ජයග්‍රහණය අත්කර ගන්නා වූ විඳදරා ගැනීම
“දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව [පොරොන්දුවේ ඉටුවීම NW ] ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරා ගැනීම NW ] ඕනෑය.”—හෙබ්‍රෙව් 10:36.
1. අද දින යෙහෝවඃ දෙවියන් වහන්සේට සේවය කරන සෑම කෙනෙකුට ම විඳදරා ගැනීම අනිවාර්ය දෙයක් වන්නේ මන්ද?
මෙම මුළු ලෝකය රැඳී තිබෙන්නේ ද්‍රෝහී දෙවියෙකුගේ බලය යටතේ ය. එහි නොපෙනෙන පාලකයා වන සාතන් නම් යක්ෂයා, යෙහෝවඃ වහන්සේට විරුද්ධ වීමටත්, මෙසියානු රාජ්‍යය මගින් යෙහෝවඃ වහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යය නිදොස්වීමටත් එරෙහි ව තම සියලු ප්රයත්නයන් යොදවමින් සිටී. දෙවියන් වහන්සේට තමන් ව ම කැප කොට, පරමාධිපත්‍යය සම්බන්ධ ප්රශ්නයේ දී උන් වහන්සේගේ පැත්ත ගන්නා වූ ඕනෑ ම කෙනෙකුට මේ ලෝකයෙන් නොකඩවා විරුද්ධවාදිකම් ඇති වීම මේ නිසා නොවැළැක්විය හැකි දෙයක් බවට පත් වෙයි. (යොහන් 15:18-20; 1 යොහන් 5:19) මෙබැවින්, මෙම ලෝකය අර්මගෙදොන් හි දී අන්ත පරාජයකට ලක්වන තෙක් අප එකිනෙකා විඳදරා ගැනීමට තමා ව ම ශක්තිමත් කර ගත යුතු ය. තම ඇදහිල්ල සහ අඛණ්ඩතාවය මගින් ලෝකයෙන් ජය ගන්නා වූ දෙවියන් වහන්සේගේ ජයග්‍රාහකයන් අතර සිටීමට නම්, අන්තිමය දක්වා අප නොනැවතී ස්ථිර ව සිටිය යුතු ය. (1 යොහන් 5:4) අපට එය කළ හැක්කේ කෙසේ ද?
2, 3. යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විඳදරා ගැනීමේ ශ්‍රේෂ්ඨතම ආදර්ශයන් වන්නේ කෙසේ ද?
2 එක් දෙයක් නම්, දිරිගැන්වීම ලබා ගැනීම සඳහා විඳදරා ගැනීමේ කැපී පෙනෙන ආදර්ශයන් දෙකක් දෙස අපට බැලිය හැක. මොවුහු කවරහු ද? එක් තැනැත්තෙක් නම් අතීතයේ නොදන්නා කාලයක දී තමන් ව ම පැවැත්මට ගෙනා අවස්ථාවේ පටන් දෙවියන් වහන්සේගේ සේවය තුළ ඇදහිලිවන්ත ව නොකඩවා රැඳී සිටි, “මැවිල්ලේ කුළුඳුලා” වන යේසුස් වහන්සේ ය. ඇදහිලිවන්ත ලෙස දෙවියන් වහන්සේගේ සේවයේ නොකඩවා නියැලී සිටීමේ ස්වභාවයක් පෙන්වූ යේසුස් වහන්සේ, තමන්ට පසු ව ස්වර්ගයේ සහ පොළොව මත පැවැත්මට ගෙන එනු ලැබූ සියලු බුද්ධිමත් මැවිලිවලට ආදර්ශයක් බවට පත්වූ සේක. (කොලොස්සි 1:15, 16) කෙසේ වුවද, විඳදරා ගැනීමේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය නම්, ස්වකීය විශ්වනීය පරමාධිපත්‍යයට එරෙහි ව කරන ලද කැරැල්ල දිගු කලක් පුරා විඳදරා ගත්, පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නය නිමාවක් සහිත ව සමථයකට පත් කිරීමට තමන් වහන්සේ ක්‍රියා කරන තෙක් නොකඩවා විඳදරා ගනු ඇති යෙහෝවඃ දෙවියන් වහන්සේ ය.
