ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 6/15 23-28 පි.
  • පොළොවේ සීමාව දක්වා සාක්ෂිකරුවෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොළොවේ සීමාව දක්වා සාක්ෂිකරුවෝ
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ‘අපට ථූලෙට යා හැක්කේ කවදාද?’
  • ථූලෙ බලා යමින්
  • අවදානම් සහිත අභියෝගය
  • අපගේ පිළිගැනීම
  • ගමන නිම වේ
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 6/15 23-28 පි.

පොළොවේ සීමාව දක්වා සාක්ෂිකරුවෝ

එටා

ථූලෙ

ගොඩ්හැව්න්

ගෝට්තැබ්

ජුලියනේහැබ්

ඇන්ග්මැග්ස්සලික්

ථූලෙ යනු, පුරාණ කාලයේ සිට භූගෝලීය නැතහොත් වෙනත් අන්දමකින් අවසාන ඉලක්කයක් විස්තර කිරීමට පාවිච්චි කරන ලද නමක කොටසකි. අදදින ථූලෙ යනු, ලෝකයේ විශාලතම දිවයින වන ග්‍රීන්ලන්තයේ ඈත උතුරේ පිහිටි කුඩා ජනාවාසයකි. එම ජනාවාසය එසේ නම් කරන ලද්දේ, 1910දී ඩෙන්මාර්ක් ජාතික ගවේෂකයෙක් වන නූට් රාස්මුස්සන් එය ධෘව පිළිබඳ ගවේෂණ සඳහා ප්‍රාරම්භක ස්ථානයක් ලෙස පාවිච්චි කළ විටදීය. දැන් පවා, ථූලෙට යෑම විනෝද ගමනකට වඩා ගවේෂණාත්මක ගමනක් වැනිය.

කෙසේවෙතත්, ථූලෙ වෙත ගවේෂණාත්මක ගමන් යෑම සඳහා හදිසි අවශ්‍යතාවක් තිබේ. “පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න,” යන යේසුස්වහන්සේගේ ආඥාවට ප්‍රතිචාරයක් වශයෙන්, පොළොව මත වඩාත්ම උතුරු දෙසට ස්ථිර මිනිස් ජනාවාස ඇති තැනක් වන මෙම ප්‍රදේශය වෙත දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගෙන යෑමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ උත්සුක වෙති.—ක්‍රියා 1:8; මතෙව් 24:14.

‘අපට ථූලෙට යා හැක්කේ කවදාද?’

වර්ෂ 1955දී “පොළොවේ සීමාව දක්වා” දේශනා සේවයේ සහභාගි වීමට වුවමනාවක් දැක්වූ ඩෙන්මාර්ක් ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙක් ග්‍රීන්ලන්තයට පැමිණියහ. වෙනත් අය පසුව පැමිණි අතර, ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ දේශනා වැඩයෙන් දකුණු හා බටහිර වෙරළේ මෙල්විල් බොක්ක දක්වා සහ නැඟෙනහිර වෙරළේ යම් කොටසක් ඔවුහු ආවරණය කළහ. එහෙත් ථූලෙ වැනි, ඊටත් වඩා දුරස්තර ප්‍රදේශ කරා සත්‍යය ළඟා වූයේ ලිපි හෝ දූරකථන මාර්ගයෙන් පමණි.

වර්ෂ 1991දී, දිනක්, පූර්ණ කාලීන දේවසේවකයන් දෙදෙනෙක් වන බෝ සහ ඔහුගේ බිරිඳ වන හෙලන්, මෙල්විල් බොක්කට ඉහළින් පිහිටි ගල් පර්වතයක් මත සිටගෙන සිටියෝය. උතුර දෙස බලමින් ඔවුහු මෙසේ කල්පනා කළහ: ‘අපට රාජ්‍ය ශුභාරංචිය රැගෙන ථූලෙහි සිටින ජනයා වෙතට යා හැක්කේ කවදාද?’

