නිරාහාරව සිටීමෙන් දෙවිට ළං විය හැකිද?
‘නිරාහාරව සිටීමෙන් කෙනෙකුට දෙවි සමඟ තිබෙන සබඳතාව ගැන ගැඹුරින් සිතා බලන්න හැකි වෙනවා. ඒ වගේම ජීවිතයේ ප්‍රධානතම දේ වන්නේ ධන සම්පත් නොවන බව තේරුම්ගන්නත් එය උපකාරවත් වෙනවා.’—කතෝලික කාන්තාවක්.
‘නිරාහාරව සිටීම දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට උපකාරවත් වෙනවා.’—යුදෙව් ආගම උගන්වන ගුරුවරයෙක්.
‘මගේ ආගමට අනුව නිරාහාරව සිටීම කළ යුතුම දෙයක්. ඒකෙන් දෙවිට වූ මගේ භක්තිය හා ස්තුතිවන්තභාවය පෙන්වන්න පුළුවන්. මම ඒක කරන්නේ දෙවිට ප්‍රේම කරන නිසයි.’—බහයි ආගමික බැතිමතෙක්.
නිරාහාරව සිටීම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ජයින හා යුදෙව් ආගම ඇතුළු බොහෝ ආගම්වල බැතිමතුන් අතර දක්නට තිබෙන චාරිත්‍රයක්. බොහෝදෙනා සිතන්නේ යම් කාලපරිච්ඡේදයක් පුරා ආහාර නොගෙන සිටීමෙන් දෙවිට වඩාත් ළං විය හැකි බවයි.
ඒ ගැන ඔබේ අදහස කුමක්ද? ඔබත් නිරාහාරව සිටිය යුතුද? මේ ගැන ශුද්ධ බයිබලයේ ඇති අදහස කුමක්ද?
බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?
පුරාණයේ දෙවිට නමස්කාර කළ අය විවිධ හේතූන් නිසා නිරාහාරව සිටි අතර ඊට දෙවිගේ අනුමැතියද ලැබුණා. සමහරුන් නිරාහාරව සිටියේ දැඩි ශෝකය හා පසුතැවිලි වීම ප්‍රකාශ කිරීමක් ලෙසයි. (1 සාමුවෙල් 7:4-6) තවත් අය දෙවිගේ මඟ පෙන්වීම අයදීමටත් එසේ කළා. (විනිශ්චයකාරයෝ 20:26-28; ලූක් 2:36, 37) නැතහොත් යම් කාරණා ගැන ගැඹුරින් කල්පනා කරන විට අවධානය යොමු කර තබාගැනීමට එසේ කළා.—මතෙව් 4:1, 2.
කෙසේවෙතත් සමහර අය නිරාහාරව සිටියත් දෙවි එය අනුමත කළේ නැහැ. උදාහරණයකට අතීතයේ සිටි සාවුල් රජ ශාස්ත්‍ර කියන ස්ත්‍රියක් හමු වෙන්න යන්න කලින් නිරාහාරව සිටියා. (ලෙවී කතාව 20:6; 1 සාමුවෙල් 28:20) එමෙන්ම යෙසබෙල්ද එසේ නිරාහාරව සිටියා. (1 රාජාවලිය 21:7-12) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානියෙක් වූ පාවුල්ව මරා දමන තුරු නොකා නොබී සිටීමට අදිටන් කරගත් පිරිසක් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 23:12-14) යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන්ද පුරුද්දක් ලෙස නිරාහාරව සිටියා. (මාක් 2:18) නමුත් යේසුස් ඔවුන්ව හෙළාදැක්කා. දෙවි ඔවුන්ව පිළිගත්තේද නැහැ. (මතෙව් 6:16; ලූක් 18:12) එමෙන්ම නරක ක්‍රියා හා චේතනා නිසා නිරාහාරව සිටි සමහර ඊශ්‍රායෙල්වරුන් ගැන දෙවි සතුටු වුණේ නැහැ.—යෙරෙමියා 14:12.
