වෙන්ඩා නමැති සාරවත් දේශය
ඉකුත් වූ දස වසර පුරා, මගේ බිරිඳ සහ මම වෙන්ඩා ජාතිකයන් අතර පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් හැටියට සේවය කළා. වෙන්ඩා ජාතිකයන් ජීවත් වන්නේ දකුණු අප්‍රිකාවේ උතුරෙහි ලිම්පෝපෝ ගඟේ දකුණු දෙසට වෙන්නයි. ඔවුන්ගේ ජාතිය ඉකුත් සියවස්වලදී ලිම්පෝපෝ ගඟින් එතෙර වූ ගෝත්‍ර ගණනාවකින් සෑදී තිබුණා. ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙහි පදිංචි වුණේ වසර 1,000කට පෙර බව සමහර වෙන්ඩා ජාතිකයන් පවසා සිටිනවා.
ඇත්තෙන්ම, මේ ප්‍රදේශය කලෙක මාපුන්ගුබ්වෙ රාජ්‍යය ලෙසින් හැඳින්වූ පැරණි ශිෂ්ටාචාරයක කොටසක් වුණා. එය දකුණු අප්‍රිකාවේ මුල්ම විශාල නාගරික ජනපදය බවට පත් වූ අතර, එය පුළුල්ව පැතිර ඇති ලිම්පෝපෝ මිටියාවතේ බටහිරෙහි බොට්ස්වානා සිට නැඟෙනහිරෙහි මොසැම්බික් දක්වා පාලනය කරනු ලැබුවා. පොදු යුගයේ 900 සිට පො.යු. 1100 දක්වා, මාපුන්ගුබ්වෙ ජනතාව, අරාබි වෙළෙඳුන්ට ඇත් දළ, ඇත් දත්, රයිනෝ අං, සත්ව හම්, තඹ හා රන් පවා සැපයුවා. මාපුන්ගුබ්වෙ ලෙස හඳුන්වන රජ පවුලේ සාමාජිකයන්ව මිහිදන් කළ කන්දකින් රත්තරන් ආලේප කර ඇති දක්ෂ ලෙස කැටයම් කරන ලද භාණ්ඩ හාරාගත්තා. මේවා “දකුණු අප්‍රිකාවේ රන් ආකර තිබුණ බවට මුල්ම ඇඟවීම්” අතරට වැටෙන බව එක් විශ්වකෝෂයක් අදහස් පළ කරනවා.
මෙහි තවදුරටත් රන් හාරන්නේ නැහැ. අදදින, වෙන්ඩා දේශය, සාරවත්භාවය සඳහා නම් දරා තිබෙනවා. සෝට්පාන්ස්බ’ග් කඳුවල දකුණෙන් සාරවත් මිටියාවතක් පිහිටා ඇති අතර, එහි අලිගැට පේර, කෙසෙල්, අඹ හා පේර බහුලව වැඩෙනවා. පීකෑන් හා මැකඩේමියා වැනි මදය සහිත ගෙඩිවලට අමතරව, එළවළු වර්ග බොහොමයකුත් එහි තිබෙනවා. මේවාට කැලෑ මුරෝහො ඇතුළත් වන අතර, එය නිවිතිවල රසයක් දෙන අතර, දේශීය වැසියන් එය වැඩි වශයෙන් ආහාරයට ගන්නවා.
වෙන්ඩා ජාතිකයන්, සාමකාමී, ආගන්තුක සත්කාරශීලී ජනතාවක්. අනපේක්ෂිත අමුත්තෙක් සඳහා කුකුල්මස් හදන්න කියා පවුලේ මූලිකයා ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. මෙය ළපටි ඉරිඟු ජාතියකින් සෑදූ ප්‍රධාන ආහාරයක් වන බූස්වා සමඟ ආහාරයට ගන්නවා. අමුත්තා පැමිණ ආපසු යන විට නිවසේ ප්‍රධානියා ඔහු සමඟ ටික දුරක් යනවා. මෙය අමුත්තෙකුට ගෞරවය දැක්වීමේ සම්ප්‍රදායික ක්‍රමයක්. කරුණාවන්ත ලෙස නැමී අත් දිගහැර එකට ඇතිල්ලීමෙන් ආචාර කිරීමට දරුවන්ට උගන්වා තිබෙනවා. වෙන්ඩා ස්ත්‍රීන් දෙන්නෙක් මෙලෙස සම්ප්‍රදායානුකූල ආකාරයකින් එකිනෙකාට ආචාර කරනවා ඔබට මේ පිටුවේ දැකගත හැකියි.