වර්ෂ 1993දී, තවත් පූර්ණ කාලීන දේවසේවකයෙකු වන වර්නර්, දිගින් මීටර 5.5ක් වූ ක්වාමානෙක් (ආලෝකය) නම් ඔහුගේ මෝටර් බෝට්ටුවෙන් මෙල්විල් බොක්ක හරහා ගමන් කිරීමට ධෛර්යය උපදවාගත්තේය. ඔහු එවිටමත් ගෝට්තැබ් සිට ඌපර්නවීක් ප්‍රදේශය දක්වා කිලෝමීටර 1,200ක් යාත්‍රා කර තිබිණ. එහෙත්, මෙල්විල් බොක්ක හරහා යෑම—එනම් කිලෝමීටර 400ක් තරම් විශාල ආක්ටික් මුහුදු ප්‍රදේශයේ ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. වසරේ වැඩි කාලයක්, බොක්ක අයිස්වලින් අවහිර වී තිබේ. අයිස් නිසා වර්නර්ට එක් එන්ජිමක් අහිමි වුවත්, ඔහු බොක්ක හරහා සාර්ථකව ගමන් කළේය. එමෙන්ම ආපසු පැමිණීමට පෙර ඔහුට දේශනා සේවයේ යෙදීමටත් හැකි විය.

ථූලෙ බලා යමින්

එම ගමනින් පසුව, වර්නර් නව ක්‍රියාමාර්ග ගැනීමට ආරම්භ කළේය. නිදන මැදිරි හතරක් සහ ඒ සියල්ලටම වඩා නවීන යාත්‍රා කිරීමේ යන්ත්‍රෝපකරණ සහිත මීටර් 7ක් දිග බෝට්ටුවක් හිමි ආර්නේ සහ කාරින් සමඟ ඔහු ථූලෙට යෑමට හවුල් චාරිකාවක් සඳහා කතා කරගත්තේය. නවාතැන් පහසුකම් බෝට්ටුවලින් සපයනු ලබන අතර, බෝට්ටු දෙකක් එකට ගමන් කිරීම නිසා මෙල්විල් බොක්ක හරහා යෑමේ අවදානමද අඩු වනු ඇත. පදිංචිකරුවන් 600කින් යුත් ප්‍රධාන නගරය සහ අවට ප්‍රදේශයේ වූ කුඩා ජනාවාස හය ආවරණය කිරීමට ඔවුන්ට වැඩිමනත් උපකාර අවශ්‍ය විය. එනිසා බෝ, හෙලන්, යර්න් සහ ඉංගේට ගමනට හවුල්වීමට ඔවුහු ආරාධනා කළෝය—මොවුහු මෙම රටේ ගමන් කිරීමට හුරු පුරුදු වූ, අද්දැකීම් ලත් දේවසේවකයෝ වූහ. මෙම කණ්ඩායමට අයත් පස්දෙනෙක් ග්‍රීන්ලන්ත භාෂාවද කතා කළෝය.

ඔවුහු ප්‍රමාණවත් බයිබල් පොත් පත් පෙරටුව යැවූහ. පොත් පත් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ජලය, ඉන්ධන, අමතර එන්ජිමක් සහ රබර්වලින් සෑදු කුඩා ඔරුවක් යනාදිය බෝට්ටුවල පටවා තිබිණ. ඉන්පසු, මාස ගණනක පෙර සූදානමකින් පසුව, 1994 අගෝස්තු මස 5වන දින කණ්ඩායම එකට එකතු වූ අතර, බඩු පැටවූ බෝට්ටු දෙකම ගමන සඳහා සූදානමින් ඉල්ලලිස්සැට් වරායේ තිබිණ. උතුරු දෙස බලා යන ගමන ආරම්භ විය. වර්නර්, බෝ සහ හෙලන් බෝට්ටු දෙකෙන් කුඩාම එකේ යාත්‍රා කළෝය. “ඔබට කළ හැකි එකම දෙය වූයේ, යමක් තදින් අල්ලාගෙන ඔබගේ නිදන මැදිරියේ ඉඳගෙන හෝ නිදාගෙන සිටීමයි,” යනුවෙන් බෝ ලියයි. අපි ගමන සඳහා නැවේ ගමන් සටහන අනුගමනය කරමු.

