ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 7 කොටස 10 පි.
  • දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගනියි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • නික්මයාම පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 7 කොටස 10 පි.
දසපනත ලියපු ගල් පුවරු දෙක අරන් එන මෝසෙස්

7වන පාඩම

දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගනියි

යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ට පහර දෙයි. මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් පිටතට පැමිණෙයි. දෙවි මෝසෙස් මාර්ගයෙන් නීති ලබා දෙයි

අවුරුදු ගණනාවක් ඊජිප්තුවේ ජීවත් වූ ඊශ්‍රායෙල් සෙනඟ ගණනින් වැඩි වෙමින් බොහෝ ධන සම්පත් රැස් කරගත්තා. කල් යත්ම යෝසෙප් ගැන නොදැන සිටි අලුත් රජෙක් ඊජිප්තුව පාලනය කරන්න පටන්ගත්තා. ඉතා කෲර කෙනෙක් වූ ඔහුට ගණනින් වැඩි වන ඊශ්‍රායෙල් සෙනඟ ගැන මහත් භයක් ඇති වූ නිසා ඔහු ඔවුන්ව වහල් මෙහෙකාරකමට යෙදෙව්වා. ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම නයිල් ගඟේ ගිල්ලවා මරා දමන ලෙසත් ඔහු අණ කළා. නමුත් එක් නිර්භීත මවක් තම පුතාව කූඩයක දමා ගඟේ පඳුරු අතරේ සඟවා තැබුවා. එතැනට පැමිණි රජුගේ දියණිය ඒ දරුවාව දැක තමාගේ දරුවෙකු ලෙස ඔහුව හදා වඩා ගැනීමට තීරණය කළා. ඇය ඔහුට මෝසෙස් යන නම තැබූ අතර ඔහු රජ පවුලේම කෙනෙකු ලෙස හැදී වැඩුණා.

දැන් මෝසෙස්ට වයස අවුරුදු 40යි. දිනක් ඊජිප්තු නිලධාරියෙකු අතින් පීඩා විඳිමින් සිටි ඊශ්‍රායෙල් වහලෙකුව බේරාගැනීමට ගොස් මෝසෙස් කරදරයක වැටුණා. ඒ සිදුවීම නිසා ඔහු ඊජිප්තුවෙන් පලා ගොස් දුර ඈත දේශයක ජීවත් වුණා. අවුරුදු ගණනාවක් ගෙවී ගිය පසු යෙහෝවා දෙවි මෝසෙස්ව නැවත ඊජිප්තුවට යැව්වා. ඒ, ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන ලෙස රජුගෙන් ඉල්ලීමක් කිරීමටයි. ඒ වන විට මෝසෙස්ට වයස අවුරුදු 80යි.

නමුත් රජ මෝසෙස්ගේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා දෙවි පීඩා දහයකින් ඊජිප්තුවරුන්ට පහර දෙන්න තීරණය කළා. සමහර පීඩා ගෙන ඒමට කලින් මෝසෙස් රජු ඉදිරියට ගොස් ඊශ්‍රායෙල් සෙනඟව නිදහස් කළොත් එම පීඩාවෙන් ගැලවීමට හැකි බව පැවසුවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඉතා මුරණ්ඩු ලෙස ක්‍රියා කළ රජ, දෙවි මෝසෙස් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පීඩා දහයෙන්ම පහර කෑමට ඔවුන්ට සිදු වුණා. දෙවි ගෙනා දහවෙනි පීඩාවේදී ඊජිප්තුවේ සෑම කුලුඳුලෙක්ම මිය ගියා. එයින් ගැලවීමට නම් බැටළුවෙකුගේ ලේ නිවෙස්වල උළුවස්සේ තවරන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබුණා. පීඩාව ගෙන ඒමට දෙවි යොදාගත් දේවදූතයා දෙවි පැවසූ දේට කීකරු වූ අයගේ නිවෙස් පසු කරගෙන ගිය නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් බේරුණා. එසේ ඔවුන්ව දෙවි පුදුමාකාර ලෙස ගලවාගත් ආකාරය ඔවුන් සෑම වසරකම සමරනවා. එය හඳුන්වන්නේ පාස්කු උත්සවය ලෙසයි. පාස්කු යන වචනයේ තේරුම පසු කරගෙන යෑමයි.