එම උදාහරණවලින් පැහැදිලි වන්නේ අතීතයේ සිටි අයට දෙවිව සතුටු කිරීමට නිරාහාරව සිටීම පමණක් ප්‍රමාණවත් නොවූ බවයි. කෙසේවෙතත් නිරාහාරව සිටීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගත් අය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. එසේනම් අද සිටින ක්‍රිස්තියානීන්ටත් නිරාහාරව සිටීම මගින් දෙවිගේ අනුමැතිය ලබාගත හැකිද?
ක්‍රිස්තියානීන් නිරාහාරව සිටීම අත්‍යවශ්‍යද?
දෙවි මෝසෙස්ට ලබා දුන් නීතියේ යුදෙව්වන්ට ආඥා කර තිබුණේ ඔවුන්ගේ “පව් ගැන දුක් වෙමින්” වසරකට වරක් නිරාහාරව සිටින ලෙසයි. (ලෙවී කතාව 16:29-31, නවලොව පරිවර්තනය, NW; ගීතාවලිය 35:13) නිරාහාරව සිටින්න කියා දෙවි ඔහුගේ සෙනඟට ආඥා කළ එකම අවස්ථාව එයයි.a යුදෙව්වන්, මෝසෙස්ට දෙන ලද නීතිය යටතේ සිටි නිසා ඔවුන් එම නීතිය පිළිපැද්දා. නමුත් දෙවි එදා මෝසෙස්ට දුන් නීතිය පිළිපැදීමට අද දින සිටින ක්‍රිස්තියානීන් බැඳී නැහැ.—රෝම 10:4; කොලොස්සි 2:14.
මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් ලෙස යේසුස්ද නිරාහාරව සිටියා. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැහැ. ඒ වගේම ඔහු තම අනුගාමිකයන්ට එසේ කරන්න කියා ආඥා කළේද නැහැ. නමුත් ඔවුන් නිරාහාරව සිටීමට කැමති නම් එය කළ යුතු ආකාරයද ඔහු ඔවුන්ට පැහැදිලි කළා. (මතෙව් 6:16-18; 9:14) කෙසේවෙතත් තම මරණයෙන් පසුව ඔහුගේ අනුගාමිකයන් නිරාහාරව සිටින බව යේසුස් පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (මතෙව් 9:15) යේසුස් එම වචන පැවසුවේ ආඥාවක් හැටියට නොවෙයි. ඔහු ඉන් අදහස් කළේ ඔහුගේ මරණයෙන් පසු තම අනුගාමිකයන්ට ඇති වන ශෝකය නිසා කෑම බීම ගැනීමට ඔවුන් එතරම් ආශාවක් නොදක්වන බවයි.
හොඳ චේතනාවකින් යුතුව නිරාහාරව සිටින කෙනෙකුව දෙවි හෙළා නොදකින බව බයිබලයේ සඳහන් සිද්ධීන් දෙකකින් පැහැදිලියි. (ක්‍රියා 13:2, 3; 14:23) කෙසේවෙතත් අද දින සිටින ක්‍රිස්තියානීන් නිරාහාරව සිටීමට බැඳී නැහැ. නමුත් කෙනෙක් නිරාහාරව සිටීමට තීරණය කළොත් ඔහු පරෙස්සම් විය යුතු පැති කිහිපයක් තිබෙනවා.
පරෙස්සම් විය යුතු පැති
නිරාහාරව සිටීම නිසා තමා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. ඒ නිසා ඉන් පරෙස්සම් විය යුතුයි. ඒ ගැන බයිබලයේද අනතුරු අඟවා තිබෙනවා. (කොලොස්සි 2:20-23) යේසුස් එක් අවස්ථාවක ආගමික නායකයෙක් ගැන උපමාවක් පැවසුවා. එම ආගමික නායකයා සිතුවේ තමන් ධර්මිෂ්ඨ, සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවයි. එයට හේතුව වූයේ ඔහු පුරුද්දක් ලෙස නිරාහාරව සිටීමයි. කෙසේවෙතත් දෙවි එවන් ආකල්පයන් ඇති පුද්ගලයන්ව හෙළාදකිනවා.—ලූක් 18:9-14.
