15වෙනි පාඩම
යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
යෝසෙප් හිරේ ඉද්දී ඊජිප්තුවේ රජ වෙලා හිටියේ පාරාවෝ. දවසක් පාරාවෝ දැකපු හීනවල තේරුම කියන්න කාටවත් බැරි වුණා. ඉතින් සේවකයෙක් කිව්වා ඒ හීනවල තේරුම කියන්න යෝසෙප්ට පුළුවන් කියලා. පාරාවෝ ඉක්මනටම යෝසෙප්ට එන්න කිව්වා.
‘ඔයාට මගේ හීනවල තේරුම කියන්න පුළුවන්ද’ කියලා පාරාවෝ ඇහුවාම යෝසෙප් මෙහෙම කිව්වා. ‘ඊජිප්තුවට අවුරුදු හතක් ඇති තරම් කෑම තියෙයි. ඊටපස්සේ එන අවුරුදු හතේ ලොකු සාගතයක් එනවා. බුද්ධිමත් කෙනෙක්ව පත් කරලා කෑම එකතු කළොත් සෙනඟට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ.’ එතකොට පාරාවෝ මෙහෙම කිව්වා. ‘මං ඔයාව ඒකට තෝරගන්නවා. ඔයා තමයි මට පස්සේ ඊජිප්තුවේ ඉන්න බලවත්ම කෙනා.’ පාරාවෝගේ හීනවල තේරුම කියන්න යෝසෙප්ට පුළුවන් වුණේ යෙහෝවා එයාට උදව් කරපු නිසයි.
යෝසෙප් ඊළඟ අවුරුදු හත පුරාම කෑම එකතු කරලා ඒවා ගබඩා කළා. ඊටපස්සේ මුළු පොළොවටම ලොකු සාගතයක් ආවා. හැම තැනින්ම සෙනඟ ඇවිත් සල්ලි දීලා යෝසෙප්ගෙන් කෑම ගත්තා. ඊජිප්තුවේ කෑම තියෙනවා කියලා යාකොබ්ටත් ආරංචි වෙලා එයාගේ පුතාලව එහෙට යැව්වා.
එයාලව දැක්ක ගමන් යෝසෙප් එයාලව අඳුරගත්තා. ඒත් එයාලා යෝසෙප්ව අඳුරගත්තේ නැහැ. හීනවලින් දැක්කා වගේම එයාලා යෝසෙප්ට ආචාර කළා. අයියලා තාමත් නපුරුද කියලා බලන්න එයා මෙහෙම කිව්වා. ‘ඔයාලා ඔත්තුකාරයෝ, අපේ රටේ ආරක්ෂාව අඩු තැන් ගැන හොයන්නයි ඔයාලා ආවේ.’ එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘නෑ. අපි ආවේ කානාන්වල ඉඳන්. අපේ පවුලේ සහෝදරයෝ 12දෙනෙක්. එක මල්ලි කෙනෙක් මැරුණා. බාලම කෙනා තාත්තාත් එක්ක නතර වුණා.’ එතකොට යෝසෙප් මෙහෙම කිව්වා. ‘බාලයාව මෙහෙට එක්කගෙන එන්න. එතකොට ඔයාලා කියන්නේ ඇත්ත කියලා මං පිළිගන්නවා.’ ඊටපස්සේ එයාලා ගෙදර ගියා.
පවුලේ අයට තිබුණු කෑම ඉවර වුණාම යාකොබ් ආයෙත් පුතාලව ඊජිප්තුවට යැව්වා. මේ පාර එයාලා බාලම මල්ලි බෙන්ජමින්වත් අරගෙනයි ගියේ. යෝසෙප් එයාගේ රිදී කෝප්පේ බෙන්ජමින්ගේ මල්ලට දාන්න කියලා සේවකයන්ට කිව්වා. එයාට ඕන වුණේ අයියලව පරීක්ෂා කරලා බලන්නයි. ඒ රිදී කෝප්පේ බෙන්ජමින්ගේ මල්ලේ තිබිලා හම්බ වුණාම එයාගේ අයියලා හොඳටම බය වුණා. බෙන්ජමින්ට දඬුවම් කරන්නේ නැතුව එයාලට දඬුවම් කරන්න කියලා අයියලා කිව්වා.
අයියලා දැන් වෙනස් වෙලා කියලා යෝසෙප් දැනගත්තා. හිතේ තිබුණු ආදරේ හංගගෙන ඉන්න බැරිව එයාලව බදාගෙන අඬලා එයා මෙහෙම කිව්වා. ‘මං ඔයාලාගේ මල්ලි යෝසෙප්. මගේ තාත්තා තාම ඉන්නවාද? ඔයාලා මට කරපු දේ ගැන දුක් වෙන්න එපා. ඔයාලාගේ ජීවිත බේරගන්න තමයි දෙවියන් මාව මෙහෙට ගෙනාවේ. දැන් ඉක්මනට මගේ තාත්තාව එක්කගෙන එන්න.’
එයාලා ගිහින් ඒ ආරංචිය කියලා තාත්තාවත් එක්කගෙන ආවා. අවුරුදු ගාණකට පස්සේ යෝසෙප්ට ආයෙත් තාත්තාව හම්බ වුණා.
“ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔයාලාගේ පියාණන් ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.”—මතෙව් 6:15