දුක් වේදනා තවත් නැති කල්හි
දුක් වේදනා විඳීම, පවුල සඳහා දෙවිගේ මුල් අරමුණේ අංගයක්ව තිබුණේ නැහැ. ඔහු එය බිහි කළේ නැහැ; ඔහුට එය අවශ්‍ය වුණේවත් නෑ. ‘එසේනම්,’ ඔබ මෙහෙම අහනවා වෙන්න පුළුවන්: ‘එය පටන්ගත්තේ කොහොමද? ඒ වගේම අද වෙන තුරු ඒක දිගටම පවතින්න දෙවි ඉඩහැරලා තියෙන්නේ ඇයි?’—යාකොබ් 1:13, සසඳන්න.
මේකට පිළිතුර හොයාගන්න තියෙන්නේ, මනුෂ්‍යයාගේ ඉතිහාසය ගැන තියෙන මුල්ම වාර්තාව වන බයිබලයේ, විශේෂයෙන්ම උත්පත්ති පොතෙනුයි. අපේ මුල් දෙමාපියන් වන ආදම් හා ඒව, දෙවිට එරෙහිව කැරලි ගැසූ සාතන් නම් යක්ෂයාව අනුගමනය කළා කියලා එහි කියනවා. ඔවුන්ගේ ක්‍රියා, විශ්වනීය නීතියේ හා විනයේ අඩිතාලමටම පහර දුන් මූලික ප්‍රශ්න මතු කළා. යහපත හා නපුර කුමක්ද කියලා තමන්ටම තීරණය කිරීමේ අයිතිය ඔවුන් ඉල්ලා සිටි විට, ඔවුන් දෙවිගේ පරමාධිපත්‍යයට අභියෝග කළා. පාලනය කරන්න හා “යහපත හා නපුර” කුමක්ද කියා විනිශ්චය කරන්න ඔහුට පමණක් තියෙන අයිතිය ඔවුන් ප්‍රශ්නයට ලක් කළා.—උත්පත්ති 2:15-17; 3:1-5.
ඔහුගේ කැමැත්ත වහාම බලෙන් කරවන්නේ නැත්තේ ඇයි?
ඔබ මෙහෙම අහන්න පුළුවන්; ‘එහෙමනම්, දෙවි වහාම ඔහුගේ කැමැත්ත බලෙන් කරවා නොගත්තේ ඇයි?’ බොහෝදෙනෙක්ට නම්, කාරණය සරල දෙයක් හැටියටයි පේන්නේ. ‘දෙවිට බලය තිබුණා. කැරලිගසන්නන්ව විනාශ කරන්න ඔහුට ඒක පාවිච්ච් කරන්න තිබුණනේ’ කියලා ඔවුන් කියනවා. (ගීතාවලිය 147:5) ඒත් ඔබෙන්ම මේ ප්‍රශ්නය අසාගන්න, ‘තමන්ගේ කැමැත්ත බලෙන් කරවාගන්න, වැඩි බලයක් යොදාගන්න හැම කෙනෙක්වම මම නොපැකිලවම අනුමත කරනවාද? තම සතුරන්ව විනාශ කරන්න ඒකාධිපතියෙක් ඝාතක බල ඇණියක් පාවිච්චි කරන කොට, මට පිළිකුල්සහගතබවක් හැඟෙන්නේ නැද්ද?’ සාධාරණ මනුෂ්‍යයන් බොහෝදෙනෙක්, එවැනි දෙයකට මහත් පිළිකුලක් දක්වනවා.
ඔබ මේ විදිහට කියන්න පුළුවන්, ‘ආහ්, ඒත් දෙවි ඒ බලය පාවිච්චි කළා නම්, කිසි කෙනෙක් ඔහුගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කරන එකක් නැහැ.’ ඔබට සහතිකද? දෙවි බලය පාවිච්චි කරන ආකාරය ගැන මනුෂ්‍යයන් ප්‍රශ්න කරන බව සැබෑවක් නෙවෙයිද? දුෂ්ටකමට ඉඩහැරීම සම්බන්ධයෙන් ගත්තහම, ඔහු එය ඇතැම් අවස්ථාවලදී පාවිච්චි නොකිරීමට හේතුව ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. වෙනත් අවස්ථාවලදී, ඔහු එය පාවිච්චි කිරීමට හේතුව ගැනත් ඔවුන් ප්‍රශ්න කරලා තියෙනවා. දෙවි තම සතුරන්ට එරෙහිව බලය පාවිච්චි කළ ආකාරය ගැන විශ්වාසවන්ත ආබ්‍රහම්ට පවා ගැටලුවක් තිබුණා. සොදොම විනාශ කරන්න දෙවි තීරණය කළ අවස්ථාව මතකද? යහපත් මනුෂ්‍යයන් දුෂ්ට අය සමඟ විනාශ වෙයි කියලා වරදවා තේරුම්ගත් ආබ්‍රහම් භය වුණා. ඔහු මෙහෙම මොරගැසුවා: “එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා.” (උත්පත්ති 18:25) සම්පූර්ණ බලය අනිසි ලෙස පාවිච්චි නොකරනු ඇති බවට, ආබ්‍රහම් වගේ හොඳ සිහිකල්පනාවෙන් සිටි මනුෂ්‍යයන්ට පවා සහතිකයක් අවශ්‍ය වුණා.
