ඔබ මෑතකදී යම් කෙනෙකුව දිරිගන්වා තිබේද?
එලනාට ඩිම්බකෝෂ පිළිකාවක් තිබෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගන්නා විට, ඇගේ වයස යන්තම් වසර 17ක් විය. ඇගේ මව වූ මාරිට සිදුවූයේ ඇය බලවත් වේදනාවෙන් දුක්විඳීම බලා සිටීම සමඟ කටයුතු කරන්ටය.
අවසානයේදී, කැනරි දූපත්වල පිහිටි එලනාගේ නිවසේ සිට සැතපුම් 1,200ක් පමණ දුරින් පිහිටි ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර රෝහලකට ඇයව මාරු කර යවන ලදි. මැඩ්රිඩ්හිදී වෛද්‍ය කණ්ඩායමක්, රුධිරය නොමැතිව ශල්‍යකර්මයක් කිරීමට කැමති වූහ. (ක්‍රියා 15:28, 29) එහෙත්, ශල්‍යකර්මය ආරම්භ වී වැඩි වේලාවක් යෑමට පෙර, එලනාගේ තත්ත්වය මාරාන්තික බව පෙනෙන්ට විය. එවිටමත් පිළිකාව ඇගේ සිරුර පුරා පැතිර ගොස් තිබූ අතර, ශල්‍යවෛද්‍යවරුන්ට කිසිවක් කළ නොහැකි විය. මැඩ්රිඩ් නුවරට පැමිණ දවස් අටකට පසු, එලනා මියගියාය.
මාරි මෙම ඛේදජනක තත්ත්වයට මුහුණ දුන්නේ තනිවම නොවේ. ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ දෙදෙනෙක්, තමන්ගේම වියදමින්, ඇය සහ ඇගේ වැඩිමහල් පුත්‍රයා සමඟ මැඩ්රිඩ් බලා ගොස් එලනාගේ මරණය තෙක්ම එහි රැඳී සිටියහ. “මා තුළ මට හැඟුණු මහා ප්‍රබල හිස්බව පුරවාලීමට ඔවුන් මට උදව් වුණා,” යයි මාරි පැහැදිලි කරන්නීය. “ඔවුන් මට දුන් දිරිගැන්වීම මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔවුන්ගේ ආත්මික අනුබලය සහ ප්‍රායෝගික උපකාර මිල කළ නොහැකියි. ඔවුන් සැබෑවටම, ‘සුළඟෙන් මුවාවෙන ඉඩමක්’ වුණා.”—යෙසායා 32:1, 2.
මෙවැනි ප්‍රේමනීය එඬේරුන් තම බැටළුවන්ව මෙතරම් මුදු මොළොක් ලෙස රැකබලාගැනීම ගැන යෙහෝවඃවහන්සේ සතුටු වනසේක. (හිතෝපදේශ 19:17; 1 පේතෘස් 5:2-4) කෙසේවෙතත්, දිරිගැන්වීම දීම, හුදෙක් වැඩිමහල්ලන්ගේම වරප්‍රසාදයක් නොවේ. ආත්මික උපදෙස් ලැබීමටත්, ‘එකිනෙකාව දිරිගැන්වීමටත්’ සියලු ක්‍රිස්තියානීහු එකට රැස්වෙති. (හෙබ්‍රෙව් 10:24, 25) දිරිගැන්වීම වනාහි ක්‍රිස්තියානි ඇසුරේ අනිවාර්ය කොටසකි.
දිරිගැන්වීමට ඇතුළත් වන්නේ කුමක්ද?
වතුර නොමැතිව ලස්සන මලක් පරවී යන්නාක් මෙන්, පවුලේ සහ සභාවේ යන දෙකේම සිටින පුද්ගලයන් තමන්ට ලැබෙන දිරිගැන්වීම හීන වීමෙන් මැලවී යා හැක. අනික් අතට, පරීක්ෂාවලට මුහුණ දෙන අයව ආරක්ෂා කිරීමටත්, කලකිරී සිටින අයගේ ස්වභාවය නංවාලීමටත්, ඇදහිලිවන්තව දෙවියන්වහන්සේට සේවය කරමින් සිටින අයව ප්‍රාණවත් කිරීමටත් කාලෝචිත දිරිගැන්වීමට හැක.
