ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 10/15 12-16 පි.
  • ඔබ කාගේ දාසයෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ කාගේ දාසයෙක්ද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මම මගේ ස්වාමියාට බොහෝ සෙයින් ආදරය කරමි’
  • දාසයන් වුණත් නිදහස්
  • ගන්න පුළුවන් හොඳම තීරණය
  • උසස් අධ්‍යාපනයද? උසස්ම අධ්‍යාපනයද?
  • උසස්ම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • දාසයන්ට ලැබෙන ආශීර්වාද
  • “ඔබව මිල දී ගනු ලැබීය”
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?
    2001 පිබිදෙව්!
  • වහල්භාවයෙන් මිදීමට දිගු සටනක්
    2002 පිබිදෙව්!
  • කෲර මෙහෙකාර සේවය දෙවි අනුමත කරනවාද?
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 10/15 12-16 පි.

ඔබ කාගේ දාසයෙක්ද?

“කම්මැළි නොවී යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න.”—රෝම 12:11.

ඔබ හිතන්නේ මොකක්ද?

  • රෝම 12:11හි අපිව දිරිගන්වන්නේ මොන වගේ දාසයෙක් වෙන්න කියලද?

  • සාතන්ගෙත් ඔහුගේ ලෝකයෙත් දාසයෙක් නොවී ඉන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

  • දෙවිගේ දාසයන්ට ලැබෙන ආශීර්වාද මොනවද?

1. දාසයෙක් කිව්වම හුඟක් අයට මතක් වෙන්නේ මොනවද? දෙවිගේ දාසයෙක් වෙන එක ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

දාසයෙක් කිව්වම හුඟක් අයට මතක් වෙන්නේ බලහත්කාරයෙන් වැඩ ගන්න, ස්වාමියාගේ තාඩන පීඩනවලට ලක් වෙන කෙනෙක්වයි. ඒ නිසා අපි කවුරුත් කැමති නැහැ දාසයෙක් වෙන්න. ඒ වුණත් බයිබලයේ කියනවා “යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න” කියලා. (රෝම 12:11) ඒ කියන්නේ දෙවිගේ දාසයෙක් වෙන්න කියලයි. දෙවිගේ දාසයෙක් වෙන එක මිනිසුන්ගේ දාසයෙක් වෙනවට වඩා වෙනස්. මොකද, අපේ දෙවි ප්‍රේමණීය ස්වාමියෙක්. අපි දෙවිගේ දාසයෙක් වෙන්න ඕනෙ ඔහුට ආදරය කරන නිසයි. දෙවිගේ දාසයෙක් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? සාතන්ගෙත් මේ ලෝකයෙත් දාසයෙක් නොවී ඉන්න අපි මොනවද කරන්න ඕනෙ? දෙවිගේ දාසයෙක් වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?

‘මම මගේ ස්වාමියාට බොහෝ සෙයින් ආදරය කරමි’

2. (අ) අතීතයේ හිටපු සමහර දාසයන් දිගටම ස්වාමියා ළඟ ඉන්න කැමති වුණේ ඇයි? (ආ) දාසයෙක් තමන්ගේ කන විදින්න ස්වාමියාට ඉඩ දීමෙන් පෙන්නුවේ මොකක්ද?

2 අතීතයේ ඊශ්‍රායෙල්වරුන් අතර හිටපු දාසයෙක්ට තමන්ගේ ස්වාමියා ළඟ අවුරුදු හයක් වැඩ කරලා හත්වෙනි අවුරුද්දේදී නිදහස් වෙන්න නීතියෙන් අවසර තිබුණා. (නික්. 21:2) ඒත් ඒ දාසයා ස්වාමියාට ආදරෙයි නම් ඔහුට දිගටම ඒ නිවසේ ඉන්නත් නීතියෙන් අවසර තිබුණා. ඒ වගේ අවස්ථාවකදී ස්වාමියා දාසයාව උළුවහු කණුව ළඟට ගෙනල්ලා ඔහුගේ කන විදිනවා. (නික්. 21:5, 6) එහෙම කළේ ඇයි? කීකරු වෙනවා කියන හෙබ්‍රෙව් වචනයට ඇහුම්කන් දෙනවා කියන අදහසත් ඇතුළත්. ඇහුම්කන් දීමට කන සම්බන්ධ නිසා දාසයෙක් තමන්ගේ කන විදින්න ඉඩ දෙන එකෙන් පෙන්නුවේ ස්වාමියා කියන දේ අහලා කීකරුව ඉන්න පොරොන්දු වෙනවා කියන එකයි. අපේ ජීවිත දෙවිට කැප කරද්දී අපි දෙන්නෙත් ඒ හා සමාන පොරොන්දුවක්.