ඇත්තෙන්ම කිව්වොත්, දෙවිට ආදම්, ඒව හා සාතන්ව ඒ විගසම විනාශ කර දමන්න තිබුණා. ඒත්, දේවදූතයන් හා ඔහුගේ ක්‍රියා ගැන පසුව දැනගන්ට ලැබෙන අනාගතික මැවිලිවලට එය බලපාන්න පුළුවන් ආකාරය ගැන කල්පනා කරන්න. දෙවිගේ පාලනයේ ධර්මිෂ්ඨකම පිළිබඳ වධ දෙන ප්‍රශ්න ඔවුන් තුළ පහළ වීමට මෙය හේතුවක් වෙන්න පුළුවන්ද? නිච්ච විස්තර කළ ආකාරයට, දෙවි තමන්ට විරුද්ධ වන ඕනෑම කෙනෙක්ව කෲර අන්දමින් විනාශ කරලා දමන යම් ආකාරයක කෲර ඒකාධිපතියෙක් බවට වූ චෝදනාවට දෙවි ලක් වන්නේ නැද්ද?
හරි දේ කරන්න මනුෂ්‍යයන්ට බල කරන්නේ නැත්තේ ඇයි?
සමහර අය මෙහෙම අහන්න පුළුවන්; ‘මනුෂ්‍යයන්ට හරි දේ කරන්න දෙවිට බල කරන්න බැරිද?’ හොඳයි, මේකත් සලකා බලන්න. ඉතිහාසය පුරා, ඔවුන් කල්පනා කරන ආකාරයට මනුෂ්‍යයන්ව යටත් කරන්න ආණ්ඩු උත්සාහ කරලා තියෙනවා. ඇතැම් ආණ්ඩු හෝ පාලකයන් මනුෂ්‍යයන්ගේ මනස් පාලනය කරන්න විවිධ ක්‍රම යොදාගෙන තියෙනවා; ඔවුන් ඇතැම්විට එහෙම කරලා තියෙන්නේ, මත්ද්‍රව්‍ය හෝ ශල්‍යකර්ම යොදාගෙන, ගොදුරු වුණු අයට තියෙන පුදුමාකාර දීමනාවක් වන නිදහස් කැමැත්ත සොරාගැනීමෙනුයි. නිදහසේ තෝරාගැනීමට තියෙන අයිතිය අනිසි විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණත්, අපි එම දීමනාව අනර්ඝ දෙයක් හැටියට සලකන්නේ නැද්ද? එම නිදහස ඉවත් කරන්න ඕනෑම ආණ්ඩුවක් හෝ පාලකයෙක් ගන්නා වෑයම් අපි නොසලකා හරිනවාද?
එහෙමනම්, නීතිය පැනවීමට දෙවිට ඒ විගසම බලය පාවිච්චි කරනවා ඇරෙන්න වෙන කුමන දෙයක් කරන්න තිබුණාද? කැරලිගැසීම සමඟ කටයුතු කරන්න හොඳම මාර්ගය, තම නීති ප්‍රතික්ෂේප කරන අයට තම පාලනයෙන් ස්වාධීනව තාවකාලික කාලපරිච්ඡේදයක් සිටීමට ඉඩහැරීම බව යෙහෝවා දෙවි තීරණය කළා. මෙයින්, ආදම් හා ඒවගෙන් පැවතෙන මනුෂ්‍ය පවුලට, දෙවිගේ නීතියට යටත් නොවී තමන්ව පාලනය කරන්න සීමිත කාලයකට ඉඩ ලැබෙනවා. ඔහු එහෙම කළේ ඇයි? කාලය ගෙවී යන කොට, තම කැමැත්ත සිදු කරන්න තම අසීමිත බලය පාවිච්චි කරන විට පවා, ඔහු පාලනය කරන විදිහ හැමවිටම නිවැරදි හා ධර්මිෂ්ඨ බවත්, ඔහුට විරුද්ධව සිදු කරන ඕනෑම කැරලිගැසීමකට කවදාහරි විපත්තිදායක ප්‍රතිඵලයක් තියෙන බවත් ඔප්පු කරන සෙලවිය නොහැකි සාක්ෂි එක්රැස් වන බව ඔහු දැනසිටි නිසයි.—ද්විතීය කථාව 32:4; යෝබ් 34:10-12; යෙරෙමියා 10:23.
