ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 11/15 23-27 පි.
  • ‘ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟයි’
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවිගේ අලුත් ජාතිය
  • “තම නාමය දැරීමට සෙනඟක්”
  • දෙවිගේ සෙනඟ යළි පිබිදෙයි!
  • ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’
  • යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ආරක්ෂාව ලබන්න
  • ස්වර්ගික පුරවැසිභාවය සතු ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔවුන් ඉපදුණේ දෙවි තෝරාගත් ජාතියකටයි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්” සහ “මහත් සමූහය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 11/15 23-27 පි.
ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කරද්දී ඔවුන්ගේ හිස්වලට ඉහළින් ගිනිදලු දැල්වෙනවා දැකගන්න පුළුවන් වුණා

‘ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟයි’

“කලකට පෙර ඔබත් ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය.”—1 පේතෘ. 2:10.

ඔබට පිළිතුරු දිය හැකිද?

  • පළවෙනි සියවසේදී යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟ විදිහට තෝරගත්තේ කාවද?

  • පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් යෙහෝවා යන දෙවිගේ නම දරන සෙනඟ වුණේ කොහොමද?

  • අද දෙවිගේ සෙනඟ කවුද? “මහත් පීඩාව” අතරතුරේ ආරක්ෂාව ලබන්න නම් “වෙනත් බැටළුවන්” කරන්න ඕනෙ මොකක්ද?

1, 2. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස දෙවිගේ සෙනඟට විශේෂ දවසක් වෙන්නේ ඇයි? දෙවිගේ අලුත් ජාතියේ සාමාජිකයන් වුණේ කවුද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස යෙහෝවා දෙවිගේ සෙනඟගේ ඉතිහාසයේ අමතක නොවන දවසක්. “දෙවිගේ ඊශ්‍රායෙලය” කියන අලුත් ජාතිය යෙහෝවා දෙවි බිහි කළේ එදායි. (ගලා. 6:16) ඒ ජාතියට අයිති අයව දෙවි තේරුවේ ඔහුගේ බලයෙන්. දෙවිගේ සෙනඟ කියන දේට ලකුණක් හැටියට ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් චර්මච්ඡේදනය වුණත් මේ අලුත් ජාතියට අයිති අයගෙන් දෙවි ඒක බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ‘චර්මච්ඡේදනය හදවතේ සිදු වන දෙයක්. එවැනි දෙයක් සිදු වන්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසයි.’—රෝම 2:29.

2 යෙරුසලමේ තිබුණ උඩුමහල් කාමරයක යේසුස්ගේ නියෝජිතයන් එක්ක ඔහුගේ අනුගාමිකයන් සීයකට වඩා වැඩිදෙනෙක් රැස් වෙලා හිටියා. දෙවිගේ අලුත් ජාතියට අයිති මුල්ම සාමාජිකයන් වුණේ ඔවුනුයි. (ක්‍රියා 1:12-15) එදා දෙවි ඔවුන්ව තම බලයෙන් අභිෂේක කරලා තමන්ගේ පුත්‍රයන් විදිහට පිළිගත්තා. (රෝම 8:15, 16; 2 කොරි. 1:21) ඒකෙන් ඔප්පු වුණේ යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පිළිගත්තා කියලයි. ඒ වගේම නීතිය අවලංගු වෙලා අලුත් ගිවිසුම වලංගු වුණා කියන එකයි. (ලූක් 22:20; හෙබ්‍රෙව් 9:15 කියවන්න.) හුඟක් භාෂා කතා කරන්නත් ඒවා තේරුම්ගන්නත් “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” උගන්වන්නත් ඒ අයට දෙවි බලය දුන්නා.—ක්‍රියා 2:1-11.

දෙවිගේ අලුත් ජාතිය

3-5. (අ) පෙන්තකොස්ත දවසේදී පේතෘස් යුදෙව්වන්ට කිව්වේ මොකක්ද? (ආ) අලුත් ජාතිය බිහි කළ මුල් කාලේ ඒක වර්ධනය වුණේ කොහොමද?