“එක දිගට විහිදී ගිය විශාල නිශ්චල මුහුදු ප්‍රදේශ තිබුණා. හැම පැත්තකින්ම ඉතා අලංකාරවත් දර්ශන අපේ ඇස් ඉදිරියේ දිග ඇරුණා—එනම් කාන්තිමත් මුහුද, තැනින් තැන පැතිරුණු ඝන මීදුම, දීප්තිමත් සූර්යයා සහ නිල්වන් අහස, සිත් ඇදගන්නා හැඩ සහ වර්ණ මට්ටම්වලින් ඇති අයිස් කඳු, පාවී යන අයිස් කුට්ටියක් මත අව්ව තපින දුඹුරු පැහැති වෝල්රස්, අඳුරු කඳු බෑවුම් සහ කුඩා තැනිතලාවලින් යුත් මුහුදු ඉම—දර්ශනයේ වෙනස් වීමට කෙළවරක් නැහැ.

“ඇත්තෙන්ම, වඩාත්ම සිත්ගන්නා දෙය වුණේ, යන අතරතුරේදී කුඩා ගම් බැහැදැකීමට යෑමයි. අමුත්තන් කවුද කියා බැලීමටත් ඔවුන්ව පිළිගැනීමටත් ගොඩබසින පාලම ළඟ සෑමවිටම මිනිස්සු රැඳී සිටියා, එතැන නිතරම වාගේ හිටියේ ළමයි. අපි බයිබල් පොත් පත් බෙදාහැරියා, ඒ වගේම අපගේ සංවිධානය පිළිබඳ වීඩියෝ පටයක් තාවකාලිකව මිනිස්සුන්ට දුන්නා. අපි පිටත් වෙන්ට කලින් හුඟදෙනෙක්ට ඒක බලන්ට පුළුවන් වුණා. දකුණු උපර්නැවික්වලට, අපි ගොඩබසින්ටත් කලින් මිනිස්සු කිහිපදෙනෙක් අපේ බෝට්ටු දිහාට යාත්‍රා කරගෙන ආවා. ඒ නිසා මුළු හැන්දෑ වරුවේම, අපි අපේ බෝට්ටුවල හිටිය අමුත්තන්ගේ බයිබල් ප්‍රශ්න රාශියකට උත්තර දුන්නා.”

ගමනේ පළමු කිලෝමීටර 700 පසු කිරීමෙන් අනතුරුව, බෝට්ටු දෙකම මෙල්විල් බොක්ක හරහා යෑමට දැන් සුදානම්ව තිබේ.

අවදානම් සහිත අභියෝගය

“පුළුල්ව පැවති මතය වුණේ, මෙය ගමනේ අවදානම්ම කොටස බවයි. (අපේ දේශනා වැඩය පටන්ගත යුතුව තිබූ මෙන්ම අපට ඉඳුම් හිටුම් සොයාගන්ට ඉඩ කඩ තිබූ) සැවිස්සිවික් නම් ජනාවාසය ඒ වෙද්දීත් අයිස්වලින් අවහිර වී තිබුණු නිසා, අපිට එක දිගටම ගමන් කරන්ට සිදු වුණා.

“ඉතින් අපි ගමන ආරම්භ කළා. අයිස් වැඩියෙන් තිබුණු හින්දා, මහ මුහුදේ තවත් ඈතට අපි යාත්‍රා කළා. භාග්‍යයකට වගේ, මුහුද නිශ්චල වුණා. පළමු පැය කිහිපයේදී කිසිම වැදගත් සිද්ධියක් සිදු වුණේ නැහැ—අපි මුහුදේ හැතැප්ම ගණනාවක් යාත්‍රා කළා. සවස් වන විට අපි කේප් යෝර්ක් දුටු අතර, මදක් ගොඩබිමට සමීපව සෙමින් උතුරු දෙසට හැරෙව්වා. දැන් ආයෙත් අයිස් පෙනෙන්ට පටන් ගත්තා—ඇසට පෙනෙන තෙක් මානයේ, පැරණි, ඝන මෙන්ම කොටස්වලට කැඩී බිඳී පාවී යන විශාල අයිස් කුට්ටි පෙනෙන්ට තිබුණා. අයිස් කුට්ටිවල දාර දිගේ අපි සෑහෙන දුරක් ගමන් කළ අතර, සමහරවිට ඉතා පටු මාර්ග ඔස්සේ අපි සුපරීක්ෂාකාරිව ගමන් කළා. තවත්, බැසයන සුර්යයාගේ අඩු ආලෝකයට අමුතු අලංකාරයක් දෙන තද අළු පාට සූපයක් මෙන් ඝන මීදුමක් තිබුණා. ඒ වගේම මුහුදු රැළි! ඝන මීදුම, මුහුදු රැළි සහ අයිස් යන හැම දේම එකට—සාමාන්‍යයෙන් මේවායින් ඕනෑම එකක් සෑහෙන අභියෝගයක්.”

