සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ යතුර කුමක් ද?
අද දින, වෙන යම් කුමන ආගමික කණ්ඩායමකටත් වඩා ක්‍රිස්තියානි ධර්මයට තමන් අයත් බව බොහෝ ජනයා කියා සිටිත්. නමුත් මෙම ස්වයං-ශෛලිත ක්‍රිස්තියානින් පරස්පර විරෝධීය, ඔවුන් අතර එක්සත්කමක් නැත, තව ද ඇතැම් අවස්ථාවල දී ඔවුහු එකිනෙකා ව මරණයට පවා පත් කරති. පැහැදිලි ව ම, බොහෝ දෙනෙක් සැබෑ ක්‍රිස්තියානින් නොවේ. අපගේ දවසේ දී බොහෝ දෙනෙක් තමන් වහන්සේට “ස්වාමීනි, ස්වාමීනි” යයි කියනු ඇති බව, වෙනත් වචනවලින් කිවහොත්, තමන් ක්‍රිස්තියානින් යයි කියා ගන්නා බව යේසුස් වහන්සේ පැවසූ සේක, එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කියන සේක්: “කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මමිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලා.” (මතෙව් 7:21, 23) ස්ථීර වශයෙන් ම, මේ අය අතර සිටීමට අපගෙන් කිසිවෙකුට වුවමනා නොවනු ඇත! එනිසා, අප සැබෑ ක්‍රිස්තියානින් නම් එසේ කීමට අපට හැක්කේ කෙසේ ද?
සත්‍යය නම්, සැබෑ ක්‍රිස්තියානියෙකු වීමට බොහෝ දේ අවශ්‍ය වීම ය. “ඇදහිල්ල නැතුව [දෙවියන් වහන්සේව] ප්‍රසන්න කළ නොහැකි” හෙයින් සැබෑ ක්‍රිස්තියානියෙකු වීමට ශක්තිමත් ඇදහිල්ලක් තිබීමට අවශ්‍ය ය. (හෙබ්‍රෙව් 11:6) එම ශක්තිමත් ඇදහිල්ල හරි ක්‍රියා සමග මුසු ව තිබිය යුතු ය. “ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ” යයි ශ්‍රාවක යාකොබ් අනතුරු ඇඟවී ය. (යාකොබ් 2:26) තවදුරටත්, “විශ්වාසවූ නුවණැති දාසයාගේ” අධිකාරිත්වය පිළිගැනීමට ක්‍රිස්තියානියෙකුට අවශ්‍ය ය. (මතෙව් 24:45-47) නමුත් සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ යතුර මේ දේවල්වලින් වෙනස් ව තිබෙන යමක් වෙයි.
යතුර කුමක් ද? ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලියන ලද තම පළමු ලිපියේ මෙසේ විස්තර කළේ ය: “මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි. මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.”—1 කොරින්ති 13:1-3.
එමනිසා, සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ යතුර නම් ප්‍රේමයයි. ඇදහිල්ල, ක්‍රියා, සහ නිසි ඇසුර යන මේවා අත්‍යවශ්‍ය ය, නැතුව ම බැරි ය. නමුත් ප්‍රේමය නැත්නම්, ඒවායේ වටිනාකමෙන් කිසිදු වැඩක් නැත. ඒ මන්ද?
මූලික ව ම, අප නමස්කාර කරන දෙවියන් වහන්සේගේ ස්වභාවය නිසා ය. ප්‍රේරිත යොහන් සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ ව විස්තර කළේ: “දෙවියන් වහන්සේ ප්‍රේමය” කියා ය. (1 යොහන් 4:8) යෙහෝවඃ දෙවියන් වහන්සේට බලය, යුක්තිය, සහ ප්‍රඥාව වැනි වෙනත් බොහෝ ගුණාංග තිබේ, නමුත් දෙවියන් වහන්සේ අත්‍යුත්තම වශයෙන් ප්‍රේමයේ දෙවිකෙනෙකු බැවින්, ස්වකීය නමස්කාරකයන් කුමන අකාරයේ පුද්ගලයන් වීමට උන් වහන්සේට වුවමනා කරනුයේ ද? ස්ථිර වශයෙන් ම, උන් වහන්සේ ව අනුකරණය කරමින් ප්‍රේමය වර්ධනය කරන පුද්ගලයන් ය.—මතෙව් 5:44, 45; 22:37-39.
