ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
සමාව දීමක් ගැළවීම සඳහා මාවත විවර කරයි
මිසර ආණ්ඩුකාරයා අභියස සිටගෙන සිටි යාකොබ්ගේ පුතුන් දසදෙනා මහත් තැතිගන්වනසුලු රහසක් ඇතුව සිටියා. අවුරුදු ගණනකට ඉහතදී ඔවුන් තම අර්ධ සහෝදර යෝසෙප්ව වහල්භාවයට විකුණලයි තිබුණේ. ඉන්පසු ඔවුන් තම පියාට කියන්න තීරණය කළේ යෝසෙප්ව වන මෘගයෙක් විසින් මරා දමා තිබුණු බවයි.—උත්පත්ති 37:18-35.
දැන්, එනම් අවුරුදු 20කට පමණ පසුව, ඇති වූ දරුණු දුර්භික්ෂයක් නිසා මෙම මිනිසුන් දසදෙනාට ධාන්‍ය ලබාගැනීම සඳහා මිසරයට පැමිණීමට සිදු වුණා. නමුත් සියල්ල සිතූ තරම් පහසු වූයේ නැහැ. ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන්ද පාලකයාව සිටි ආණ්ඩුකාරයා විසින් ඔවුන් ඔත්තුකාරයන්ය කියා ඔවුන්ට චෝදනා කරනු ලැබුවා. ඔහු ඔවුන්ගෙන් කෙනෙක්ව සිරභාරයට ගෙන, අනිත් අයට නැවත ගෙදර ගොස් ඔවුන්ගේ බාලම සහෝදරයා වන බෙන්යමින්ව ආපසු ගෙනෙන ලෙස අණ කළා. ඔවුන් එසේ කළ විට, බෙන්යමින්ව අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුකාරයා විසින් සැලැස්මක් දියත් කරනු ලැබුවා.—උත්පත්ති 42:1-44:12.
යාකොබ්ගේ පුතෙක් වන යූදා මෙයට විරුද්ධ වුණා. ‘අප බෙන්යමින් නැතුව ගෙදර ගියොත් අපේ පියා මැරෙයි’ කියා ඔහු පැවසුවා. එවිට, යූදාවත්, ඔහු සමඟ ගමන්ගත් සෙස්සන්ගෙන් කිසිවෙකුවත් නොසිතූ අන්දමේ දෙයක් සිදු වුණා. යාකොබ්ගේ පුතුන් හැර අනෙක් සියලුදෙනාට කාමරයෙන් ඉවත්ව යන්න අණ කිරීමෙන් පසු, ආණ්ඩුකාරයා මහත් ශබ්දයෙන් හඬා වැලපුණා. පසුව ඔහු යළි සන්සුන් වී මෙසේ ප්‍රකාශ කළා: “මම යෝසෙප්ය.”—උත්පත්ති 44:18-45:3.
අනුකම්පාසහගත වීම සහ මුදාගැනීම
“මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි” යෝසෙප් තම අර්ධ සහෝදරයන්ගෙන් විමසුවා. එයට කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඇත්තවශයෙන්ම, යෝසෙප්ගේ අර්ධ සහෝදරයන් නිරුත්තරව ගල්ගැසී සිටියා. ඔවුන් ප්‍රීතියෙන් පිනා යා යුතුද, නැතිනම් බියෙන් සලිත විය යුතුද? මන්දයත් මීට වසර 20කට ඉහතදී ඔවුන් මෙම මිනිසාව වහල්භාවයට විකුණා තිබුණා. ඔවුන්ව සිරගත කිරීමට, ආහාර නොදී ආපසු යැවීමට හෝ කරන්න පුළුවන් දරුණුම දේ වන ඔවුන්ව මරණයට පත් කිරීමට පවා, යෝසෙප්ට බලය තිබුණා! හොඳ හේතු ඇතුව යෝසෙප්ගේ අර්ධ සහෝදරයන්ට ‘ඔහුහට උත්තර දෙන්ට නොහැකි වුණා; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔවුන් කැලඹී සිටියා.’—උත්පත්ති 45:3.
යෝසෙප් ඉක්මනින්ම මෙම මිනිසුන්ගේ නොසන්සුන්බවේ හැඟීම් නැති කළා. ‘අනේ, මා ළඟට එන්න’ කියා යෝසෙප් පැවසුවා. ඔවුන් එයට අවනත වුණා. එවිට ඔහු මෙසේ පැවසුවා: “මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝප නොවන්න. මක්නිසාද [දෙවි] ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලාට පෙරටුව මා [එව්වේය].”—උත්පත්ති 45:4, 5.
යෝසෙප්ගේ දයාව පදනමක් නැතුව පෙන්වූ එකක් නොවෙයි. ඔහු ඒ වන විටත් ඔවුන් පසුතැවිලි වූ බවට සාක්ෂි දැක තිබුණා. උදාහරණයකට, යෝසෙප් තම අර්ධ සහෝදරයන් ඔත්තුකාරයෝයයි කියා චෝදනා කළ විට, ඔවුනොවුන් අතරේ මෙසේ කියාගන්නවා ඔහුට ඇසුණා: ‘සැබවින්ම අපි අපේ සහෝදරයා ගැන වැරදිකාරයෝය. එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේ.’ (උත්පත්ති 42:21) ඒ වගේම, බෙන්යමින්ට තම පියා වෙතට නැවත යෑමට හැකි වන පිණිස, තරුණයා වෙනුවෙන් වහලෙක් බවට පත්වීමට යූදා ඉදිරිපත් වී තිබුණා.—උත්පත්ති 44:33, 34.