3. අපේ ජීවිත දෙවිට කැප කළේ ඇයි?

3 අපි දෙවිට කැප වෙද්දී ඔහුට කීකරු වෙන්නත් ඔහු කියන ඕනෙම දෙයක් කරන්නත් පොරොන්දු වුණා. එහෙම කරන්න කියලා අපිට කවුරුවත් බල කළේ නැහැ. අපි අතර ඉන්න යෞවන දරුවනුත් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න තීරණය කරන්නේ දෙමව්පියන්ව සතුටු කරන්න නෙවෙයි. දරුවන් ඇතුළු අපි හැමෝම අපේ ජීවිත දෙවිට කැප කළේ යෙහෝවා දෙවිට ආදරය කරන නිසයි. අපි “දෙවිට ප්‍රේම කරනවා” කියලා පෙන්වන්නේ ‘ඔහුගේ ආඥා පිළිපැදීමෙනුයි.’—1 යොහ. 5:3.

දාසයන් වුණත් නිදහස්

4. “ධර්මිෂ්ඨකමට දාසයන්” වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

4 දෙවි අපි වෙනුවෙන් යේසුස්ගේ ජීවිත පූජාව දීලා තියෙන නිසා පාපයට වහලුන් වෙලා හිටපු අපිට නිදහස ලැබුණා. අපි තවමත් අසම්පූර්ණයි තමයි. ඒත් අපි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන නිසා අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පාපයට බැහැ. අපි පාපයේ වහලුන් වෙනවද නැත්නම් දෙවිගේ සහ යේසුස්ගේ දාසයන් වෙනවද කියලා තීරණයක් ගන්න දැන් අපිට පුළුවන්. පාවුල් මෙහෙම කිව්වා. ‘ඔබේ පව්කාර ස්වභාවය සම්බන්ධයෙන් ඔබ මිය ගොස් ඇති බවත් ඔබ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි වෙනුවෙන් ජීවත්ව සිටින බවත් සැලකිල්ලට ගත යුතුයි.’ ඔහු මෙහෙමත් කිව්වා. “මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත. ඔබේ පව්කාර ස්වභාවයට කීකරු වී එයට දාසයෙකු වුණොත් එහි අවසන් ප්‍රතිඵලය මරණයයි. නමුත් ඔබ දෙවිට කීකරු වී ඔහුට දාසයෙක් වුණොත් දෙවි ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨ අය බවට පත් වේ. ඔබ දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද මීට පෙර ඔබ සිටියේ ඔබේ පව්කාර ස්වභාවයට වහල්වය. නමුත් දැන් ඔබ ඔබට භාර දුන් ඉගැන්වීම්වලට හදවතින්ම කීකරු වන අය බවට පත් වී ඇත. ඔබ ඔබේ පව්කාර ස්වභාවයට වහල් නොවී සිටින නිසා ඔබ දැන් ධර්මිෂ්ඨකමට දාසයන්ව සිටින බව පැවසිය හැක.” (රෝම 6:11, 16-18) පාවුල් කියන්නේ “හදවතින්ම කීකරු” වෙන අය “ධර්මිෂ්ඨකමට දාසයන්” වෙනවා කියලයි. අපි කැප වෙද්දී දෙවිට හදවතින්ම කීකරු වෙන්න පොරොන්දු වෙන නිසා එදා ඉඳන් අපි ධර්මිෂ්ඨකමට දාසයන් වෙනවා.

5. අපි හැමෝම සටන් කරන්න ඕනෙ මොන දේ එක්කද? ඒ ඇයි?

5 දෙවිගේ දාසයන් හැටියට අපිට අපේ පව්කාර ස්වභාවය එක්ක සටන් කරන්න වෙනවා. ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.” (රෝම 7:22, 23) අපිට උරුම වෙලා තියෙන පාපය නිසා දෙවි අකමැති දේවල් කරන්න නිතරම වගේ අපි තුළ පෙලඹීම් ඇති වෙනවා. ඒකට විරුද්ධව ඉන්න අපි ලොකු සටනක් කරන්න ඕනෙ. ඒ නිසා පේතෘස් අපිට උනන්දු කරන්නේ “නිදහස් අය මෙන් ජීවත් වන්න. ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න” කියලයි.—1 පේතෘ. 2:16.