හරි චේතනාවක්
එසේ ය, තමන් නමස්කාර කරන දෙවියන් වහන්සේ මෙන් වීමට ක්‍රිස්තියානින්ට හේතු කරවන්නේ ප්‍රේමයයි. ඉන් අදහස් කරන්නේ ඔවුන්ගේ චේතනාවන් දෙවියන් වහන්සේගේ චේතනාවන්ට සමාන බවයි. සදාකාල ජීවනය ලබා ගැනීමට අපට ප්‍රස්තාවක් දෙනු වස්, යේසුස් වහන්සේ ව පොළොවට එවීමට අන් සියල්ලකට ම වඩා යෙහෝවඃ දෙවියන් වහන්සේ ව පෙලඹ වූයේ කුමන චේතනාවක් ද? ප්‍රේමයයි. “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශනොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, ඇද අකුරු අපේ ය) එසේ නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමේ ලා අපගේ චේතනාව විය යුත්තේ කුමක් ද? යළිත් වරක්, ප්‍රේමයයි. “දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය.”—1 යොහන් 5:3.
වැරදි චේතනාවකින් යුතුව දෙවියන් වහන්සේට සේවය කළ හැකි ද? එසේ ය. තමාගේ දවසේ ඊර්ෂ්‍යාවෙන් ද විවාදයෙන් ද යුක්ත ව සේවය කරමින් සිටි සමහරෙකු ගැන පාවුල් සඳහන් කළේ ය. (පිලිප්පි 1:15-17) එය අපටත් සිදු විය හැකියි. මේ ලෝකය බොහෝ සෙයින් තරඟකාරී ස්වරූපයක් ගන්නා අතර එම ස්වභාවය අපට ද බලපෑමක් කළ හැකි ය. අප හොඳ කථිකයෙක් යයි කියා හෝ අන් අයට වඩා වැඩියෙන් පොත් පත් ඉදිරිපත් කරන්නට සමත් යයි කියා හෝ උඩඟු ලෙස සිතන්නට පුළුවන. අපගේ සේවා වරප්‍රසාද වෙනත් අයෙකුගේ සේවා වරප්රසාදයන් සමඟ සසඳමින් තමා වැදගත් කෙනෙකු යයි සිතන්නට—නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්නට පුළුවන. දියුණු වීමේ හැකියාවකින් යුත් යෞවනයකුට බාධා පමුණු වන තරමට තමාගේ අධිකාරිත්වයේ තත්ත්වය නිසා වැඩිමහල්ලෙකු ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා විය හැකි ය. පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඇති ආශාව, ධනවත් ක්‍රිස්තියානින් සමඟ මිත්‍රත්වයක් වර්ධනය කර ගෙන දුප්පත් අය ව ගණන් නොගෙන සිටින්නට අප ව පෙලඹ විය හැක.
මේ දේවල් අපට සිදු වන්නට හැක්කේ අප අසම්පූර්ණ නිසා ය. කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේ මෙන් ප්‍රේමය අපගේ පරම චේතනාව කර ගතහොත්, අප එවන් ප්රවණතාවයන්ට එරෙහි ව සටන් කරනු ඇත. අප ව ම ගෞරවයට පත් කර ගැනීමේ ආශාවක් වන ආත්මාර්ථකාමී බව, නැතහොත් හිතුවක්කාර උඩඟු භාවය ප්‍රේමය ඉවත් කොට “අපට කිසි ප්‍රයෝජනයක්” නොවන තත්ත්වයකට පත් කළ හැක.—හිතෝපදේශ 11:2; 1 කොරින්ති 13:3.
ආත්මාර්ථකාමී ලෝකයක ප්‍රේමය
තම අනුගාමිකයන් “ලෝකයේ කොටසක් නොවනු ඇත” යයි යේසුස් වහන්සේ වදාළ සේක. (යොහන් 17:14 NW) අප අවට ලෝකයේ බලපෑම්වලට ගොදුරු වීමෙන් අප ව වළක්වා ගත හැක්කේ කෙසේ ද? ප්‍රේමය උපකාරවත් වනු ඇත. නිදසුනක් වශයෙන්, අද දින මිනිස්සු “දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝ” ය. (2 තිමෝති 3:4) එසේ නොවන මෙන් යොහන් අපට අනතුරු ඇඟ වූයේ ය. ඔහු මෙසේ පැවසී ය: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.”—1 යොහන් 2:15, 16.