3 තමන් වහන්සේගේ ගෞරවය සහ ස්වකීය තියුණු පුද්ගලික හැඟීම් සම්බන්ධ කාරණාවල දී, යෙහෝවඃ වහන්සේ ආදර්ශවත් ආකාරයකින් විඳදරා ගෙන තිබේ. උන් වහන්සේ මහත් කුපිත කරවන තත්ත්වයන් හමුවේ දී තමන් වහන්සේ ව ම මැඩපවත්වා ගෙන තිබෙන අතර, සාතන් වන යක්ෂයා ඇතුළු උන් වහන්සේට අපහාස කර ඇති අයට එරෙහි ව ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් තමන් වහන්සේ ව ම සීමා කර ගෙන තිබේ. දෙවියන් වහන්සේගේ විඳදරා ගැනීම සහ උන් වහන්සේගේ දයාව ගැන අපි කෘතඥ පූර්වක වෙමු. මේවා නොමැති ව අප ස්වල්ප කලක්වත් ජීවිතය භුක්ති නොවිඳිනු ඇත. ඇත්තෙන් ම, ස්වකීය විඳදරා ගැනීම මගින් යෙහෝවඃ වහන්සේ අන් සියල්ලන්ට ම වඩා අසමසම ලෙස තමන් වහන්සේට කීර්තියක් ලබා ගෙන ඇත.
4, 5. (අ) කුඹල්කරුවෙකු පිළිබඳ පාවුල්ගේ උපහැරණය, දෙවියන් වහන්සේගේ විඳදරා ගැනීම සහ උන් වහන්සේගේ දයාව පෙන්වන්නේ කෙසේ ද? (ආ) දෙවියන් වහන්සේගේ දයාව නිෂ්ඵල දෙයක් වී නොමැති බව සනාථ වනු ඇත්තේ කුමකින් ද?
4 ප්‍රේරිත පාවුල් මෙසේ පවසන විට, දෙවියන් වහන්සේගේ විඳදරා ගැනීම සහ දයාව යන දෙකට ම යොමු දක්වා සිටී: “එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්නේ තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරන ලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන්වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?”—රෝම 9:21-24.
5 මෙම වචන පෙන්වන පරිදි, තමන් වහන්සේගේ විඳදරා ගැනීමේ මෙම වත්මන් කාල පරිච්ඡේදය තුළ දී, ස්වකීය මහිමාන්විත අරමුණ ඉදිරියට ගෙන යමින් සිටින යෙහෝවඃ වහන්සේ, එක්තරා මිනිස් භාජනයන් කෙරෙහි දයාව පෙන්වන සේක. උන් වහන්සේ මෙම භාජන ස්වකීය සදාකාලික ගෞරවය සඳහා සූදානම් කරන අතර, මෙසේ තමන් වහන්සේගේ ප්‍රධාන විරුද්ධකාරයා වන සාතන් වන යක්ෂයාගේ සහ සාතන්ගේ සියලු බල ඇණිවල දුෂ්ට අරමුණු පරාජය කරන සේක. මිනිස් වර්ගයාගේ සියල්ලන් විනාශයට සුදුසු වන උදහසේ භාජන බවට පත් වී නොමැත. සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ඉවසිලිවන්ත විඳදරා ගැනීම ගැන මෙය මොනවට කියාපායි. උන් වහන්සේගේ දයාව නිශ්ඵල නොවනු ඇත. එයින් ප්‍රතිඵල කරවන්නේ මේවා ය, (1) යෙහෝවඃ වහන්සේගේ සෙනෙහෙබර පුත්‍ර රත්නය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යටතේ ස්වර්ගයේ මහිමාන්විත රාජකීය පවුලක් ඇති වීම, සහ (2) පාරාදීස පොළොවක යළි සුවය ලද පරිපූර්ණ මිනිස් මැවිලිවල ජාතියක් ඇති වීම, මේ සියල්ලෝ ම සදාකාල ජීවනයේ උරුමක්කාරයන් වීම ය.
අවසානය දක්වා විඳදරා ගැනීම
6. (අ) ක්‍රිස්තියානියෙකුට විඳදරා ගැනීමේ පරීක්ෂණයක් මඟ හැරිය නොහැක්කේ මන්ද? (ආ) “විඳදරා ගැනීම” සඳහා වූ ග්‍රීක් වචනයෙන් සාමාන්‍යයෙන් අඟවන්නේ කුමක් ද?