“දිරිගැන්වීම” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයට, අස්වැසිල්ල, අනුශාසනාව හා සැනසීම යන අදහස ඇතුළත්ය. එමනිසා, යමෙකු දේවල් හොඳින් කරනවාය යන්න පැවසීමට දිරිගැන්වීම සීමා වී නැත. එයට ප්‍රායෝගික සහයෝගය සහ ආත්මික උපකාරය සැපයීමද ඇතුළත් වන්ට පුළුවන.
ඇත්තෙන්ම, “දිරිගැන්වීම” යනුවෙන් පරිවර්තනය වී ඇති ග්‍රීක් වචනය පදගතාර්ථයෙන්ම අදහස් කරන්නේ, “යමෙකුගේ පැත්තට හඬගැසීමය.” අපගේ ආත්මික සහෝදරයන් සමඟ උරෙන් උර ගැටී ගමන් කිරීමෙන්, ඔවුන්ගෙන් කෙනෙකු වෙහෙසට පත්වුවහොත් හෝ පැකිළුණහොත් ක්ෂණික අනුබල දීමට අපට හැකිවෙයි. (දේශනාකාරයා 4:9, 10) යෙහෝවඃවහන්සේගේ ජනයා “උරෙන් උර ගැටී උන්වහන්සේට සේවය කර[තියි]” යන්න උනන්දුව දනවනසුලුය. (ශෙපනියා 3:9) තවද ප්‍රේරිත පාවුල් එක්තරා ක්‍රිස්තියානියෙකුව “සැබෑ හවුල් වැඩකරන්නෙක්” ලෙස හැඳින්වීය. (පිලිප්පි 4:3) උරෙන් උර ගැටී සේවය කරමින් එකම වියගහක් යටට වී බර ඇදගෙන යෑමෙන්, විශේෂයෙන් ආත්මිකව ශක්තිමත් නොවන අයට බර සැහැල්ලු වෙයි.—මතෙව් 11:29 සසඳන්න.
ඔවුහු දිරිගැන්වීම දුන්නෝය
දිරිගැන්වීම එතරම්ම වැදගත් බැවින්, ඒ පිළිබඳව යම් ශුද්ධ ලියවිලිමය ආදර්ශ කිහිපයක් සලකා බලමු. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ මෝසෙස් තම ජීවිතයේ අවසානයට ළඟා වෙමින් සිටි විට, යෙහෝවඃවහන්සේ යෝෂුවාව ඉශ්‍රායලයේ නායකයා ලෙස පත් කළසේක. මෝසෙස්ම හොඳින් දැන සිටි පරිදි, මෙය පහසු පැවරුමක් නොවීය. (ගණන් කථාව 11:14, 15) මෙබැවින්, “යෝෂුවාට අණදී ඔහු ධෛර්යවත්කර ඔහු ශක්තිමත්කරපන්න” කියා යෙහෝවඃවහන්සේ මෝසෙස්ට පැවසූසේක.—ද්විතීය කථාව 3:28.
ඉශ්‍රායලයේ විනිශ්චයකරුවන්ගේ දවස්වලදී,යෙප්තාගේ දියණිය, යෙහෝවඃවහන්සේගේ ශුද්ධස්ථානයේ සේවය කිරීම පිණිස, පවුල් ජීවිතයක ප්‍රස්තාව අත්හැර දමමින් සිය පියාණන්ගේ භාරයට එකඟ වීමට කැමැත්තෙන් සිටියාය. ඇගේ පූජා අමතක කරනු ලැබුවාද? නැත, මන්ද විනිශ්චයකාරයන් 11:40 මෙසේ පවසයි: “ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්රායෙල්වරුන් අතරේ ඇතිවිය.” එවැනි බැහැදැකීම්, යෙප්තාගේ ආත්ම-පරිත්‍යාගී දියණියට මහත් දිරිගැන්වීමක් වූවා විය යුතුය.