එහෙත්, “මාංසයේ තෘෂ්ණව” සහ “ඇස්වල තෘෂ්ණව” ට පිටුපෑම පහසු දෙයක් නොවේ. මේ දේවල් අපගේ මාංසයට එතරම් ආකර්ෂණයක් වන බැවින් ඒවාට මුළුමනින් ම ප්‍රේම කරනු ලැබෙයි. මීටත් වඩා, යොහන්ගේ දවස්වල තිබුණාට වඩා අද දින බොහෝ සෙයින් නානාප්‍රකාර ඉඳුරන් පිනවන සුඛ විහරණයන් තිබෙන බැවින්, ඇස්වල තෘෂ්ණාව එදා ගැටලුවක් වූවා නම්, අද දින ද විශේෂයෙන් ම එසේ ම වෙයි.
සැලකිය යුතු ලෙස ලෝකය ඉදිරිපත් කරන නූතන සුඛ විහරණයන් බොහොමයක් කෙළින් ම වැරදි සහගත ඒවා නොවේ. විශාල නිවසක්, කදිම මෝටර් රථයක්, රූපවාහිනියක් හෝ ස්ටීරියෝ කට්ටලයක් ඇති ව සිටීමෙහි කිසිදු වැරැද්දක් නැත. දිගු, උනන්දුමත් විනෝද චාරිකාවක් යාම සහ ප්‍රබෝධවත් නිවාඩුවක් ගත කිරීම බයිබල් නීතියක් කඩ කිරීමක් නොවේ. එසේ නම්, යොහන්ගේ අනතුරු ඇඟවීමේ මූලික කරුණ කුමක් ද? එක් දෙයක් නම්, එවන් දෑ අපට පමණට වඩා වැදගත් වෙයි නම්, ඒවා අප තුළ ආත්මාර්ථකාමී බවේ, ද්‍රව්‍යවාදයේ සහ අංහකාරකමේ ස්වභාවයක් වර්ධනය කරයි. තව ද ඒවා ලබා ගැනීම පිණිස මුදල් ඉපයීමට ගන්නා ප්රයත්නය නිසා යෙහෝවඃ වහන්සේට අප කරන සේවයට බාධා පැමිණිය හැක. ඇරත් ඒවන් දෑ භුක්ති විඳීමට කාලය පවා අවශ්‍ය වන අතර, සාධාරණ ප්‍රමාණයක විවේකයක් නැවුම් බවක් ගෙන ආවත්, බයිබලය පාඩම් කිරීමට, නමස්කාරය සඳහා සෙසු ක්‍රිස්තියානින් සමඟ රැස්වීමට, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට අපට ඇති වගකීම ගැන සලකා බලන විට අපගේ කාලය සීමිත කරයි.—ගීතාවලිය 1:1-3; මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.
මේ ද්‍රව්‍යවාදී යුගයේ, ‘පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයමින්,’ ‘ලෝකය අධික ලෙස භුක්ති විඳීම’ ට එරෙහි ව සිටීමට අධිෂ්ඨානය අවශ්‍ය කරවයි. (මතෙව් 6:33; 1 කොරින්ති 7:31) ශක්තිමත් ඇදහිල්ලක් තිබීම උපකාරවත් වනු ඇත. නමුත් විශේෂයෙන් ම, යෙහෝවඃ වහන්සේට සහ අපගේ අසල් වාසීන්ට ඇති අපගේ අව්‍යාජ ප්‍රේමය, කෙළින් ම වැරදි නොවන, එහෙත් ‘අපගේ සේවය සාවධාන ව සම්පූර්ණ කිරීමෙන්’ අප ව වැළැක්විය හැකි ආකර්ෂණයන්ට එරෙහි ව සිටීමට අප ව ශක්තිමත් කරනු ඇත. (2 තිමෝති 4:5) එවන් ප්‍රේමයක් නැත්නම්, අපගේ දේව සේවය නිකම් ම පෙනීමට කරන දෙයක් බවට පත් ව පහසුවෙන් ම පිරිහී යාමට පුළුවන.
