මිනිසුන්ට සියල්ල කරන්න පුළුවන්ද?
ටයිටැනික් නෞකාව එවකට තිබූ නැව් අතරින් සුඛෝපභෝගීම නැව ලෙස හැඳින්නුවා. දියුණු තාක්ෂණික ක්‍රම යොදා නිමවා තිබූ නිසා කවදාවත් එය මුහුදු බත් වෙයි කියා කිසිවෙක් සිතුවේ නැහැ. නමුත් මුල්ම ගමනේදීම අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක ගැටීම නිසා එම නෞකාව මුහුදු බත් වුණා. එය සිදු වීමට ගත වුණේ පැය කිහිපයක් පමණයි. එහි සිටි මිනිසුන් 1,500දෙනෙකුගේ ජීවිතද අහිමි වුණා. එය සිදු වුණේ 1912දියි.
යමක් අපට තේරුම්ගැනීමට අමාරු වූ පමණින් ඒ දේ සිදු විය නොහැකියි කියා පවසන්න බැහැ. මීට වසර ගණනාවකට කලින් තමන්ට බැහැයි කියා සිතූ දේවල් අද තිබෙන තාක්ෂණික දැනුම යොදාගෙන මිනිසුන්ට කිරීමට හැකි වී තිබෙනවා. උදාහරණයකට සඳ මත පා තබන්න, අඟහරු ග්‍රහයා වෙත යන්ත්‍රයක් යවා පෘථිවියේ සිට එය පාලනය කරන්න, මිනිසුන්ගේ ජාන සැකැස්ම හඳුනාගන්න, ලෝකයේ ඕනෑම ස්ථානයක විශේෂ සිද්ධියක් වූ සැණින් එය දැනගන්න එමගින් හැකි වී තිබෙනවා. එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් වරක් මෙසේ පැවසුවා. “අතීතයේදී කරන්න බැහැයි කියලා හිතපු හැම දෙයක්ම කරන්න විද්‍යාව සමත් වෙලා තියෙනවා.”
වර්තමානයේ ලබා තිබෙන තාක්ෂණික දියුණුව සම්බන්ධයෙන් මහාචාර්ය ජෝන් බ්රෝබෙක් මෙසේ අදහස් දැක්වුවා. “යම් කිසි දෙයක් සිදු විය නොහැකියි කියා විද්‍යාඥයන්ට කියන්න බැහැ. නමුත් අපේ දැනුමට අනුව යමක් විස්තර කරන්න හැකියාව අපිට නැතුව ඇති. අපිට නොතේරෙන බලයක් යම් දේවල් පිටුපස තියෙන්න පුළුවන්. බයිබලයේ ඒ වගේ බලයක් ගැන කතා කරනවා. ඒක හඳුන්වලා තියෙන්නේ දෙවිගේ බලය කියලයි.”
දෙවිට සියල්ල කළ හැකියි
ඉහත අදහස් දැක්වූ මහාචාර්යවරයා එසේ පැවසීමට බොහෝ කාලයකට කලින් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යා වන යේසුස් මෙසේ පැවසුවා. “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්.” (ලූක් 18:27) ඔව්. විශ්වයේ ඇති දැවැන්තම බලය වන්නේ දෙවිට තිබෙන බලයයි. අපේම ශක්තියෙන් කිරීමට නොහැකි බොහෝ දේවල් දෙවිගේ බලයට කළ හැකියි.
බොහෝ අවස්ථාවලදී අපට දරාගැනීමට අමාරු තත්වයන්වලට මුහුණ දීමට සිදු වෙනවා. උදාහරණයකට අපේ පවුලේ කෙනෙකුගේ වියෝව දරාගන්න අපට ලෙහෙසි නැහැ. ඒ වගේම ජීවත් වීමෙන් කිසිම පලක් නැහැ කියා සිතන අවස්ථාද තිබෙනවා. එවැනි අවස්ථාවලදී අපට කරන්න පුළුවන් කුමක්ද?