6, 7. සාතන් මේ ලෝකයේ තියෙන දේවලට අපි තුළ ආශාවක් ඇති කරන්නේ කොහොමද?

6 සාතන් හා භූතයන් යටතේ තියෙන මේ ලෝකය එක්කත් අපිට හැමදාම සටන් කරන්න වෙනවා. සාතන්ට ඕනෙ අපිව ඔහුගේ දාසයන් කරගන්නයි. ඒ නිසා යෙහෝවා දෙවි හා යේසුස් එක්ක තියෙන අපේ බැඳීම කඩන්න, ඔහු මේ ලෝකයේ තියෙන දේවල් හරිම කපටි විදිහට යොදාගන්නවා. (එෆීස 6:11, 12 කියවන්න.) බයිබලයේ අපිට අනතුරු අඟවන්නේ මෙහෙමයි. “යමෙක් මේ ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත. මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත් පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.” (1 යොහ. 2:15, 16) සාතන්ගේ ලෝකයේ තියෙන දේවල් ගැන අපේ හිතේ ලොකු ආශාවක් ඇති කරලා ඒවා නැත්නම් අපේ ජීවිතේ ලොකු අඩුවක් තියෙනවා කියලා හිතන්න ඔහු අපිව පොලඹවනවා.

7 අද ඉන්න හැමෝම වගේ උත්සාහ කරන්නේ එන එන අලුත්ම භාණ්ඩ මිල දී ගන්නයි. හුඟක් මුදල් තිබුණොත් විතරයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන්න සාතන් මිනිසුන්ව පොලඹවනවා. අඩියක් අඩියක් ගානේ තියෙන සුපිරි වෙළඳසැල්, බලන බලන තැන්වල තියෙන වෙළඳ දැන්වීම් ගැන හිතන්න. ඒ හැම දේකින්ම කියන්නේ වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගන්න එකත් ජීවිතේ විනෝදෙන් ගත කරන එකත් තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ කියලා නේද? දෙස් විදෙස් සංචාර සඳහා මිනිසුන්ව ආකර්ෂණය කරගන්න අද විවිධ ක්‍රම යොදාගන්නවා. හුඟක් වෙලාවට ඒ සංචාරවලදී අපිට කාලය ගත කරන්න වෙන්නේ දෙවිට නමස්කාර නොකරන අය එක්කයි. ඒ හැම දේකින්ම සාතන් උත්සාහ කරන්නේ ඔහුට ඕනෙ විදිහට අපිව හැඩගස්වන්න කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

8, 9. අපි ඕනෙම කෙනෙක් අහු වෙන්න පුළුවන් උගුල මොකක්ද?

8 සාතන්ගේ ලෝකයේ දේවලට ආශාවක් ඇති කරගත් ක්‍රිස්තියානීන් ගැන පේතෘස් මෙහෙම කිව්වා. “දිවා කාලයේදී ඔවුන් තම පව්කාර ආශාවන් තෘප්තිමත් කරගන්නේ ඉමහත් ආස්වාදයක් ලබමිනි. ඔබ අතරේ සිටින ඔවුන්ව පැල්ලම් සහ කැළැල්වලට සමාන කළ හැක. ඔවුහු ඔබ සමඟ ආහාර ගන්නා අතරතුරේදී ඉමහත් සතුටක් ලබමින් තම මුළා කරවනසුලු අදහස් පතුරුවති. මන්ද ඔවුහු කිසි හරයක් නැති දේවල් ගැන මහ ඉහළින් කතා කරති. ඊට අමතරව ඔවුහු වැරදි දේවල් කරන අයගෙන් යන්තමින් හෝ ගැලවී යන අයව පව්කාර ආශාවලට හා නින්දිත ක්‍රියාවලට යොමු කරමින් නැවතත් වරදට පොලඹවති. එම දුෂ්ට මිනිසුන් අනුන්ට නිදහසක් ලබා දීමට පොරොන්දු වුවත් ඔවුහු ඉතා පිරිහුණු ජීවිතයකට වහල්ව සිටිති. මන්ද යමෙක් යම් දෙයකට හසු වී සිටී නම් ඔහු ඊට වහල්ව සිටියි.”—2 පේතෘ. 2:13, 18, 19.

