වැඩිමහල්ලෙනි! ‘විඩා වූ අයට’ සහනයක් වෙන්න
ඇන්ජලා කියන්නේ වයස 30 ගණන්වල තනිකඩ සහෝදරියක්.a තව ටික වෙලාවකින් ඇයව හමු වෙන්න වැඩිමහල්ලන් දෙන්නෙක් එනවා. ඒ ගැන ඇය ටිකක් භයෙන් ඉන්නේ. ඇය රැකියාව හැටියට කළේ මහලු අයව බලාගන්න එක. ඒ වැඩ නිසා ඇය ඉන්නේ ගොඩක් මහන්සියෙන්. ඒ වගේම ඇගේ වයසක අම්මගේ අසනීප ගැනත් ඇය ඉන්නේ කරදරයෙන්. මේ හේතු නිසා පසුගිය දවස්වල රැස්වීම් දෙක තුනක් ඇයට අතපසු වුණා.
ඔබ, ඇයව හමු වෙන්න යන වැඩිමහල්ලන් දෙන්නාගෙන් කෙනෙක් කියලා හිතන්න. ඔබ කොහොමද ‘විඩාවට පත්ව සිටින’ ඇයව දිරිගන්වන්නේ? (යෙරෙ. 31:25) කෙනෙක්ව දිරිගන්වන්න කලින් ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද?
තත්වය තේරුම්ගන්න
අපේ රැකියාව නිසා හරි සභාවේ වගකීම් නිසා හරි අපිත් කාලෙන් කාලෙට විඩාවට පත් වෙනවා. දානියෙල්ටත් එහෙම වුණා. තේරුම්ගන්න අමාරු දර්ශනයක් දැක්කට පස්සේ ඔහු ‘මහත් සේ වෙහෙසට පත් වුණා.’ (දානි. 8:27) ඒ වෙලාවේ යෙහෝවා දෙවි ගාබ්‍රියෙල් දේවදූතයාව එවලා ඒ ගැන ඔහුට තේරුම් කරලා දුන්නා. ඒ වගේම ඔහුගේ යාච්ඤා දෙවි අහනවා කියලත් ඔහු ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්’ කියලත් ඒ දේවදූතයා දානියෙල්ට කිව්වා. (දානි. 9:21-23) ඊටපස්සේ අවස්ථාවකත් ඒ වගේම දිරිගන්වන වචනවලින් දේවදූතයෙක් ඔහුව සැනසුවා.—දානි. 10:19.
කෙනෙක්ව බලන්න යන්න කලින් ඔහුගේ තත්වය ගැන හොඳට හිතන්න
අපිත් ඒ වගේ වෙන්න ඕනෙ. විඩාවට පත් වෙලා හරි අධෛර්යය වෙලා හරි ඉන්න කෙනෙක්ව බලන්න යන්න කලින් ඔහුගේ තත්වය ගැන හොඳට හිතන්න. ඔහුට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද, ඒ ප්‍රශ්න ඔහුට බලපාලා තියෙන්නේ කොහොමද, ඔහුට තියෙන්නේ මොන වගේ හොඳ ගතිගුණද වගේ දේවල් ගැන හිතන්න. අවුරුදු 20ක් පුරා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන රිචඩ් කියන්නේ මේ වගේ දෙයක්. “මම හැම තිස්සෙම හිතන්නේ කෙනෙක්ගේ හොඳ පැත්ත ගැන. එයාව හම්බ වෙන්න යන්න ඉස්සෙල්ලා එයා ඉන්න තත්වය ගැනත් හොඳට හිතනවා. එතකොට එයාව දිරිගන්වන්න ලේසියි.” ඔබත් එක්ක තවත් වැඩිමහල්ලෙක් යනවා නම් යන්න කලින් දෙන්නා එකතු වෙලා හමු වෙන්න යන කෙනා ගැන කතා කරන්න.