ඇතැම් විට, දිරිගැන්වීමට ධෛර්යය අවශ්‍ය කෙරේ. ප්‍රේරිත පාවුල්ගේ පළමු මිෂනාරි ගමනේදී, කුඩා ආසියාවේ නගර කිහිපයකදී ඔහුට දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදුවිය. අන්තියෝකියෙන් පිටමංකරනු ලැබූ ඔහු, ඉකෝනියෙහිදී යන්තමින් දිවි ගළවාගත් අතර, ලුස්ත්රාවේදී ගල්ගසනු ලැබ ඔහු මියගියා යයි සිතා ඉවත දමන ලදි. කෙසේවෙතත්, ඊට ටික කලකට පසුව, පාවුල් සහ ඔහුගේ සහයකයන් මෙම නගර කරා යළිත් පැමිණ, “අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය [දිරිගැන්වූවෝය, NW].” (ක්‍රියා 14:21, 22) මෙම නවක ගෝලයන්ව දිරිගැන්වීම සඳහා තම ජීවිතය පරදුවට තැබීමට පාවුල් කැමැත්තෙන් සිටියේය.
එහෙත්, දිරිගැන්වීම අවශ්‍ය වන එකම ක්‍රිස්තියානීන් නවක ගෝලයන් පමණක් නොවේ. වසර ගණනාවකට පසු, පාවුල්ට රෝමය කරා අසීරු ගමනක් යෑමට සිදුවූ අතර එහිදී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නියමිතව තිබිණ. ඔහු තම ගමනාන්තයට ළඟාවෙනවාත් සමඟම, ඔහු තරමක් අධෛර්යයට පත්වී සිටියා විය හැක. එහෙත්, ඔහු රෝමයට ගිනිකොනදිගින් සැතපුම් 46ක් දුරින් පිහිටි ස්ථානයක් කරා ළඟාවූ විට ඔහුගේ ස්වභාවය ඉහළ නැංවී තිබිණි. මන්ද? රෝමයේ සිට සහෝදරයන් ඔහුව හමුවීම පිණිස, අපියුස්ගේ වෙළඳාම්පොළද තානායම් තුනද දක්වා ඇවිත් සිටි බැවිනි. “පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්යය ලැබුවේය.” (ක්‍රියා 28:15) මේ හා සමාන අවස්ථාවන්හිදී, අප පැමිණ සිටීම පවා, අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට මහත් දිරිගැන්වීමක් විය හැක.
දිරිගැන්වීම දීම සඳහා ප්‍රස්තාවන් අල්ලාගන්න
ඇත්තවශයෙන්ම, දිරිගැන්වීමට බොහෝ ප්‍රස්තා තිබේ. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සහෝදරයෙකු හෝ සහෝදරියක විසින් ඉදිරිපත් කරන ලද හොඳ කථාවකින් ඔබගේ හෘදය පෙලඹී ගියේද? ආත්මිකව ශක්තිමත් නහඹරයන් සභාවේ සිටීම ගැන ඔබ සතුටු වන්නෙහිද? වයසක අයගේ විඳදරාගැනීම ඔබේ සිත්ගෙන තිබේද? ගෙයින් ගෙට සේවයේදී එක් පුරෝගාමියෙකු බයිබලය භාවිත කළ අන්දම ගැන ඔබ මවිතයට පත්වූවාද? එසේනම්, ප්‍රශංසා දෙන්න, තවද දිරිගැන්වෙන යමක් පවසන්න.
පවුලේ මෙන්ම සභාව තුළ දිරිගැන්වීම අතිවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තම දරුවන් “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද” ඇති දැඩි කිරීමට එය දෙමාපියන්ට උපකාර කළ හැකිය. (එපීස 6:4, NW) යමක් හොඳින් කළාය සහ එයට හේතුව පැහැදිලි කිරීම ළමයෙකුට මොනතරම් දිරිගැන්වෙනසුලු විය හැකිද! දරුවන් බොහෝ පරීක්ෂාවලට සහ පීඩනවලට මුහුණ දෙන නහඹර වියේදී, නිරන්තර දිරිගැන්වීම අතිවැදගත්ය.
