දෙවිට ළං වෙන්න
දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්!
‘කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැහැ.’ (යොහන් 1:18) දෙවි අපිට වඩා බොහෝ සෙයින් බලවත් නිසා කිසිම මිනිසෙකුට ඔහුව දැක ජීවත් වෙන්න බැහැ. (නික්මයාම 33:20) කොහොමවුණත් තෝරාගත් පිරිසකට යෙහෝවා දෙවි ස්වර්ගය ගැන දර්ශන දකින්න සැලැස්සුවා. දානියෙල් ඒ අතරින් කෙනෙක්. ඔහු ඒ දර්ශනය විස්තර කර තිබෙන ආකාරය දැන් අපි බලමු.a—දානියෙල් 7:9, 10 කියවන්න.
“පුරාතන තැනැත්තා එතැන හිඳගත්තේය” කියා ඔහු පැවසුවා. දෙවි පුරාණයේ සිට පැවතෙන්නෙක් බව අඟවමින් දෙවිව එලෙස හඳුන්වා තිබෙන්නේ දානියෙල් පමණයි. (දානියෙල් 7:9, 13, 22) දෙවිට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ. “සදාකාලික රජ්ජුරුවන්” ලෙස ඔහුව හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (1 තිමෝති 1:17; යූද් 25) වයසින් මුහුකුරා ගිය අය ප්රඥාවන්තයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 12:12) ඒ අනුව පුරාතනයේ සිට පැවතෙන දෙවි කොතරම් ප්රඥාවන්ත කෙනෙක් විය යුතුද! පව්කාරකම උරුම වී තිබෙන අපට සදාකාලයටම පැවත එන දෙවි ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න බැහැ.—රෝම 11:33, 34.
‘පුරාතන තැනැත්තා හිඳගත්තේය’ කියා දානියෙල් සඳහන් කළා. ඒ කුමක් සඳහාද? අවට පදවල “විනිශ්චය මණ්ඩලය” ගැනත් “විනිශ්චයක්” ගැනත් සඳහන් වෙනවා. (දානියෙල් 7:10, 22, 26) ඒ අනුව යෙහෝවා දෙවි හිඳගෙන තිබෙන්නේ යම් විනිශ්චයක් කිරීමටයි. ඔහු විනිශ්චය කරන්නේ මේ පොළොවේ සිටින ජාතීන්ව.b (දානියෙල් 7:1-8) දෙවි මොන වගේ විනිශ්චයකරුවෙක්ද?
“ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදුය. ඔහුගේ හිසකෙස් පවිත්ර ලොම් මෙනි” කියා දානියෙල් පවසනවා. සුදු වර්ණය ධර්මිෂ්ඨකමේ සහ පවිත්රකමේ සංකේතයක්. බොහෝවිට ලොම් සුදු පැහැයෙන් යුක්තයි. ඒ නිසා හිසකෙස් පවිත්ර ලොම් මෙනි කියා පැවසීමෙන් දානියෙල් අදහස් කරන්න ඇත්තේ හිසකෙස් සුදු පැහැයෙන් යුත් වූ බව විය හැකියි. සුදුවන් හිසකෙස් ඇති සුදෝසුදු වස්ත්රයකින් සැරසුණු විනිශ්චයකරුවෙකුව ඔබේ මනසට නැඟුණාද? යෙහෝවා දෙවිව එසේ විස්තර කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු ප්රඥාවන්ත, ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු බවයි. ඒ නිසා ඔහු අපේ ගෞරවය ලැබීමට වටිනවා. ඔහු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න අපට පුළුවන්.
යෙහෝවා දෙවි අපට විශ්වාසය තැබිය හැකි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්
දානියෙල් මෙසේද පැවසුවා. “දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය. ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.” ඔහු එසේ පැවසුවේ දෙවිගේ “සේවකයන්” ලෙස කටයුතු කරන දේවදූතයන් ගැනයි. (ගීතාවලිය 104:4) “දෙවිගේ අණට සැමවිටම කීකරු වන” මිලියන සිය ගණනක් දේවදූතයන් ‘දෙවිගේ කැමැත්ත ඉටු කරනවා.’ (ගීතාවලිය 103:20, 21) අනන්ත කාලයක් පුරා එවැනි දේවදූත සේනාවක්ව හොඳින් මෙහෙයවීමට කොතරම් ප්රඥාවක් දෙවි සතු විය යුතුද!
විශ්වාසය තැබිය හැකි, ප්රඥාවන්ත, ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් වන යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුනා ගෙන ඔහුට ළං වෙන්න ඔබ කැමති නැද්ද!
ඔක්තෝබර් මාසයට නියමිත බයිබල් කියවීම:
දානියෙල් 4-12 සිට හොෂෙයා 1-14 දක්වා
a දානියෙල් ඇත්තටම දෙවිව දැක්කේ නැහැ. නමුත් ඔහු දුටු දර්ශනයෙන් දෙවි මොන වගේ කෙනෙක්ද කියලා ඔහුගේ මනසේ යම් චිත්රයක් මැවුණා. ඒ නිසයි ඔහු තමන් දුටු දෙය සංකේතාත්මක ආකාරයකින් විස්තර කළේ. එය සලකා බැලීමෙන් දෙවි මොන වගේ කෙනෙක්ද කියා පැහැදිලි අවබෝධයක් ලබාගන්න අපිට හැකි වෙනවා.
b පොළොවේ ජාතීන්ව නියෝජනය කළ මෘගයන් හතරදෙනෙක් ගැන දර්ශනයක් දානියෙල් දැක්කා. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතේ 9වන පරිච්ඡේදය බලන්න.