“ඔබ මාගේ සාක්ෂිකරුවෝය”
“යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබ මාගේ සාක්ෂිකරුවෝය.’”—යෙසා. 43:10.
1, 2. (අ) සාක්ෂිකරුවෙක් කියන්නේ කාටද? ජනමාධ්‍ය මිනිසුන්ට දැනුම් දීලා නැත්තේ මොනවා ගැනද? (ආ) යෙහෝවා දෙවිට මේ ලෝකෙ ජනමාධ්‍ය අවශ්‍ය නැත්තේ ඇයි?
සාක්ෂිකරුවෙක් කියන්නේ තමා දකින සිද්ධියක් අනිත් අයට දැනුම් දෙන කෙනාටයි කියලා එක ශබ්දකෝෂයක විස්තර කරනවා. දකුණු අප්‍රිකාවේ අවුරුදු 160ක් පුරා බෙදාහරින පත්තරේකටත් ‘සාක්ෂිකරුවා’ කියන නම දාලා තියෙනවා. පත්තරේ පටන්ගත්ත කාලේ ඒකේ ප්‍රධාන කර්තෘ මෙහෙම පොරොන්දුවක් වුණා. “මේ පත්තරේ සත්‍යය මිස සත්‍යයෙන් තොර කිසිවක් පළ කරන්නේ නැහැ.” පත්තරේ අරමුණ වුණේ සිද්ධීන් ඒ විදිහටම වාර්තා කරන එකයි.
2 ඒත් අද ලෝකෙ තියෙන ජනමාධ්‍ය හැම වෙලාවෙම සත්‍ය තොරතුරු සපයනවා කියලා ඔබ හිතනවද? කොහොමටවත් නැහැ. විශේෂයෙන්ම දෙවි ගැන, ඔහු කරලා තියෙන දේවල් ගැන ඔවුන් කොහොමටවත් සත්‍යය පවසන්නේ නැහැ. ඒත් දෙවි කිව්වේ ‘මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලු ජාතීන්ට සිදු වනු ඇත’ කියලයි. (එස. 39:7) ඒ දේ කරන්න මේ විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිට ජනමාධ්‍යවල උදව් අවශ්‍ය නැහැ. මොකද ඔහු ගැන කතා කරන ලක්ෂ අසූවක විතර සාක්ෂිකරුවන් පිරිසක් ලෝකෙ පුරාම ඉන්නවා. දෙවි අතීතයේදී කරපු දේවල්, දැන් කරන දේවල්, අනාගතයේදී කරන්න යන දේවල් ඔවුන් මිනිසුන්ට දැනුම් දෙනවා. ඔවුන් ගැන යෙසායා 43:10 තියෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබ මාගේ සාක්ෂිකරුවෝය. මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.’” දේශනා සේවය අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්නවා නම් අපි පෙන්නන්නේ අපි ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලයි.
3, 4. (අ) බයිබල් ශිෂ්‍යයන් තමන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්න පටන්ගත්තේ කවදාද? ඒ ගැන ඔවුන්ට හැඟුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
3 යෙහෝවා දෙවිගේ නම නියෝජනය කරන්න ලැබීම අපිට ලැබුණු උසස්ම වරප්‍රසාදයක්. මොකද දෙවි “සදාකාලික රජ්ජුරුවන්” නිසා යෙහෝවා යන ඔහුගේ නාමයත් සදහටම පවතිනවා. ඔහු කිව්වේ “සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය” කියලයි. (1 තිමෝ. 1:17; නික්. 3:15; දේශනාකාරයා 2:16 බලන්න.) 1931දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා තමන්ව හඳුන්වන්න පටන්ගත්ත වෙලාවේ බයිබල් ශිෂ්‍යයන් සතුටින් ඉපිල ගියා. සමහරු ඒ සතුට වචනවලට පෙරළලා හුඟක් ලියුම් එවලත් තිබුණා. කැනඩාවේ සභාවකින් එවපු ලියුමක මෙහෙම තිබුණා. “අලුත් නම ලැබුණ නිසා යෙහෝවා දෙවිට ප්‍රශංසාව ලැබෙන විදිහට ජීවත් වෙන්න අපිට තිබුණු අධිෂ්ඨානය තවත් වැඩි වුණා.”
