104වෙනි පරිච්ඡේදය
තෙවන වතාවටත් දෙවිගේ හඬ ඇසේ
දේවමාලිගාවේ සිටින විට, තමාට ළඟදීම මුහුණ දීමට සිදු වන මරණය ගැන සිතන නිසා යේසුස්ගේ සිතේ ලොකු වේදනාවක් ඇති වෙනවා. යේසුස් වැඩියෙන්ම සැලකිලිමත් වන්නේ තම පියාගේ නමට යම් කැළලක් ඇති වෙයිද යන කාරණය ගැනයි. ඉතිං ඔහු මෙසේ යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පමුණුවන්න.”
එවිට ස්වර්ගයෙන් ප්‍රබල හඬක් නිකුත් වී “මම එය මහිමයට පැමිණවීමි. නැවතත් එය මහිමයට පමුණුවන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කරනවා.
අවට සිටගෙන සිටින සෙනඟ වියවුලට පත් වෙනවා. ඇතමෙක් පවසන්නේ, “දේවදූතයෙක් ඔහුට කතා කළේය” කියායි. අහස ගිගුරුම් දුන්නා කියා තවත් සමහරෙක් පවසනවා. එහෙත්, ඇත්තටම කතා කළේ යෙහෝවා දෙවියි! මෙය, දෙවි අන්‍යයන්ට ඇසෙන සේ යේසුස් ගැන කතා කළ මුල්ම වතාව නොවෙයි.
වසර තුනහමාරකට කලින් යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී, යොහන් බව්තීස්තට ඇසෙන සේ දෙවි යේසුස් ගැන මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” ඊළඟට, ඒ කාලයේ පාස්කුව සැමරීමෙන් පසුව යාකොබ්, යොහන් සහ පේතෘස් ඉදිරියෙහි යේසුස් අන් ස්වරූපයක් වූ විට, දෙවි ඔවුන්ට ඇසෙන සේ මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.” දැන්, තුන්වන වතාවටත් නීසාන් 10වන දා, එනම් යේසුස්ගේ මරණයට දවස් සතරකට පෙර දෙවිගේ හඬ නැවතත් මිනිසුන්ට ඇසෙනවා. මේ වතාවේදී නම් යෙහෝවා කතා කරන්නේ බොහෝ ජන සමූහයකට ඇසෙන ලෙසයි!
“මේ හඬ පැමිණියේ මා උදෙසා නොව, ඔබ උදෙසාය” යනුවෙන් යේසුස් පැහැදිලි කරනවා. යේසුස් ඇත්තටම දෙවිගේ පුත්‍රයා, එනම් පොරොන්දු වූ මෙසියස් බවට එමඟින් සාක්ෂි සැපයෙනවා. “මේ ලෝකයේ විනිශ්චයක් ඇත. මේ ලෝකයේ පාලකයාව පිටතට දමනු ලබන්නේය” යනුවෙන් යේසුස් තවදුරටත් පවසනවා. යේසුස්ගේ විශ්වාසවන්ත ජීවිත ගමනෙන් සනාථ වන්නේ මේ ලෝකයේ අධිපතියා වන සාතන් නමැති යක්ෂයාව “පිටතට දමනු” ලැබීමට නැතහොත් මරණයට පත් කිරීමට සුදුසු බවයි.
යේසුස් තමා විඳින්න යන මරණයේ පලවිපාක ගැන සඳහන් කරමින් මෙසේ පවසනවා. “මාව පොළොවෙන් ඔසවනු ලැබුවහොත්, මම සියලු ආකාරයේ මිනිසුන්ව මා වෙතට ඇදගන්නෙමි.” ඔහුගේ මරණය පරාජයක්යයි කිසිසේත් පැවසිය නොහැකියි. මන්ද එය මාර්ගයෙන් ඔහු අන්‍යයන්ව ඔහු වෙතට ඇදගැනීමට යන අතර එමගින් ඔවුන්ට සදාකාල ජීවනය භුක්ති විඳීමට හැකි වෙනවා.
එහෙත් සෙනඟ මෙසේ විරෝධය පානවා. “ක්‍රිස්තුස් සදහටම සිටින බව අප නීතියෙන් අසා ඇත. එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුද?”
දෙවිගේම හඬ ඇසීම ඇතුළු මෙපමණ සාක්ෂි තිබියදීත් යේසුස් සැබවින්ම මනුෂ්‍ය පුත්‍රයා, එනම් පොරොන්දු වූ මෙසියස් බව බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, මාස හයකට පෙර කූඩාරම් මංගල්‍යයේදී පැවසූ පරිදි, යේසුස් නැවතත් තමා “ආලෝකය” බව ප්‍රකාශ කරනවා. ඔහු තම සවන් දෙන්නන්ට දිරිගන්වන්නේ, “ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස, ආලෝකය ඔබට තිබියදී ආලෝකය කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න” කියායි. තම ජීවිතය අනතුරේ තිබෙන බව පෙනෙන්න තිබෙන නිසා යේසුස් මේ දේවල් කීමෙන් පසු එතැනින් ඉවත් වී සැඟ වී සිටිනවා.