6 එවන් පුදුමාකාර බලාපොරොත්තුවක් ඉදිරියේ තිබීමත් සමඟ, යේසුස් වහන්සේගේ ශක්තිය දනවන ඒ වචන නොකඩවා අපගේ සවන් තුළ රැව් පිළිරැව් දිය යුතු ය, එනම්: “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන NW] සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13) ක්‍රිස්තියානි ගෝලත්වයේ ගමන හොඳින් ආරම්භ කිරීම වැදගත් ය. එහෙත් අවසානයේ දී ගණන් ගනු ලබන්නේ අප විඳදරා ගත් ආකාරයයි, අප කොතරම් හොඳින් ගමන නිමා කරනවා ද යන්නයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසූ විට මෙය අවධාරණය කළේ ය: “මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව [පොරොන්දුවේ ඉටු වීම NW] ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරා ගැනීම NW] ඕනෑය.” (හෙබ්‍රෙව් 10:36) “විඳදරා ගැනීම” ලෙස මෙහි පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනය නම්, හයි·පා·මො·නීʹ යන්න ය. මින් සාමාන්‍යයෙන් අඟවන්නේ, බාධා, පීඩා, පරීක්ෂා, වරදට පෙලඹ වීම් හමුවේ බලාපොරොත්තුව අහිමි කර නොගන්නා වූ ධෛර්යවත්, ස්ථිර හෝ ඉවසිලිවන්ත විඳදරා ගැනීම ය. අවසානයේ දී ගැලවීම දිනා ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු නම්, එම ගැලවීමට අවශ්‍ය කරන සූදානමේ කොටසක් හැටියට විඳදරා ගැනීමේ පරීක්ෂණයකට අප යටත් විය යුතු ය.
7. අප වැළකිය යුත්තේ කිනම් රැවටිල්ලෙන් ද, තව ද විඳදරා ගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ කාගේ ආදර්ශය ද?
7 මෙම පරීක්ෂණය පහසුවෙන් නිම කළ හැකිය යන ආත්ම-පිනවන අදහස මගින් අප ව ම රවටා නොගත යුතුයි. විශ්වනීය පරමාධිපත්‍යය සහ මිනිසාගේ අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රශ්නවලට තීරණාත්මක ව පිළිතුරු දීම සඳහා යෙහෝවඃ වහන්සේ තමන් වහන්සේ ව ම වළක්වා නොගත් සේක. යම් අප්‍රසන්න දේවල් සැනෙකින් මකා දමන්නට උන් වහන්සේට හැකි වුවත් උන් වහන්සේ ඒවා විඳදරා ගෙන ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද විඳදරා ගැනීමේ ආකෘතියක් වූ සේක. (1 පේතෘස් 2:21; රෝම 15:3-5 සසඳන්න.) මෙම දිදුලන ආදර්ශයන් අප ඉදිරියේ තිබෙන හෙයින්, අවසානය දක්වා ම විඳදරා ගන්නට අපි ද ස්ථිර ව ම කැමැත්තෙන් සිටින්නෙමු.—හෙබ්‍රෙව් 12:2, 3.
අවශ්‍ය සුදුසුකමක්
8. ප්‍රේරිත පාවුල් නිරූපනය කළේ අප සියල්ලන්ට අවශ්‍ය කුමන ගුණාංගය ද?
8 මුල් කාලවල සිටි අය ඇතුළු දෙවියන් වහන්සේගේ කිසි ම සේවකයෙක්, විඳදරා ගැනීම මගින් තම අඛණ්ඩතාවය ඔප්පු කිරීමට වූ අවශ්‍යතාවයෙන් නිදහස් ව සිට නොමැත. මරණය දක්වා ඇදහිලිවන්ත ව සිට ස්වර්ගයේ සදාකාල ජීවනයට සුදුසුකම් ලත් බයිබල් ඉතිහාසයේ විසූ ඉතා ප්රමුඛ පුද්ගලයන්ට තමන්ගේ ස්ථිර භාවය ඔප්පු කිරීමට තිබිණි. නිදසුනක් වශයෙන්, කලින් ඵරිසියෙකු ව සිටි තාර්සස් හි සාවුල් කොරින්තිවරුනට මෙසේ කීවේ ය: “මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි. සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම [විඳදරා ගැනීම NW] ඇතුව නුඹලා අතරෙහි කරන ලද්දේය.” (2 කොරින්ති 12:11, 12) පාවුල් තම දේව සේවය කොතරම් උසස් අන්දමින් අගය කළා ද කිවහොත්, වැඩයේ බර නොසලකා, බොහෝ විඳදරා ගෙන, ඒ මතට කිසි ම නින්දාවක් නොගෙන ඒමට මහත් උනන්දුවෙන් වෙර දැරුවේ ය.—2 කොරින්ති 6:3, 4, 9.
9. (අ) ආලේප ලත් ඉතිරි අය විඳදරා ගැනීම පෙන්වා ඇත්තේ කෙසේ ද, කුමන ප්‍රතිඵලය ඇති ව ද? (ආ) දිව්‍ය සේවය ඇදහිලිවන්ත ව කරගෙන යාමට අප හට අනුබලයක් ලෙස ක්‍රියා කරන්නේ කුමක් ද?