දෙවිගේ කැමැත්ත කරමින් ඔහුව විශ්වාස කරන අය උපකාර පතා යාච්ඤා කරන විට ඕනෑම තත්වයක් දරාගැනීමට අවශ්‍ය බලය ඔහු ලබා දෙනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “යමෙක් මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා පවසා ඒ ගැන කිසිම සැකයක් නොතබා තමන් කී දේ සිදු වෙනවාමයි යන විශ්වාසයෙන් සිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වෙයි.”—මාක් 11:23.
දෙවිගේ බලයට කළ හැකි දේ ගැන දැනගැනීමට අපි දැන් අද්දැකීම් කිහිපයක් බලමු. අවුරුදු 38ක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ එක් කාන්තාවක් පිළිකාවක් වැලඳීමෙන් මිය ගියා. ඇය නැති පාලුව දරාගැනීමට ඇගේ ස්වාමිපුරුෂයාට ලෙහෙසි වුණේ නැහැ. ඔහුට හැඟුණේ ඔහුගේ මුළු ලෝකයම අඳුරු වුණා වගෙයි. තමාගේ ජීවිතයද නැති වුණා නම් හොඳයි කියා ඔහුට සිතුණු අවස්ථා තිබුණා. නමුත් දිගටම යෙහෝවා දෙවිගේ බලය ඉල්ලූ නිසාත් බයිබලය දිනපතා කියවූ නිසාත් එම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකි වුණා.
ස්වාමිපුරුෂයාගේ හිරිහැරවලට ලක් වූ එක් කාන්තාවකට ඇගේ ජීවිතය තිත්ත වී තිබුණා. ඒ නිසා ඇය තම ජීවිතය නැති කරගැනීමට තැත් කළා. ඒ අතරතුරදී ස්වාමිපුරුෂයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගැනීමට පටන්ගත්තා. ඔහුගේ නරක පුරුදු අත්හැරීමට එය ඔහුට උපකාරවත් වුණා. ඔහුගේ වෙනස දුටු බිරිඳ “එයා මේ විදිහට වෙනස් වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ” කියා පැවසුවා.
මත් කුඩුවලට ඇබ්බැහි වූ මිනිසෙක් අනාචාර ජීවිතයක් ගත කරමින් සිටියා. ඔහු මෙසේ පවසනවා. “මම හැසිරුණ විදිහ නිසා මගේ ආත්ම ගරුත්වයත් නැති වුණා. මම දෙවිට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. ‘දෙවියනි, ඔබ ඉන්නවා කියලා මම දන්නවා. අනේ, මට උදව් කරන්න!’” අවසානයේදී ඔහුට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. ඔවුන් සමඟ බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගනිද්දී ඔහු ගත කරමින් සිටි ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මට මගේ ජීවිතෙත් එපා වෙලයි තිබුණේ. හැබැයි බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට ඒ සිතුවිලි හරිගස්සගන්න මට පුළුවන් වුණා. රෑට නින්ද යන්නේ නැති වුණාම මම බයිබල් පද මතක් කරගන්නවා. ඒක මට ලොකු උදව්වක් වුණා.” දැන් ඔහු විවාහකයි. ඔහු තම බිරිඳ සමඟ එකතු වී යෙහෝවා දෙවි ගැන අන් අයටත් කියා දෙනවා.
මිනිසුන්ට කරන්න බැහැ කියා සිතෙන දේවල් පවා කිරීමට දෙවිගේ බලයට හැකි බව ඉහත අද්දැකීම්වලින් පැහැදිලි වුණා. නමුත් එසේ කිරීමට නම් දෙවි කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.” (හෙබ්‍රෙව් 11:6) මෙසේ සිතන්න. බැංකුවක කළමනාකරුවෙකු ලෙස සේවය කරන ඔබේ මිතුරෙක් ඔබට මෙසේ පවසනවා. “ඔයා කිසි දේකට භය වෙන්න එපා. ඕනම වෙලාවක ඔයාට උදව්වක් ඕන වුණොත් මට කියන්න.” එය ඇසීමෙන් ඔබ සතුටු වන බවට සැකයක් නැහැ. නමුත් මිනිසුන්ගේ ජීවිත ස්ථිර නැති නිසා හෝ තත්වයන් වෙනස් විය හැකි නිසා මිනිසුන් දෙන බොහෝ පොරොන්දු ඉටු කිරීමට ඔවුන් අසමත් වෙනවා. නමුත් දෙවි ඊට වඩා වෙනස්. ඔහු ගැන බයිබලයේ මෙසේ සහතික වෙනවා. “ඇත්තෙන්ම දෙවිට කළ නොහැකි දෙයක් නැහැ.”—ලූක් 1:37.
