සාබා දූපතේ සංචාරයක්
ඕලන්දයේ පාලනය යටතේ තිබෙන සාබා නම් දූපත වරක් කැරිබියන් මුහුද පුරා යාත්‍රා කළ මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක් විය. මෙම කුඩා දූපත පුවටෝ රිකෝ නම් දූපතට කිලෝමීටර් 240ක් නැඟෙනහිරින් පිහිටා ඇති අතර, එහි ජනගහනය 1,600කි. ඔවුන්ගෙන් පස්දෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෝය. මෙම නිර්භීත සාක්ෂිකරුවන් පස්දෙනා මුහුදු කොල්ලකරුවන්ට වඩා වෙනස්ය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව සෙවීමයි.—ක්‍රියා 13:48.
දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුල් වතාවට මෙම දූපතේ වැසියන්ට දැනගන්නට ලැබුණේ 1952 ජූනි 22වන දාය. (මතෙව් 24:14) ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මීටර් 18ක් දිග සීබියා නම් වූ රුවල් නැවෙන් එම දූපතට සේන්දු වූ විටයි. ගස්ට් මැකි සහ ස්ටැන්ලි කාටර් යන පූර්ණ කාලීන දේශනාකරුවන් දෙදෙනාට සාබා දූපතේ අගනුවර වන බොටම් ගමට පිවිසීම සඳහා පඩි 500ක පියගැට පෙළක් නැඟීමට සිදු විය.a අවුරුදු සිය ගණනක් පුරා දූපතේ වැසියන්ව මුණගැසීමට යෑමට තිබුණේ ඒ දුෂ්කර මාර්ගය පමණි.
සාබා දූපතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන සේවය මුල් වරට වාර්තා වූයේ 1966 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහිය. ඒ වාර්තාවට අනුව එම දූපතේ ඒ වන විට සිටියේ එක් සාක්ෂිකරුවෙකු පමණි. පසුව කැනඩාවෙන් සාක්ෂිකරුවන් පවුලක් එහි ගොස් ශුභාරංචිය දේශනා කරමින් අවුරුදු කිහිපයක්ම ගත කළෝය. වඩාත් මෑතකදී එක්සත් ජනපදයේ විශ්‍රාම ගිය යුවළක් වන රසල් සහ කැති සාබා දූපතට ගොස් එහි සේවයේ හවුල් වූහ. අපි ඔවුන්ගේ කතාවට සවන් දෙමු.
සාබා දූපතට ගිය දා
මගේ බිරිඳයි මමයි ගමන් කළ ගුවන් යානය සාබා දූපතට ගොඩ බැස්සා. එම දූපතේ 1990ගණන්වල සිටි එකම සාක්ෂිකරුවා වූ රොනල්ඩ් තමයි අපිව එහෙට ආරාධනා කරලා තිබුණේ. ඔහු අපි එන තුරු ගුවන් තොටුපොළේ බලාගෙන සිටියා. එම දූපතේ කෘෂිකාර්මික බෝග වගාව මහ පරිමාණයෙන් කරන්නේ නැති නිසා, අපි තෑග්ගක් වශයෙන් ඔහුට එළවලු ටිකක් ගෙන ගියා. ඔහු ඒ ගැන හුඟාක් සතුටු වුණා. ඊට පස්සේ අපි කුඩා ට්‍රක් රථයකට නැඟලා අක්‍රිය ගිනිකන්දක් වන සීනරි කන්දේ මුදුන දක්වා හෙමිහිට හෙමිහිට අමාරුවෙන් ගමන් කළා.
හෙල්ස් ගේට් කියන ගම අසල අපි මදකට නතර වුණා. රොනල්ඩ්ට ඕන වුණා ඉරුදින ප්‍රසිද්ධ කථාව සඳහා ආරාධනා පත්‍රයක් තවමත් ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවේ තිබෙනවාද කියා බලන්න. එය තවමත් තිබෙන බව දැනගැනීමෙන් අපි ගොඩාක් සතුටු වුණා. ඔහු ට්‍රක් රථයට නැවතත් ගොඩ වෙලා අපව ගෙන ගියා වින්ඩ්වර්ඩ්සයිඩ් නමින් හැඳින්වූ එම දූපතේ ලොකුම ගමට. මුහුදු මට්ටමින් මීටර් 400ක් පමණ උසකින් සහ දූපතට හොඳින් සුළං හමන පැත්තක තමයි මෙම චමත්කාරජනක ගම්මානය පිහිටා තිබුණේ. රොන්ගේ ගේට්ටුවෙන් අපි ඇතුල් වුණ ගමන්ම ඔහුගේ ගේ ඉස්සරහම එල්ලා තිබූ ලස්සන වර්ණවත් නාම පුවරුවක් අපි දැක්කා. ඒ නාම පුවරුවෙන් කියවුණේ ඔහුගේ නිවස යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක් බවයි.
දහවල් ආහාරය ගන්න කොට මම ඔහුගෙන් විශේෂ ප්‍රශ්නයක් ඇහැව්වා. “ඔයා දේවරාජ්‍ය ගැන දේශනා කරන්න සාබා දූපතට ආවේ කොහොමද?” ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගන්න තිබුණු ආසාව නිසා තමයි අපි මේ ගමන වුණත් ආවේ.
රොන් දීපු පිළිතුර මෙයයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පුවටෝ රිකෝ ශාඛා කාර්යාලයේ ගොඩනැඟිලි කටයුතු 1993දී ඉවර වුණා. එහි සේවය කළ මගේ බිරිඳටයි මටයි විදේශ රටක දිගටම සේවය කිරීමට ආශාවක් තිබුණා. ඊට කලින් අපි සාබා දූපතට ඇවිත් තිබුණා වෙනත් පුරෝගාමි යුවළක් සමඟ. ඒ කාලයේදී මෙහි වැසියන් 1,400ක් හිටියත් සාක්ෂිකරුවන් එක් කෙනෙක්වත් හිටියේ නැහැ. ඉතින් මෙහි පදිංචි වෙන්න අපි කැමති බව පුවටෝ රිකෝ ශාඛා කමිටුවට අපි දැනුම් දුන්නා.
