22වෙනි පාඩම
රතු මුහුද දෙකට බෙදිලා!
ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් ගියා කියලා දැනගත්ත ගමන්ම පාරාවෝ ආයෙත් වෙනස් වෙලා හමුදාවේ අයට මෙහෙම කිව්වා. ‘මගේ යුධ රථ ලෑස්ති කරන්න. අපි ඊශ්‍රායෙල්වරු පස්සෙන් යමු. අපරාදේ එයාලට යන්න දුන්නේ.’ ඊටපස්සේ පාරාවෝත් එයාගේ හමුදාවත් ඊශ්‍රායෙල්වරුන්ගේ පස්සෙන් ගියා.
දවල්ට වලාකුළකුයි රෑට ගින්නකුයි ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් යවලා යෙහෝවා එයාලට පාර පෙන්නුවා. ඔහු එයාලව රතු මුහුද ළඟට අරන් ඇවිත් එතන කූඩාරම් ගහගන්න කිව්වා.
පාරාවෝගේ හමුදාව එනවා කියලා ඊශ්‍රායෙල්වරු දැක්කා. එක පැත්තක මුහුද. අනිත් පැත්තේ හමුදාව. ඊශ්‍රායෙල්වරු කොටු වෙලා. එයාලා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘අපි මැරෙන්නයි යන්නේ. අපිට ඊජිප්තුවේ ඉන්න දෙන්න තිබුණා.’ ඒත් මෝසෙස් එයාලට කිව්වා ‘බය වෙන්න එපා, යෙහෝවා අපිව බේරගන්න හැටි ඔයාලා දකියි’ කියලා. මෝසෙස් ඇත්තටම යෙහෝවාව විශ්වාස කළා නේද?
දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා එයාලාගේ කූඩාරම් ගලවන්න කියලා. එදා රෑ ඔහු ඊශ්‍රායෙල්වරුන් අතරෙයි ඊජිප්තුවරු අතරෙයි වලාකුළ තිබ්බා. ඊජිප්තුවරුන්ගේ පැත්ත තද කළුවරයි. ඒත් ඊශ්‍රායෙල්වරු හිටිය පැත්තට එළිය තිබුණා.
යෙහෝවා මෝසෙස්ට කිව්වා එයාගේ අත මුහුද පැත්තට දික් කරන්න කියලා. ඊටපස්සේ දෙවියන් මුළු රෑම ලොකු හුළඟක් එව්වා. එතකොට මුහුද දෙකට බෙදිලා පාරක් හැදුණා. දෙපැත්තේ වතුර තිබුණේ හරියට උස තාප්ප වගෙයි. ඊශ්‍රායෙල්වරු මිලියන ගාණක් ඒ මැද්දෙන් මුහුදේ එහා පැත්තට ගියා.
ඊජිප්තුවරුනුත් මුහුද මැදින් තිබුණු පාර දිගේ යන්න පටන්ගත්තා. එතකොට එයාලාගේ හමුදා රථවල රෝද ගැලවුණා. ඒක කරන්නේ යෙහෝවා කියලා දැනගත්ත සෙබළු මෙහෙම කිව්වා. ‘අපි දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.’
යෙහෝවා මෝසෙස්ට කිව්වා ‘ඔයාගේ අත මුහුද පැත්තට දික් කරන්න’ කියලා. එතකොටම දෙපැත්තේ තාප්ප වගේ තිබුණු වතුර ඊජිප්තු හමුදාව උඩට වැටුණා. පාරාවෝයි එයාගේ හමුදාවයි හැමෝම ගිලිලා මැරුණා. කවුරුත් ඉතුරු වුණේ නැහැ.
මුහුදේ අනිත් පැත්තේ හිටිය ඊශ්‍රායෙල්වරු යෙහෝවාට ප්‍රශංසා කරන්න ගීයක් කිව්වා. ‘යෙහෝවාට ගී ගයන්න. ඔහු අසරුවන්ව මුහුදට හෙළා විශිෂ්ට ජයක් අත් කරගත්තා.’ සෙනඟ ගීතිකා කියද්දී ගැහැනු අය නටන්නත් රබන් ගහන්නත් පටන්ගත්තා. නිදහස් වෙන්න ලැබුණු එක ගැන ඒ හැමෝම හුඟක් සතුටු වුණා.
“පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. ‘මගේ උදව්වට ඉන්නේ යෙහෝවා. මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?’”—හෙබ්‍රෙව් 13:6