ගොදුරු වූ අහිංසකයන් සියල්ලෝම ගැන මොනවද කියන්නේ?
‘ඒ අතරම, ගොදුරු වූ අහිංසකයන් සියල්ලෝම ගැන මොනවද කියන්නේ’ කියලා ඔබ අහන්න පුළුවන්. ‘යම් නීතික කාරණයක් ඔප්පු කිරීමට, ඔවුන් විඳින වේදනාවේ ඇත්තටම වටිනාකමක් තියෙනවාද?’ ඇත්තෙන්ම යම් අපැහැදිලි නීතික කාරණයක් ඔප්පු කිරීමට දෙවි නපුරුකම පැවතීමට ඉඩහැරලා තියෙනවා නොවේ. ඊට වෙනස්ව, ඔහු එසේ කර තියෙන්නේ, සිටින එකම පරමාධිපති තමා බව සහ තමාගේ සෑම මැවිල්ලකටම සමාදානය හා සන්තෝෂය නොකඩවා ලබාගන්න නම් තම නීතිවලට කීකරුවීම අත්‍යවශ්‍යයි කියන මූලික සත්‍යය තහවුරු කරන්නයි.
මනසේ තබාගන්න තියෙන අතිවැදගත් දෙයක් තමයි, මනුෂ්‍ය පවුලට මෙයින් ඇති විය හැකි හානි සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරන්න තමාට හැකි බව දෙවි දැනගෙන සිටීම. තාවකාලික දුක හා වේදනාවට, දිගු කාලීනව ප්‍රයෝජනවත් වන ප්‍රතිඵලයක් තියෙනවා කියලා ඔහු දන්නවා. දරුවෙක්ව මරණයට පත් කරන්න පුළුවන් ලෙඩ රෝගයකින් ආරක්ෂාව සපයන්න, වෛද්‍යවරයෙක් වේදනා ඇති කරන එන්නතක් විදින තෙක් තම දරුවාව තදින් අල්ලාගෙන සිටින මවක් ගැන සිතන්න. තම දරුවාට වේදනාවක් දැනෙන්න සලස්වන්න කිසිම මවකට වුවමනා නැහැ. තම රෝගියාට දුකක් ඇති කරවන්න කිසිම වෛද්‍යවරයෙක් කැමති නැහැ. ඒ අවස්ථාවේදී එම වේදනාවට ඉඩහැරීම දරුවා අගය කරන්නේ නැති වුණත්, එයට ඉඩ දුන්නේ ඇයි කියලා ඔහු පසුව තේරුම්ගනීවි.
වේදනා විඳින්නන්ට සැබෑ අස්වැසිල්ලක් තියේද?
මේ දේවල් දැනගෙන සිටීමෙන් විතරක්, දුක් වේදනා විඳින අයට යම් අස්වැසිල්ලක් ලැබෙන්නේ නැහැ කියලා සමහර අයට හැඟෙනවා වෙන්න පුළුවන්. දුක් වේදනා පැවතීමට හේතුව ගැන යුක්තිසහගත පැහැදිලි කිරීමක් කරන එක, “සාගින්නෙන් ඉන්න මිනිහෙක්ට ආහාර ද්‍රව්‍යවල තියෙන දේවල් ගැන දේශනයක් දෙන එකට සමානයි” කියලා හාන්ස් කූං කියා සිටිනවා. ඔහු මේ විදිහට අහනවා: “දුක් වේදනා මගින් යටපත් වී සිටින මනුෂ්‍යයෙක්ට, සිහිනුවණැති තර්ක කිරීමෙන් ඇත්තෙන්ම දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්ද?” කොහොම වුණත්, දේවවචනය වන බයිබලය නොසලකා හරින මනුෂ්‍යයන්ගේ හැම “සිහිනුවණැති තර්ක කිරී[මක්ම]” දුක් වේදනා විඳින අයට දිරිගැන්වීමක් ලබා දීලා නැහැ. මනුෂ්‍යයා දුක් විඳිනවා දැකීම දෙවි අදහස් කළ බවත්, අවසානයේදී ස්වර්ගයේ ජීවිතයක් ලබාගන්න අය සඳහා පොළොව කඳුළු මිටියාවතක් නැතහොත් පරීක්ෂා කිරීමේ ස්ථානයක් හැටියට නිර්මාණය කළ බවත් යෝජනා කිරීමෙන්, මනුෂ්‍යයන්ගේ මෙවැනි තර්කයන්, ගැටලුව තව තවත් උග්‍ර කර තියෙනවා විතරයි. මොනතරම් දේවාපහාසයක්ද!