ළමාවියේදී දිරිගැන්වීමේ ඌනතාවක් සෑහෙන හානිදායක විය හැකිය. අදදින ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වන මයිකල් සුහද පුද්ගලයෙකි, නමුත් ඔහු මෙසේ පවසයි: “මා යමක් හොඳින් කළාය කියා මගේ පියා කවදාවත්, එකම වරක්වත් පැවසුවේ නැහැ. එමනිසා මා වැඩුණේ ආත්ම-අභිමානයකින් තොරවයි. . . . මට දැන් වයස අවුරුදු 50ක් වුවත්, මා වැඩිමහල්ලෙකු ලෙස හොඳ සේවයක් කරමින් සිටිනවා කියා මගේ මිතුරන් මාව ධෛර්යවත් කිරීම මා තවමත් අගය කරනවා. . . . අන්‍යයන්ට දිරිගැන්වීම දීම කොතරම් වැදගත්ද කියා මගේම අද්දැකීම මට උගන්වා තිබෙනවා, තවද මා එය දීමට පසුබට වෙන්නේ නැහැ.”
දිරිගැන්වීම අවශ්‍ය වන්නේ කාටද?
වෙහෙස මහන්සි වී වැඩකරන වැඩිමහල්ලෝ දිරිගැන්වීම ලැබීමට වටින්නෝය. පාවුල් මෙසේ ලීවේය: “සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ [මූලිකත්වය ගන්නාවූ, NW], නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමු.” (1 තෙසලෝනික 5:12, 13) වැඩිමහල්ලන් වෙහෙස මහන්සියෙන් කරන වැඩ සැහැල්ලුවට ගැනීම පහසුය. එහෙත්, අවංක ඇගයීමේ හා දිරිගැන්වීමේ වචන ඔවුන්ගේ බර වඩාත් සැහැල්ලු බව පෙනෙන්ට සැලැස්විය හැක.
අප අතර දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන අයටද දිරිගැන්වීම අවශ්‍යය. “කලකිරී සිටින අයව අස්වසාලමින් කථාකරන්න, දුර්වලයන්ට අනුබල දෙන්න” යයි බයිබලය උපදෙස් දෙයි. (1 තෙසලෝනික 5:14, NW) තනි දෙමාපියන්, වැන්දඹුවන්, නහඹරයන්, වයස්ගතවූවන් හා අබලදුබලකම් ඇති අය, විටින් විට කලකිරෙන බවක් හෝ ආත්මික දුර්වල බවක් හැඟිය හැකි අය අතර සිටිති.
මාරියා වනාහි තම සැමියා විසින් තමාව අත්හැර දමා ඇති බව හදිසියේ වටහාගත් ක්‍රිස්තියානි කාන්තාවකි. ඈ මෙසේ පැවසුවාය: “යෝබ් මෙන්, මට විටින් විට මියයෑමට වුවමනා වුණා. [යෝබ් 14:13] ඒත් මම අත්හැරියේ නැහැ, මා ලැබූ දිරිගැන්වීමට ස්තුති වේවා. මා හොඳින් දන්නා වැඩිමහල්ලන් දෙදෙනෙක්, මගේ පූර්ණ-කාලීන සේවය දිගටම කරගෙන යෑමේ වැදගත්කම දැකගැනීමට මට උපකාර කිරීමෙහිලා පැය ගණනාවක් ගත කළා. තවත්, අවබෝධයෙන් යුත් සහෝදරියන් දෙදෙනෙක්ද මාව සැනසුවා. මා මගේ හෘදය වගුරවන විට ඉවසීමෙන් යුතුව ඔවුන් මට සවන්දුන්නා. යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් දේවල් දෙස බැලීමට බයිබලය යොදාගනිමින් ඔවුන් මට උපකාර කළා. අපි ගීතාවලිය 55:22 කී වරක් කියෙව්වාද කියා මා දන්නේ නැහැ, නමුත් මෙම ශුද්ධ ලියවිල්ල අදාළ කරගැනීමෙන්, මා මගේ ආත්මික හා චිත්තවේගී සමබරතාව ටිකෙන් ටික යථා තත්ත්වයට පත් කරගත්තා. මේ සියල්ල සිදුවුණේ මීට අවුරුදු 12කට පමණ ඉහත, තවද මා සතුටුයි කියන්ට, මා මේ වන තෙක් දිගටම පූර්ණ-කාලීන සේවය කරගෙන ඇවිත් තිබෙනවා. ඉඳහිට චිත්තවේගීය වේදනා තිබුණත් මගේ ජීවිතය විපාකදායී සන්තෝෂවත් එකක්. එවැනි කාලයක ලැබෙන දිරිගැන්වීම පුද්ගලයෙකුගේ ජීවිතය තුළ විශාල වෙනසක් සිදු කරන බව මට ඒත්තු ගොස් තිබෙනවා.”