4 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබීම ගෞරවයක් කියලා ඔබට පෙන්නන්න පුළුවන් කොහොමද? යෙසායා පොතේ තියෙන විදිහට දෙවි අපිව ඔහුගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ ඇයි කියලා ඔබ දන්නවද?
අතීතයේ සිටි සාක්ෂිකරුවන්
5, 6. (අ) අතීතයේදී දෙමාපියන් දරුවන්ට දෙවි ගැන සාක්ෂි දැරුවේ කොහොමද? (ආ) දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වුණු තවත් දෙයක් මොකක්ද? අද ඉන්න දෙමාපියනුත් ඒ දේම කරන්න ඕනෙ ඇයි?
5 තමන්ගේ සාක්ෂිකරුවන් හැටියට යෙහෝවා දෙවි මුලින්ම තෝරගත්තේ ඊශ්‍රායෙල්වරුන්වයි. දෙවි ගැන සාක්ෂි දරන එක හැම ඊශ්‍රායෙල්වරයෙකුගේම වගකීමක් වුණා. දෙවි කරපු දේවල් ගැන දරුවන්ට කියලා දෙන එකත් ඒකට අයිති වුණා. පාස්කුව ගැන උගන්වන්න කියලා දෙවි දෙමාපියන්ට මතක් කළේ මෙහෙමයි. “‘මේ උත්සවය පවත්වන්නේ ඇයි’ කියා ඔබේ දරුවන් ඔබෙන් ඇසුවොත් ඔවුන්ට මෙසේ කියන්න. ‘දෙවි, ඊජිප්තුවරුන්ට පීඩා කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජනයා වන අපට පහර නොදී අපේ ගෙවල් පසු කරගෙන ගියා. ඔහු අපේ ගෙයි වැසියන්ව ආරක්ෂා කළා. ඒ නිසයි අපි මෙලෙස සතෙකුව මරා යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කු උත්සවය පවත්වන්නේ.’” (නික්. 12:26, 27) “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ. යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද” කියලා පාරාවෝ අහපු හැටිත් යෙහෝවා දෙවි තමන් සියලු බලැති දෙවි කියලා පාරාවෝට පෙන්නපු හැටිත් දෙමාපියන් දරුවන්ට කියලා දුන්නා. (නික්. 5:2) පීඩා දහයක් ගෙනාපු හැටි, රතු මුහුද අසලදී ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්ත හැටි දරුවෝ සතුටින් අහගෙන ඉන්න ඇති. ඒ නිසා යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලත් ඔහු දෙන පොරොන්දු ඒ විදිහටම ඉටු කරනවා කියලත් දරුවෝ ඉගෙනගත්තා.
6 දරුවන්ට විතරක් නෙමෙයි ගෙදරක දාසයෙක් හිටියා නම් ඔහුටත් ඔවුන් දෙවි ගැන කියලා දුන්නා. ඒ විදිහට දෙවි ගැන සාක්ෂි දරන්න ලැබීම ඊශ්‍රායෙල්වරුන් සැලකුවේ තමන්ට ලැබුණු ගෞරවයක් විදිහටයි. ඔවුන්ගේ හැසිරීම ශුද්ධව තියාගන්න එක අත්‍යවශ්‍යයි කියලත් ඔවුන් දැනගෙන හිටියා. ඒ ගැන දෙවි කියලා තිබුණේ මෙහෙමයි. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.” තමන්ගේ දරුවන්ට ශුද්ධව ඉන්න ඒ කියන්නේ හැම කාරණයකදීම දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න පුරුදු කරන එකත් දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වුණා. (ලෙවී. 19:2; ද්වි. 6:6, 7) දෙවිගේ නමට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න තමන්ගේ දරුවන්ව පුහුණු කරයි කියලා අද ඉන්න දෙමාපියන්ගෙනුත් දෙවි බලාපොරොත්තු වෙනවා.—හිතෝපදේශ 1:8; එෆීස 6:4 කියවන්න.
