ඔයාගේ විවාහය ආරක්ෂා කරන්න යෙහෝවා දෙවිට ඉඩ දෙන්න
“යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම් මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.”—ගීතා. 127:1ආ.
1, 2. (අ) ඊශ්‍රායෙල්වරුන් 24,000කට පොරොන්දු දේශයට යන්න බැරි වුණේ ඇයි? (ආ) ඒ සිද්ධිය අපිට වැදගත් ඇයි?
ඊශ්‍රායෙල්වරු හිටියේ පොරොන්දු දේශය පෙනෙන නොපෙනෙන තරම් කිට්ටුවකයි. ඒ තරම් කිට්ටුවට ඇවිල්ලත් 24,000කට පොරොන්දු දේශයට යන්න බැරුව විනාශ වුණා. ඒකට හේතුව ඔවුන් අතරේ හිටපු පිරිසක් ‘මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදුණ’ නිසයි. පොරොන්දු දේශය අත ළඟටම ඇවිල්ලත් අනාචාරය නිසා ඒ තෑග්ග ඔවුන් නැති කරගත්තා.—ගණන්. 25:1-5, 9.
2 ඒ සිද්ධිය “ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසයි.” (1 කොරි. 10:6-11) මේ අන්තිම දවස්වල ජීවත් වෙන අපි ඉන්නෙත් එදා ඊශ්‍රායෙල්වරුන් හිටියා වගේ තත්වයක. ඒ කියන්නේ පාරාදීසයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාලෙක. (2 තිමෝ. 3:1; 2 පේතෘ. 3:13) ඒත් යෙහෝවා දෙවිට නමස්කාර කරන සමහරුන් සදාචාර ප්‍රමිති බාල කරගෙන අනාචාරය කියන උගුලට අහු වෙලා. කරපු වරදේ ප්‍රතිඵල දැන් ඔවුන් විඳිනවා. පසුතැවිලි වුණේ නැත්නම් ඔවුන්ට පාරාදීසයේ ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙන්න පුළුවන්.
3. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් සහ ආරක්ෂාව යුවළකට අත්‍යවශ්‍ය ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
3 අද අපි ජීවත් වෙන්නේ ලිංගික දේවලට මුල් තැන දෙන සමාජයක. ඒ නිසා තමන්ගේ කැදැල්ල රැකගන්න නම් සැමියාටත් බිරිඳටත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් සහ ආරක්ෂාව ඕනෙමයි. (ගීතාවලිය 127:1 කියවන්න.) විවාහය රැකගන්න නම් යුවළක් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ඕනේ. යෙහෝවා දෙවිට තව තවත් කිට්ටු වෙන්න ඕනේ. පෞද්ගලිකත්වය අලුත් කරගන්න ඕනේ. දෙන්නා අතර හොඳ කතාබහක් තියෙන්න ඕනේ. ඒ වගේම එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරන්නත් ඕනේ.
හිත ආරක්ෂා කරගන්න
4. දෙවිට නමස්කාර කරන සමහරුන් අනාචාරය කියන උගුලට අහු වුණේ කොහොමද?
4 කෙනෙක්ගේ හිත වෙනතකට යන්න පුළුවන් කොහොමද? හුඟක් වෙලාවට ඒකට මුල් වෙන්නේ ඒ කෙනා බලන, දකින දේවලුයි. යේසුස් මෙහෙම කිව්වා. “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.” (මතෙ. 5:27, 28; 2 පේතෘ. 2:14) දෙවිට නමස්කාර කරන සමහරු අනාචාරය කියන උගුලට අහු වෙලා තියෙන්නේ කාමුක පොත් පත් කියවපු නිසයි. කාමුක දර්ශන එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් පිළිකුල්සහගත දේවල් නරඹපු නිසයි. තවත් අය ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටි, වේදිකා නාට්‍ය, රූපවාහිනී වැඩසටහන් නරඹලා තියෙනවා. රාත්‍රී සමාජ ශාලාවලට, නිරුවත් රංගන පැවැත්වෙන තැන්වලට, ලිංගික හැඟීම් අවුස්සන නැත්නම් ලිංගික ක්‍රියා ඇතුළත් සම්බාහන මධ්‍යස්ථානවලට ගිහින් තියෙනවා.