සභාව තුළ ප්‍රේමය
යේසුස් වහන්සේ ප්‍රේමයේ ඇති වැදගත්කම ගැන කැපී පෙනෙන්නට සැලැස්වූයේ මෙසේ පවසන විට දී ය: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) වැඩිමහල්ලන් තම සෙසු ක්‍රිස්තියානින්ට ප්‍රේම නොකරනවා නම්, ඔවුන් සඳහා එඬේර වැඩවල යෙදෙමින් හා උපකාර කරමින් එතරම් කාලයක් වැය කරන්නේ ඇයි? ප්‍රේමය නිසා නොවේ නම්, සභා වැඩිමහල්ලන් ඇතුළු තම සෙස්සන්ගේ දුර්වලතාවයන් දරා ගනිමින් කටයුතු කරන්නේ ඇයි? අන්‍යයන් යම් අවශ්‍යතාවයක සිටිනවා යයි දැනගත් විට, භෞතික ආකාරයකින් එකිනෙකාට උපකාර කරන්නට ක්‍රිස්තියානින් ව පොලඹවන්නේ ප්‍රේමයයි. (ක්‍රියා 2:44, 45) පීඩාවන්ට ලක් වන කාලවල දී, ක්‍රිස්තියානිහු එකිනෙකාව ආරක්ෂා කරති, ඇතැම් විට එකිනෙකා වෙනුවෙන් මිය යති. මන්ද? ප්‍රේමය නිසා ය.—යොහන් 15:13.
ඇතැම් අවස්ථාවල, ප්‍රේමයේ ඉමහත් සාක්ෂි කුඩා දේවල් තුළ එළි දකී. අධික කාර්ය භාරයක පීඩනයෙන් වෙහෙසට පත් වී සිටන වැඩිමහල්ලෙකු වෙත, සෙසු ක්‍රිස්තියානියෙක් එතරම් වැදගත්කමක් නැති කාරණයක් යළිත් වරක් රැගෙන එනවා විය හැක. වැඩිමහල්ලා කෝප විය යුතු ද? මෙය යම් භේදයක් අති කිරීමට හේතු වීමට ඉඩ හරිනවා වෙනුවට, ඔහු සිය සහෝදරයා සමඟ ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරයි. ඔවුන් කාරණය එක් ව සාකච්ඡා කරන අතර, එය ඔවුන්ගේ මිත්‍රත්වය ද ශක්තිමත් කරයි. (මතෙව් 5:23, 24; 18:15-17) එක් එක්කෙනා තමන්ගේ අයිතිවාසිකම් ගැන තරයේ කියා පානවා වෙනුවට, තම සහෝදරයාට “සැත්තෑ සත්වරක්” කමාව දීමට සූදානම් ව සිටීමෙන්, යේසුස් වහන්සේ නිර්දේශ කළ හදවතින් විශාල වීමේ ගතිය වර්ධනය කිරීමට සියල්ලන් ම වෑයම් කළ යුතු ය. (මතෙව් 18:21, 22 NW) මෙසේ, ප්‍රේමය “එකමුතුවේ පරිපූර්ණ බැම්මක්” වන බැවින්, එය පැළඳ ගැනීමට ක්‍රිස්තියානිහු මහත් වෑයමක් දරති.—කොලොස්සි 3:14, NW.
එකිනෙකා කෙරෙහි ඇති අපගේ ප්‍රේමය තීව්ර කිරීම
එසේ ය, යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී හරි චේතනාව වන්නේ ප්‍රේමයයි. ලෝකයෙන් අප ව වෙන් ව තැබීමට ප්‍රේමය අප ව ශක්තිමත් කරනු ඇති අතර, ප්‍රේමය සැබෑවට ම සභාව ක්‍රිස්තියානි එකක් ව පැවතීමට සහතික කරනු ඇත. කාර්යක්ෂම බවින් හීනනොවෙන අතරේ දී, අන්‍යයන් සමඟ කටයුතු කිරීමට දායක වන කරුණාවන්තකම සහ මොළොක්කම අමතක වෙන තරමට ම කාර්යක්ෂම මනසකින් ක්‍රියා නොකිරීමට අධිකාරිත්ව දරන්නන් හට එය උපකාරවත් වනු ඇත. ප්‍රේමය අප සියල්ලන්ට ම “පෙරමුණ ගන්නන් හට කීකරු වී . . . යටත් වීමට” උපකාරවත් වෙයි.—හෙබ්‍රෙව් 13:17, NW.