9 වඩාත් නූතන කාලවල දී, පළමු ලෝක යුද්ධයට පෙර දෙවියන් වහන්සේට සේවය කරමින් සිටියා වූ ආලේප ලත් ක්‍රිස්තියානින්, 1914 වසර අන්‍යජාතීන්ගේ කාලවල් අවසානය සනිටුහන් කරනු ඇතැයි දැන සිටි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එම සිහිකටයුතු වසරේ දී තම ස්වර්ගීය ත්‍යාගය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එය සිදු වූයේ නැත. දැන් සාක්ෂිවලින් පෙන්වන පරිදි, ඔවුන් හට තවත් දශක කිහිපයක් එකතු කෙරිණි. තම පොළොව මත ජීවිතයේ දිගු කරන ලද මෙම අනපේක්ෂිත කාල පරිච්ඡ්දය තුළ දී, ඔවුහු යෙහෝවඃ දෙවියන් වහන්සේගේ හස්තයෙන් යම් විශෝධනයකට ලක් වූහ. (සෙකරියා 13:9; මලාකි 3:2, 3) දිගට ම විඳදරා ගෙන සිටීම ඔවුන්ගේ වඩාත් හොඳ තත්ත්වයකට හේතු විණි. යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන්, උන් වහන්සේගේ නාමය දරන සෙනඟ වීමට නම්කරනු ලැබීමෙන් ඔවුහු ප්‍රීති වූහ. (යෙසායා 43:10-12; ක්‍රියා 15:14) අද දින, ලෝක යුද්ධ දෙකක් හා කුඩා යුධ අරගල ගණනාවක් තුළින් ගෙනෙනු ලැබ ඇති ඔවුහු, දැන් මිලියන හතරකට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත වෙනත් බැටළුවන්ගේ වැඩි වෙන්නා වූ මහත් සමූහයක් විසින් ශුභාරංචිය පැතිරීමේ ලා ආධාර ලැබීමට ඉමහත් සේ ප්‍රීති වෙති. ඔවුන් භුක්ති විඳින්නා වූ ආත්මික පාරාදීසය පොළොව සිසාරා පැතිර ගොස් තිබෙන අතර, ඈත එපිට මුහුදු දූපත් කරා ද ගොස් තිබේ. අප ජීවත් වන කාලයේ තරමට අප වඩ වඩාත් අගය කරන මෙම අනුග්රාහාත්මක සැලකිල්ල, යෙහෝවඃ වහන්සේගේ අරමුණ සහ කැමැත්ත මුළුමනින් ම ඉටු වන තෙක් ඇදහිලිවන්ත ව දිව්‍ය සේවය කර ගෙන යාමේ ලා අනුබලයක් වී තිබේ.
10. අප තුළ යම් දුර්වලකමක් ඇති නොවීමට නම්, නිතර ම අවශ්‍ය වන්නේ කුමක් ද?
10 අපගේ ත්‍යාගය රඳා පවතින්නේ අපගේ ස්ථිර භාවය මත බැවින්, මෙම අති වැදගත් කාරණය සම්බන්ධයෙන් අපට නොකඩවා අනුශාසනාත්මක උපදෙස් අවශ්‍ය වෙයි. (1 කොරින්ති 15:58; කොලොස්සි 1:23) මුල් සියවසේ අලුතෙන් පිහිටුවනු ලැබූ සභාවන් පාවුල් සහ බාර්ණබස් විසින් යළි යළිත් බැහැදැකීම මගින් දිරිගන්වනු ලැබුවාක් මෙන්, යෙහෝවඃ වහන්සේගේ සෙනඟ අතර දුර්වලතාවයක් ඇති නොවනු පිණිස, සත්‍යය හා සත්‍යය පැතිර වීමේ වටිනා වරප්‍රසාදය අල්ලා ගෙන සිටීමට අප නිති පතා ම දිරිගන්වනු ලැබිය යුතු ය. (ක්‍රියා 14:21, 22) ප්‍රේරිත යොහන් පැවසුවාක් මෙන්, අප තුළ පවතින්නා වූ සැබෑව, “සදාකල්ම අප සමඟ” එය පවතීවි යන්න අපගේ ස්ථිර අරමුණ සහ අධිෂ්ඨානය වීමට ඉඩ හරිමු.—2 යොහන් 1.
