මුල් පිටුවෙන්: නිමා වේද මේ දුක් කම්කටොලු කවදා හෝ?
මිලින වූ අහිංසක ජීවිත කොතරම්ද!
නොඑල් හරිම හුරතල් පුංචි දැරියක්. එයා චිත්‍ර අඳින්නත් හරි ආසයි. දවසක් හැන්දෑවක එළියේ සෙල්ලම් කරකර හිටිය නොඑල් ගෙදර තිබුණු පිහිනුම් තටාකයට වැටිලා මැරුණා. එතකොට එයාට අවුරුදු හතර සම්පූර්ණ වෙලාවත් තිබුණේ නැහැ.
ඇමරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ පාසැලක වෙඩි තැබීමේ සිද්ධියෙන් 26දෙනෙක් මිය ගියා. ඒ අයගෙන් 20ක්ම වයස අවුරුදු හයත් හතත් අතර කුඩා දරුවන්. මිය ගිය අය වෙනුවෙන් 2012 දෙසැම්බර් 14වෙනිදා පවත්වපු අවමංගල්‍ය උත්සවයට සහභාගි වුණු ජනාධිපති ඔබාමා එම සිද්ධියෙන් මිය ගිය ෂාලට්, ඩැනියල්, ඔලිවියා හා ජොසෆින් ඇතුළු අනිකුත් කුඩා දරුවන්ගේ නම් සඳහන් කරමින් මෙහෙම කිව්වා. “හදකම්පා කරවන මෙවැනි අපරාධ අවසන් විය යුතුයි.”
වර්ෂ 1996දී බානෝ එයාගේ පවුලේ අයත් එක්ක ඉරාකය අත්හැරලා නෝර්වේවල පදිංචියට ගියා. එතකොට බානෝට වයස අවුරුදු 18යි. ඒත් එහෙදී එයාගේ ජීවිතේ ඛේදනීය විදිහට අවසන් වුණා. වර්ෂ 2011 ජූලි 22වෙනිදා ලේ පිපාසිතයෙකුගේ අතින් මරු දුටු 77දෙනා අතර බානෝත් හිටියා. මිනිස් ජීවිත නිරපරාදේ නැති කර දැමූ ඒ ඝාතකයා මෙවැනි දෙයක් පැවසුවා. “මට කනගාටු මීට වඩා කට්ටියක්ව මරන්න බැරි වෙච්ච එක ගැනයි.”
හදකම්පා කරවන ඒ වගේ පුවත් දස දෙසින් අපිට නිතර නිතර අහන්න ලැබෙනවා. අනතුරු, අපරාධ, යුද්ධ, ත්‍රස්ත ප්‍රහාර, ස්වාභාවික විපත් හා වෙනත් දුක්මුසු සිදුවීම් නිසා කී දාහක් නම් නිරපරාදේ මිය යනවද? කී දාහක් නම් සෝතැවුලෙන් ඉන්නවද?
එවැනි දේවල් සිද්ධ වෙද්දී සමහරු දෙවියන්ට දොස් කියනවා. තවත් අය කියන්නේ දෙවියන් මේවා දැක්කත් මේවා වළක්වන්න කිසිම පියවරක් ගන්නේ නැහැ කියලයි. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෛවයට අනුව කියලා විශ්වාස කරන අයත් ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ දුක් වේදනා ඇති වෙන්නේ ඇයි කියන එක ගැන මිනිසුන් අතර විවිධ අදහස් තියෙනවා කියලයි. ඒත් ඇත්ත මොකක්ද? ඊළඟ ලිපියෙන් අපි බලන්නේ ඒ ප්‍රශ්නෙට දේවවචනය වන බයිබලේ දීලා තියෙන පිළිතුරයි.