අතීතයෙන් බිඳක්
නියම වෙලාවට ලැබුණු දෙයක්!
“ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ!” ඒ, “ක්‍රියේෂන් ඩ්‍රාමා” නම් වැඩසටහන නරඹපු බොහෝදෙනෙක්ගේ මුවින් පිට වූ වචන පෙළක්. නියම කාලෙට ලැබුණු ඒ වැඩසටහන නිසා යෙහෝවා දෙවි ගැන ලොකු සාක්ෂියක් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම හිට්ලර්ගේ පාලනය නිසා මුහුණ දෙන්න සිදු වුණු දරුණු පීඩාවලට හොඳින් මුහුණ දෙන්නත් යුරෝපයේ ජීවත් වූ සාක්ෂිකරුවන්ට ඒක ලොකු ශක්තියක් වුණා. ඒත් “ක්‍රියේෂන් ඩ්‍රාමා” කියන්නේ මොකක්ද?
ක්‍රියේෂන් පොත
වර්ෂ 1914දී ඇමරිකාවේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය මගින් “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” නම් වැඩසටහන නිෂ්පාදනය කළා. ඒක වර්ණ චලන රූප හා අචල කාච දර්ශනවලට දෙබස් හා සංගීතය එකතු කර සෑදූ පැය අටක වැඩසටහනක්. එය ලොව පුරා මිලියන ගණනක් දෙනා නැරඹුවා. එයම කෙටි කර “යුරේකා ඩ්‍රාමා” යන නමින් 1914දීම තවත් වැඩසටහනක් නිකුත් කළා. නමුත් 1920 ගණන් පමණ වන විට “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනට අයත් අචල කාච සහ රූප රාමු ඇතුළු, ඒවා තිරගත කරපු හුඟක් යන්ත්‍ර භාවිත කිරීමට බැරි තරමට අබලන් වුණා. ඒත් ඒ වැඩසටහනට තිබුණේ පුදුම ඉල්ලුමක්. “කවදද අපිට ආයෙත් ෆොටෝ ඩ්‍රාමා එක බලන්න පුළුවන් වෙන්නේ” කියලා ජර්මනියේ ලූඩ්විග්ස්බර්ග්වල වැසියන් ඇහුවා. සහෝදරයන් මොනවද කළේ?
වර්ෂ 1920දී ජර්මනියේ බෙතෙල් පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් ප්‍රංශයේ පැරිස් නුවරේ ප්‍රවෘත්ති ආයතනයකින් චිත්‍රපටි කිහිපයක් මිල දී ගත්තා. ඒ වගේම තවත් ආයතන කිහිපයකින් අචල කාච දර්ශනත් මිල දී ගත්තා. පසුව ඒ චිත්‍රපටිවලින් තෝරගත්ත දර්ශන සහ අචල කාච දර්ශනවලට “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනේ පාවිච්චියට ගත හැකි කොටස් එක් කර ඔවුන් අලුතින් එම වැඩසටහන නිපදෙව්වා.
දක්ෂ සංගීතඥයෙක් වූ සහෝදර එරික් ෆ්‍රොස්ට් ඒ වැඩසටහනට සංගීතය නිර්මාණය කළා. පසුබිම් කථනයට සමහර කොටස් ගත්තේ ක්‍රියේෂන් පොතෙන්. (සිංහලෙන් නැහැ.) ඒ විදිහට “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන අලුත් කරලා, “ක්‍රියේෂන් ඩ්‍රාමා” කියන නමින් ආයෙත් නිකුත් කළා.
ඒ අලුත් වැඩසටහනත් “ෆොටෝ ඩ්‍රාමා” තරම්ම පැය අටක් දිගයි. එය හැමදාම හවසට කොටස් වශයෙන් තිරගත කළා. දෙවි පොළොව නිර්මාණය කළ දවස් ගැනත්, ඉතිහාසය ගැනත්, බොරු ආගම් මිනිසුන්ව මුළා කරපු ආකාරය ගැනත් ඒකේ විස්තර තිබුණා. “ක්‍රියේෂන් ඩ්‍රාමා” කියන වැඩසටහන ජර්මනියෙත් ඔස්ට්‍රියාවෙත් ලක්සම්බර්ග්වලත් ස්විට්සර්ලන්තයෙත් ජර්මන් භාෂාව කතා කළ සෙනඟ හිටපු වෙනත් තැන්වලත් තිරගත කළා.
