“ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය”
“ස්වාමීන්ගේ කිහිරි” යන අරුත් ඇති ආර්ස් ආර්-රබ් යන වෘක්ෂයන් රමණීය වූ ලෙබනොන් කඳුවල වැවෙයි. එක් කලක කඳුකරය ඇතිරිල්ලකින් මෙන් වසාගෙන තිබූ මෙම සදාහරිත වෘක්ෂ පිළිබඳව වෙනත් කිසිඳු ගසකට වඩා වැඩි වාර ගණනක්, එනම් 70 වරක් බයිබලයේ සඳහන් කර තිබේ.
ලෙබනොන්හි තේජවත් කිහිරි විස්තර කිරීම සඳහා, ශුද්ධ ලියවිල්ලේ “උතුම්” හා “උදාර” යන වචන යොදාගැනෙයි. (සාලමොන්ගේ ගීතිකාව 5:15; එසකියෙල් 17:23, NW) කිහිරිවල ප්‍රමාණය හා එම ලීයේ කල්පැවැත්ම නිසා, නිවෙස් හා නැව් සෑදීම මෙන්ම ලී බඩු සෑදීම සම්බන්ධයෙන්ද මෙම ලීය අතීතයේ සිට නම් දරා තිබේ. එම ලීයේ මනහර සුවඳ හා උණුසුම් රක්ත වර්ණය ඉතා ආකර්ෂණීය එකක් වන අතර, ඉහළ ප්‍රමාණවලින් තිබෙන ලාටු නිසා එය දිරාපත් වීමෙන් හා කෘමී ගහනයෙන් වළකාලයි. වෘක්ෂයන් පුදුමාකාර අන්දමින් උසට වැඩෙන අතර ප්‍රමාණයෙන්ද දැවැන්ත වෙයි; එය මීටර් 37ක උසක් දක්වාද මීටර් 12ක විෂ්කම්භයක් දක්වාද වැඩෙයි; තවද ගැඹුරටම කිඳා බසින ශක්තිමත් මුල්ද ඒවාට තිබේ. එසේනම්, වන සංරක්ෂකයන් විසින් මේවා “ශාක ලොවේ කිරුළු පළන් ගස” හැටියට හැඳින්වීම පුදුමයට කාරණයක් නෙවෙයි.
බයිබල් ලේඛක එසකියෙල් අනාවැකිමයව මෙසියස්ව කිහිරි රිකිල්ලකට සමාන කළ අතර, එය දෙවි විසින්ම හිටවනු ලබයි. (එසකියෙල් 17:22) ඇත්තෙන්ම, “කිහිරි” යන හෙබ්‍රෙව් වචනය “ස්ථිර වීම” යන මුල් අදහසින් නික්මෙන්නකි. අදදින, මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් උසැති, ස්ථිර වූ කිහිරි වෘක්ෂය මෙන්, ‘ඇදහිල්ලේ ස්ථිරව සිට, . . . ශක්තිමත්’ විය යුතුයි. (1 කොරින්ති 16:13) මෙය ඉටු කරගත හැක්කේ කොහොමද? ක්‍රිස්තියානි නොවන බලපෑම්වලට ස්ථිරව විරෝධය දැක්වීමෙන් හා අඛණ්ඩතාවේ හා දිව්‍ය භක්තියේ ගමන් මඟක නොසැලී විඳදරාගැනීමෙනි. තවද එසේ කරන අයව බයිබලයේ විස්තර කර ඇත්තේ මෙලෙසයි: එනම්, “ධර්මිෂ්ඨයා . . . ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය” කියායි.—ගීතාවලිය 92:12.