වන තැනට ගමන් කරනවා. පෙනෙන විදිහට, ඔවුන් ගලීල මුහුදේ ඉහළින් පිහිටි යම් ස්ථානයකින් යොර්දාන් ගඟ හරහා ඇවිදගෙන ගොස් ඇතුල් වන්නේ දෙකපොලිසය නම් ප්රදේශයටයි. එම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ගලීල මුහුදේ නැඟෙනහිර පැත්තේයි. එහිදී ඔවුන් කන්දකට නඟිනවා. නමුත් සෙනඟ ඔවුන්ව සොයා එමින් ඔවුන්ගේ කොර, අබ්බගාත, අන්ධ, ගොළු මෙන්ම වෙනත් බොහෝ අසනීපවලින් පෙළෙන අයව හා අංගවිකල අයව යේසුස් වෙතට ගෙන එනවා. ඔවුන්ව යේසුස්ගේ පාමුල තබන අතර ඔහු ඔවුන්ව සුව කරනවා. ගොළු අය කතා කරනවා, කොරුන් ඇවිදිනවා සහ අන්ධයන් පෙනීම ලබනවා දකිද්දී, ජනයා පුදුමයට පත් වී ඊශ්‍රායෙලයේ දෙවිට ප්‍රශංසා කරනවා.
යේසුස් විශේෂ අවධානයක් යොමු කරනවා එක් බිහිරි මනුෂ්‍යයෙකුට. එම මනුෂ්‍යයාට කතා කිරීමටත් ඉතා අපහසුයි. සාමාන්‍යයෙන් බිහිරි අය ඉතා පහසුවෙන් ලජ්ජාවට පත් වෙනවා. සමූහයක් ඉදිරියේ ඔවුන්ට ඊටත් වඩා ලජ්ජාවක් දැනෙනවා. විශේෂයෙන්ම මේ මනුෂ්‍යයා බියපත් වී ඇති බව යේසුස්ගේ අවධානයට ලක් වන්න ඇති. ඉතිං, යේසුස් දයානුකම්පිත ලෙස ඔහුව සෙනඟ ඉන්න තැනින් ටිකක් අහකට ගෙන යනවා. ඔවුන් තනිව සිටින විට, යේසුස් ඔහු වෙනුවෙන් කරන්න යන දේ විස්තර කරනවා. යේසුස් එම මනුෂ්‍යයාගේ කන්වලට ඔහුගේ ඇඟිලි දමා, කෙළ ගැසීමෙන් පසුව ඒ මනුෂ්‍යයාගේ දිව ස්පර්ශ කරනවා. ඊළඟට, යේසුස් ස්වර්ගය දෙස බලා, මහත් සුසුමක් හෙළමින් “ඇරෙන්න” කියා පවසනවා. එතකොට, එම මිනිසාගේ ශ්‍රවණ ඉන්ද්රියයන් නැවත ක්‍රියාත්මක වී සාමාන්‍ය ලෙස කතා කිරීමට ඔහුට හැකි වෙනවා.
යේසුස් මෙලෙස සුව කිරීම් බොහොමයක් කළ විට සෙනඟ ප්‍රතිචාරය දක්වන්නේ ඔවුන්ගේ අගය ප්‍රකාශ කරමිනුයි. ඔවුන් පවසන්නේ “මොහු හොඳින් සියලු දේ කර තිබේ. ඔහු බිහිරන්ට ඇසීමට සහ ගොළුවන්ට කතා කිරීමට පවා හැකි කරවන්නේය” කියායි. මතෙව් 15:21-31; මාක් 7:24-37; NW.
▪ යේසුස් ග්‍රීක ස්ත්‍රියගේ දරුවාව එකපාරටම සුව නොකරන්නේ ඇයි?
▪ ඉන්පසු, යේසුස් තම ගෝලයන්ව රැගෙන යන්නේ කොහෙටද?
▪ කතා කිරීමේ ආබාධයක් ඇති බිහිරි මනුෂ්‍යයාට යේසුස් දයානුකම්පිත ලෙස සලකන්නේ කොහොමද?