එමනිසා යෝසෙප් දයාව පෙන්නුවේ සාධාරණ හේතු ඇතුවයි. ඇත්තවශයෙන්ම තමා එසේ කිරීමෙන්, තමන්ගේ මුළු පවුලටම ගැළවීම අත් විය හැකි බව ඔහු අවබෝධ කරගත්තා. එමනිසා තම පියා වන යාකොබ් වෙතට ආපසු ගොස් ඔහුට මෙසේ පවසන ලෙස යෝසෙප් තම අර්ධ සහෝදරයන්ට පැවසුවා: ‘ඔබගේ පුත්‍ර වූ යෝසෙප් මෙසේ කියයි—දෙවි මා මුළු මිසර දේශයට ස්වාමියා කළේය. ප්‍රමාද නොවී මා වෙතට එන්න. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසය කරමින් ඔබද, ඔබගේ දරුවෝද, ඔබගේ දරුවන්ගේ දරුවෝද, ඔබගේ එළු බැටළු රැළවල්ද, ඔබගේ ගව රැළවල්ද, ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය. . . . මම එහි ඔබ රක්ෂා කරන්නෙමි.’—උත්පත්ති 45:9-11.
වඩා ශ්‍රේෂ්ඨ යෝසෙප්
මෙම මිනිසුන් දෙදෙනා අතර කැපීපෙනෙන සමානකම් තිබෙන නිසා, වඩා ශ්‍රේෂ්ඨ යෝසෙප් හැටියට යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්න පුළුවන්. යෝසෙප්ට වගේ, යේසුටත් ආබ්‍රහම්ගේ පැවතෙන්නන් වන තම සහෝදරයන් විසින් අයුතු ලෙස සලකනු ලැබුවා. (ක්‍රියා 2:14, 29, 37 සසඳන්න.) ඒ වුණත්, මේ මනුෂ්‍යයන් දෙදෙනාම ඔවුන්ගේ ජීවිත තුළ අපූර්ව පරිවර්තනයක් අද්දැක්කා. කාලයාගේ ඇවෑමෙන්, වහලෙකු ලෙස තිබූ යෝසෙප්ගේ තත්වය, ඵාරාවෝට පමණක් දෙවැනි වන ආණ්ඩුකාරයෙකුගේ තත්වය දක්වා වෙනස් වුණා. ඒ හා සමානව, යෙහෝවා යේසුව මරණයෙන් නැඟිටුවා, වඩා ශ්‍රේෂ්ඨ තත්වයකට එනම් ‘දෙවිගේ දකුණතට’ උසස් කළා.—ක්‍රියා 2:33; පිලිප්පි 2:9-11.
ආණ්ඩුකාරයා හැටියට යෝසෙප්ට, ධාන්‍ය ලබාගැනීම සඳහා මිසරයට පැමිණි සියලුදෙනාටම, ආහාර සැපයීමට හැකි වුණා. වඩා ශ්‍රේෂ්ඨ යෝසෙප්ට, අදදින “නියම වේලාවට” ආත්මික ආහාර ලබා දීම සඳහා යොදාගන්නා විශ්වාස වූ නුවණ ඇති දාස පන්තියක් පොළොවේ සිටිනවා. (මතෙව් 24:45-47; ලූක් 12:42-44) ඇත්තවශයෙන්ම, යේසු වෙතට පැමිණෙන අයට ‘තවත් බඩගිනි වන්නේවත් පිපාසා වන්නේවත් නැත; මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවා ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයන්නේය.’—එළිදරව් 7:16, 17.
අපට පාඩමක්
යෝසෙප් දයාව පිළිබඳ කැපීපෙනෙන ආදර්ශයක් සපයනවා. දරදඬු ලෙස නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ඔහුට තමාව වහල්භාවයට විකුණූ අයට දඬුවම් කරන්න තිබුණා. නැතිනම් හැඟීම්වලට ඉඩ දීම තුළින් නිකම්ම ඔවුන්ගේ පාපය නොසලකා හරින්න ඔහු තුළ පෙලඹවීමක් ඇති වෙන්න ඉඩ තිබුණා. නමුත්, මේ දෙකෙන් එකක්වත් යෝසෙප් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු තම අර්ධ සහෝදරයන්ගේ පසුතැවිලි වීම පරීක්ෂා කළා. පසුව, ඔහු ඔවුන්ගේ දුක්වීම අව්‍යාජ එකක් බව දුටු විට, ඔවුන්ට සමාව දුන්නා.
අපටත් යෝසෙප්ව අනුකරණය කරන්න පුළුවන්. අපට විරුද්ධව පව් කර තිබෙන කෙනෙක් අව්‍යාජ ලෙස හෘදයාංගම වෙනස් වීමක් විදහාපෙන්වනවා නම්, අප ඔහුට සමාව දිය යුතුයි. හැබැයි අප කිසි විටකත්, හැඟීම්වලින් අන්ධ වී බරපතළ වැරදි නොදකින තත්වයට පත් නොවිය යුතුයි. අනිත් අතට, අප අවංක පසුතැවීමේ ක්‍රියා නොදකින තත්වයට පත්වීමට අමනාප හැඟීම්වලට ඉඩ දෙන එකත් සුදුසු නැහැ. එනිසා, අප ‘එකිනෙකා ගැන ඉවසමින් . . . එකිනෙකාට [නොමසුරුව, NW] සමාව දෙමින් සිටිමු.’ (කොලොස්සි 3:13) එසේ කිරීමෙන්, “කමාවෙන්ට සූදානම්” අපේ දෙවි යෙහෝවාව අප අනුකරණය කරන්න යනවා.—ගීතාවලිය 86:5; මීකා 7:18, 19.