ඒත්, බයිබලයම සැබෑ සහනයක් සපයනවා. එය දුක් වේදනා පැවතීමට හේතුව ගැන ස්ථිරසාර පැහැදිලි කිරීමක් සපයනවා විතරක් නෙවෙයි, නමුත් තාවකාලිකව අවසර දී තියෙන දුක් වේදනාවලින් සිදු කරලා තියෙන සියලුම හානි නැවත හරිගස්වන බවට වූ දෙවිගේ සැබෑ පොරොන්දු කෙරෙහි නිසැකකමකුත් ලබා දෙනවා.
‘සියලු දේ නැවත පිහිටුවීම’
ඉතා ඉක්මනින්ම, තම මුල් මනුෂ්‍ය මැවිලි කැරලිගසන්න කලින් දෙවි පවතින්න අදහස් කළ තත්වය නැවත පිහිටුවන්න යනවා. මනුෂ්‍යයන්ගේ ස්වාධීන පාලනය සඳහා ඔහු නියම කර තියෙන කාලය අවසන් වෙන්න ආසන්න තත්වයකයි තියෙන්නේ. අපි ජීවත් වෙමින් සිටින්නේ, ඔහු ‘යේසුස්ව’ එවන්න ඉන්න කාලයේ; “දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.”—ක්‍රියා 3:20, 21.
යේසුස් ක්‍රිස්තුස් මොනවද කරන්න ඉන්නේ? ඔහු පොළොවෙන් දෙවිගේ සතුරන් සියලුදෙනාවම ඉවත් කරන්න යනවා. (2 තෙසලෝනික 1:6-10) මනුෂ්‍ය ආඥාදායකයන් කරනවා වගේ මෙය වහාම සිදු වන දෙයක් නෙවේ. මනුෂ්‍යයාගේ අනිසි පාලනයේ ව්‍යසනකාරි ඵලවිපාක ඔප්පු කිරීමට තියෙන බොහෝ සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ, තම කැමැත්ත ක්‍රියාවේ යොදවන්න තම අසීමිත බලය පාවිච්චි කිරීම, දෙවිගේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම යුක්තිසහගත ක්‍රියාවක් බවයි. (එළිදරව් 11:17, 18) මුලින්ම, පොළොවෙහි කවදාවත් අද්දැකලා නැති “පීඩාවක්” සිදු වන බව මෙයින් අදහස් කරනවා; මෙය නෝවාගේ දවස්වල සිදු වුණ ජලගැල්මට සමාන වුණත් ඊට වඩා බලවත් එකක් වෙයි. (මතෙව් 24:21, 29-31, 36-39) මෙම “මහත් පීඩා[වෙන්]” ගැළවෙන අය, “තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ,” දෙවිගේ පොරොන්දු සියල්ලකගේ ඉටුවීම දකින කොට, “සැනසිලි කාලයන්” අද්දකිනවා. (ක්‍රියා 3:19, 20ආ; එළිදරව් 7:14-17) දෙවි පොරොන්දු කරලා තියෙන්නේ මොකක්ද?
යුද්ධ හා ලේවැගිරීම් මගින් සිදු කරන දුක් වේදනාවලට අවසානයක් තියෙයි කියලා දෙවිගේ ඉපැරණි අනාගතවක්තෘවරු පවසනවා. උදාහරණයක් වශයෙන්, ගීතාවලිය 46:9 අපට මෙහෙම කියනවා: “උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක.” ගොදුරු වූ අහිංසක අය හා ඛේදනීය තත්වයේ ඉන්න සරණාගතයන්, යුද්ධවලදී දූෂණය වූ, අබ්බගාත වූ හා ඝාතනය වූ අය තවත් නැහැ. අනාගතවක්තෘ යෙසායා මෙහෙම ප්‍රකාශ කරනවා: “ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:4.