අපගේ පිළිගැනීම

“අපි පිටුෆික්වලට ළඟා වෙද්දී, මුහුද වඩාත් නිශ්චල වුණා. මැවීම අපිට ප්‍රබල පිළිගැනීමක් කළා: නිල්වන් අහසේ ඉහළින් බැබළෙන සුර්යයා; තැනින් තැන පාවෙන අයිස් කඳු සහිත සූර්ය රශ්මියෙන් නැහැවුණු ෆියෝඩය අප ඉදිරියේ පෙනෙන්ට තිබුණා; ඒ වගේම ඈත ඉදිරියේ ඩන්ඩස්—එනම් පැරණි ථූලෙ නගරය—පිහිටි පර්වතයේ සුපුරුදු හැඩය දක්නට තිබුණා!” තවත් කිලෝමීටර 100ක් උතුරට ගමන් කිරීමෙන් පසුව, සංචාරකයෝ තම ගමනාන්තයට පැමිණියහ.

ඔවුහු දැන් ගෙයින් ගෙට දේශනා සේවය පටන්ගැනීමට නොඉවසිල්ලෙන් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකුට පළමු නිවසේදීම පරුෂ ප්‍රතිචාරයක් ලැබිණ. “ඩෙන්මාර්කයේදී අපව ප්‍රතික්ෂේප කරන ආකාරයටම අපව ප්‍රතික්ෂේප කළා,” යනුවෙන් ඔවුහු පැවසූහ. “එහෙත් බහුතරයක් අපව සුහදව පිළිගත්තා. මිනිස්සු කල්පනාකාරි වූ අතර, ඔවුන්ට හොඳ සාමාන්‍ය දැනුමක් තිබුණා. අප ගැන අසා තිබුණු බවත් අවසානයේදී අප එහි පැමිණීම ගැන සන්තෝෂ වූ බවත් ඇතමෙක් සඳහන් කළා. උත්තරධෘවයේ ගවේෂණ ගමන් ගොස් සිටියාවූ සීල් දඩයක්කරුවන් සහ සෑහීමට පත් වූ, සකසුරුවමින් ජීවත් වූ එමෙන්ම නූතන ශිෂ්ටාචාරය ගැන සැක සහිත ස්වභාවයක් දැරූ ස්වදේශිකයන් වැනි කදිම පුද්ගලයන්ව අපට හමු වුණා.”

ඊළඟ දින කිහිපය සියලුදෙනාටම කදිම අද්දැකීම් ලබා දුන්නේය. සෑම තැනකම බයිබල් පොත් පත් අගය කිරීමකින් යුතුව ලබා ගැනිණ. සාක්ෂිකරුවෝ නිවෙස් කිහිපයකම අප්‍රමාදව බයිබල් පාඩම් ආරම්භ කළෝය. ඉඥ, උනන්දුව දක්නට ලැබූ එක් නිවසක් ගැන මෙසේ ප්‍රකාශ කරන්නීය: “ඒක එක කාමරයක් තියෙන පිරිසිදු, සැපපහසු ගෙයක්. අපි එක දිගට දවස් තුනක් එහි සිටි මෘදු ගතිගුණ ඇති මිනිසාව බැහැදකින්ට ගිය අතර, ඔහු කෙරෙහි මහත් ඇල්මක් අපට ඇති වුණා. ඔහු නියම සීල් දඩයක්කාරයෙක් වූ අතර, එස්කිමෝවරුන් පාවිච්චි කරන කයැක් නමැති විශේෂ ඔරුවක් ඔහුගේ නිවස අසල තිබුණා. ඔහු බොහෝ හිම වලසුන්, වෝල්රස් සහ සීල් වැනි සතුන්ට වෙඩි තබා තිබෙනවා. අවසාන වරට බැහැදැකින්ට ගිය අවස්ථාවේදී, අපි ඔහු සමඟ යාච්ඤා කළ අතර ඔහුගේ ඇස් කඳුළින් පිරුණා. දැන් අපි සෑම දෙයක්ම යෙහෝවඃවහන්සේගේ අතට භාර කළ යුතු අතර, නැවත පැමිණීමට කාලය හා අවස්ථාවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි.”