“ඔබ මේ දේ විශ්වාස කරනවාද?”
දෙවිට කළ නොහැකි කිසිවක් නැහැ කියා පැවසීමට බයිබලයේ ඇති සාක්ෂි කිහිපයක් අපි දැන් බලමු.
වයස අවුරුදු 90ක් වූ සාරා නමැති කාන්තාවට දරුවෙක් ලබා දෙන බවට දෙවි පොරොන්දු වුණා. සාරා එය විශ්වාස කළේ නැහැ. නමුත් දෙවි පැවසූ දේ එලෙසම ඉටු වුණා. යෝනා නමැති මිනිසාව විශාල මත්ස්‍යයෙක් ගිල්ලා. නමුත් දින තුනකට පසු ඔහුගේ ජීවිතය ගැලවුණා. යුතිකස් නමැති තරුණයා උස් ගොඩනැඟිල්ලකින් පහතට වැටී මිය ගියා. නමුත් ඔහුට නැවත ජීවත් වීමේ අවස්ථාව ලැබුණා. එම සිද්ධීන් ඇතුළත් බයිබල් වාර්තා හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඒවා සත්‍ය වාර්තා බව ඔබටම තහවුරු වෙයි.—උත්පත්ති 18:10-14; 21:1, 2; යෝනා 1:17; 2:1, 10; ක්‍රියා 20:9-12.
යේසුස් තම මිතුරියක් වූ මාර්තාට මෙසේ පැවසුවා. “ජීවත්ව සිටින ඕනෑම කෙනෙක් මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ.” පසුව ඇය ඒ ගැන සිතන දේ දැනගැනීමට යේසුස් මෙසේද ඇසුවා. “ඔබ මේ දේ විශ්වාස කරනවාද?” අපි සෑමදෙනාම යේසුස් පැවසූ දේ ගැන කල්පනා කිරීම ඉතා වැදගත්.—යොහන් 11:26.
පොළොව මත සදහටම ජීවත් විය හැකිද?
එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “අපි හැමෝටම ඉතාම ළඟදී මේ පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයි.” විශ්වකෝෂයක සඳහන් වුණේ මෙසේයි. “මිනිසුන් මිය යන්නේ ශරීරයේ ඇති ඉන්ද්‍රියන් ගෙවී යන නිසා නොවෙයි. ඊට බලපාන වෙනත් හේතුවක් තිබෙනවා. එය කුමක්ද කියා හඳුනාගැනීමට විද්‍යාඥයන් සමත් වී නැහැ.”a—The New Encyclopædia Britannica.
අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි මිනිසුන්ට සදාකාලයටම පොළොව මත ජීවත් වීමට අවස්ථාව ලබා දෙන බවටත් ‘මරණය සදහටම නැති’ කරන බවටත් පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 36:9; යෙසායා 25:8) ඔබ එය විශ්වාස කරනවාද? යෙහෝවා දෙවි කිසි දිනක බොරු නොකියන නිසා ඒ පොරොන්දු ගැන සැක කිරීමට කිසිදු හේතුවක් නැහැ.
[පාදසටහන]
a වැඩි විස්තර දැනගැනීමට 2006 මැයි මාසයේ පළ වූ පිබිදෙව් සඟරාවේ “ඔබේ දිවි මඟ කෙතරම් දිගද?” යන තේමාවෙන් යුත් ලිපිය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“අතීතයේදී කරන්න බැහැයි කියලා හිතපු හැම දෙයක්ම කරන්න විද්‍යාව සමත් වෙලා තියෙනවා.”—රොනල්ඩ් රේගන්
[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ජීවිතේ අසීරු අවස්ථාවකදී ඔබ පිහිට පතන්නේ කාගෙන්ද?
[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
NASA photo