දරුවන්ට යෙහෝවා දෙවි ගැන කියලා දෙන එකෙන් දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා (5 සහ 6 ඡේද බලන්න)
7. (අ) ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු වෙද්දී අවට ජාතීන්ට ඒක බලපෑවේ කොහොමද? (ආ) දෙවිව නියෝජනය කරන හැමෝටම තියෙන වගකීම මොකක්ද?
7 ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු වුණාම ඔහු ඔවුන්ට ආශීර්වාද කළා. ප්‍රතිඵලයක් විදිහට අවට හිටපු ජාතීන් දැක්කා යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා. (ද්වි. 28:10) ඒත් ඉතිහාසය දිහා බලද්දී ඊශ්‍රායෙල්වරුන් වැඩි හරියක්ම කළේ දෙවිට අකීකරු වෙන එකයි. රූපවලට, කානාන් දේශයේ දෙවිවරුන්ට ඔවුන් නමස්කාර කළා. ඒ දෙවිවරුන් වගේ කෲර විදිහට වැඩ කළා. කොච්චර කෲර වුණාද කියනවා නම් තමන්ගේ දරුවන්වත් ගින්නෙන් පූජා කළා. දුප්පතුන්ටත් හිංසා කළා. ඔවුන්ගේ අවාදර්ශයෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපි දෙවිගේ නම දරන නිසා ඔහුව ආදර්ශයට අරන් ශුද්ධව ඉන්න එක අපේ වගකීමක් කියන දේ.
“මම අලුත් දෙයක් කරමි”
8. යෙහෝවා දෙවි යෙසායාට කරන්න කිව්වේ මොකක්ද? යෙසායාගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
8 ඔවුන්ගේ අකීකරුකම නිසා යෙරුසලම විනාශ කරනවා කියලත් සෙනඟව වහල්කමට ගෙනියන්න ඉඩහරිනවා කියලත් යෙහෝවා දෙවි යෙසායා මගින් දැනුම් දුන්නා. ඒ වගේම “මම අලුත් දෙයක් කරමි” කියලත් වහල්කමින් තම සෙනඟව පුදුමාකාර විදිහට බේරගන්නවා කියලත් දෙවි කිව්වා. (යෙසා. 43:19) යෙසායා පොතේ මුල් පරිච්ඡේද හයේ වැඩි හරියක් සඳහන් වෙන්නේ යෙරුසලමේ විනාශය ගැන දෙවි කියපු අනාවැකියි. ඔවුන් පසුතැවෙන්නේ නැති වුණත් ඔවුන්ට දිගටම අනතුරු අඟවන්න කියලා දෙවි යෙසායාට කිව්වා. සෙනඟ පසුතැවෙන්නේ නැහැ කියලා අහලා පුදුම වුණු යෙසායා ඔවුන් කොයි තරම් කාලයක් දෙවිට අකීකරු වෙලා වැඩ කරයිද කියලා ඇහුවම දෙවි මෙහෙම කිව්වා. “නුවරවල් නටබුන් වී යන තුරුත් පදිංචියට කාත් කවුරුත් නැතුව නිවෙස් පාළු වී යන තුරුත් මුළු දේශයම නාස්ති වී යන තුරුත් මේ තත්වය පවතියි.”—යෙසායා 6:8-11 කියවන්න.
9. (අ) යෙරුසලමේ විනාශය ගැන යෙසායා කියපු අනාවැකි ඉටු වුණේ කොහොමද? (ආ) අපි අවධානය දෙන්න ඕනෙ මොන අනතුරු ඇඟවීමටද?
