“ඔබ ඉතා ශ්‍රේෂ්ඨ ස්ත්‍රියක්”
මෙම ප්රශංසාත්මක වදන් පවසන ලද්දේ මෝවබ් ස්ත්‍රියක් වූ රූත්ටය. ඈ වැන්දඹුවකි. එමෙන්ම ඉශ්රායෙල් ස්ත්‍රියක් වූ නායොමිගේ ලේලිය. අවුරුදු 3000කට පමණ පෙර ඉශ්රායෙලය විනිශ්චයකරුවන් විසින් පාලනය කරන ලද සමයේදී රූත් ශ්‍රේෂ්ඨ ස්ත්‍රියක් යන නාමයට උරුමකම් කීවාය. (රූත් 3:11, NW) මෙවන් කීර්තිමත් නාමයක් ඇය ලබාගත්තේ කෙසේද? සහ ඇය ලබාගත් කීර්ති නාමයෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කාටද?
‘ඈ අලසකමේ කෑම නොකෑ’ තැනැත්තියකි. අස්වැන්න නෙළූ පසු ඉතිරි වන දෑ අහුලා ගැනීමට රූත් වෙහෙස මහන්සිය නොබලා බොහෝ වේලාවක් වැඩ කළාය. පැසසුම් ලබන්න මඟ පෑදුවේ ඇගේ කාර්යය ශූරත්වයයි. ඇගේ වැඩ කොටස ලිහිල් කිරීමට උත්සාහ දරනු ලැබූ මුත් අපේක්ෂා කළාටත් වඩා ඈ වෙහෙසී වැඩ කළාය. ඇත්ත වශයෙන්ම ප්‍රශංසා කටයුතු, දක්ෂ, කඩිසර භාර්යාවක් පිළිබඳව බයිබලයෙහි සඳහන් විස්තරය ඇයට හොඳින් ගැළපෙනවාය කියා කිව හැක.—හිතෝපදේශ 31:10-31; රූත් 2:7, 15-17.
ගෞරවාදරයට පත්වීමට මූලික වශයෙන් ඉවහල් වුණේ ඈ සතු වූ නිහතමානීකම, ආත්ම පරිත්‍යාගශීලිබව සහ පක්ෂපාත ප්‍රේමය වැනි ආත්මික ගුණාංගයි. විවාහයක් තුළින් ලැබෙන්නාවූ සුරක්ෂිතභාවයක් ගැන බලාපොරොත්තු තබාගත නොහැකි වුවත් ඇගේ මාපියන් සහ මව්බිම අත්හැර නයෝමි සමඟ සිටීමට ඇය තීරණය කළාය. එමෙන්ම ඇගේ නැන්දම්මා නමස්කාර කළ යෙහෝවා දෙවිට සේවය කිරීමටත් කැමැත්ත ප්‍රකාශ කළාය. ඇගේ වටිනාකම කොතරම්ද කියා පෙන්වීම සඳහා ලියවිලිවල ඈ ගැන මෙසේ කියා තිබේ. ‘පුත්‍රයන් සත්දෙනෙකුට වඩා ඈ යහපත්ය.’—රූත් 1:16, 17; 2:11, 12; 4:15.
රූත්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ වාර්තාව ඇයගේ මිතුරු මිතුරියන් අතර ප්‍රචලිත විය. නමුත් වඩා වැදගත් වූයේ ඇගේ ගුණාංග දෙවි අගය කිරීමත් යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තණිය වීමේ වරප්‍රසාදය ඇයට ලබා දීමත්ය. (මතෙව් 1:5; 1 පේතෘස් 3:4) රූත් ක්‍රිස්තියානි ස්ත්රීන්ට පමණක් නොව යෙහෝවාට නමස්කාර කරන සෑම කෙනෙකුටම අගනා ආදර්ශයක්!