“ප්‍රියකරු කඳු එළුදෙනක්”
අප සාමාන්‍යයෙන් එළුදෙනකව විස්තර කිරීමේදී ප්‍රියකරු, සුන්දර වැනි කාව්‍යාලංකාර වචන භාවිත කරන්නේ නැහැ. එළුවා යන වචනය අපේ සවනට වැකුණ විට නිතැතින්ම සිහියට නැඟෙන්නේ සෑම දෙයක්ම ආහාරයට ගන්නා සතෙකුව මෙන්ම උගේ පෝෂ්‍යදායි කිරි සහ රසවත් මස පමණයි. ඇත්තෙන්ම ඌ ප්‍රියකරු සතෙක් කියා නොසිතෙන තරම්.
එහෙමනම්, බයිබලයේ භාර්යාවක්ව “ආදරණීය මුවදෙනක් සහ ප්‍රියකරු කඳු එළුදෙනක්” ලෙස විස්තර කර තිබෙන්නේ මන්ද? (හිතෝපදේශ 5:18, 19, NW) ඉශ්‍රායෙල් දේශය අවට වනජීවීන්ව හොඳින් නිරීක්ෂණය කළ කෙනෙකි, හිතෝපදේශ පොතේ ලේඛකයෙක් වන සාලමොන්. එමනිසා ඔහු භාර්යාවක් කඳු එළුදෙනකට උපමා කර ඇත්තේ හොඳ හේතු ඇතුව කියා අපට නිගමනය කළ හැකියි. (1 රාජාවලිය 4:30-33) ඔහුගේ පියා වූ දාවිත් මෙන් ඔහුද මළ මුහුදේ වෙරළ අසල පිහිටි ඒන්-ගෙදිය නම් ප්‍රදේශයේ නිතර දෙවේලේ ගැවසෙන කඳු එළුවන්ව නිරීක්ෂණය කරන්න ඇති.
යුදයේ පාළුකරයෙහි වෙසෙන කුඩා කඳු එළු රැළවල් ඒන්ගෙදියේ තිබෙන ජලාශය වෙතට ජලය සොයා නිතරම පාහේ පැමිණෙනවා. එම නිසරු භූමියේ ඕනෑම වේලාවක ජලය සොයාගත හැකි එකම ප්‍රදේශය ඒන්ගෙදිය වන නිසා සියවස් ගණනාවක් පුරාම කඳු එළුවන් ඒ වෙතට ඇදී එනවා වෙනවා. ඇත්තෙන්ම, ඒන්ගෙදිය යන වචනයෙහි අර්ථය වන්නේ “එළු පැටවාගේ උල්පත” යයි විශ්වාස කෙරෙනවා. එම ප්‍රදේශයේ නිතර දෙවේලේ එළු පැටවුන්ව දැකගන්න පුළුවන් බවට එය කදිම සාක්ෂියක්. එක් අවස්ථාවකදී දාවිත් රජුට පලා යන්නෙක් ලෙස ‘වල් [කඳු, NW] එළුවන් ගැවසෙන පර්වතවල’ ජීවත් වෙන්න සිදු වුණත්, ඔහුට සාවුල් රජුගෙන් පැමිණි පීඩාවලින් බේරී සිටින්ට එවැනි ස්ථාන උපකාරවත් වුණා.—1 සාමුවෙල් 24:1, 2.