9 පැමිණෙන විනාශය ගැන අවුරුදු 45කටත් වැඩි කාලයක් පුරා යෙසායා අනතුරු ඇඟෙව්වා. ඔහු ඒක පටන්ගත්තේ උසියා රජකම් කරපු අන්තිම අවුරුද්ද වුණු ක්‍රි.පූ. 778දී. එදා පටන්ගත්ත ඒ කාර්යය ඔහු ක්‍රි.පූ. 732 හෙසකියාගේ කාලය වෙනකම්ම කළා. ඊටපස්සෙත් ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කරන තුරුම දෙවි සෙනඟට අනතුරු ඇඟෙව්වා. අදත් දෙවි තමන්ගේ සෙනඟ ලවා ඉදිරියේදී වෙන්න තියෙන දේවල් ගැන මිනිසුන්ට අනතුරු අඟවනවා. ‘මුරටැඹ’ සඟරාව අවුරුදු 135ක් පුරා මිනිසුන්ට අනතුරු අඟවන්නේ සාතන්ගේ පාලනය ළඟදීම අවසන් වෙනවා කියලයි. ඊටපස්සේ යේසුස් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා.—එළි. 20:1-3, 6.
10, 11. යෙසායාගේ අනාවැකියේ ඉටු වීම ගැන සාක්ෂිකරුවන් වෙන්න බැබිලෝනියේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණේ කොහොමද?
10 යෙරුසලම විනාශ වුණත් බැබිලෝනිවරුන්ට යටත් වෙන්න කියලා දෙවි දීපු මඟ පෙන්වීම්වලට කීකරු වුණු අයගේ ජීවිත බේරුණා. ඔවුන්ව බැබිලෝනියේ වහල්භාවයට අරන් ගියා. (යෙරෙ. 27:11, 12) ඒ අයගෙන් ටිකදෙනෙක් අවුරුදු 70කට පස්සේ යෙසායා කිව්ව මේ අනාවැකිය ඉටු වෙනවා දැක්කා. “ඔබේ මිදුම්කරුද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.’”—යෙසා. 43:14.
11 දෙවි ඒ අනාවැකිය ඉටු කළේ පුදුමාකාර විදිහටයි. ක්‍රි.පූ. 539 ඔක්තෝබර් මාසේ එක්තරා රාත්‍රියක බැබිලෝනියේ රජත් ඔහුගේ අධිපතීනුත් ඔවුන්ගේ දෙවිවරුන්ගේ උත්සවයක් සමරමින් හිටියා. ඔවුන් දේවමාලිගාවෙන් කොල්ල කාපු කුසලානවලින් වයින් පානය කරමින් සතුටින් ඉන්න අතරේ සයිරස් රජත් ඔහුගේ හමුදාවත් බැබිලෝනිය යටත් කරගත්තා. ඊටපස්සේ ක්‍රි.පූ. 538 හෝ 537දී තමන්ගේ දේශයට ගිහින් දේවමාලිගාව ගොඩනඟන්න කියලා සයිරස් රජුගෙන් යුදෙව්වන්ට අවසර ලැබුණා. ඔවුන් තමන්ගේ රටට ගිය දුෂ්කර ගමනේදීත් යෙහෝවා දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. ඒ හැමදේම සිද්ධ වුණේ යෙසායා අනාවැකිවලින් කියපු විදිහටමයි. තමන්ගේ රටට ගිහින් දේවමාලිගාව ඉදි කළාට පස්සේ යෙහෝවා දෙවි සැබෑ දෙවි කියන දේටත් ඔහු පොරොන්දු වෙන විදිහටම දේවල් ඉටු කරනවා කියන දේටත් සාක්ෂිකරුවන් වෙන්න ඔවුන්ට පුළුවන් වුණා. නැවත ආපු යුදෙව්වන්ට දෙවි කිව්වේ මෙහෙමයි. “ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.”—යෙසා. 43:21; 44:26-28.