දහවෙනි පීඩාවෙන් රජුගේ කුලුඳුල් පුතාත් මිය ගිය නිසා මෝසෙස්ට හා ඊශ්‍රායෙල් සෙනඟට ඊජිප්තුවෙන් පිට වී යන ලෙස ඔහු නියෝග කළා. ඔවුන් ඉක්මනින්ම ඊජිප්තුවෙන් පිටත්ව ගියා. ඊශ්‍රායෙල්වරුන්ට යන්න හැරීම මෝඩකමක් කියා සිතූ රජ, තමාගේ මුළු හමුදාව හා අශ්ව රථ සමඟ ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන් අසලටම පැමිණියා. ඊශ්‍රායෙල් සෙනඟ එක් පැත්තකින් රතු මුහුදත් අනික් පැත්තෙන් ඊජිප්තු සේනාවත් අතර කොටු වුණා. නමුත් යෙහෝවා දෙවි රතු මුහුද දෙබෑ කර වියළි බිම මතු වීමට සැලැස්වූවා. එය මැදින් ඊශ්‍රායෙල්වරුන් ගමන් කරන විට මහා ජලකඳ පවුරක් මෙන් ඔවුන් දෙපස නතර වී තිබුණා. එය දුටු ඊජිප්තු සේනාවද ඔවුන් පසුපස ලුහුබඳිමින් මුහුද මැදටම පැමිණියා. එවිට දෙවි මහා ජලකඳ කඩා වැටීමට සලස්වා රජු ඇතුළු ඔහුගේ මුළු සේනාවම විනාශ කර දැමුවා.

කල් යත්ම සීනයි නම් කන්ද අසලට පැමිණ එහි කඳවුරු බැඳගත් ඊශ්‍රායෙල් සෙනඟ සමඟ යෙහෝවා දෙවි ගිවිසුමක් ඇති කරගත්තා. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ආරක්ෂාව හා ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම සඳහා මෝසෙස් මාර්ගයෙන් නීති දුන්නා. ඔවුන් ඒ නීතිවලට කීකරු වුණා නම් දෙවිගේ පාලනය පිළිගන්නා බව පෙන්වීමට ඔවුන්ට හැකිකම තිබුණා. එවිට දෙවි හැමදාටම ඔවුන් සමඟ සිටිමින් ඔවුන් මාර්ගයෙන් සියලු ජාතීන්ට ආශීර්වාද කරයි.

නමුත් කනගාටුදායක ලෙස ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් දෙවිට කීකරු වුණේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට අවුරුදු 40ක් පුරා ඉතා දුෂ්කර දේශයක ජීවත් වීමට සැලැස්වූවා. පසු කලෙක මෝසෙස් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වූ යොෂුවාව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස පත් කළා. ඒ වන විට ඊශ්‍රායෙල්වරු, දෙවි ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට ලබා දීමට පොරොන්දු වී තිබූ දේශය යටත් කරගැනීමට සූදානමිනුයි සිටියේ.

—නික්මයාම; ලෙවී කතාව; ගණන් කතාව; ද්විතීය කතාව; ගීතාවලිය 136:10-15; ක්‍රියා 7:17-36.

  • ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස දෙවි මෝසෙස්ව තෝරාගැනීමට මඟ පෑදූ සිද්ධීන් මොනවාද?

  • ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු උත්සවය සමරන්නේ ඇයි?

  • වහලුන්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟව දෙවි ගලවාගත්තේ කෙසේද?

උතුම්ම නීතිය

යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් නීති 600ක් පමණ ලබා දුන්නා. ඒ අතරින් ඉතා ප්‍රසිද්ධ නීති දහයක් එනම්, දසපනත ලෙස හඳුන්වන නීති දහය නික්මයාම 20:1-17 දක්වා පදවල සඳහන් වෙනවා. පසු කලෙක දෙවිගේ නීති අතරින් වඩා උතුම්ම නීතිය කුමක්ද කියා යේසුස්ගෙන් ඇසූ විට ඔහු පැවසුවේ මෙසේයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මාක් 12:28-30; ද්විතීය කතාව 6:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න