නොසැලෙන විඳදරා ගැනීමකින් යුතු ව බලා සිටීම
11. ස්වකීය සේවකයන් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ නීතිය කුමක් වී ඇති බව පෙනී යයි ද, යෝසෙප් සම්බන්ධ සිද්ධියේ දී මෙය නිදර්ශනය වූයේ කෙසේ ද?
11 අප සම්බන්ධ ව පරීක්ෂණය සම්පූර්ණ වීමට කාලය ගත වෙයි. (යාකොබ් 1:2-4) ඇදහිල්ල තුළ නොකඩවා සිටීමේ ලා දෙවියන් වහන්සේගේ ඉපැරණි සේවකයන් සිය අධිෂ්ඨානය සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබූ විට, බලා සිටින්න! බලා සිටින්න! බලා සිටින්න! යන්න ඔවුන් හා සම්බන්ධ උන් වහන්සේගේ නීතිය බැව් දක්නට තිබේ. එහෙත්, අවසානයේ දී එම බලා සිටීම, එම ඇදහිලිවන්ත සේවකයන් හට විපාකදායි එකක් බවට සෑම විට ම සනාථ විය. නිදසුනක් වශයෙන්, වහලෙකු ලෙස යෝසෙප් හට වසර 13ක් බලා සිටින්නට සිදු වූ නමුත්, එම අත්දැකීම ඔහුගේ පුද්ගලිකත්වය විශෝධනය කළේ ය.—ගීතාවලිය 105:17-19.
12, 13. (අ) ආබ්‍රහම් ඇදහිලිවන්ත විඳදරා ගැනීමේ ආදර්ශයක් වූයේ කෙසේ ද? (ආ) ආබ්‍රහම්ගේ ඇදහිල්ල සහ විඳදරා ගැනීම අප හට ආදර්ශයක් වී ඇත්තේ කුමන ආකාරයෙන් ද?
12 කල්දිවරුන්ගේ ඌර් දේශයෙන් පිට ව පොරොන්දු දේශයට යන මෙන් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටි විට, ඔහුගේ වයස ඒවන විට අවුරුදු 75ක් විය. තම සෙනෙහෙබර පුත් ඊසාක් ව පූජා කරන අවස්ථාව දක්වා යමින්, යෙහෝවඃ වහන්සේගේ දූතයා දර්ශනය වී ඔහුගේ අත නවත්වා පූජාව වැළැක්වූ විට පමණක් එය නවතාලමින් තම ඇදහිල්ලේ ශක්තිය ආබ්‍රහම් විසින් නිරූපනය කළායින් පසු සැනෙකින්, දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දිවුරුමකින් බැඳි ඔප්පුව ඔහු ලබා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 125ක් පමණ විණි. (උත්පත්ති 22:1-18) නුහුරු නුපුරුදු දේශයක තාවකාලික ව පදිංචිකරුවෙකු වූ ආබ්‍රහම්ට අවුරුදු පනහක් දීර්ඝ කාලයක් වූ නමුදු, වයස අවුරුදු 175 දී ඔහු මිය යන තෙක් තවත් අවුරුදු 50ක් ඔහු දරා ගෙන සිටියේ ය. මේ සියලු කාලයන් පුරා, ආබ්‍රහම් යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවෙකු ද අනාගතවක්තෘවරයෙකු ද වූයේ ය.—ගීතාවලිය 105:9-15.
13 ආබ්‍රහම්ගේ වංශය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පොරොන්දු වූ ආශීර්වාද ලබා ගැනීමට වුවමනා කරන දෙවියන් වහන්සේගේ සියලු සේවකයන් හට ආබ්‍රහම්ගේ ඇදහිල්ල සහ විඳදරා ගැනීම යම් රටාවක් සේ තබා තිබේ. (හෙබ්‍රෙව් 11:8-10, 17-19) ඔහු සම්බන්ධ ව හෙබ්‍රෙව් 6:11-15 දක්වා අපට මෙසේ කියවීමට තිබේ: “නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව. ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන් ගැන දිවුරමින්: සැබවින්ම නුඹට බොහෝසෙයින් ආශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් නුඹ වර්ධනයකරන්නෙමියි කීසේක. ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබා ගත්තේය.”
14. විඳදරා ගැනීමේ පරීක්ෂණය නිමාවක් නොමැති එකක් ය කියාත් විපාකය තේරුම් ගැනීමට අසීරු ය කියාත් අප සිතිය නොයුත්තේ මන්ද?
