රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
විඳදරාගැනීම මලාවිවලදී දේව ආශීර්වාද ලැබීමට මඟ පාදවයි
යෝසෙප් යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෙකුව සිටියා. (හෙබ්‍රෙව් 11:22) ඔහු විශිෂ්ට විඳදරාගැනීමක්ද තිබූ මනුෂ්‍යයෙක්ව සිටියා. ඔහුගේම සහෝදරයන් ඔහුට ද්‍රෝහි වුණත්, දෙවරක් වහල්භාවයට විකුණුවත්, බොරු චෝදනා යටතේ පසුව සිරභාරයට දැමුවත් යෝසෙප් බිඳ වැටුණේ නැහැ. ඒ වෙනුවට, යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන තෙක් යටහත් පහත්ව බලා සිටිමින් ඔහු පීඩාවලින් යුත් අවුරුදු ගණනාව ඉවසිලිවන්තව විඳදරාගත්තා.—උත්පත්ති 37:23-28, 36; 39:11-20.
එලෙසම අදදිනත්, මලාවිවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේව ආශීර්වාද සඳහා ඉවසීමෙන් බලා සිට තිබෙනවා. වසර 26ක් පුරා, මෙම ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් රජයේ තහනම්, දරුණු විරෝධය හා බොහෝ කුරිරු ක්‍රියා විඳදරාගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ විඳදරාගැනීමට විපාක ලැබී තිබෙනවා!
වර්ෂ 1967 අගභාගයේදී මලාවිවල පීඩා කිරීම් පටන්ගත් විට, රාජ්‍ය ප්‍රකාශකයන් 18,000ක් පමණ සිටියා. වර්ෂ 1997 සේවා වර්ෂය පටන්ගත්තේ ප්‍රකාශකයන් 38,393ක නව වාර්තාවකින් බව—තහනමේ පටන්ගැන්මේදී තිබුණාට වඩා දෙගුණයකටත් වඩා වැඩිවීමකින් බව—සාක්ෂිකරුවන් දැනගත් විට ඔවුන්ට මොනතරම් ප්‍රීතියක් ඇති වුණාද කියා සිතා බලන්න! එපමණක්ද නොව, මලාවිවල පැවැත්වූ “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළු දහතුනට 1,17,000කට වැඩි පිරිසක් පැමිණියා. ඇත්තෙන්ම, යෙහෝවා ඔවුන්ගේ ඇදහිල්ල හා විඳදරාගැනීමට ආශීර්වාද කර තිබුණා.
මාචාකා නම් 14-හැවිරිදි පිරිමි ළමයාගේ අද්දැකීම මෙම ආශීර්වාද පිළිබඳ උදාහරණයක්. මාචාකා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම සඳහා වූ ආරාධනය පිළිගත් විට, ඔහුගේ දෙමාපියන් බෙහෙවින් සිත්තැවුලට පත් වුණා. ඔවුන් ඔහුට මෙසේ පැවසුවා: “ඔයාට සාක්ෂිකාරයෙක් වෙන්න ඕනෙ නම්, ඔයා ගෙදරින් යන්න ඕනෙ.” කෙසේවුවත්, ඔහුගේ පාඩම දිගටම කරගෙන යෑම නැවැත්වීමට මේ තර්ජනයට හැකි වුණේ නෑ. ප්‍රතිඵලයක් වශයෙන්, මාචාකාගේ දෙමාපියන් ඔහුගේ ඇඳුම් සියල්ලම අන් සතු කළා. සහෝදරයෝ ඔහුට ඇඳුම් අරන් දීමෙන් ප්‍රතිචාරය දැක්වුවා. මාචාකාගේ දෙමාපියන් මේ බව දැනගත් විට, ඔවුන් මෙසේ පැවසුවා: “සාක්ෂිකාරයන් ඔයාට උදව් කරන්න යනවා නම්, ඔයා මෙහෙන් යන්න; ගිහින් ඒගොල්ලෝ එක්ක ඉන්න.” කාරණය පරෙස්සමින් සලකා බැලුවාට පසුව, මාචාකා නිවසෙන් පිට වුණු අතර, ඔහුගේ සභාවේ සාක්ෂිකාර පවුලක් ඔහුට නවාතැන් දුන්නා.
මාචාකාගේ දෙමාපියන්ට කොයිතරම් කේන්ති ගියාද කිව්වොත්, සාක්ෂිකරුවන් සමඟ සියලුම සම්බන්ධකම්වලින් වැළකීම සඳහා ඔවුන් ප්‍රදේශයෙන් ඉවත් වීමට තීරණය කළා. ඇත්තෙන්ම, මාචාකා මෙයින් දුකට පත් වූ නමුත් සහෝදරයන් ඔහු සමඟ ගීතාවලිය 27:10 සාකච්ඡා කළ විට ඔහුට මහත් සහනයක් ලැබුණා; එහි මෙසේ කියනවා: ‘මාගේ පියා සහ මව මා අත්හැරියද යෙහෝවා මා පිළිගන්නේය.’
කල් යත්ම, මාචාකාගේ දෙමාපියන් මොළොක් ස්වභාවයක් දැක්වූ නිසා ඔහු යළි ගෙදර පදිංචියට යෑමට තීරණය කළා. ඔවුන්ටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබල් පාඩමක් කරන්න ඕනෑ වී තිබීමෙන් පෙනී යන්නේ, යෙහෝවාට සේවය කිරීම සඳහා ඔවුන්ගේ පුත්‍රයාට තිබූ අධිෂ්ඨානය ඔවුන් මත බලවත් හැඟීමක් ඇති කර තිබුණ බවයි. ඔවුන් “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනටත් පැමිණි අතර ඉන්පසුව ඔවුන් මෙසේ ප්‍රකාශ කිරීමට පෙලඹුණා: “ඇත්තටම, මේක තමයි දෙවිගේ සංවිධානය.”
ඔව්, විරුද්ධවාදිකම් පීඩාකාරි විය හැකි නමුත් දෙවිගේ පක්ෂපාත පණිවිඩකරුවන් අත්හරින්නේ නෑ. “පීඩා විඳීමෙන් ඉවසිල්ලද [විඳදරාගැනීමද, NW], ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] සහතිකකමද” උපදවන බව දන්නා ඔවුන් නිර්භීත ලෙස ඉදිරියටම ගමන් කරනවා. (රෝම 5:3, 4) එම විඳදරාගැනීම දේව ආශීර්වාදවලට මඟ පාදන බවට සහතික වීමට මලාවිවල සිටින සාක්ෂිකරුවන්ට හැකියි.