එරික් ෆ්‍රොස්ට් සහ ඔහු නිර්මාණය කළ සංගීත ප්‍රස්තාර
එරික් ෆ්‍රොස්ට් මෙහෙම කිව්වා. “ඒක තිරගත කරපු අවස්ථාවලදී සහෝදරයන්ට, විශේෂයෙන් මගේ සංගීත කණ්ඩායමේ අයට මම කිව්වා ඒක බලන්න ආපු හැමෝම ළඟට විවේක කාලයේදී ගිහිල්ලා අපේ පොත් පත් දෙන්න කියලා. ඒක ගොඩක් සාර්ථක වුණා. අපි ගෙයින් ගෙට ගිහිල්ලා බෙදුවටත් වඩා පොත් පත් බෙදන්න අපිට පුළුවන් වුණා.” පෝලන්තයෙත් දැන් චෙක් ජනරජය කියලා හඳුන්වන රටෙත් මේ වැඩසටහන විකාශනය කරන්න මූලිකත්වය ගත්ත සහෝදර යොහානස් රෞටා කිව්වේ, “ඒක නරඹන්න ආපු ගොඩක් අය ඒගොල්ලන්ගේ ලිපින දීලා ගියා. ඒවා හොඳ නැවත බැලීම් කරගන්න අපිට පුළුවන් වුණා” කියලයි.
වර්ෂ 1930 ගණන් වෙනකොට “ක්‍රියේෂන් ඩ්‍රාමා” වැඩසටහන නිසා සාක්ෂිකරුවන් හුඟක් ප්‍රසිද්ධ වුණා. ඒ වැඩසටහන තිරගත කරපු ශාලා අතුරු සිදුරු නැතුව පිරිලා ගියා. ජර්මනියේ ශාඛා කාර්යාලය මගින් සංවිධානය කරපු මේ වැඩසටහන 1933 වෙනකොට මිලියනයක් පමණ නරඹලා තිබුණා. කැති ක්‍රවුස් මෙහෙම කියනවා. “ඒක තිරගත කරපු දින පහ පුරාම ඒක බලලා එන්න අපි කඳු, හෙල්, කැලෑවල් පහු කරගෙන දවසකට කිලෝමීටර් 20ක් විතර ඇවිද්දා.” එල්සි බිල්හාස් කියනවා “යෙහෝවා දෙවි ගැන ආදරයක් ඇති වෙන්න මට මුල් වුණේ ‘ක්‍රියේෂන් ඩ්‍රාමා’ වැඩසටහනයි” කියලා.
ඇල්ෆ්‍රඩ් අල්මෙන්ඩින්ග, එයාගේ අම්මා මේ වැඩසටහන නරඹන්න ගිය අවස්ථාව ගැන මෙහෙම කියනවා. “ඒක බලලා අම්මා කොච්චර පුදුම වුණාද කිව්වොත් බයිබලයක් සල්ලිවලට අරගෙන ඒකේ ‘ශුද්ධගිනිස්ථානය’ කියන වචනය තියෙනවද කියලා හොයලා බැලුවා.” එහෙම දෙයක් බයිබලයේ නැහැ කියලා දැනගත්තාම එයා පල්ලි යන එක නවත්තලා සාක්ෂිකාරයෙක් විදිහට බව්තීස්ම වුණා. “‘ක්‍රියේෂන් ඩ්‍රාමා’ වැඩසටහන නිසා විශාල පිරිසක් සාක්ෂිකාරයන් වුණා” කියලා එරික් ෆ්‍රොස්ට් කිව්වා.—3 යොහ. 1-3.
“ක්‍රියේෂන් ඩ්‍රාමා” වැඩසටහන උපරිම වශයෙන් තිරගත වෙන කාලයේදී තමයි යුරෝපයේ නාට්සි පාලනය හෙමින් හෙමින් හිස ඔසවන්න පටන්ගත්තේ. ජර්මනියේ හිටපු සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු 1933දී තහනම් කළා. එදා ඉඳන් 1945 වෙනකල්ම යුරෝපයේ හිටපු සාක්ෂිකරුවන් හුඟක් පීඩාවලට මුහුණ දුන්නා. අවුරුදු අටක් සිරගත වෙලා හිටපු එරික් ෆ්‍රොස්ට් පස්සේ කාලෙක ජර්මනියේ බෙතෙල් එකේ සේවය කළා. “ක්‍රියේෂන් ඩ්‍රාමා” වැඩසටහන සාක්ෂිකරුවන්ට ලැබුණේ නියම වෙලාවට කියලා කියන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධ කාලයේදී පීඩාවලට මුහුණ දෙන්න ඔවුන්ට ඒකෙන් ලැබුණේ පුදුම ශක්තියක්.—ජර්මනියේ අතීතයෙන් බිඳක්.