14 දැනටමත් අලේප ලත් ඉතිරි අයගෙන් සමහර දෙනෙක් ස්වර්ගයේ දී සැබෑ ක්‍රිස්තියානි සභාවේ මහිමයට පමුණුවනු ලැබීමට අපේක්ෂාවෙන් සිටි 1914 දී අන්‍ය ජාතීන්ගේ කාලවල් අවසානයේ සිට අවුරුදු 77ක් පසු වීම දැක ඇත. ඉතිරි කොටස තව කොපමණ කාලයක් බලා සිටිය යුතු ද කියා අප දන්නේ නැත. එසේ නම්, අප චංචල වී, මෙම බලා සිටීම නිමාවක් නැති එකක් ය සහ විපාකය තේරුම් ගැනීමට අසීරු හුදු සිතිවිලි මාත්‍රයක් පමණක් ය කියා සිතිය යුතු ද? නැත! එය දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කරන්නේවත්, උන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කරන්නේවත් නැත. අපට ජයග්‍රහණය සහ ප්‍රතිඵල කරවන සදාකාල ජීවනයේ ත්‍යාගය පවරා දෙන විට ලෝකය ඉදිරියේ උන් වහන්සේගේ යුක්ති සහගත බව ඔප්පු නොවනු ඇත. කාලයේ දිගු බව කුමක් වුවත්, ඉතිරි අය, තම ඇදහිලිවන්ත බැටළු ගුණැති හවුල්කරුවන් සමඟ, යෙහෝවඃ වහන්සේ උන් වහන්සේගේ නියමිත කාලයේ දී ක්‍රියා කරන තෙක් බලා සිටීමට අධිෂ්ඨාන කර ගෙන සිටිති. එවන් ආදර්ශවත් නොකඩවා බලා සිටීමක් පෙන්වමින්, ඔවුහු ආබ්‍රහම්ගේ ක්‍රියා මාර්ගය අනුගමනය කරති.—රෝම 8:23-25.
15. (අ) අපගේ ආදර්ශ පාඨය කුමක් ද? දෙවියන් වහන්සේ අප ව ජයග්‍රාහී ලෙස උසුලා ඇත්තේ කිනම් අත්දැකීම් තුළින් ද? (ආ) පාවුල් විසින් දෙන ලද කිනම් අනුශාසනාව අපගේ කාලයට ගැළපේ ද?
15 එසේ නම්, තවමත් ආදර්ශ පාඨය නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙහි නොසැලෙන විඳදරා ගැනීම යන්න ය. (රෝම 2:6, 7) පසුගිය කාලයේ දී, සිරගත කිරීම් සහ වධක බන්ධනාගාර ගත කිරීම් ඇතුළු, හිංසා පීඩාවල දී උන් වහන්සේ අප ව උසුලා ඇති අතර, ස්වකීය නාමය සහ අරමුණට ගෞරවය අත්කර දෙමින් ජයග්‍රාහී ව අප ව ගෙනැවිත් ඇත.a අපගේ පරීක්ෂණය සම්පූර්ණ වීම සඳහා ඉතිරි ව තිබෙන කාලය අතරතුරේ දී, යෙහෝවඃ වහන්සේ දිගට ම එය ම කරනු ඇත. පාවුල්ගේ අනුශාසනාව අපගේ කාලයට තවමත් ගැලපී තිබේ: “මන්ද ඔබට ස්ථිරසාර ඉවසීම සහ විඳදරා ගැනීම අවශ්‍ය ය, එවිට ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත කර එය සම්පූර්ණයෙන් ඉටු කිරීමට හැකි වනු ඇත, තවද මෙසේ පොරොන්දු වූ දෙය ලබා ගෙන, පිටතට ගෙන ගොස් මුළුමනින් භුක්ති විඳින්න.”—හෙබ්‍රෙව් 10:36, දි ඇම්ප්ලිෆයිඩ් බයිබල්; රෝම 8:37.
16. යෙහෝවඃ වහන්සේට වූ අපගේ කැප වීම දෙස හුදෙක් සීමිත ආකාරයකින් හෝ සැක සහිත ස්වභාවයකින් බැලිය නොයුත්තේ මන්ද?