භය සැක නැති කරන්න
සහෝදරයෙක් එක පාරටම ඔහුගේ ප්‍රශ්න ගැන කියන්න ටිකක් අදිමදි කරයි. කොහොමද ඔහුගේ භය සැක නැති කරන්නේ? සුහදශීලී හිනාවක් එක්ක මිත්රශීලීව ඔහු එක්ක ටික වෙලාවක් කතා කළොත් හිතේ තියෙන දේ කියන්න ඔහු පෙලඹෙයි. අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන මයිකල් කෙනෙක්ව දිරිගන්වන්න ගියාම මුලින්ම කියන්නේ මේ වගේ දෙයක්. “අද මම මෙහේ ආවේ හරිම ආසාවෙන්. සහෝදරයෙක්ගේ ගෙදරකට ගිහින් එයාව හොඳට අඳුනගන්න ලැබෙන එක වැඩිමහල්ලෙකුට ලැබෙන වටිනා අවස්ථාවක්.”
යාච්ඤාවක් කරලා සාකච්ඡාව පටන්ගන්න එක ප්‍රයෝජනවත්. අපි යාච්ඤා කරද්දී පාවුල් වගේ නිතරම සහෝදරයන්ගේ විශ්වාසය, ප්‍රේමය වගේම ඔවුන් විඳදරාගන්නා විදිහ ගැනත් සඳහන් කරන්න පුළුවන්. (1 තෙස. 1:2, 3) එහෙම කරද්දී ඔබේ වගේම ඒ සහෝදරයාගේ හිතත් හොඳ සාකච්ඡාවකට සූදානම් වෙයි. ඒක ඔහුට සහනයක්. ඊටපස්සේ කරන සාකච්ඡාවෙන් ඔහුට දිරිගැන්වීමක් ලැබෙයි. “සමහර වෙලාවට අපිට අපි කරන හොඳ දේවල් අමතක වෙනවා. ඒ ගැන කවුරු හරි මතක් කරලා දෙද්දී ඒක අපිට ලොකු සහනයක් වගේම ප්රබෝධයක්” කියලා අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් වෙන රේ කියනවා.
බයිබලය යොදාගෙන දිරිගන්වන්න
පාවුල් වගේ අපේ සහෝදරයන්ටත් “දිරිගැන්වීමක්” වෙන දෙයක් කතා කරන්න ඔබට පුළුවන්. (රෝම 1:11) ඒක කරන්න එක බයිබල් පදයක් වුණත් ඇති. උදාහරණයකට ඒ සහෝදරයා තමන් ගැන හුඟක් කලකිරිලා, තමන් වටින්නේ නැහැ කියන හැඟීමෙන් ඉන්නවා කියලා හිතමු. ඔහුත් හරියට තමන්ව ‘දුම් වැදී ඇකුළුණු සම් භාජනයකට’ සමාන කරපු දාවිත් වගේ. දාවිත්ට වගේ ඔහුටත් දෙවිගේ ‘ආඥා අමතක වෙලා නැහැ’ කියන එක ඔබට විශ්වාසයි කියලා ඔහුට කියන්න.—ගීතා. 119:83, 176.
ටික දවසක ඉඳන් රැස්වීම් එන්නේ නැති හරි කඩින් කඩ රැස්වීම් එන හරි සහෝදරියක්ව හම්බ වෙන්න යනවා කියලා හිතමු. ඒ වගේ කෙනෙක් එක්ක, නැති වුණ රිදී කාසියේ උපමාව ගැන කතා කරන්න පුළුවන්. (ලූක් 15:8-10) සමහරවිට ඒ කාසිය ඒ වගේ රිදී කාසි කිහිපයක්ම එකතු කරලා හදපු වටිනා මාලයක එකක් වෙන්න ඇති. එක කාසියක් හරි නැති වුණොත් ඒ මාලයේ වටිනාකම අඩු වෙනවා. ඒ වගේ ඇයත් සභාවට වටිනා, අත්‍යවශ්‍ය කෙනෙක් කියලා ඇයට කියන්න. තමන්ගේ රැළේ පුංචි බැටළු පැටියෙක් වගේ ඉන්න ඇය ගැනත් යෙහෝවා දෙවි කොයි තරම් සැලකිලිමත්ද කියලා ඇයට තේරුම් කරලා දෙන්න.