12, 13. (අ) ඊශ්‍රායෙල්වරුන් නැවත එද්දී ඔවුන්ට එකතු වුණේ කවුද? ඒ අයට ලැබුණේ මොන වරප්‍රසාදයද? (ආ) වෙනත් බැටළුවන්ට ලැබිලා තියෙන්නේ මොන වරප්‍රසාදයද? ඉදිරියේදී ඔවුන්ට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදයක්ද?
12 ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියෙන් එද්දී දහස් ගාණක් විදේශිකයනුත් දෙවිට නමස්කාර කරන්න ඔවුන් එක්ක ආවා. පස්සේ කාලෙක තවත් විශාල පිරිසක් ඔවුන්ට එකතු වුණා. (එස්රා 2:58, 64, 65; එස්ත. 8:17) අදත් “දෙවිගේ ඊශ්‍රායෙලය” හැටියට හඳුන්වන අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා ‘වෙනත් බැටළුවන්ට’ අයත් “මහත් සමූහයක්” දෙවිට නමස්කාර කරනවා. (ගලා. 6:16; යොහ. 10:16; එළි. 7:9, 10) අභිෂේක ලත් අයට විතරක් නෙමෙයි වෙනත් බැටළුවන්ටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම දරන්න ලැබිලා තියෙන එක ඔවුන්ට ලැබුණු මහත් ගෞරවයක්.
13 මේ පොළොව පාරාදීසයක් වුණාට පස්සේ මහත් සමූහයේ අයට ලැබෙන තවත් පුදුමාකාර ආශීර්වාදයක් තියෙනවා. ඒ තමයි මේ අන්තිම දවස්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ඔවුන් ලබපු අද්දැකීම් නැවත නැඟිටින අයත් එක්ක බෙදාගන්න එක. ඒ ආශීර්වාදය අද්දකින්න ඔබත් කැමතිද? එහෙමනම් දිගටම පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. ඇත්ත, අපි කොයි තරම් දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න හැදුවත් හැමදාම අපි අතින් වැරදි වෙනවා. ඒ වුණත් ඒ වෙනුවෙන් දෙවිගෙන් සමාව ඉල්ලලා පවිත්‍ර ජීවිතයක් ගත කරන්න උත්සාහ කරමු. එහෙම කරනවා නම් අපි පෙන්නන්නේ දෙවිව නියෝජනය කරන්න අපිව තෝරගත්ත එක අපි හුඟක් අගය කරනවා කියලයි.—1 යොහන් 1:8, 9 කියවන්න.
දෙවිගේ නමේ අර්ථය
14. යෙහෝවා යන නමේ අර්ථය මොකක්ද?
14 අපි දෙවිගේ නමේ අර්ථය හොඳින් තේරුම්ගත්තොත් ඒ නම නියෝජනය කරන්න ලැබිලා තියෙන එක වරප්‍රසාදයක් කියලා අපිට තවත් හොඳට තහවුරු වෙයි. යෙහෝවා කියන නම ඇවිත් තියෙන්නේ හෙබ්‍රෙව් ක්‍රියා පදයකින්. යම් ක්‍රියාවක් විස්තර කරන්න ඒ වචනය යොදාගන්න පුළුවන්. ඒ අනුව යෙහෝවා කියන නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලා කියන්න පුළුවන්. දෙවි ඒ නම තෝරගත්තේ ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නයි. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම, හැම කෙනෙක්වම නිර්මාණය කළේ ඔහුයි. ඒ වගේම යමක් කරනවා කියලා පොරොන්දු වුණොත් ඒක අනිවාර්යයෙන්ම කරන්න හැකියාව තියෙන්නෙත් ඔහුට විතරයි. ඔහුව නවත්වන්න කාටවත් බැහැ. ඒ හේතු නිසා යෙහෝවා කියන නම ඔහුට කදිමට ගැළපෙනවා.