3 එදා බිහි වුණ අලුත් ජාතියේ ඒ කියන්නේ අභිෂේක ලත් අයගෙන් හැදුණ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වෙන්න යෙහෝවා දෙවි මුලින්ම අවස්ථාව දුන්නේ යුදෙව්වන්ට සහ යුදෙව් ආගමට හැරුණු අයටයි. දෙවි ඒ ආරාධනාව කළේ පේතෘස් මාර්ගයෙන්. පෙන්තකොස්ත දවසේදී පේතෘස් නිර්භීතව යුදෙව්වන්ට කිව්වේ ඔවුන් මරලා දාපු යේසුස්ව දැන් “ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට” පිළිගන්න කියලයි. තමන් කරන්න ඕනෙ මොනවද කියලා සෙනඟ අහපුවම පේතෘස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න. ඔබේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන බව්තීස්ම වෙන්න. එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.” (ක්‍රියා 2:22, 23, 36-38) එදා 3,000ක විතර සෙනඟක් දෙවිගේ ඊශ්‍රායෙලය කියන අලුත් ජාතියේ සාමාජිකයන් වුණා. (ක්‍රියා 2:41) ඊටපස්සෙත් නියෝජිතයන් දිගටම උද්‍යෝගයෙන් දේශනා කරපු නිසා හුඟක් අය අලුත් ජාතියට එකතු වුණේ කැමැත්තෙන්මයි. (ක්‍රියා 6:7) ඒ නිසා දවසින් දවස ඒ අලුත් ජාතිය වර්ධනය වුණා.

4 ඊටපස්සේ යේසුස්ගේ අනුගාමිකයන් සමාරියේ වැසියන්ටත් දේශනා කරන්න පටන්ගත්තා. හුඟක් සමරිතානුවන් පණිවිඩය පිළි අරන් බව්තීස්ම වුණත් ඔවුන්ට දෙවිගේ බලය ලැබුණේ නැහැ. ඒ නිසා යෙරුසලමේ හිටපු පාලක මණ්ඩලයේ සහෝදරයන් ඔවුන්ව හම්බ වෙන්න පේතෘස්ව සහ යොහන්ව යැව්වා. ඒ දෙන්නා එතනට ගිහින් “රැස්ව සිටි අය පිට අත් තැබූ විට ඔවුන්ට දෙවිගේ බලය ලැබිණ.” (ක්‍රියා 8:5, 6, 14-17) දෙවිගේ ඊශ්‍රායෙලයේ සාමාජිකයන් වෙන්න සමරිතානුවන්ට අවස්ථාව ලැබුණේ ඒ විදිහටයි.

පේතෘස් කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වෙමින්

කොර්නේලියස් සහ ඔහුගේ ගෙදර හිටපු අයට පේතෘස් දේශනා කළා (5 ඡේදය බලන්න)

5 ක්‍රි.ව. 36දී යෙහෝවා දෙවි පේතෘස් මාර්ගයෙන් තමන්ගේ අලුත් ජාතියේ සාමාජිකයන් වෙන්න තවත් පිරිසකට ආරාධනා කළා. ඒක සිද්ධ වුණේ රෝම නිලධාරියෙක් වුණ කොර්නේලියස්ටත් ඔහුගේ නිවසේ හිටපු අයටත් පේතෘස් දේශනා කරපු වෙලාවේදියි. (ක්‍රියා 10:22, 24, 34, 35) ඒ වෙලාවේ ඒ අයටත් දෙවිගේ බලය ලැබුණා. “සිදු වූ ඒ දේ පේතෘස් සමඟ පැමිණි චර්මච්ඡේදිත සහෝදරයන්ට අදහාගත නොහැකි විය. එයට හේතුව දෙවි නොමිලේ ලබා දෙන දීමනාව වන ඔහුගේ බලය වෙනත් ජාතීන්ටත් ලැබෙන ආකාරය ඔවුන් දැකීමය.” (ක්‍රියා 10:44, 45) එදා ඉඳන් චර්මච්ඡේදනය නොවුණ, වෙනත් ජාතීන්වල අයටත් දෙවිගේ ඊශ්‍රායෙලයේ සාමාජිකයන් වෙන්න අවස්ථාව ලැබුණා.

“තම නාමය දැරීමට සෙනඟක්”

6, 7. දෙවිගේ නාමය දරන සෙනඟ හැටියට අලුත් ජාතියට අයිති අයට තිබුණ වගකීම මොකක්ද? ඔවුන් ඒක කළේ කොහොමද?

6 ක්‍රි.ව. 49දී පවත්වපු පාලක මණ්ඩලයේ රැස්වීමක් අතරතුර යාකොබ් මෙහෙම කිව්වා. “[පේතෘස්] අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.” (ක්‍රියා 15:14) තම නාමය දරන සෙනඟ විදිහට යුදෙව්වන්ව සහ යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව තෝරගත්ත දෙවි, ඔවුන්ව එක ජාතියක් විදිහට සංවිධානය කළා. (රෝම 11:25, 26අ) පේතෘස් ඔවුන්ට කිව්වේ “කලකට පෙර ඔබත් ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය” කියලයි. ඒ අලුත් ජාතිය දෙවි ඇති කළේ ඇයි කියන දේ මතක් කරමින් ඔහු මෙහෙමත් කිව්වා. “ඔබ, ‘තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්’ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම’ සඳහාය.” (1 පේතෘ. 2:9, 10) නිර්භීතව යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරන එක වගේම පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා විදිහට දෙවිට ප්‍රශංසා කරන එකත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා.

