බයිබල් ඉතිහාසය කොතරම් නිවැරදි ද?
“මම බොරුවක් නොකියා සැබෑව කියමි” යයි බයිබල් ලේඛකයෙක් සිය යෞවන මිත්‍රයා හට පැවසී ය. (1 තිමෝති 2:7) පාවුල්ගේ ලිපිවල ඇති එවන් ප්‍රකාශයන් බයිබල් විවේචකයන් හට අභියෝගයක් ඉදිරිපත් කරයි.a පාවුල්ගේ ලිපි ලිවීමේ පටන් දැනට අවුරුදු 1,900කට වැඩි කාලයක් ගත වී ඇත. එදා පටන් කොතරම් කාලයක් ගත වී තිබුණ ද, කිසිවෙක් හෝ ඉදිරිපත් වී ඔහුගේ ලිපිවල එක ම වැරදි සහගත කරුණක්වත් ඇති බව සාර්ථක ව ඔප්පු කර නැත.
බයිබල් ලේඛක ලූක් ද නිවැරදි භාවය පිළිබඳ ව සැලකිල්ලක් දැක්වී ය. පළමු ව යේසුස් වහන්සේගේ ජීවිතය හා දේව සේවය පිළිබඳ ව ද, අනතුරුව ප්‍රේරිතයන්ගේ ක්‍රියා යනුවෙන් නම් කර ඇති වාර්තාවක් ද ඔහු වාර්තා කළේ ය. “මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර [නිරවද්‍ය ව NW ] විමසා” බැලුවා යයි ලූක් ලීවේ ය.—ලූක් 1:4.
නිවැරදි භාවය පිළිබඳ සාක්ෂි
දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේ විසූ බයිබල් විවේචකයෝ ඉතිහාසඥයෙක් හැටියට ලූක්ගේ නිවැරදි භාවය අභියෝග කළහ. එපමණක් නොව, ක්‍රියා පොතේ ඇති ඉතිහාසය පො.යු. දෙවන ශතවර්ෂයේ මැද භාගයේ දී ප්රබන්ධනය කරන ලදැයි ඔවුහු තරයේ කියා සිටියහ. බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥ ශ්‍රීමත් විලියම් මිචෙල් රැම්සේ මෙය විශ්වාස කළ අයගෙන් කෙනෙකු විය. එහෙත් ලූක් විසින් සඳහන් කරන ලද නාම හා ස්ථාන පරීක්ෂා කර බැලීමෙන් පසු, ඔහු මෙසේ පිළිගත්තේ ය: “මට ක්රමානුකූල ව පැහැදුණු දෙයක් නම් වාර්තාවේ විවිධ තොරතුරු සලකා බලන විට ඒවායේ පුදුමාකාර සැබෑ බවක් තිබීමයි.”
රැම්සේ ඉහත සඳහන් දෙය ලියූ අවස්ථාවෙහි, ලූක්ගේ නිවැරදි භාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවිසඳුන තත්ත්වයක තිබුණි. එය කිට්ටු සම්බන්ධතාවයකින් යුත් නගරයන් වන ඉකෝනිය, ලුස්ත්‍රාව, මෙන් ම දර්බය හා සම්බන්ධ වී තිබුණි. ලුස්ත්‍රාව හා දර්බය “ලුකෝනියේ නුවරවල්” හැටියට විස්තර කරමින්, ඉකෝනිය ඒවායින් වෙන් ව පැවති බව ලූක් ඇඟවී ය. (ක්‍රියා 14:6) එහෙත්, මේ සමඟ ඇති සිතියම පෙන්වන ආකාරයට, ලුස්ත්‍රාව, දර්බයට වඩා ඉකෝනියට කිට්ටුවෙන් තිබුණි. ඇතැම් පුරාතන ඉතිහාසඥයෝ ඉකෝනිය, ලුකෝනියාවේ කොටසක් හැටියට විස්තර කරති; එබැවින්, ලූක් ද එසේ නොකිරීම ගැන විවේචකයෝ අභියෝග කළහ.
අනතුරුව, 1910 දී, ඉකෝනියේ භාෂාව ලුකෝනියානු බස නොව ප්රිජියානු බස බව පෙන්වන ස්මාරකයක් රැම්සේ එම නගරයේ නටබුන් අතර සොයා ගත්තේ ය. “ඉකෝනියෙන් හා ඒ අවට ප්‍රදේශයෙන් වූ වෙනත් ලේඛනයන් ගණනාවක් එම නගරය ප්රිජියානු ජාතික එකක් හැටියට විස්තර කළ හැකි බවට වූ කාරණය සනාථ කරයි” යනුවෙන් ආචාර්ය මෙරිල් අන්ගර්, ආකියොලජි ඇන්ඩ් ද න ටෙස්ටමන්ට් නම් වූ සිය පොතේ පවසයි. ඇත්ත වශයෙන් ම, පාවුල්ගේ දවසේ ඉකෝනිය සංස්කෘතික වශයෙන් ප්රිජියානු වූ අතර, “ලුකෝනියේ භාෂාවෙන්” ජනයා කථා කළ ‘ලුකෝනියේ නුවරවලින්’ වෙනස් විය.—ක්‍රියා 14:6, 11.