ඔබම විතරක් කතා කරන්න එපා. අපේ සහෝදර සහෝදරියනුත් බයිබල් පදයක් ගැන ඔවුන් හිතන විදිහ ගැන කියන්න කැමතියි. ඔවුන්ට ගැළපෙන පදයක් කියෙව්වට පස්සේ ඒ පදයේ තියෙන යම් අදහසක් ගැන ඔවුන්ගෙන් අහන්න. උදාහරණයකට 2 කොරින්ති 4:16 කියවලා, “මේ පදයේ තියෙන දේ ඇත්තක් කියලා ඔයා අද්දැකලා තියෙනවද” කියලා ඔහුගෙන් අහන්න. ඔහුගේ අදහස් ගැන කියන්න ඉඩ දීමෙනුත් ‘එකිනෙකාව දිරිගන්වන්න’ ඔබට පුළුවන්.—රෝම 1:12.
බයිබල් පද ගැන ඔවුන් හිතන දේ ගැන කියන්න සහෝදරයන් කැමතියි
ඔහුගේ තත්වයට ගැළපෙන බයිබලයේ සඳහන් වෙන චරිතයක් ගැන කතා කරන එකත් ප්‍රයෝජනවත්. අධෛර්යය වුණ කෙනෙක් එක්ක කතා කරද්දී හන්නා හරි එපෆ්‍රොදිතස් හරි ගැන කතා කරන්න ඔබට පුළුවන්. ඔවුන් අධෛර්යය වුණත් දෙවි ඔවුන්ව සැලකුවේ වටිනා අය හැටියටයි.—1 සාමු. 1:9-11, 20; ෆිලි. 2:25-30.
එතනින් නතර වෙන්න එපා
සහෝදරයෙක්ව දිරිගැන්නුවට පස්සේ එතනින් නතර වෙන්න එපා. ඊටපස්සෙත් ඔහු ගැන සැලකිලිමත් වෙන්න. (ක්‍රියා 15:36) ඒ සතියෙම දවසක් යොදාගෙන ඔහු එක්ක සේවයේ යන්න ඔබට පුළුවන්. බර්නාඩ් කියන්නේ අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක්. ඔහු කෙනෙකුව දිරිගැන්නුවට පස්සේ නිතරම වගේ ඒ කෙනාව හමු වෙද්දී “කොහොමද, එදා අපි කතා කරපුවා ප්‍රයෝජනවත් වුණාද” කියලා අහනවා. ඔබත් එහෙම කරනවා නම් ඔබ ඔහු ගැන සැලකිලිමත් වෙනවා කියලා පෙන්වනවා වගේම ඔහුට තවත් උදව් අවශ්‍යද කියලා දැනගන්නත් පුළුවන්.
වෙන කවරදාකටත් වඩා මේ කාලයේ අපේ සහෝදර සහෝදරියන්ට වැඩිමහල්ලන්ගේ රැකවරණය, ආදරය අත්‍යවශ්‍යයි. (1 තෙස. 5:11) වැඩිමහල්ලන් ඔවුන්ව තේරුම්ගනියි කියලත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔවුන්ව හමු වෙලා දිරිගන්වන්න කලින්, ඔවුන්ගේ තත්වය ගැන හොඳට තේරුම්ගන්න උත්සාහ කරන්න. යාච්ඤා කරන්න. ගැළපෙන බයිබල් පද තෝරගන්න. එහෙම කරනවා නම් ‘විඩාවට පත්ව සිටින්නන්ට’ සහනයක් වෙන්න ඔබට පුළුවන්.
a නම් වෙනස් කර ඇත.