කැනේඩියානු එස්කිමෝවරු ථූලෙවලට නිතර නිතර පැමිණෙති. ඉඥ මෙසේ වාර්තා කරන්නීය: “හෙලන් සහ මම කැනඩාවෙන් පැමිණි එස්කිමෝවරු කිහිපදෙනෙක්ව මුණගැහෙන්ට ගියා. ග්‍රීන්ලන්ත ජාතිකයන් සමඟ ඔවුන්ට අදහස් හුවමාරු කිරීමට හැකිවීම උනන්දුව ගෙන දෙනවා; ආක්ටික් ප්‍රදේශයේ ජනයා එකිනෙකට සම්බන්ධ භාෂා කතා කරන බව පේනවා. කැනේඩියානු එස්කිමෝවරුන්ට ඔවුන්ගේම ලිඛිත භාෂාවක් තිබුණත්, ග්‍රීන්ලන්ත භාෂාවෙන් තිබූ අපගේ පොත් පත් කියවීමට ඔවුන්ට පුළුවන් වුණා. මෙය ඔවුන්ට පුදුමාකාර ප්‍රස්තා උදා කර දිය හැකියි.”

බෝට්ටුවෙන් ගමන් කර කිලෝමීටර 50-60ත් අතර දුරකින් පිහිටි ජනාවාසද බැහැදකින ලදි. “ක්වෙකටැට් ගමට යද්දී අපි මුහුදු තීරය ළඟින් ගමන් කළේ, දළ තල්මසුන් දඩයම් කරමින් සිටින මිනිසුන් හමුවීමේ බලාපොරොත්තුවෙන්. බලාපොරොත්තු වූ ආකාරයටම, ගල් තලාවක් මත කඳවුරක් සොයාගැනීමට අපට හැකි වුණා, ඒක පවුල් තුනකින් හෝ හතරකින් හෝ සකස් වී තිබූ අතර ඔවුන් ලොම් ඇඳුම් ඇඳගෙන, කූඩාරම් හා කයැක් ඔරු ඇතුව සිටියා. ඇවුලුම් බිලිය අතැතිව, ගල්පර්වතයක් මත වාඩි වී හුඟක් ආශා කරන වෝල්රස් ඇල්ලීමට මිනිසුන් වාර ගත්තා. දැනටමත් දින කිහිපයක් ප්‍රතිඵලයක් නැතුව බලා සිටි ඔවුන්, අපි තල්මසුන්ව බිය ගන්වයි කියා සිතූ නිසා, අපව දැකීමට එතරම් සතුටක් දැක්වූයේ නැහැ! ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේම ලෝකයක සිටියාක් මෙන් පෙනෙන්ට තිබුණා. කාන්තාවන් පොත් පත් සමහරක් පිළිගත්තත්, තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එය සුදුසු වේලාව වුණේ නැහැ. අන්තිමේදී, අපි රාත්‍රී 11ට පමණ ක්වෙකටැට්ට පැමිණි අතර, අපේ අන්තිම නැවත බැලීම පාන්දර 2ට අවසන් කළා!”

“ග්‍රීන්ලන්තයේ වඩාත් උතුරු දෙසට පිහිටි ජනාවාසය වන සියෝරාපොලුක්ට අපි අවසානයේදී ළඟා වුණා. සාමාන්‍යයෙන් පාළු වටපිටාවක, තණකොළවලින් වැසුණු ගල්පර්වත පාමුල පිහිටි වැල්ලක එය පිහිටා තිබුණා.” සාක්ෂිකරුවෝ අඩුතරමින් උතුරු දිශාවෙන්වත්, ඔවුන්ගේ දේශනා වැඩයෙන්, වචනානුසාරයෙන් පොළොවේ සීමාව දක්වා ළඟා වී ඇත්තාහ.