16 මෙම දුෂ්ට ලෝකය මැද, අප ලවා කරවන්නට යෙහෝවඃ වහන්සේ හට වැඩ තිබෙන තාක්කල්, යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමෙන්, එම වැඩය නිමා වන තෙක් එහි නියැලීමට අපට වුවමනා ය. (යොහන් 17:4) අප දෙවියන් වහන්සේට කැප වූයේ අප උන් වහන්සේට ටික කලකට සේවය කර ඉන් පසු අර්මගෙදොනය පැමිණේ ය යන අවබෝධය මත නොවේ. අපගේ කැප වීම සදහට ම ය. දෙවියන් වහන්සේ අප සඳහා දී ඇති වැඩ අර්මගෙදොන් යුද්ධයත් සමඟ අවසන් වන්නේ නැත. කෙසේ වෙතත්, එම මහත් යුද්ධයෙන් ඔබ්බට තිබෙන උතුම් දේවල් අප දකිනු ඇත්තේ, අර්මගෙදොන්වලට පෙර අප විසින් කිරීමට තිබෙන වැඩය ඉටු කිරීමෙන් පසු පමණි. ඉන් පසු, උන් වහන්සේගේ වැඩ දිගට ම කිරීමේ සන්තෝෂදායක වරප්‍රසාදයට අමතර ව, උන් වහන්සේ පොරොන්දු වූ බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ආශීර්වාදවලින් අප විපාක ලබනු ඇත.—රෝම 8:32.
දෙවියන් වහන්සේ සඳහා ඇති ප්‍රේමය විඳදරා ගැනීමට අපට උපකාර කරයි
17, 18. (අ) පීඩාකාරි කාලයන්හි දී, දෙවියන් වහන්සේගේ අනුමැතිය සහිත ව විඳදරා ගැනීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක් ද? (ආ) ජයග්‍රහණය අත්කර ගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක් ද, ඉතිරි ව තිබෙන කාලය ගැන අප නොපවසන්නේ කුමක් ද?
17 සමහරවිට, පීඩාකාරී කාලයන්හි දී, අප මෙසේ අසනවා විය හැක: ‘අප තවදුරටත් විඳදරා ගන්නේ කෙසේ ද?’ පිළිතුර? අපගේ මුළු හෘදයෙන් ද, මනසින් ද, ආත්මයෙන් ද, ශක්තියෙන් ද දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙනි. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය [විඳදරා ගන්නේය NW] ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:4, 7, 8) දෙවියන් වහන්සේට ඇති ප්‍රේමය නිසා අප විඳදරා ගන්නේ නැත්නම්, අපගේ විඳදරා ගැනීමෙන් ඵලක් නැත. එහෙත්, යෙහෝවඃ වහන්සේට ඇති අපගේ භක්තිය නිසා අපි කරදරවලට යට වන විට දරා ගන්නෙමු නම්, උන් වහන්සේ සඳහා ඇති අපගේ ප්‍රේමය ගැඹුරු කිරීමේ බලපෑමක් අපගේ විඳදරා ගැනීමට තිබේ. විඳදරා ගැනීමට යේසුස් වහන්සේට හැකි කර වූයේ සිය පියාණන් වන දෙවියන් වහන්සේ සඳහා වූ ප්‍රේමයයි. (යොහන් 14:30, 31; හෙබ්‍රෙව් 12:2) අපගේ සැබෑ චේතනාව අපගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නම්, අපට විඳදරා ගැනීමට නොහැක්කේ කුමක් ද?
18 මෙම වඩාත් අර්බුද සහිත පරීක්ෂාකාරී කාලයන් අතරතුරේ දී, ලෝකයෙන් ජය ගෙන සිටීමට අපට හැකි කරවා තිබෙන්නේ යෙහෝවඃ වහන්සේ සඳහා වූ අපගේ නොසැලෙන ප්‍රේමයයි. තව ද, මෙම පැරණි දේවල පිළිවෙළට පැවතීම සඳහා අවසර දෙනු ලබන්නේ කොතරම් කලකට වුවත්, යෙහෝවඃ වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්, අපට අවශ්‍ය උපකාරය නොකඩවා දානය කරනු ඇත. (1 පේතෘස් 5:10) ඇත්තෙන් ම, තව කොතරම් කාලයක් ඉතිරි ව තිබේ ද කියා අපි අනාවැකි නොකියමු, තව ද අප යම් විශේෂ දිනයක් නියම කරන්නේ නැත. උතුම් කාල මාපකයාණන් වන යෙහෝවඃ වහන්සේට අපි එම කාරණය භාර කරමු.—ගීතාවලිය 31:15.
19, 20. (අ) විඳදරා ගනිමින් පසු කරන සෑම දවසක් දෙස ම අප බැලිය යුත්තේ කෙසේ ද? (ආ) අපට වැළකීමට වුවමනා විය යුත්තේ කිනම් අඥාන දෙයින් ද, තව ද ඒ මන්ද?