9 “දකින දකින දේ ලබාගැනීමේ ආශාව” තෘප්තිමත් කරගන්න ගියොත් අපි ඒ දේවලට වහල් වෙනවා. වෙන විදිහකින් කියනවා නම් ඒ දේවල් පිටුපස්සේ ඉන්න, මේ ලෝකයේ පාලකයා වන සාතන්ට අපි වහල් වෙනවා. (1 යොහ. 5:19) සාතන්ගේ ඒ උගුලට අපි ඕනෙම කෙනෙක් අහු වෙන්න පුළුවන්. එහෙම වුණොත් බේරෙන එක නම් ලේසි නැහැ.

ගන්න පුළුවන් හොඳම තීරණය

10, 11. සාතන් විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ කාවද? දෙවිට සේවය කරන යෞවනයෙකුට උසස් අධ්‍යාපනය බාධාවක් වෙන්නේ කොහොමද?

10 ඒදන් උයනේදී කළා වගේ සාතන් අදත් ඉලක්ක කරන්නේ ජීවිතේ අද්දැකීම් අඩු අයව අල්ලගන්නයි. ඔහුගේ ප්‍රධානම ඉලක්කය යෞවනයන්. ඔහුට ඕනෙ යෞවනයන් ඇතුළු අපි හැමෝම දෙවි එක්ක ඇති කරගෙන තියෙන බැඳීම කඩලා දාන්නයි.

11 දාසයෙකුගේ කන විදින වෙලාවෙදී ඒ දාසයාට යම් වේදනාවක් දැනෙනවා. ඒත් ඊටපස්සේ හැමෝම දැනගන්නවා ඔහු තමන්ගේ ස්වාමියා ළඟ දිගටම ඉන්න තීරණය කරපු දාසයෙක් කියලා. යෞවනයෙකුටත් දෙවිගේ දාසයෙක් වෙන්න තීරණයක් අරන් ඒ අනුව දේවල් කරන එක මුලින් ලේසි නැහැ. මොකද ඔහුගේ වයසේ ඉන්න අනිත් හැමෝම හිතන්නේ ඊට වෙනස් විදිහටයි. සාතන් ඔවුන්ව පුරුදු කරලා තියෙන්නේ තව තවත් දියුණු වෙලා ඉහළට ගියොත් විතරයි ජීවිතේ නියම සතුට ලබාගන්න පුළුවන් කියලා හිතන්නයි. ඒත් ජීවිතේ නියම සතුට ලබන්න නම් යෙහෝවා දෙවිට මුල් තැන දීලා දේවල් කරන්න ඕනෙ. යේසුස් කිව්වෙත් “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි. (මතෙ. 5:3) දෙවිගේ වචනය “දිවා රෑ” කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන එකෙන් අපි ලොකු සතුටක් ලබනවා. (ගීතාවලිය 1:1-3 කියවන්න.) ඒත් උසස් අධ්‍යාපනයක් ලබන කෙනෙකුට ඒ දේ කරන්නවත් දෙවිට සේවය කරන්නවත් කාලය තියෙයිද?

12. යෞවනයන් ඉදිරියේ තියෙන්නේ මොන වගේ තේරීමක්ද?

12 ලෝකයේ යම් දෙයකට දාසයන් වුණොත් දෙවිට සේවය කරන්න අපිට හුඟක් අමාරුයි. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබව කැඳවනු ලැබූ අවස්ථාවේ ඔබ සිටියේ දාසයෙකු ලෙසද? එසේනම් ඒ ගැන කරදර නොවන්න. නමුත් ඔබට නිදහස් වීමට අවස්ථාවක් ලැබුණොත් එයින් ප්‍රයෝජන ගන්න.” (1 කොරි. 7:21) නපුරු ස්වාමියෙක් ළඟ ඉන්න දාසයෙක්ට නිදහස් වෙන්න ලැබුණොත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නිදහස් වෙන එක තමයි හොඳම දේ වුණේ. සමහර රටවල නීතියට අනුව දරුවෙක් යම් නිශ්චිත අවුරුදු ගණනක් පාසැල් අධ්‍යාපනය ලබන්න ඕනෙ. ඊටපස්සේ තමන් දිගටම අධ්‍යාපනය ලබනවද නැද්ද කියලා තීරණය කරන්න දරුවට පුළුවන්. ඒක හරියට ස්වාමියාගෙන් නිදහස් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න දාසයාට ලැබෙන අවස්ථාව වගේ. අපි හිතමු දරුවෙක් උසස් අධ්‍යාපනයක් ලබන්න තීරණය කළා කියලා. එතකොට දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න අවශ්‍ය නිදහස ලබාගන්න ඔහුට බැරි වෙනවා.—1 කොරින්ති 7:23 කියවන්න.