ගමන නිම වේ

සාක්ෂිකරුවෝ ඔවුන්ගේ වැඩය නිම කර ඇත්තාහ. ඔවුන් ගෙයින් ගෙට සහ කූඩාරමෙන් කූඩාරමට දේශනා කර, පොත් පත් බෙදා දී, දායක ලබාගෙන, වීඩියෝ පට පෙන්වා, බොහෝ ග්‍රීන්ලන්ත ජාතිකයන් සමඟ කතා කර, බයිබල් පාඩම් පවත්වා ඇත. දැන් නිවෙස් බලා යෑමට වේලාවයි. “අපි මොරියසැක් ජනාවාසයෙන් පිටවීම සඳහා එදින සවස අපගේ කුඩා රබර් ඔරුවට නැඟ්ග විට, මිනිසුන් කිහිපදෙනෙක් ඔවුන් ලබාගත් පොත් පත් සහ විවරණිකා වනමින් අපෙන් සමුගැනීමට වෙරළට පැමිණියා.”

පසුව, වෙරළේ පාළු කොටසක—ගලක් මත සිට මිනිසෙකු අතවනනවා දැක සාක්ෂිකරුවෝ විස්මිත වූහ! “අපි ඔහුව හමුවෙන්න වෙරළට ගිය බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. ඔහු තම කයැක් ඔරුවෙන් මාසයක් විතර මුහුදු ඉම දිගේ සංචාරයේ යෙදෙමින් සිටි ජර්මනියේ බර්ලින් සිට පැමිණි යෞවනයෙක්. ජර්මනියේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නිතිපතා ඔහුව බැහැදැක තිබූ අතර, ඔවුන්ගේ පොත් සමහරක්ද ඔහු ළඟ තිබුණා. අපි පැය කිහිපයක් ඔහු සමඟ ගත කළ අතර, සාක්ෂිකරුවන්ව එවන් ස්ථානයක හමුවීමට ලැබීම ගැන ඔහු ඇත්තෙන්ම පුදුමයට පත් වුණා.”

අයිස් නිසා, යන අතරතුරේදී මඟහැර ගිය සැවිස්සිවික් ජනාවාසයේදී, සංචාරක දේවසේවකයන්ට අතිවිශේෂ පිළිගැනීමක් ලැබිණ. එහි සිටි සමහරු කලින් වසරේදී පොත් පත් ලබා කියවා තිබූ අතර, වැඩිමනත් ආත්මික ආහාර සඳහා සාපිපාසිතව සිටියහ.

නැවත පැමිණෙන විටදී, මෙල්විල් බොක්ක හරහා යෑමට පැය 14ක් ගත වුණා. “මේ ප්‍රදේශයේ බොහෝ පැය ගණනක අද්දැකීමක් වන සිත් ඇදගන්නා පාට නිතර නිතර වෙනස් වෙමින් සිදු වන හිරු බැසයෑම අපි බලා සිටියා. ඒත් එක්කම සිදු වන හිරු නැඟීමටද දිගු කාලයක් ගත වුණා. තවමත් හිරු බැසයෑමේ රතු සහ ලෝහිත පාටවලින් යුතු ආලෝකය අවානක් මෙන් ඊසාන දිග අහස පුරා පැතිර තියෙද්දීම, ටිකක් දකුණු දෙසට වෙන්න හිරු උදා වුණා. එය විස්තර කරන්ටවත්, ප්‍රමාණවත් විදිහට ඡායාගත කරන්ටවත් අපහසු දර්ශනයක් වුණා.” පිරිස මුළු රාත්‍රියම එහි අවදිව සිටියා.