අපරාධ හා අයුක්තිය මගින් ඇති කරන දුක් වේදනාවලට අවසානයකුත් තියෙන බව අනාගතවක්තෘවරු කියා සිටිනවා. “අවංක අයවල් දේශයෙහි වාසයකර[න]” බවත්, දුක හා වේදනාව ඇති කරන අය “එයින් උදුරාදමනු ලබ[න]” බවත් හිතෝපදේශ 2:21, 22 පොරොන්දු වෙනවා. “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක්” තවත් තියෙන්න යන්නේ නැහැ. (දේශනාකාරයා 8:9) දුෂ්ට අය සියලුදෙනාවම සදහටම ඉවත් කරනු ලබනවා. (ගීතාවලිය 37:10, 38) සියලුදෙනාටම, දුක් වේදනාවලින් නිදහස්ව සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් ජීවත් වෙන්න පුළුවන් වේවි.—මීකා 4:4.
ඒ විතරක් නෙවෙයි, ශාරීරික හා චිත්තවේගීය ලෙඩ රෝග මගින් සිදු වන දුක් වේදනාවලටද අවසානයක් තියෙයි කියලා අනාගතවක්තෘවරු පොරොන්දු වෙනවා. (යෙසායා 33:24) අන්ධ, බිහිරි, ආබාධිත හා ලෙඩ රෝගවලින් පීඩා විඳින හැම කෙනෙක්වම සුව කරනු ලබන බවට යෙසායා පොරොන්දු වෙනවා. (යෙසායා 35:5, 6) දෙවි මරණයේ බලපෑම් පවා ඉවත් කරන්න යනවා. “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය” කියලා යේසුස් පුරෝකථනය කළා. (යොහන් 5:28, 29) ‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ ගැන ඔහුගේ දර්ශනයේ, “දෙවියන්වහන්සේම . . . ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොව[න]” බව ප්‍රේරිත යොහන්ට කිව්වා. (එළිදරව් 21:1-4) ඒ ගැන හිතල බලන්න. දුක නැහැ, කඳුළු නැහැ, හැඬීම නැහැ, මරණය නැහැ,—දුක් වේදනා ආයේ කවදාකවත් නැහැ!
නපුරුකම පැවතීමට ඉඩ දුන් මෙම තාවකාලික කාලය තුළදී සිදු වූ ඕනෑම ඛේදවාචකයක් සඳහා පිළියම් යොදන්නයි යන්නේ. දෙවි කිසි දවසක අරමුණු නොකළ මනුෂ්‍ය දුක හා වේදනා පවා සදහටම මකා දමන්නයි යන්නේ. “පළමු විපත්ති මතක නැතිවී, . . . පළමු දේ මතක්කරනු ලබන්නේවත් . . . නැත” යනුවෙන් යෙසායා පුරෝකථනය කළා. (යෙසායා 65:16, 17) පාරාදීස පොළොවක පූර්ණ සමාදානයෙන් හා සන්තෝෂයෙන් ජීවත් වන පරිපූර්ණ මනුෂ්‍ය පවුලක් සඳහා වූ දෙවිගේ මුල් අරමුණ සම්පූර්ණයෙන් ඉටු වේවි. (යෙසායා 45:18) ඔහුගේ පරමාධිපත්‍යය කෙරෙහි නිසැකකම පූර්ණ එකක් වේවි. දෙවි හැම මනුෂ්‍ය දුක් වේදනාවක්ම අවසන් කරන කොටත්, නිච්ච චෝදනා කළ විදිහට තමා යම් ආකාරයක “කෲරයෙක්, වංචාකාරයෙක්, හොරෙක්, වධකයෙක්” නොව ඒත්, සෑමවිටම ප්‍රේමනීය, ප්‍රඥාවන්ත මෙන්ම තම පූර්ණ බලය විදහාපෙන්වීමේදී යුක්තිසහගත බව පෙන්නුම් කරන කොටත්, එම කාලයේදී ජීවත්ව සිටීම මොනතරම් වරප්‍රසාදයක් වේවිද!
[5වන පිටුවේ පින්තූරය]
ඇතැම් පාලකයන් මනුෂ්‍යයන්ගේ මනස් පාලනය කිරීමෙන්, ඔවුන්ට ගොදුරු වුණු අයට තියෙන නිදහස් කැමැත්ත සොරාගෙන තියෙනවා
[හිමිකම් විස්තර]
UPI/Bettmann
[7වන පිටුවේ පින්තූරය]
දුක් වේදනා තවත් නැති කල්හි, සියලුදෙනාම උපරිම අන්දමින් ජීවිතය භුක්ති විඳින්න යනවා