ඔබ කැමති කාගේ දාසයෙක් වෙන්නද?

උසස් අධ්‍යාපනයද? උසස්ම අධ්‍යාපනයද?

13. දෙවිගේ සේවකයන්ට වැඩියෙන්ම වටින්නේ මොන වගේ අධ්‍යාපනයක්ද?

13 පාවුල් එදා හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.” (කොලො. 2:8) උසස් අධ්‍යාපනය ලබන අයට හුඟක් වෙලාවට උගන්වන්නේ ‘දර්ශන, මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර හා මිනිසුන්ගේ සම්ප්‍රදායන්.’ එදිනෙදා ජීවිතේ දේවල් කරගන්න අවශ්‍ය පුහුණුවක් ඔවුන්ට ලැබෙන්නේ නැති තරම්. ඒත් දෙවිට වැඩි සේවයක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් අධ්‍යාපනය ලබන්නේ සාමාන්‍ය වෘත්තියක් කරන්න අවශ්‍ය පුහුණුව ලබාගැනීමේ අරමුණෙන්. එතකොට සරල ජීවිතයක් ගත කරන ගමන් දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ වගේ කෙනෙක් මේ උපදෙස පිළිපදිනවා. “දෙවිට භක්තියෙන් සේවය කරන විට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි. එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝ. 6:6, 8) තමන්ගේ නමට ඉස්සරහයින් යම් යම් පදවි නම් ලබාගන්න ඕනෙ කරන උපාධි, සහතිකපත් දිනාගන්නවට වඩා දෙවිගේ දාසයෙක් උත්සාහ කරන්නේ තමන්ගේ උපරිමයෙන් දෙවිට සේවය කරලා දෙවි ඉදිරියේ “සහතිකපත්” ලබාගන්නයි.—2 කොරින්ති 3:1-3 කියවන්න.

14. ෆිලිප්පි 3:8හි සඳහන් වෙන විදිහට දෙවිගේ හා යේසුස්ගේ දාසයෙක් වෙන්න ලැබීම ගැන පාවුල්ට හැඟුණේ කොහොමද?

14 පාවුල් යෞවනයන්ට හොඳ ආදර්ශයක්. ඔහු අධ්‍යාපනය ලැබුවේ යුදෙව් නීතිය ගැන ඉගැන්වූ ගමාලියෙල් ළඟයි. ඒක අද විශ්වවිද්‍යාලයක ලබනවා වගේ උසස් අධ්‍යාපනයක්. ඒත් යෙහෝවා දෙවිගෙත් යේසුස්ගෙත් දාසයෙක් වෙන්න ලැබීමේ ගෞරවය එක්ක සසඳද්දී ඔහු ලබපු අධ්‍යාපනය ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් දැනුම කොතරම් අනර්ඝද කිවහොත් මට තිබුණු සියල්ල මා සලකන්නේ කිසි වටිනාකමක් නැති දේවල් හැටියටය. ඔහු වෙනුවෙන් මට සෑම දෙයක්ම අහිමි වුවත් ඒ ගැන මට කිසි දුකක් නොදැනෙන අතර එසේ අහිමි වූ දේවල් මා සලකන්නේ කුණු ගොඩක් ලෙසය.” (ෆිලි. 3:8) පාවුල් හිතපු විදිහට හිතනවා නම් උසස් අධ්‍යාපනය ගැන හරි තීරණයක් ගන්න යෞවනයන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් පහසු වෙනවා. (පින්තූරය බලන්න.)

උසස්ම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු

15, 16. යෙහෝවා දෙවිගේ සංවිධානය ලබා දෙන්නේ මොන වගේ අධ්‍යාපනයක්ද? ඒ වගේ අධ්‍යාපනයක් ලබා දෙන්නේ ඇයි?

15 උසස් අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල වගේ තැන්වල ඉන්න ශිෂ්‍යයන් හුඟක් වෙලාවට ආණ්ඩුවලට, බලධාරීන්ට විරුද්ධව කැරලිගහනවා. (එෆී. 2:2) ඒත් යෙහෝවා දෙවිගේ සංවිධානය අපිට ලබන්න පුළුවන් උසස්ම අධ්‍යාපනය ලබා දෙන්නේ හරිම සාමකාමී පරිසරයකයි. හැම සතියකම පවත්වන සේවා පාසැලෙන් අපි හැමෝම ප්‍රයෝජන ලබනවා. ඊට අමතරව තනිකඩ සහෝදරයන් සඳහා පවත්වන පාසැලෙන් හා විවාහක යුවළයන් සඳහා පවත්වන පාසැලෙන් යෙහෝවා දෙවිට දිගටම සේවය කරන්න පුහුණුවක් ලබා දෙනවා.