අමාරු භාෂාවක්
යුරෝපීය ආරම්භයක් තිබෙන ජනයාට වෙන්ඩා භාෂාව ඉගෙනගැනීම පහසු නැහැ. වචන හුඟකට එකම අක්ෂර තිබුණත් වෙනස් විදිහට උච්චාරණය කිරීම, එක දුෂ්කරතාවක් වෙනවා. දිනක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙන්ඩා සභාවකට බයිබල් කතාවක් දෙන අතරතුරේදී, හැම පුද්ගලයෙකුටම කතා කිරීමට සභාවට උනන්දු කරන්න මම උත්සාහ කරමින් සිටියා. “පුද්ගලයාගෙන් පුද්ගලයාට” කියනවා වෙනුවට “ඇඟිල්ලෙන් ඇඟිල්ලට” කියා මම කිව්ව නිසා සභාවේ හිටිය කෙනෙකුට සිනහව සඟවගන්න බැරිව ගියා.
ප්‍රසිද්ධ දේශනා වැඩයේදී වෙන්ඩා භාෂාවෙන් කතා කරන්න මම මුලින්ම උත්සාහ කළ අවස්ථාවේදී වෙන්ඩා කාන්තාවක් මෙහෙම කිව්වා: “මම ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ.” මම හිතුවේ තේරුම්ගන්න පුළුවන් විදිහට මම වෙන්ඩා භාෂාව කතා කළා කියලා වුණත්, ඇය හිතුවා ඒ ඉංග්‍රීසි කියලා! තවත් අවස්ථාවකදී මම ගෙයක් ළඟට ගිය විට, පවුලේ මූලිකයාට කතා කරන්න කියලා මම පොඩි එක්කෙනෙක්ට කිව්වා. පවුලේ මූලිකයාට කියන වෙන්ඩා වචනය තෝහො. වැරදීමකින් මම කියලා තියෙන්නේ තොහො කියලයි; ගෙදර වඳුරට කතා කරන්න පුළුවන්ද කියලයි මම අහලා තියෙන්නේ! මේ වගේ වැරදීම් මාව අධෛර්යයට පත් කළ නමුත් නොකඩවා උත්සාහ කිරීම නිසා මගේ භාර්යාවටයි මටයි දෙන්නටම සෑහෙනදුරකට වෙන්ඩාවලින් සංවාදයක් පැවැත්විය හැකියි.
ආත්මික ඵලදාව
වෙන්ඩා දේශය ආත්මික ආකාරයකින් සාරවත් වන බවට ඔප්පු වෙමින් තිබෙනවා. එක්දාස්නවසිය පනස් ගණන්වල, මසිනා නගරයේ තඹ ආකරයක වැඩ කිරීමට අසල්වැසි රටවලින් පැමිණ සිටි සංක්‍රමණිකයන්ගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් සෑදුණා. ඔවුන්ගේ ජ්වලිතවත් ක්‍රියා කලාපය වෙන්ඩා ජාතික බොහෝදෙනෙකුට බයිබල් සත්‍යයන් හඳුන්වා දුන්නා. අවුරුදු දහයකට පස්සේ වෙන්ඩා සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමක් සිබාසා නගරයෙහි පෞද්ගලික නිවසක රැස්වීම් පවත්වමින් සිටියා.
වර්ධනය ශීඝ්‍ර කිරීම සඳහා, වොච් ටවර් සමිතියේ දකුණු අප්‍රිකානු ශාඛාව මේ ඵලදායී ක්ෂේත්‍රය තුළට පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්ව යැව්වා. වැඩි කල් නොගොස්, සිබාසා කණ්ඩායම විශාල සභාවක් දක්වා වර්ධනය වුණා. ඒ කාලයේදී ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වුවේ පංති කාමරයකයි. කෙසේවෙතත්, කිලෝමීටර් 160ක් පමණ දකුණෙහි පිහිටි පීටස්බර්ග්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරයෙන් යාබද නගරයක් වූ ටොහොයාන්ඩොහි රාජ්‍ය ශාලාවක් ගොඩනඟනු ලැබුවා.