15. දෙවි මෝසෙස්ට කියපු දෙයින් ඔහුගේ නමේ අර්ථය ගැන තවත් ඉගෙනගන්න පුළුවන් මොනවද? (“ගැඹුරු අර්ථයක් ඇති නාමයක්” යන කොටුව බලන්න.)
15 යෙහෝවා දෙවි ඔහුගේ නමේ අර්ථය ගැන තවත් දේවල් මෝසෙස්ට පැහැදිලි කළා. ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න මෝසෙස්ව ඊජිප්තුවට යවන්න කලින් දෙවි ඔහුට මෙහෙම කිව්වා. “‘තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.’ දෙවි තවදුරටත් මෙසේ කීවේය. ‘ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. “මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.”’” (නික්. 3:14) තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඕනම තත්වයකට පත් වෙලා ඕනම දෙයක් කරන්න දෙවිට පුළුවන් කියලා ඒකෙන් තේරෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න එක දෙවිගේ අරමුණ වුණා. ඒ අරමුණ ඉටු කරගන්න ඒ ඒ අවස්ථාවට අනුව ගැලවුම්කරුවෙක්, ආරක්ෂකයෙක්, මඟ පෙන්වන්නෙක්, අවශ්‍ය දේවල් සපයන්නෙක් වෙන්න දෙවිට පුළුවන් වුණා.
අපේ ස්තුතිය පෙන්නන්නේ කොහොමද?
16, 17. (අ) දෙවිගේ ශුද්ධ නාමය නියෝජනය කිරීමේ ගෞරවය අපිට ලබා දුන්න එක ගැන දෙවිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියේ බලන්නේ මොකක් ගැනද?
16 අදටත් යෙහෝවා දෙවි තමන්ගේ නමේ අර්ථයට එකඟව කටයුතු කරමින් තම සෙනඟට ජීවත් වෙන්න, ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕන කරන දේවල් හැම දවසකම ලබා දෙනවා. ‘තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා’ කියද්දී ඕනම දෙයක් කරන්න දෙවිට පුළුවන් කියන එක විතරක් නෙමෙයි දෙවිගේ අරමුණ ඉටු කරගන්න අවශ්‍ය වෙන විදිහට ඔහුගේ නිර්මාණ යොදාගන්න දෙවිට පුළුවන් කියන එකත් ඒකට ඇතුළත්. උදාහරණයකට ඔහු තමන්ගේ අරමුණ ඉටු කරන්න තමන්ගේ සෙනඟව යොදාගන්නවා. ඒ දේ දැනගද්දී දෙවිව නියෝජනය කරන්න අපි තව තවත් පෙලඹෙන්නේ නැද්ද? නෝර්වේවල ඉන්න කෝරෙ කියන සහෝදරයා අවුරුදු 70ක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. ඔහු මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණු එක, ඔහුගේ නම දරන සෙනඟගෙන් කෙනෙක් වෙන්න ලැබුණු එක මට ලැබුණු වරප්‍රසාදයක්. බයිබලේ තියෙන සත්‍යය මිනිසුන්ට කියලා දෙද්දී ඒ අයගේ මූණේ ඇඳෙන හිනාව දකින එක තරම් තවත් සතුටක් මට නැහැ. උදාහරණයකට යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ නිසා මිනිසුන්ට පාරාදීසේ ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව ගැනත් කියලා දීලා මං ලොකු තෘප්තියක් ලබනවා.”
17 සමහර ප්‍රදේශවල යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න මිනිසුන්ව හොයාගන්න හරිම අමාරුයි. ඒත් දෙවිගේ නම ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න එක් කෙනෙක්ව හරි හම්බ වුණොත් සහෝදර කෝරෙට වගේ අපිටත් මොන තරම් සතුටක් දැනෙනවද! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා ඉන්න අතරෙම අපිට යේසුස් ගැනත් සාක්ෂි දරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියේ බලමු.