“අපි කුල්ලෝසුවැක්ට ළඟා වෙද්දී හුඟාක් වෙහෙසට පත් වී සිටියා. ඒත් අපි සතුටින් ඒ වගේම තෘප්තිමත්ව සිටියා. අපි සාර්ථකව ගමන අවසන් කර තිබුණා! ගමනේ ඉතිරි කොටසේදී වෙරළ ළඟින් පිහිටි නගර හා ජනාවාසවල මහත් උනන්දුවක් අපට දකින්ට තිබුණා. නිතර නිතර ඇසූ ප්‍රශ්නය වූයේ, ‘ඔයගොල්ලන්ගෙන් කීපදෙනෙකුට අපිත් එක්ක ඉන්න බැරි ඇයි?’ කියන එකයි. ‘ඔයගොල්ලන් මෙච්චර ඉක්මනින් පිටත්ව යනවා දැකීම අපිට හරි දුකක්!’ ”

ක්වාර්සට්හි සිටි එක් මිත්‍රශීලී පවුලක් අපෙන් පස්දෙනෙකුට කෑම වේලකට ආරාධනා කළා. “එම පවුල අපෙන් එහි රාත්‍රිය ගත කරන මෙන් ඉල්ලා සිටියා. ඒත් කිලෝමීටර් 40කට එහායින් නැංගුරම් ලෑමට ඉතා හොඳ ස්ථාන තිබුණ නිසා, අපි ආරාධනාව ප්‍රතික්ෂේප කර දිගටම යාත්‍රා කරන්ට වුණා. පසුවදා පාන්දරින්ම මහ රැල්ලක් වැදී විශාල අයිස් කන්දක් කඩා වැටීම නිසා අපි කලින් දවසේ සිටිය ස්ථානයේ තිබුණු බෝට්ටු 14ක් පෙරළුණු බව අපිට දැනගන්ට ලැබුණා!”

අවසානයේදී, ථූලෙ ගවේෂණ ගමන නිම කළ කණ්ඩායම නැවත ඉල්ලලිස්සැට්වලට පැමිණියෝය. ඔවුන් ථූලෙට ළඟා වූ එම වේලාවේදීම වෙනත් ප්‍රචාරකයන් දෙදෙනෙකු ග්‍රීන්ලන්තයේ නැඟෙනහිර වෙරළේ වූ හුදෙකලා ප්‍රදේශවලට ගමන් කර තිබේ. එම සංචාරයන් දෙකේදීම, ප්‍රචාරකයන් පොත් 1,200ක්, විවරණිකා 2,199ක් සහ සඟරා 4,224ක් බෙදා දුන් අතර, දායක 152ක්ද ලබාගෙන ඇත. අලුතෙන් උනන්දුව දැක්වූ අය සමඟ දැන් සම්බන්ධකම් පවත්වන්නේ දූරකථනයෙන් හා ලිපි හුවමාරුව මගිනි.

මීට වැය වූ කාලය, ශක්තිය හා මූල්‍යමය වියදම් තිබියදීත්, “පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න” යන තම ස්වාමියාගේ නියෝගය ඉටු කිරීමෙහිලා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මහත් සන්තෝෂයක් අද්දකිති.—ක්‍රියා 1:8.

[28වන පිටුවේ කොටුව]

ග්‍රීන්ලන්තයේ නැඟෙනහිර වෙරළේ

ප්‍රචාරක කණ්ඩායම ථූලෙට ළඟා වූ එම වේලාවේදීම, සාක්ෂිකාර යුවළක් වන වෙගෝ සහ සොන්යෙ, සේවය නොකරන ලද තවත් බල ප්‍රදේශයකට ගමන් කළෝය.—එනම් ග්‍රීන්ලන්තයේ නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි ඉට්ටොක්කෝර්ටූර්මීට් (ස්කෝර්ස්බයිසුන්ඩ්) වෙතය. ඔවුන්ට එහි යෑමට අයිස්ලන්තයට ගමන් කර, ග්‍රීන්ලන්තයේ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි කොන්ස්තාපල් තුඩුවට ගුවන් යානයකින් ගොස්, ඉන්පසුව හෙලිකොප්ටරයකින් යෑමට සිදු විය.