යුදෙව්වන්ට යේසුස් කෙරෙහි ඇදහිල්ල නොමැති නිසා, ‘සුවය ලැබීම සඳහා හැරී නොඑන පිණිස ජනයාගේ ඇස් අන්ධ කර තිබීම හා ඔවුන්ගේ සිත් දැඩි කර තිබීම’ ගැන යෙසායා පැවසූ වචන ඉටු වෙනවා. මනුෂ්‍යයෙකු වීමට පෙර යේසුස් මහිමයෙන් යුක්තව යෙහෝවා සමඟ සිටින ආකාරය ඇතුළු යෙහෝවාගේ ස්වර්ගික අධිකරණයේ දසුනක් යෙසායා දර්ශනයෙන් දුටුවා. එහෙත්, යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු බවට තිබෙන සාක්ෂි හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරමින් යුදෙව්වරු යෙසායා ලියූ දෙය ඉටු කරනවා.
අනෙක් අතට, පාලකයන් බොහෝදෙනෙක් (පැහැදිලිවම යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන්) ඇත්තෙන්ම යේසුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වනවා. නිකදේමස් සහ අරිමාතියේ යෝසෙප් මොවුන්ගෙන් දෙදෙනෙක්. එහෙත් තමන්ව සිනගෝගයෙන් නෙරපා දමා තමන්ගේ නිලතල අහිමි වෙයි යන බියෙන් පසු වන නිසා මේ පාලකයන් තවමත් ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කර නැහැ. ඔවුන්ට එයින් ඇති වන පාඩුව මොන තරම්ද!
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “මා කෙරෙහි ඇදහිල්ල තබන්නා මා කෙරෙහි පමණක් නොව, මාව එවූ තැනැත්තා කෙරෙහිද ඇදහිල්ල තබයි. එමෙන්ම මාව දකින්නා මාව එවූ තැනැත්තාවත් දකින්නේය. . . . නමුත් යමෙක් මාගේ වදන් අසා ඒවා පවත්වන්නේ නැත්නම්, මම ඔහුව විනිශ්චය නොකරමි. මන්ද මා ආවේ ලෝකය ගලවන්න මිස විනිශ්චය කරන්න නොවේ. . . . මා පැවසූ වචනයම අන්තිම දවසේදී ඔහුව විනිශ්චය කරනු ඇත.”
යේසුස්ව අදහන අයව ගලවාගැනීම සඳහා ඔහුව මෙලොවට එවීමට යෙහෝවා පෙලඹුණේ මනුෂ්‍යයාට ඔහු දක්වන ප්‍රේමය නිසයි. මනුෂ්‍යයන්ට ගැලවීම ලැබෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ යේසුස්ට පැවසීමට දෙවි අණ කළ දේවලට ඔවුන් දක්වන කීකරුකම මතයි. විනිශ්චය සිදු කරනු ලබන්නේ “අන්තිම දවසේදී” එනම්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදීයි.
යේසුස් අවසන් වශයෙන් පවසන්නේ මෙසේයි. “මා කතා කළේ මාගේම පෙලඹීමකින් නොවේ. නමුත් මාව එවූ පියාණන්ම, මා කිව යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට ආඥාවක් දී තිබේ. තවද, ඔහුගේ ආඥාව නම් සදාකාල ජීවනය බව මම දනිමි. එහෙයින් මා කතා කරන දේ පියාණන් මට පැවසූ ලෙසින්ම කතා කරමි.” යොහන් 12:28-50; 19:38, 39; මතෙව් 3:17; 17:5; NW; යෙසායා 6:1, 8-10.
▪ දෙවි අන්‍යයන්ට ඇසෙන සේ යේසුස් ගැන කතා කළ අවස්ථා තුන මොනවාද?
▪ අනාගතවක්තෘ යෙසායා යේසුස්ගේ මහිමය දුටුවේ කෙලෙසද?
▪ යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන පාලකයන් කවුරුන්ද? එහෙත් ඔවුන් ඔහුව අදහන බව ප්‍රසිද්ධියේ නොපවසන්නේ මන්ද?
▪ ‘අන්තිම දවස’ යනු කුමක්ද? එදාට මනුෂ්‍යයන්ව විනිශ්චය කරනු ලබන්නේ කිනම් පදනමක් මතද?