7 දෙවි තම සෙනඟ විදිහට දෙවිගේ ඊශ්‍රායෙලය කියන අලුත් ජාතිය තෝරගෙන “ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසය” කියලා කිව්වා. (යෙසා. 43:21) යෙහෝවා දෙවි එකම සැබෑ දෙවි කියලත් අනිත් දෙවිවරු බොරු දෙවිවරුන් කියලත් ඔවුන් මිනිසුන්ට දැනුම් දුන්නේ කිසිම බයක් සැකක් නැතුවයි. (1 තෙස. 1:9) ඔවුන් යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද” සාක්ෂි දැරුවේ පුදුම උද්‍යෝගයකින්.—ක්‍රියා 1:8; කොලො. 1:23.

8. පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?

8 පාවුල් ඒ වගේ නිර්භීත සාක්ෂිකරුවෙක්. බොරු මත පතුරවපු දාර්ශනිකයන්ගේ තර්ක බිඳලා යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලත් “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන්” කියලත් ඔහු පැහැදිලි කළා. (ක්‍රියා 17:18, 23-25) ඒත් පස්සේ කාලෙකදී බොරු මත දරන අය නිසා වෙන අනතුර ගැන ඔහු ක්‍රිස්තියානීන්ට කිව්වේ මෙහෙමයි. “මම ඔබෙන් සමුගත් පසු රැළට කිසිම ආදරයක් නොදක්වන රෞද්‍ර වෘකයන් හා සමාන පිරිසක් ඔබ අතරට එන බව මම දන්නවා. ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:29, 30) පාවුල් කියපු විදිහටම පළවෙනි සියවස අවසන් වෙද්දී බොහෝදෙනෙක් යේසුස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගැහුවා.—1 යොහ. 2:18, 19.

9. නියෝජිතයන් මිය ගියාට පස්සේ සිද්ධ වුණේ මොකක්ද?

9 නියෝජිතයන් මිය ගියාට පස්සේ සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අය එන්න එන්නම වැඩි වුණා. ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම් රැසක් බිහි වුණේ ඒකෙ ප්‍රතිඵලයක් විදිහටයි. යෙහෝවා යන දෙවිගේ නම දරන සෙනඟක් වෙනවා වෙනුවට ඔවුන් බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නම අයින් කළා. වෙනත් ආගම්වල වත්පිළිවෙත් අනුගමනය කරන්න පටන්ගත්තා. බයිබලේ නැති අදහස් ඉගැන්නුව ඔවුන්, යුද්ධවලට අනුබල දුන්නා විතරක් නෙමෙයි ඒවා දෙවි වෙනුවෙන් කරන ‘ශුද්ධ යුද්ධ’ කියලා හැඳින්නුවා. ඔවුන් ගත කරපු දූෂිත, අනාචාර ජීවිත නිසා දෙවිගේ නමට ගෙනාවේ ලොකු අගෞරවයක්. දෙවිට විශ්වාසවන්තව නමස්කාර කරපු කීපදෙනෙක් පොළොවේ හිටියත් ඇති වුණ ඒ කැරැල්ල නිසා සියවස් ගාණක් යන කල් ‘දෙවිගේ නාමය දැරීමට’ සංවිධානය වුණ සෙනඟක් හිටියේ නැහැ.

දෙවිගේ සෙනඟ යළි පිබිදෙයි!

10, 11. (අ) තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවෙන් යේසුස් කිව්වේ මොකක් ගැනද? (ආ) 1914ට පස්සේ ඒ උපමාව ඉටු වුණේ කොහොමද?

10 සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අය නිසා කාලයක් යන කල් සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න අමාරු වෙනවා කියලා යේසුත් කියලා තිබුණා. ඔහු ඒක පැහැදිලි කරන්න යොදාගත්තේ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවයි. මනුෂ්‍ය පුත්‍රයා තිරිඟු වපුරපු කෙතේ, “මිනිසුන් නිදා සිටියදී” සාතන් ඇවිත් කිරිඳි වපුරනවා කියලා ඔහු කිව්වා. ඒ බීජ දෙවර්ගයටම “පවතින මේ සමාජයේ අවසාන කාලය” වෙන කල්ම එකට වැඩෙන්න ඉඩහරිනවා. “හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝ” කියලත් “කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝ” කියලත් යේසුස් පැහැදිලි කළා. අවසාන කාලයේදී දේවදූතයන්ව එවලා තිරිඟුවලින් කිරිඳි වෙන් කරනවා. ඊටපස්සේ රාජ්‍යයේ පුත්‍රයන්ව රැස් කරනවා. (මතෙ. 13:24-30, 36-43) යේසුස් කිව්ව දේ සිද්ධ වුණේ කොහොමද? යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟක්ව ආපහු සංවිධානය කරන්න ඒක උදව් වුණේ කොහොමද?