ඇතැමුන් වැරදි කර ඇති නිසා සහ දැන් ඒවා හරිගැස්සීමට පොරබදමින් සිටින නිසා ඔවුන්ටද දිරිගැන්වීම අවශ්‍යය. සමහරවිට ඔවුහු ප්‍රේමනීය තරවටු ලැබ සිටිති. (හිතෝපදේශ 27:6) එම තරවටුව ලබා දී තිබෙන වැඩිමහල්ලන්ට, එම ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කරගනු ලබමින් තිබෙනවා දකින විට ඊට ප්‍රශංසා කිරීමට පිබිද සිටිය හැක. ඔවුන්ගේ දිරිගැන්වීමේ වචනවලට දෙයාකාර ප්‍රයෝජන තිබෙනවා ඇත—එනම් වැරදිකරුවා “අධික ශෝක” සහිත තත්ත්වයට පත් නොවන පිණිස, ඔවුන්ගේ ප්‍රේමය ඔහුට සනාථ කිරීම සහ උපදෙස අදාළ කරගැනීමෙන් ඇති වන ප්‍රයෝජන ගැන ඔහුට මතක් කිරීමය.—2 කොරින්ති 2:7, 8.
එක් වැඩිමහල්ලෙක් බරපතළ වරදක් කොට සභාව අධීක්ෂණය කිරීමේ තම වරප්‍රසාදය අහිමි කරගත්තේය. “මා වැඩිමහල්ලෙකු වශයෙන් ඉන් ඉවත් කර තිබෙන බවට නිවේදනය කරනු ලැබූ අවස්ථාවේ, මා සිතුවේ සහෝදරයන් මා සමඟ ඇසුරේදී යම් අපහසුතාවකට පත්වනු ඇතිය කියා,” යනුවෙන් ඔහු පවසයි. “කෙසේවෙතත්, වැඩිමහල්ලන් ඊට හේතුව ඉතා දැඩි ලෙස රහසිගතව තබාගත් අතර, මාහට දිරිගැන්වීම සඳහා, ඔවුන් විශේෂ වෑයමක් දැරුවා. ඒ හා සමානව, සභාවේ සෙස්සන්ද ප්‍රේමය සහ මිත්‍රශීලීබවක් දැක්වූ අතර, මෙය සහතිකවම මගේ ආත්මික සුවයට දායක වුණා.”
දිරිගන්වනසුලු වන්න
අපගේ කාර්යබහුල ජීවිතවල, දිරිගැන්වීම වනාහි පහසුවෙන් අමතක වී යා හැකි දෙයකි. එහෙත්, එය කොතරම් යහපතක් ඉටු කරනවාද! බලපෑමෙන් යුත් දිරිගැන්වීම දීමට, ඔබ දේවල් දෙකක් මනසේ තබාගත යුතුය. පළමුව, කිවයුත්තේ කුමක්දැයි සිතන්න, එවිට ඔබගේ දිරිගැන්වීම එයට සරිලන එකක් වෙයි. දෙවනුව, ප්‍රශංසාව ලැබිය යුතු හෝ ගොඩනැංවීම අවශ්‍ය කරන පුද්ගලයෙකු වෙත එළඹීමට ප්‍රස්තාව බලා සිටින්න.
ඔබ මෙය වැඩියෙන් කරන තරමට, ඔබ වඩාත් සන්තෝෂ වනු ඇත. මන්දයත් යේසුස්වහන්සේ අපට මෙසේ සහතික කරන බැවිනි: “ගැනීමට වඩා දීමෙහි වැඩි සන්තෝෂයක් තිබේ.” (ක්‍රියා 20:35, NW) අන්‍යයන්ව දිරිගැන්වීමෙන්, ඔබ ඔබවම දිරිගන්වනවා ඇත. සෑම දවසකම යමෙකුට දිරිගැන්වීම දීම ඔබේ ඉලක්කයක් කර නොගන්නේ මන්ද?