ඔබ දැන සිටියාද?
සමහර බයිබල්වල සඳහන් කරලා තියෙන නපුංසකයා කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද?
නපුංසකයෙක්ව දක්වන ඇසිරියානු කැටයමක කොටසක්
මේ වචනය සමහර අවස්ථාවලදී ලිංගේන්ද්‍රිය කපා ඉවත් කරපු පුරුෂයෙකුටත් පාවිච්චි කරලා තියෙනවා. අතීතයේදී දඬුවමක් විදිහටත්, බලෙන් අල්ලගත්ත අයටත්, වහලුන්ටත් ඒ දේ කළා. රජමාලිගාවේ ස්ත්‍රීන්ගේ නිවස භාරව හිටිය විශ්වාසවන්ත පුරුෂයන්ගෙත් ලිංගේන්ද්‍රිය කපා ඉවත් කරලා තිබුණා. උදාහරණයකට, පර්සියාවේ අහෂ්වේරොෂ් රජුගේ භාර්යාවන් හා උපභාර්යාවන්ගේ රැකවලුන් හැටියට හෙගයි සහ ෂයෂ්ගාස් කියන නපුංසකයන්ව පත් කරලා තිබුණා.—එස්තර් 2:3, 14.
හැබැයි නපුංසකයන් කියලා බයිබල්වල සඳහන් කරලා තියෙන හැමෝම ලිංගේන්ද්‍රිය කපා ඉවත් කරපු අය නෙවෙයි. සමහර විශාරදයන් කියනවා නපුංසකයා කියන වචනය රජමාලිගාවේ උසස් නිලයන් දරන අයටත් පාවිච්චි කළා කියලා. යෙරෙමියාට උදව් කරපු ඒබෙද්-මෙලෙක් හා ෆිලිප්ගේ ශුභාරංචියට සවන් දීපු ඉතියෝපියානු නිලධාරියා ඒ වගේ දෙන්නෙක්. ඒබෙද්-මෙලෙක්ට ශෙදකියා රජ ඉදිරියට කෙළින්ම ගිහින් කතා කරන්න පුළුවන් වුණේ ඔහු උසස් නිලයක් දැරුව නිසා කියන එක පැහැදිලියි. (යෙරෙමියා 38:7, 8) ඒ වගේම “නමස්කාරය සඳහා යෙරුසලමට” ගිය ඉතියෝපියානු නිලධාරියාත් රාජකීය භාණ්ඩාගාරය භාරව හිටපු උසස් නිලධාරියෙක්.—ක්‍රියා 8:27.
අතීතයේ හිටිය එඬේරුන් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කළේ ඇයි?
ඉදිරියේදී කරන විනිශ්චයක් ගැන සඳහන් කරපු අවස්ථාවේ යේසුස් කිව්වේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් . . . එන අවස්ථාවේදී . . . එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි.” (මතෙව් 25:31, 32) එඬේරු මේ සතුන්ව වෙන් කළේ ඇයි?
සාමාන්‍යයෙන් දවල් කාලෙදී බැටළුවන්වයි එළුවන්වයි නිදැල්ලේ එකට ඉන්න ඉඩහැරියා. රාත්‍රි කාලෙදී නපුරු සතුන්ගෙන්, සොරුන්ගෙන් සහ සීතලෙන් ආරක්ෂා කරන්න උන්ව කොටු කළා. (උත්පත්ති 30:32, 33; 31:38-40) සතුන් දෙවර්ගය කොටු කළේ වෙන වෙනමයි. එහෙම කළේ බැටළුවන්ව, විශේෂයෙන්ම බැටළුදෙනුන් හා පැටවුන්ව අනින එළුවන්ගෙන් ආරක්ෂා කරන්නයි. ඒ වගේම “බැටළු දෙනුන් පැටව් දාන කාලේ, කිරි දෙන කාලේ සහ බැටළුවන්ගේ ලොම් කපන කාලේ” එඬේරුන් බැටළුවන්ව එළුවන්ගෙන් වෙන් කරනවා කියලා පොතක සඳහන් වෙනවා. (All Things in the Bible) මේ විදිහට අතීත ඊශ්‍රායෙල් දේශයේ මිනිසුන් එදිනෙදා කරපු දේවලුත් නිතර දකින්න ලැබුණු දේවලුත් යේසුස් උපමාවලට පාවිච්චි කළා.