“ප්‍රේමය පව් රාශියක් වසන” නිසා, එකිනෙකා කෙරෙහි “බලවත් ප්‍රේමයක්” ඇතිව සිටින ලෙස ප්‍රේරිත පේතෘස් අපගෙන් උදක් ම ඉල්ලා සිටියි. (1 පේතෘස් 4:8) අපට මෙය කළ හැක්කේ කෙසේ ද? මිනිසා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලැබූ බැවින් ප්‍රේම කිරීමට ස්වභාවික හැකියාවක් ඔහුට තිබේ. එහෙත් අප මෙහි කථා කරන ප්‍රේමයට ඊට වඩා අමතර දෙයක් අවශ්‍ය කරයි. ඇත්තෙන් ම, එය දෙවියන් වහන්සේගේ ආත්මයේ ප්‍රධාන ඵලයයි. (ගලාති 5:22) එබැවින්, ප්‍රේමය වර්ධනය කිරීමට නම්, යෙහෝවඃ වහන්සේගේ ආත්මයට අප අප ව ම නිරාවරණය කර ගත යුතුයි. කෙසේ ද? යෙහෝවඃ වහන්සේගේ ආත්මය මගින් අනුභාවය ලත් බයිබලය අධ්‍යයනය කිරීමෙනි. (2 තිමෝති 3:16) යෙහෝවඃ වහන්සේටත් අපගේ සහෝදරයන්ටත් ඇති අපගේ ප්‍රේමය වර්ධනය කිරීමට යෙහෝවඃ වහන්සේගේ ආත්මය පතා යාච්ඤා කිරීමෙනි. එමෙන් ම ශුද්ධාත්මය නිදහසේ ගලා බසින ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීමෙනි.
ප්‍රේමනීය නොවන යම් ක්‍රියාවක් හෝ සිතිවිල්ලක් අප තුළ ඇත් දැයි සොයා බලනු වස්, අප අප ව ම පරීක්ෂා කර බැලීම ද අවශ්‍ය ය. ප්‍රේමය හෘදයේ ගුණාංගයක් බවත්, “සියල්ලට වඩා සිත [හෘදය NW] රැවටිලිකාරව, එමෙන්ම දුෂ්ටව තිබෙන” බවත් මතක තබා ගන්න. (යෙරෙමියා 17:9) යෙහෝවඃ වහන්සේ දානය කරන්නා වූ උපකාර සියල්ල තිබුණත්, ඇතැම් අවස්ථාවල අප ප්‍රේමය නැති ආකාරයට ක්‍රියා කරන්නට පුළුවන. අප සෙසු ක්‍රිස්තියානියෙකුට අනවශ්‍ය ලෙස තියුණු අන්දමකින් කථා කරනවා විය හැකිය, නැතහොත් පවසනු ලබන දෙයක් පිළිබඳ ව කිපී, අමනාප වෙනවා විය හැක. එබැවින්, “දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත [හෘදය NW] දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ [කැලඹිලි සහිත NW] සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව” යන දාවිත්ගේ යාච්ඤාව අප නැවත නැවතත් මතකයට නැංවීම හොඳ ය.—ගීතාවලිය 139:23, 24.
බයිබලය පවසන්නාක් මෙන්, “ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:8) අප එකිනෙකාට ප්‍රේම කිරීම ක්‍රියාවට නගන්නේ නම්, පරීක්ෂණ කාලයක දී අපට එහි කිසිදු අඩුවක් නොතිබෙනු ඇත. දෙවියන් වහන්සේගේ ජනයා අතර පවතින ප්‍රේමය, අද දින පවතින ආත්මික පාරාදීසයට මහත් සේ දායක වෙයි. නව ලෝකය තුළ ජීවත් වීමේ සතුට ලබනු ඇත්තේ හදවතින් ම බලවත් සේ එකිනෙකාට ප්‍රේම කරන අය පමණි. එබැවින් එවන් ප්‍රේමයක් විදහාපාමින් යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කරන්න, එනයින් එක්සත්කමේබැම්ම ශක්තිමත් කරන්න. ප්‍රේමය වර්ධනය කරන්න, සැබෑ ක්‍රස්තියානි ධර්මයේ යතුර අත්කරගෙන සිටින්න. w91 10/1