“අපේ සැලසුම් සියල්ලක්ම සාර්ථක වුණා. අවසානයේදී මෙහි පදිංචි වීමට අපට අනුමැතිය ලැබුණා. නමුත් කනගාටුවට කාරණයක් තමයි අපි පදිංචි වෙලා වසර දෙකකින් මගේ බිරිඳ සෑහෙන්න අසනීප වීම. ඉතින් අපි කැලිෆෝනියාවට නැවත ගියා. එහිදී මගේ බිරිඳ මිය ගියා. යමක් පටන්ගත්තාට පස්සේ ඒක අතරමඟ නතර කරන්න මම කැමති නැහැ. ඒ නිසා මම නැවතත් සාබා දූපතට ආවා.”
සාබා දූපතේදී ගෙයින් ගෙට සාක්ෂි දැරීම
රොන්ගේ වසර සීයක් පැරණි ගෙයි සාලය රාජ්‍ය ශාලාවක් හැටියටත් පාවිච්චි කළා.b අපි දේශනා සේවයේ යන්න පෙර උදේ ආහාරය රස කර කර කකා ඉන්න ගමන් වැස්සක් වැහැලා කුස්සිය ටිකක් තෙමුණා. ඉඳ හිට වහින වැසි සමඟම අපි බොටම් ගමේ ගෙයින් ගෙට සේවයේ යෙදුණා. හැම ගෙදරකම රොන් ගෙවැසියාව නමින්ම ඇමතුවා. මෑතකදී ප්රවෘත්තිවල සඳහන් වූ යමක් අපි අපගේ සාකච්ඡාවට පදනමක් හැටියට යොදාගත්තා. ගොඩාක් අය රොන්ව හොඳට අඳුරනවා. ඒ වගේම ඔහු කරන සේවය ගැනත් ඔවුන් දන්නවා. ඉතින් ඔවුන් කැමැත්තෙන් සඟරා පොත් පත් ලබාගත්තා.
ඔබ ගම්වැසියන්ව හොඳින් අඳුරන්නේ නැත්නම් දේවරාජ්‍ය පණිවුඩයට උනන්දුවක් දක්වන අය ගැන වාර්තාවක් තබාගැනීම අසීරු දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇයි? “හැම ගෙයකටම එකම පාටින් තීන්ත ආලේප කරන්න කියා රජයෙන් ඔවුන්ට නියම කර තිබෙනවා” කියා රොන් පවසනවා. ඇත්ත නේන්නම්! මම වටපිට බැලුවාම තමයි මටත් තේරුණේ හැම ගෙයකටම සුදු පාට තීන්ත ආලේප කරලා තිබුණා කියලා. වහලවල් ටික ඔක්කොම රතු පාටයි!
අපගේ බයිබල් සාකච්ඡාවෙන් පසුව අපි ගේහිමියාට ආරාධනා කළා රාජ්‍ය ශාලාවේ ඉරිදා පැවැත්වෙන ප්‍රසිද්ධ බයිබල් දේශනයට පැමිණෙන්න කියා. දූපතේ ඉන්න කාලෙට රොන් සෑම සතියකම ප්‍රසිද්ධ කථාවක් දෙනවා. දැනට සාබා දූපතේ බයිබල් පාඩම් 17ක් පැවැත්වෙනවා. ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 20දෙනෙක් 2004දී රැස් වුණා. ඒක හරිම කුඩා සංඛ්‍යාවක් වගේ පෙනුණත්, සාබා දූපතේ සිටින මුළු ජනගහනයෙන් සියයට එකක් ඉන් නියෝජනය වෙනවා!
ඇත්ත වශයෙන්ම ගැලවීම සම්බන්ධ දෙවිගේ පණිවුඩය හැකි තරම් මිනිසුන්ට කියා දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම උත්සාහයක්ම දරා තිබෙනවා. සාබා වැනි කුඩා දූපතක වුවත් මුළු මහාද්වීපයක් පුරා වුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” යන ආඥාව විශ්වසනීය ලෙස ඉටු කරමින් සිටිනවා.—මතෙව් 28:19.
අපේ සංචාරය අවසන් වුණාම අපි හරිම දුකින් රොන්ගෙන් සමුගෙන ගුවන් යානයට නැග්ගා. සාබා දූපතට අපි ගිය ඒ ගමනත්, බොටම් ගමට යන්න අපි කන්ද නැග්ග ආකාරයත් සැමදා අපගේ මතකයේ රැඳේවි!
[පාදසටහන්වල]
a ගිනි කන්දක් පිපිරී යෑම නිසා ඇති වූ විශාල වළක එම ගම පිහිටා තිබෙන බව මුහුදු කොල්ලකරුවන් විශ්වාස කළ නිසා එම ගමට බොටම් යන නම ඔවුන් තැබුවා යයි විශ්වාස කෙරේ.
b වර්ෂ 2003 සැප්තැම්බර් 28වන දා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවෙන් ස්වේච්ඡා සේවක පිරිසක් සාබා දූපතට ගොස් රොන්ගේ ගෙය අසල පිහිටි ගොඩනැඟිල්ලක් අලුත් වැඩියා කළා. දැන් එහි තිබෙන රාජ්‍ය ශාලාව එයයි.
[10වන පිටුවේ සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
පුවටෝ රිකෝ
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පසුබිම: www.sabatourism.com