දකුණු අප්‍රිකාවේ උතුරෙහි වෙන්ඩා භාෂාව කතා කරන 5,00,000කට වැඩි ජනගහනයක් සිටිනවා. එක්දාස්නවසිය පනස් ගණන්වල මෙහි රාජ්‍ය දේශනා වැඩය පටන්ගත් විට වෙන්ඩා සාක්ෂිකරුවන් සිටියේ නැහැ. දැන් 150කට වඩා සිටිනවා. නමුත් තවමත් වැඩ නොකළ ප්‍රදේශ තිබෙන අතර සෑහෙන වැඩ කොටසක් කරන්න තිබෙනවා. වර්ෂ 1989දී අපි හාමුට්ෂා නම් වෙන්ඩා ගම්මානයකට යෑමට පටන්ගත්තා. එවිට එහි ජීවත් වෙමින් සිටියේ එක සාක්ෂිකරුවෙක් විතරයි. දැන් ඒ ගමේ රාජ්‍ය ප්‍රකාශකයන් 40කට වඩා ඉන්නවා. අපේ රාජ්‍ය ශාලාව සම්පූර්ණ කිරීමෙහි අපි කාර්ය බහුලව සිටින අතර පීටස්බර්ග් සභාවලින් පැමිණි සාක්ෂිකරුවන්ගේ උපකාරයටත්, වඩාත් ධනවත් රටවල සහෝදරයන්ගෙන් ලැබුණු මූල්‍යමය සම්මාදම්වලටත් නැවතත් ස්තුතිවන්ත විය යුතුයි.
අපි ජීවත් වෙන්නේ ගොවිපොළක කැරවෑන් (කුඩා ට්‍රේලර්) රථයකයි. අපේ ජීවිත සරලව තබාගැනීමෙන්, අපට ශුභාරංචිය සමඟින් දේශීය ජනයා වෙත ළඟාවීමට වැඩි කාලයක් තිබෙනවා. (මාර්ක් 13:10) ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවා දෙවි වෙත තම ජීවිත කැප කිරීමට බොහෝදෙනෙකුට උපකාර කිරීමේ ප්‍රස්තාව ඇතුව අප මහඟු ආශීර්වාද ලබාගෙන තිබෙනවා. පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොත මිතුරෙකුගේ නිවසේ තිබෙනවා දුටු මයිකල් නම් මනුෂ්‍යයා එක උදාහරණයක්.a ඔහු එය කියවීමට පටන්ගත් අතර, ඒ මොහොතේදීම සත්‍යය වටහාගත්තා. ඒ නිසා ඔහු තවත් බයිබල් පොත් පත් ඉල්ලා වොච් ටවර් සමිතියට ලිව්වා. මෑතකදී ප්‍රදේශයේ අපෝස්තලික පල්ලියක සාමාජිකයෙක් වශයෙන් ඔහු බව්තීස්ම වූ බව මයිකල් ඔහුගේ ලිපියේ පැහැදිලි කළා. “මම දේවරාජ්‍යයට යන්නේ වැරදි මාර්ගයකින් බව මම දැනගත්තා. මම ඔබේ සාමාජිකයන්ගෙන් කෙනෙක් වෙන්න තීරණය කළා; නමුත් මම දන්නේ නෑ ඒක කොහොමද කරන්නේ කියලා” යයි ඔහු තවදුරටත් ලිව්වා. ඉන්පසු ඔහු, ලිපිනය දීලා, ඔහුට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් එවන්න කියා ඉල්ලා සිටියා. මට පුළුවන් වුණා මයිකල්ව සොයාගෙන ගොස් ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගන්න. අදදින, ඔහු බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වන අතර යෙහෝවාට පක්ෂපාතව සේවය කරමින් සිටිනවා.
වර්ෂ 1997 දෙසැම්බර් මාසයේදී, අපි ටොහොයාන්ඩොහි ක්‍රීඩාංගණයක පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ, “දෙවිගේ වචනය කෙරෙහි ඇදහිල්ල” නම් දිස්ත්‍රික් සමුළුවට සහභාගි වුණා. 634දෙනෙක් ඊට පැමිණ සිටි අතර අලුත් අය 12දෙනෙක් බව්තීස්ම ලැබුවා. මට වෙන්ඩා භාෂාවෙන් කතා දෙකක් දීමට වරප්‍රසාද ලැබුණා. මේ සාරවත් දේශයෙහි ගත කළ අපේ සන්තෝෂවත් දශකයෙන් එය ඇත්තෙන්ම එක් සන්ධිස්ථානයක්!—දායකයෙකුගෙන්.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.