16 බයිබලයේ තියෙන වටිනා කාරණා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න උදව් වෙන ප්‍රකාශන රාශියක් අපිට තියෙනවා.a ඒ හැම දේකින්ම අපි හොඳ අධ්‍යාපනයක් ලබනවා. අපි ඒ වගේ අධ්‍යාපනයක් ලබන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය තව හොඳින් කරන්නයි. ඒ වගේම දෙවි ගැන නොදන්නා අයටත් දෙවිගේ මිත්‍රයන් වෙන්න උදව් කරන්නයි. (2 කොරි. 5:20) එතකොට ඒ අයටත් පුළුවන් තවත් අයට දෙවි ගැන කියලා දෙන්න.—2 තිමෝ. 2:2.

දාසයන්ට ලැබෙන ආශීර්වාද

17. දෙවි දෙන අධ්‍යාපනය තෝරගත්තොත් අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

17 යේසුස් තලෙන්ත ගැන කිව්ව උපමාව මතකද? තමන්ට භාර දුන්න දේ හොඳින් කරපු දාසයන් දෙන්නව ස්වාමියා අගය කළා. භාර දුන්න දේ ඔවුන් විශ්වාසවන්තව කරපු නිසා ස්වාමියා සතුටු වුණා වගේම ඔවුන්ටත් සතුටක් ලැබුණා. ඒ නිසා ඔවුන්ට තවත් දේවල් භාර දුන්නා. (මතෙව් 25:21, 23 කියවන්න.) අපිත් දෙවි දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබන්න තීරණය කළොත් අපේ ස්වාමියා වන යෙහෝවා දෙවි සතුටු වෙනවා. ඒ වගේම අපිටත් ලොකු සතුටක් ලැබෙනවා. මයිකල්, පාසැලේ දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ගුරුවරු ඔහුට උනන්දු කළේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරගන්න කියලයි. ඒත් ඔහුට ඕනෙ වුණේ යම් ආදායම් මාර්ගයක් හදාගන්න උදව් වෙන කෙටිකාලීන පාඨමාලාවක් කරලා පුරෝගාමි සේවය කරන්නයි. ඒක ඇහුවම ගුරුවරු පුදුම වුණා. කාලයක් ගත වුණාට පස්සේ තමන් ගත්ත තීරණය ගැන මයිකල් පසුතැවිලි වුණාද? බයිබලයෙන් ඔහු ලබපු අධ්‍යාපනයත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කිරීමෙන් ඔහු දැන් ලබන පුහුණුවත් ඔහු හුඟක් අගය කරනවා. ඔහු කියන්නේ මෙහෙමයි. “මම උසස් අධ්‍යාපනය තෝරගත්තා නම් හොඳ රස්සාවක් කරලා හුඟක් සල්ලි හම්බ කරගන්න තිබුණා. ඒත් මම දැන් ලබන ආශීර්වාද එක්ක බලද්දී ඒ දේවල කිසිම වටිනාකමක් නැහැ.”

18. අපි උසස්ම අධ්‍යාපනය තෝරගන්න ඕනෙ ඇයි?

18 යෙහෝවා දෙවි ගැන ලබන අධ්‍යාපනය කෙනෙකුට ලබන්න පුළුවන් උසස්ම අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය ලබන අයට දෙවිගේ දාසයන් විදිහට දිගටම සේවය කරන්න ලැබෙනවා. ඒ වගේම ‘පාපයෙන් හා මරණයෙන්’ නිදහස් වෙන්නත් “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” අත්විඳින්නත් අවස්ථාව ලැබෙනවා. (රෝම 8:21) ඒ හැම දේකටම වඩා අපේ ආදරණීය ස්වාමියා වන යෙහෝවා දෙවිට අපි කොයි තරම් ආදරේද කියලා පෙන්වන්න අපිට අවස්ථාව ලැබෙනවා.—නික්. 21:5.

[පාදසටහන]

a Watch Tower Publications Index හා Watchtower Library CD-ROM ඒ අතරින් දෙකක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න