11 “පවතින මේ සමාජයේ අවසානය” පටන්ගත්තේ 1914දියි. ඒ කාලේ වෙනකොට පොළොවේ හිටියේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 5,000ක් වගේ සුළු පිරිසක්. ඒ අවුරුද්දේ පටන්ගත්ත පළවෙනි ලෝක මහ යුද්දේ පැවති කාලය පුරාත් ඔවුන් මහා බැබිලෝනියේ වහලුන් වෙලයි හිටියේ. ඒත් 1919දී දෙවි ඔවුන්ව නිදහස් කළා. ඊටපස්සේ සැබෑ ක්‍රිස්තියානීන් සහ ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත අය අතරේ වෙනස පැහැදිලිව පේන්න පටන්ගත්තා. ‘රාජ්‍යයේ පුත්‍රයන්ව’ සෙනඟක් විදිහට යෙහෝවා දෙවි සංවිධානය කළේ යෙසායා අනාවැකියේ කියපු මේ විදිහටමයි. “දේශයක් එක දවසකින් බිහි වෙයිද? නැතහොත් ජාතියක් එක මොහොතකින් බිහි වෙයිද? සියොන් දියණිය ප්‍රසව වේදනා විඳි සැණින්ම ඇගේ පුත්‍රයන්ව බිහි කළාය.” (යෙසා. 66:8) සියොන් කියලා අදහස් කළේ යෙහෝවා දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි. ‘සියොන් දියණිය පුත්‍රයන්ව බිහි කළා’ කියන්නේ පොළොවේ හිටපු අභිෂේක ලත් අයව සෙනඟක් විදිහට සංවිධානය කරපු එකටයි.

12. අභිෂේක ලත් අය දෙවිගේ නම දරන සෙනඟ කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

12 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේම අද ඉන්න ‘රාජ්‍යයේ පුත්‍රයන්’ වන අභිෂේක ලත් අයත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට සේවය කරනවා. (යෙසායා 43:1, 10, 11 කියවන්න.) ඔවුන්ගේ යහපත් හැසිරීම නිසාත් “සියලු ජාතීන්ට සාක්ෂියක්” හැටියට රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන නිසාත් ඔවුන් ලෝකෙ ඉන්න අනිත් සෙනඟට වඩා වෙනස් කියලා මිනිසුන් දකිනවා. (මතෙ. 24:14; ෆිලි. 2:15) මිලියන ගාණකට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඒ විදිහට ඔවුන් උදව් කරලා තියෙනවා.—දානියෙල් 12:3 කියවන්න.

‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’

13, 14. දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති නැති අයගේ නමස්කාරය දෙවි පිළිගන්න නම් ඔවුන් කරන්න ඕනෙ මොනවද? ඒ ගැන බයිබලේ කියලා තිබුණේ මොනවද?

13 අතීතයේදී වෙනත් ජාතීන්වල අය ඊශ්‍රායෙල්වරුන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට නමස්කාර කරද්දී ඒ නමස්කාරය ඔහු පිළිගත්තා. (1 රාජා. 8:41-43) අදත් දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති නැති අයගේ නමස්කාරය දෙවි පිළිගන්නේ ඒ අය අභිෂේක ලත් අය එක්ක එකතු වෙලා නමස්කාර කළොත් විතරයි.

14 අවසාන කාලෙදී හුඟක් අය දෙවිගේ සෙනඟ එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට නමස්කාර කරනවා කියලා සඳහන් අනාවැකි බයිබලේ තියෙනවා. යෙසායා මෙහෙම කිව්වා. “බොහෝ ජනයා මෙසේ කියන්නෝය. ‘ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.’ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.” (යෙසා. 2:2, 3) සෙකරියා ඒ ගැන කිව්වේ මෙහෙමයි. “විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.” ඒ පිරිසට “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු” ඇතුළත්. දෙවිගේ ඊශ්‍රායෙලය එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන අතරේ ඔවුන් මෙහෙම කියනවා. “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.”—සෙක. 8:20-23.

15. දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති අය එක්ක “වෙනත් බැටළුවන්” යනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

15 දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති අය එක්ක “වෙනත් බැටළුවන්” යනවා කියන එකෙන් අදහස් කරන්නේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න වෙනත් බැටළුවන් ඔවුන්ට උදව් කරනවා කියන එකයි. (මාක් 13:10) ඒ විදිහට ඔවුනුත් දෙවිගේ සෙනඟට අයිති සාමාජිකයන් වෙනවා. වෙනත් බැටළුවන් සහ අභිෂේක ලත් අය “උතුම් එඬේරා” වන යේසුස් යටතේ ඉන්න “එක රැළක්.”—යොහන් 10:14-16 කියවන්න.

යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ආරක්ෂාව ලබන්න

16. හර්–මගෙදොන් යුද්දෙට පාර කැපෙන්නේ යෙහෝවා දෙවි කරන මොන දේ නිසාද?

16 මහ බැබිලෝනිය විනාශ වුණාට පස්සේ යෙහෝවා දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ කාලෙදී ඔහුගේ ආරක්ෂාව අපිට අවශ්‍යමයි. ‘මහත් පීඩාවේ’ අවසන් අදියර වන හර්–මගෙදොන් යුද්ධය ආරම්භ වෙන්නේ දෙවිගේ සෙනඟට විරුද්ධව එල්ල වෙන ඒ ප්‍රහාරයත් එක්කමයි. ඒ සිදුවීම් හැම එකක්ම වෙන්නේ යෙහෝවා දෙවි අරමුණු කරන විදිහටමයි. (මතෙ. 24:21; එස. 38:2-4) “විවිධ ජාතීන් අතරින් එකතු කරනු ලැබූ” දෙවිගේ සෙනඟට ගොග් පහර දෙන්න පටන්ගන්නවා. (එස. 38:10-12) ඒත් එක්කම ගොග්ටත් ඔහුගේ හමුදාවටත් විරුද්ධව යුද්ධ කරලා, තම සෙනඟව බේරගන්න යෙහෝවා දෙවි මැදිහත් වෙනවා. ඒ යුද්දෙදී පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා තමන් කියන දේ දෙවි ඔප්පු කරනවා වගේම තම නමට ඇති වෙලා තියෙන කැළැලත් ඔහු ඉවත් කරනවා. ඒ ගැන දෙවි කියන්නේ මෙහෙමයි. “මා ගෞරවයට පත් වන පිණිස මම පියවර ගන්නෙමි. මට සිදු වී ඇති නින්දාව සම්පූර්ණයෙන්ම ඉවත් කර සියලු ජාතීන්ට මා කවුදැයි දැනගන්න සලස්වන්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”—එස. 38:18-23.

වර්තමානයේ එක සභාවක සාමාජිකයන් රහසිගතව රැස් වී

“මහත් පීඩාව” අතරතුරේදී අපි අපේ සභාව එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන එක වැදගත් (16-18 ඡේද බලන්න)

17, 18. (අ) ගොග්ගේ ප්‍රහාරය පටන්ගන්නවත් එක්කම දෙවි තම සෙනඟට කියන්නේ මොකක්ද? (ආ) යෙහෝවා දෙවිගේ ආරක්ෂාව ලබන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

17 ගොග්ගේ ප්‍රහාරය පටන්ගන්නවත් එක්කම යෙහෝවා දෙවි තම සෙනඟට මෙහෙම කියනවා. “මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න.” (යෙසා. 26:20) ඒ කාලෙදී ආරක්ෂා සහිතව ඉන්න ඕන මඟ පෙන්වීම් දෙවි අනිවාර්යයෙන්ම අපිට ලබා දෙනවා. එතන සඳහන් කරන “ඇතුල් කාමර” අපි එක් එක් අය අයිති සභාවට යම් විදිහකින් සම්බන්ධයි කියලා හිතන්න පුළුවන්.

18 මහත් පීඩාව අතරතුරේදී ආරක්ෂාව ලබන්න නම් අපි හැමෝම පිළිගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවි තම සෙනඟ විදිහට තෝරගත්ත පිරිසක් ඉන්නවා කියන දේ. ඒ වගේම ඔහු ඒ සෙනඟව හොඳින් සංවිධානය කරලා තියෙනවා කියන දේ. සභාවන් විදිහට රැස් වෙලා දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක එකතු වෙන එකත් අපේ සභාව එක්ක පුළුවන් තරම් කිට්ටුවෙන් ඇසුරු කරන එකත් අත්‍යවශ්‍යයි. එහෙම කරනවා නම් “ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය. ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය” කියලා මුළු හදවතින්ම කියන්න අපිටත් පුළුවන් වෙනවා.—ගීතා. 3:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න