19 කෙසේ වුවද, “දේවල පිළිවෙළේ සමාප්තිය” සියැසින් දකිනු ඇති සහ අත්දකිනු ඇති බවට පුරෝකථනය කරන ලද පරම්පරාවේ අවුරුදු දැන් හොඳින් ගෙවී ගොස් තිබේ. (මතෙව් 24:3, 32-35) එමනිසා, අප විඳදරා ගනිමින් පසුවන සෑම දවසක් ම, සාතන් සහ ඔහුගේ භූතයන් හට ඔවුන්ගේ පැවැත්ම සමඟ විශ්වය දූෂණය කිරීමට තිබෙන කාලයෙන් එක දවසක් අඩු වන බවත්, යෙහෝවඃ වහන්සේ “විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන“ තවදුරටත් නොඉවසන කාලයට එක් දවසකින් ආසන්න බවත් අපි කිසි විටෙකත් අමතක නොකරමු. (රෝම 9:22) වැඩි කලක් ගත වන්නට මත්තෙන්, යෙහෝවඃ වහන්සේගේ බොහෝ කල් ඉවසීම නිමාවට පත් වන විට, අභක්තික මිනිසුන් සහ ස්ත්‍රීන් මත උන් වහන්සේ ස්වකීය උදහස වේගයෙන් වගුරවනු ඇත. මෙසේ, මෙම සියලු කාල පරිච්ඡේදයන් පුරා, ඔවුන්ට දිගට ම පවතින්නට ඉඩ හැරියත්, උන් වහන්සේ ඔවුන්ගේ ක්‍රියා මාර්ගය ගැන ස්වකීය දිව්‍යමය අප්‍රසාදය හෙළි කරනු ඇත.
20 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අප හට දීමට තබා තිබෙන මහිමාන්විත ත්‍යාගය දිනා ගැනීමට අප දරන ප්‍රේමනීය ප්රයත්නයන් නවතා දැමීම මහා අඥාන දෙයක් වනු ඇත. එසේ නොව, සර්වලෝක ස්වාධිපතියාණන් වශයෙන් තමන් ව ම නිදොස් කර ගන්නට යෙහෝවඃ වහන්සේ සූදානමින් සිටින මෙම අතිශයින් වැදගත් කාලයේ, උන් වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් ඇදහිලිවන්ත ව ඉදිරියට යාමට අපි අධිෂ්ඨාන කර ගනිමු. w91 11/1
[පාදසටහන්වල]
a නිදසුනක් වශයෙන්, ක්‍රිස්ටින් එලිසබෙත් කිං මෙසේ ලීවා ය: “[නාට්සි] ආණ්ඩුව අසාර්ථක වූයේ සාක්ෂිකරුවන්ට එරෙහි ව පමණි, මන්දයත් ඔවුන් දහස් ගණනක් මරා දමා තිබුණත්, වැඩය තවදුරටත් දිගට කෙරී ගෙන ගිය අතර, 1945 මැයි මාසයේ දී ජාතික සමාජවාදී ආණ්ඩුව නොතිබුණද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාර කණ්ඩායම තවදුරටත් ජීවමාන ව පැවතිණි. සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව ගණනින් වැඩි වී තිබුණු අතර, මොනයම් ආකාරයේ ඇදහිල්ල පාවා දීමක්වත් කර තිබුණේ නැත. ප්‍රාණ-පරිත්‍යාගින් දිනා ගෙන තිබූ මෙම ව්‍යාපාරය, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ යුද්ධයේ තවත් එක් සටනක සාර්ථක ව යුධ වැද තිබිණි.”—ද නාසි ස්ටේට් ඇන්ඩ් ද න රිලිජන්ස්: ෆයිව් කේස් ස්ටඩීස් ඉන් නොන්-කන්ෆෝර්මිටි, 193 වෙනි පිටුව.
ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?
◻ අපගේ විඳදරා ගැනීම පරීක්ෂණයට භාජනය කරනු ලැබීමෙන් වැළකීමට අපට නොහැක්කේ මන්ද?
◻ වැළකීමට අපට වුවමනා විය යුත්තේ කිනම් රැවටිල්ලෙන් ද?
◻ අපගේ පැත්තෙන් යම් දුර්වල වීමක් වළකාලනු පිණිස, අවශ්‍ය වන්නේ කුමක් ද?
◻ අපගේ ආදර්ශ පාඨය කුමක් ද?
◻ පීඩාකාරී කාලවල දී, විඳදරා ගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක් ද?
[11වන පිටුවේ පින්තූරය]
ට්‍රිනිඩෑඩ් හි පෝට් ඔෆ් ස්පේන් වරායේ සිටින මෙම සාක්ෂිකරුවන් මෙන්, දෙවියන් වහන්සේගේ ජනයා සෑම විට ම යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලා සිටීමට කැමැත්තෙන් සිට තිබේ