“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මෙහි පැමිණි පළමු අවස්ථාව මෙයයි,” යනුවෙන් මව් බස ග්‍රීන්ලන්ත භාෂාව වූ මෙම පුරෝගාමීන් දෙදෙනා ප්‍රකාශ කළෝය. “ඔවුන් තනි වී සිටියත්, හොඳින් තොරතුරු ලබා සිටීම පුදුමයට හේතුවක් වුණා. මොකද, ඔවුන් අලුත් දේවල් ඉගෙනගැනීමට කැමැත්තෙන් සිටියා. ඒ අය තමන්ගේ සීල් දඩයම් හා ස්වභාව ධර්මයේ වූ අනෙක් අද්දැකීම් ගැන හරියට දක්ෂ කතන්දර කියන්නන් වගේ මහත් උනන්දුවෙන් අපට පැවසුවා.” ඔවුන් දේශනා වැඩයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

“ගෙයින් ගෙට දේශනා කරන විට අපට ජේ—— මුණගැසුණා, ඔහු ක්‍රිස්තියානි ආගම උගන්වන ස්වදේශිකයෙක්. ‘ඔබේ හමුවීම් අතරට මාවත් ඇතුල් කළාට ස්තූතියි,’ කියා ඔහු පැවසුවා. ඔහුට අපි අපේ පොත් පත් හා ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා පෙන්නුවා. පසුවදා ඔහු අපි ළඟට ඇවිත්, යෙහෝවා යන නම ගැන ඉගෙනගැනීමට අවශ්‍ය බව කීවා. ඔහුගේම ග්‍රීන්ලන්ත භාෂා බයිබලයේ පාද සටහනේ තිබුණු පැහැදිලි කිරීමක් අපි ඔහුට පෙන්නුවා. අපි පිටත්වුණාට පසු, අපේ බැහැදැකීම ගැන ඔහුගේ ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා ඔහු නුක්වල සිටි අපේ යහළුවන්ට දූරකථනයෙන් අමතා තිබුණා. මෙම මිනිසාට දිගටම උපකාර කිරීමට අප උත්සාහ කරන්න ඕනා.

“තවත් අපිට ඕ——වද හමු වුණා, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන දන්නා ගුරුවරයෙක්. වයස අවුරුදු 14 සිට 16 අතර ළමයින් සිටින ඔහුගේ පන්තියට කතා කිරීමට ඔහු අපට පැය දෙකක් දුන්නා. එනිසා අපි අපේ වීඩියෝ පටය පෙන්නුවා, ඒවගේම ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරුa සහ වෙනත් පොත් උණු කැවුම් වගේ බෙදා දීමට හැකි වුණා. පසුව අපට ගැහැණු ළමයින්ගෙන් තුන්දෙනෙක්ව මුණගැසුණා. ඔවුන්ට ප්‍රශ්න බොහොමයක් තිබුණා, එක් කෙනෙක් විශේෂ උනන්දුවක් දැක්වූවා. ‘කෙනෙක් සාක්ෂිකරුවෙක් වන්නේ කොහොමද?’ කියා ඇය ඇසුවා. ‘ඔයගොල්ලන් කරන වැඩය තෘප්තිය ගෙන දෙන එකක් වෙන්න ඇති. මගේ තාත්තත් ඔයගොල්ලන්ගේ පැත්තේ.’ අපි ලිපි ලිවීමට පොරොන්දු වුණා.

“කුඩා ගම්වලින් එකකදී තවත් ක්‍රිස්තියානි ආගම උගන්වන ස්වදේශිකයෙක් වන එම්——ව අපට හමු වුණා, තවත් අපි අතර උනන්දුව ගෙන දෙන සාකච්ඡාවක් තිබුණා. දඩයමේ ගිය මිනිස්සු නැවත පැමිණි විට, ඔවුන්ට අපේ පොත් පත් ලැබෙන බවට සහතික වීමට කටයුතු කිරීමට ඔහු ඉදිරිපත් වුණා. ඉතින් දැන් ඔහු එම හුදෙකලා ප්‍රදේශයේ අපේ ‘ප්‍රචාරකයෙක්’.”

එය වක්‍රාකාර හා ඉතා වෙහෙසකර ගමනක් වුවත්, පුරෝගාමීන් දෙදෙනාට ඔවුන්ගේ උත්සාහයන්ට මහඟු විපාක ලැබුණු බව හැඟිණ.

[පාදසටහන]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න