වෙන කෙනෙක් කියන නිසා හෝ අන් අයගේ අවධානය ඇදගැනීමට හෝ නිරාහාරව සිටීම වැරදියි. ඒ බව යේසුස් පවා පැහැදිලි කළා. (මතෙව් 6:16-18) එය දැනගත යුත්තේ දෙවි පමණයි.
යම් පුද්ගලයෙක් නිරාහාරව සිටීමට තීරණය කරනවා නම් ඔහු ප්‍රථමයෙන් දෙවිගේ උසස් ප්‍රමිති අනුව ජීවත් වීමට උත්සාහ කළ යුතුයි. දෙවිගේ අනුමැතිය ඔහුට ලැබෙන්නේ එවිටයි. (යෙසායා 58:3-7) කෙසේවෙතත් නිරාහාරව සිටීමෙන් තමන්ගේ පව්වලට සමාව ලැබෙයි කියා කෙනෙක් නොසිතිය යුතුයි. ඊට හේතුව පව්වලට සමාව ලැබෙන්නේ සැබෑ පසුතැවිල්ලෙන් මිස නිරාහාරව සිටීමෙන් නොවීමයි. (යෝවෙල් 2:12, 13) දෙවි අපේ පව්වලට සමාව ලබා දෙන්නේ අප නිරාහාරව සිටින නිසා නොව යේසුස්ගේ ජීවිත පූජාව නිසා බවත් අපි මතක තබාගත යුතුයි.—රෝම 3:24, 27, 28; ගලාති 2:16; එෆීස 2:8, 9.
අප පරෙස්සම් විය යුතු තවත් පැත්තක් යෙසායා 58:3හි [NW] සඳහන් වෙනවා. උදාහරණයකට නිරාහාරව සිටීමෙන් තමන් දෙවිට යහපතක් කරන බවත් එබැවින් දෙවිත් තමන්ට ආශීර්වාද කළ යුතුයි කියාත් ඊශ්‍රායෙල්වරුන් සිතුවා. ඒ ගැන ඔවුන් පැවසුවේ “අප නිරාහාරව සිටියත් ඔබ අප දෙස නොබැලුවේ මන්ද? අප අපේ පව් ගැන දුක් වුණත් ඔබ එය අගය නොකළේ මන්ද” කියායි. අද දිනත් බොහෝදෙනා සිතන්නේ තමන් නිරාහාරව සිටින නිසා දෙවි තමන්ට ආශීර්වාද කළ යුතු බවයි. එසේ සිතීම බයිබලයේ සඳහන් තොරතුරුවලට එකඟ නොවන හෙයින් එවන් ආකල්පවලින් වැළකී සිටීම අවශ්‍යයි.
තවත් අය නිරාහාරව සිටීමෙන් හෝ වෙනත් ක්‍රමවලින් තමුන්ගේම ශරීරයට වධ වේදනා පමුණුවාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගත හැකියි කියා සිතනවා. නමුත් ‘ශරීරයට බොහෝ සෙයින් වධ දීමෙන්’ කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති නිසා බයිබලයේ එවැනි ක්‍රියා හෙළාදකිනවා.—කොලොස්සි 2:20-23.
සමබර වන්න
නිරාහාරව සිටීම අත්‍යවශ්‍ය දෙයක් නොවුණත් එය වැරදි දෙයක්ද නොවෙයි. ඉහත සඳහන් ක්‍රියා හා ආකල්පවලින් තොරව නිරාහාරව සිටිනවා නම් ඉන් යම් යහපතක් සිදු විය හැකියි. ඒ වුණත් දෙවිගේ අනුමැතිය ලබාගැනීමේ ප්‍රධාන ක්‍රමය නිරාහාරව සිටීම නොවෙයි. යෙහෝවා “සන්තෝෂවත් දෙවි” නිසා ඔහුගේ සේවකයන්ද සන්තෝෂයෙන් සිටිනවාට ඔහු කැමතියි. (1 තිමෝති 1:11) ඒ ගැන බයිබලයේ පවසන්නේ ‘තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම ඉතා යහපත් දෙයක් බව හා එය දෙවිගෙන් ලද ආශීර්වාදයක්’ බවයි.—දේශනාකාරයා 3:12, 13, NW.
බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට නිරාහාරව සිටීම ප්‍රීතිමත් අවස්ථාවලදී සිදු වූ දෙයක් නොවෙයි. නමුත් දෙවි කැමති වන්නේ අපි ප්‍රීතියෙන් ඔහුට නමස්කාර කරනවා දකින්නයි. ඊට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට පැවසීමද ඇතුළත්. නමුත් නිරාහාරව සිටීමෙන් අපගේ ශරීර සෞඛ්‍යයට හානි සිදුවුණොත් එම කාර්යයෙහි ප්‍රීතියෙන් හවුල් වීමට හැකි වෙන්නේ නැහැ.
අපි නිරාහාරව සිටියත් නැතත් ඒ සම්බන්ධයෙන් අන් අය ගන්නා තීරණ විවේචනය නොකළ යුතුයි. සැබෑ ක්‍රිස්තියානීන් මේ කාරණය සම්බන්ධයෙන් මතභේද ඇති කර නොගන්නේ ‘දෙවිගේ රාජ්‍යය යනු කෑමත් බීමත් නොව, දෙවිගේ බලය මාර්ගයෙන් වූ ධර්මිෂ්ඨකමත් සමාදානයත් ප්‍රීතියත්’ කියා බයිබලයේ පවසා තිබෙන නිසයි.—රෝම 14:17.
[පාදසටහන]
a පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවිකාවක් වූ එස්තර් පූරීම් යන නමින් හැඳින්වූ උත්සව කාලයේදී නිරාහාරව සිටියා. දෙවි එසේ කිරීමට ආඥා නොකළත් ඔහුගේ අනුමැතිය එයට ලැබුණා.
[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එදා සිටි කුහක ආගමික නායකයන් නිරාහාරව සිටියේ අන් අයගේ අවධානය ඇදගැනීම පිණිසයි
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘දෙවිගේ රාජ්‍යය යනු කෑමත් බීමත් නොව, දෙවිගේ බලය මාර්ගයෙන් වූ ධර්මිෂ්ඨකමත් සමාදානයත් ප්රීතියත්ය’
[29වන පිටුවේ කොටුව]
චතාරික කාලය ගැන කුමක් කිව හැකිද?
චතාරික කාලය ලෙස තමන් සිහි කරන්නේ යේසුස් දින 40ක් නිරාහාරව සිටි කාලය කියා කතෝලික භක්තිකයන් පවසනවා. කෙසේවුණත් තමන් නිරාහාරව සිටි කාලය සිහි කරන්න කියා යේසුස් කෙදිනකවත් පැවසුවේ නැති අතර ඔහුගේ අනුගාමිකයන් එසේ කළ බවටද සාක්ෂි නැහැ. නමුත් දින 40ක නිරාහාරව සිටීමක් ගැන මුල් වරට සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 330දී ලියා ඇති ඇතනේසියස් ලියවිලිවලයි.
යේසුස් නිරාහාරව සිටියේ බව්තීස්ම වීමෙන් පසුව මිස ඔහුගේ මරණයට ආසන්න දවස්වල නොවෙයි. නමුත් සමහර ආගම් නිරාහාරව සිටින්නේ පාස්කුවට කලින් සතිවලයි. කෙසේනමුත් මෙම දින 40ක නිරාහාරව සිටීම පුරාණ බැබිලෝනිවරුන්, ඊජිප්තුවරුන් හා ග්රීකවරුන්ද වසර මුලදී පැවැත්වූවා. ඉන් පැහැදිලි වන්නේ නිරාහාරව සිටීමේ චාරිත්‍රය එම ජාතිකයන්ගෙන් ඈඳාගත් බවයි.