තෙසලෝනික නගරයේ පාලකයන් සඳහා “පොලිටාඛාස්” [පුරවැසියන් ආණ්ඩුකරන්නෝ] යන වදන පාවිච්චි කිරීම ගැන ද බයිබල් විවේචකයෝ වාද කළහ. (ක්‍රියා 17:6, NW පාද සටහන.) මෙම වදන ග්‍රීක් සාහිත්‍යයේ භාවිතා නොවූවකි. අනතුරුව, “පොලිටාඛාස්”—හරියට ම ලූක් පාවිච්චි කළ වදන—හැටියට විස්තර කරන ලද නගර පාලකයන්ගේ නාම අඩංගු ආරුක්කුවක් එම පුරාතන නගරයේ සොයා ගනු ලැබී ය. “එම වදන පාවිච්චි කර තිබීමෙන් ලූක්ගේ නිවැරදි භාවය නිදොස් වී ඇත” යයි ඩබ්. ඊ. වයින් සිය එක්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස් ග්‍රන්ථයේ පැහැදිලි කරයි.
ලූක්ගේ මුහුදු ගමන
ක්‍රියා 27 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇති නැව මුහුදු බත් වීමේ සිද්ධිය පිළිබඳ විස්තරය නාවික විශේෂඥයන් පරීක්ෂා කර ඇත. ලූක් පවසන ආකාරයට, ඔහු හා පාවුල් ගමන් කළ විශාල නැව ක්ලෞද නම් කුඩා දූපත අසල දී ඊශාන දිගින් හැමූ මාරුතයකට හසු වූ අතර එහි නැවියෝ අප්‍රිකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ උවදුරු සහිත වැලි කණ්ඩිවලට ගසා ගෙන යනු ඇතැයි කියා බිය වූහ. (ක්‍රියා 27:14, 17, NW පාද සටහන) දක්ෂ නාවික ශාස්ත්‍රය මගින්, එම යාත්‍රාව අප්‍රිකාවෙන් ඉවත බටහිර දිසාවට යොමු කිරීමට ඔවුහු සමත් වූහ. එම මාරුතය අඩු නොවී පැවති අතර, අවසානයේ එම නැව සැතපුම් 540ක් පමණ දුර ගෙවා මෙලීතය නම් දූපත අසල නොගැඹුරු මුහුදු පත්ලේ හිර විණි. මාරුතයකට අසු වූ විශාල නැවක් එතරම් දුරක් ඇදී යාමට දින 13කට වැඩි කාලයක් ගත වනු ඇතැයි නාවික විශේෂඥයෝ ගණන් බලා ඇත. ඔවුන්ගේ ගණන් බැලීම ලූක්ගේ වාර්තාවත් සමඟ එකඟ වේ. එහි සඳහන් ව ඇත්තේ නැව බිඳීයාම 14වන දිනේ දී සිදු වූ බව ය. (ක්‍රියා 27:27, 33, 39, 41) ලූක්ගේ මුහුදු ගමනේ සියලු විස්තර පරීක්ෂා කර බැලීමෙන් පසු, රුවල් යාත්‍රා නැවියෙකු වන ජේම්ස් ස්මිත් මෙසේ නිගමනය කළේ ය: “එය වනාහි පුද්ගලික ව ම එහි නියැලුනු කෙනෙක් විසින් ලියන ලද, සැබෑ සිද්ධීන්හි වෘත්තාන්ත කථනයකි . . . සැබෑ නිරීක්ෂණයකින් තොර ව, මුළුමනින් ම මෙවන් එකඟත්වයකින් යුත් මුහුදු ගමනක් පිළිබඳ වෘත්තාන්ත කථනයක් කිසි මනුෂ්‍යයෙකුට, නැවියෙකු නොවූවා නම් ලියන්නට නුපුළුවන.”
මෙවන් සොයා ගැනීම් නිසා, ඇතැම් දේව ධර්ම ශාස්ත්‍රඥයන් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි නිවැරදි ඉතිහාසය හැටියට ඊට පක්ෂ ව කථා කිරීමට කැමති වේ. එහෙත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ දක්නට ලැබෙන වඩාත් පැරණි ඉතිහාසය ගැන කුමක් කිව හැකි ද? දේවගැතියන් බොහෝ දෙනෙක් නවීන දර්ශනයන්ට යටත් වී එහි මිථ්‍යාවන් ඇති බව ප්‍රකාශ කරති. කෙසේ නමුත්, විවේචකයන් ව ව්‍යාකූලත්වයට පත් කරමින්, බයිබලයේ මුල් ඉතිහාසයේ විස්තරයන් ගණනාවක් ද සැබෑ බවට සනාථ කොට තිබේ. උදාහරණයක් හැටියට, වරක් අමතක කරනු ලැබූ, අෂූරිය අධිරාජ්‍යය සැලකිල්ලට ගන්න.
[පාදසටහන්වල]
a රෝම 9:1; 2 කොරින්ති 11:31; ගලාති 1:20 ද බලන්න.
[3වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ප්රිජියාව
ලුකෝනියාව
ඉකෝනිය
ලුස්ත්‍රාව
දර්බය
මධ්‍යධරණී මුහුද
කූප්රසය