අද පවා ඔබට අයිබෙක්ස් යන නමින් හඳුන්වන කඳු එළුදෙනව ඒන්ගෙදිය ප්‍රදේශයට ගොස් දැකබලා ගත හැකියි. එහිදී, ජලය තිබෙන ස්ථානයක් බලා යන එළුවෙකුගේ පිටුපසින් එළුදෙන ඉතා ශෝභමාන ලීලාවකට කඳු බෑවුමක් දිගේ පහළට බසිනවා ඔබට දැකගත හැකියි. එම දර්ශනය දුටු විට සාලමොන් පක්ෂපාතී භාර්යාවක් කඳු එළුදෙනකට සමාන කළේ ඇයි කියා සමහරවිට ඔබට තේරුම්ගැනීමට පුළුවන් වේවි. කඳු එළුදෙනගේ නිශ්චල ස්වභාවය මෙන්ම චිත්තාකර්ෂණීය ගමන දුටු විගසම කාන්තාවක් මතක් වන බව නම් නිසැකයි. ඇත්තෙන්ම, “ප්‍රියකරු” යන වචනය යොමු දක්වන්නේ කඳු එළුවාගේ චිත්තාකර්ෂණීය මෙන්ම ශෝභමාන පෙනුමටයි.a
අයිබෙක්ස් එළුදෙන ශෝභමාන සතෙක්. ඒ වගේම ඌට ඕනෑම දුෂ්කර තත්වයකට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. යෙහෝවා යෝබ්ට පෙන්වූ ආකාරයට කඳු එළුදෙන පැටවුන් බිහි කරන්නේ පර්වතවලයි. ඒ කියන්නේ පහසුවෙන් එළඹිය නොහැකි, රළු, ගල්පර සහිත ස්ථානවලයි. සමහර අවස්ථාවලදී එවැනි ස්ථානවල ආහාර හිඟ විය හැකි අතර, දරාගත නොහැකි උෂ්ණත්වයක්ද තිබිය හැකියි. (යෝබ් 39:1) කොතරම් දුෂ්කරතා මධ්‍යයේ සිටියත් කඳු එළුදෙන තම පැටවුන් රැකබලා ගනිමින්, උන්ටත් ගල්පර අතරින් ශෝභමාන ලෙස ගමන් කිරීමට උගන්වනවා. අයිබෙක්ස් එළුදෙන තම පැටවුන්ව සතුරන්ගෙන් ආරක්ෂා කරන්නේ ඉතා නිර්භීත ලෙසයි. මේ සම්බන්ධයෙන් එක් නිරීක්ෂකයෙක් පැවසුවේ, කඳු එළුදෙනක් තම පැටවා බේරාගැනීමට උකුස්සෙක් සමඟ පැය භාගයක්ම පොර බැදූ සැටිත්, පැටවා තම මවට මුවා වී රැකවරණය ලබාගත් සැටිත් තමා දුටු බවයි.
බොහෝ අවස්ථාවලදී ක්‍රිස්තියානි භාර්යාවන්ට සහ මව්වරුන්ට තම දරුවන්ව ඉතා අමාරු තත්වයන් යටතේ හදාවඩා ගැනීමට සිදු වෙනවා. ඔවුනුත් කඳු එළුදෙනුන් මෙන් දෙවිගෙන් ලද මෙම වගකීම පරාර්ථකාමී ලෙස හා ලොකු කැපවීමකින් ඉටු කරනවා. තම දරුවන්ගේ ආත්මිකත්වය දුර්වල කරන බලපෑම්වලින් ආරක්ෂා කිරීමටද ඔවුන් කිසිවිටකත් පසුබට වන්නේ නැහැ. මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ, සාලමොන් ස්ත්‍රීන්ව කඳු එළුදෙනුන්ට සමාන කළේ ඔවුන්ට අවමන් කිරීමේ අදහසින් නොවන බවයි. ඒ වෙනුවට ඔහු වෑයම් කළේ ස්ත්‍රියකගේ ශෝභමාන හා අලංකාර ගතිලක්ෂණවලට යොමු දැක්වීමටයි. ඔව්, ඉතාම අමාරු තත්වයන් යටතේ පවා කැපීපෙනෙන ලෙස විදහාපෙන්වන ආත්මික ගුණාංගවලට යොමු දැක්වීමටයි.
[පාදසටහන]
a ද නියූ බ්‍රවුන් ඩ්‍රයිවර් බ්‍රිගස් ජෙසෙනියස් හීබෲ ඇන්ඩ් ඉංග්ලිෂ් ලෙක්සිකන් නමැති ශබ්දකෝෂයට අනුව, “ප්‍රියකරු” වශයෙන් පරිවර්තනය කර තිබෙන චෙන් නමැති හෙබ්‍රෙව් වචනය මේ අවස්ථාවේදී යොදාගෙන ඇත්තේ ‘ශෝභමාන හෝ චිත්තාකර්ෂණීය පෙනුම හා ස්වභාවය’ විස්තර කිරීමටයි.
[30, 31වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි භාර්යාවක් හා මවක් දෙවිගෙන් ලද තම වගකීම් ඉටු කරද්දී ඉතා කැපීපෙනෙන ආත්මික ගුණාංග විදහාපෙන්වනවා