5. අපේ හිත ආරක්ෂා කරගන්න ඕනෙ ඇයි?
5 තවත් සමහරු තමන්ගේ සැමියා, බිරිඳ නොවන කෙනෙක්ට ඕනෑවට වඩා කිට්ටු වෙන්න ගිහින් අනාචාරයට වැටිලා තියෙනවා. අද අපි ඉන්නේ තමන්ව පාලනය කරගන්න පුළුවන් මිනිසුන් ඉන්න සමාජයක නෙමෙයි. ඕනම අනාචාර ක්‍රියාවකින් සතුටක් ලබන්න උනන්දු කරන සමාජයකයි. ඔය අතරේ හිත රැවටිලිකාර නිසා අපිටත් හොරා වැරදි දේට හිත ඇදිලා යනවා. ඒ නිසා ලේසියෙන්ම වෙන කෙනෙක්ට අපේ හිත ඇදිලා යන්න පුළුවන්. (යෙරෙමියා 17:9, 10 කියවන්න.) ඒ නිසයි යේසුස් කිව්වේ “දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි” කියලා.—මතෙ. 15:19.
6, 7. (අ) හිතේ වැරදි ආශාවන් ඇති වෙන්න ඉඩහැරියොත් ප්‍රතිඵලය මොකක් වෙයිද? (ආ) යෙහෝවා දෙවිට විරුද්ධව පාපයක් නොකර ඉන්න පුළුවන් කොහොමද?
6 හිතේ ටිකෙන් ටික ඇති වෙන වැරදි ආශාවන් නිසා තමන්ගේ සැමියා, බිරිඳ එක්ක විතරක් කතා කරන්න ඕන දේවල් ගැන තමන්ගේ හිත ඇදිලා ගිය කෙනා එක්ක කතා කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. ඊටපස්සේ ඒ දෙන්නා එකට කාලේ ගත කරන්න නිදහසට කරුණු හොයාගන්නවා. නිතරම වගේ මුණගැහුණත් පෙන්නන්න උත්සාහ කරන්නේ අහම්බෙන් මුණගැහුණා කියලයි. එකිනෙකා ගැන හිතේ ඇති වෙන හැඟීම් එන්න එන්නම වැඩි වෙද්දී හරි දේ කරන්න ලේසි නැහැ. දෙන්නගේ බැඳීම වැඩි වෙන්න වැඩි වෙන්න තමන් කරන්නේ වැරදි දෙයක් කියලා දැනගෙන හිටියත් ඒක නවත්තන්න ලේසි නැහැ.—හිතෝ. 7:21, 22.
7 හිතේ තිබුණ වැරදි ආශාවන් සහ කතාබහට විතරක් සීමා වෙලා තිබුණ සම්බන්ධය අත් අල්ලන, සිපගන්න, ලිංගික හැඟීම් ඇවිස්සෙන විදිහට ස්පර්ෂ කරන තත්වය දක්වා වර්ධනය වෙනවා. එහෙම වෙද්දී යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති එයාලට අමතක වෙනවා. ඒ දේවල් විවාහක යුවළක් අතරේ විතරක් සිද්ධ වෙන්න ඕන දේවල් කියලත් අමතක කරනවා. ඔවුන් තුළ තියෙන නුසුදුසු ආශාවන් පාලනය කරගන්න බැරුව අන්තිමේදී ඔවුන් ‘වරදට පෙලඹෙනවා.’ (යාකො. 1:14, 15) තමන්ගේ විවාහය ගැන දිගටම ගෞරවනීය හැඟීමක් ඇතුව ඉන්න දෙවිගේ උදව් පැතුවා නම් යෙහෝවා දෙවිට විරුද්ධව ඒ පාපය නොකර ඉන්න ඔවුන්ට අවස්ථාව තිබුණා. තමන්ගේ පවුල් ජීවිතය ගැන හිතේ තියෙන ගෞරවය වැඩි කරගන්න කෙනෙක්ට පුළුවන් කොහොමද?
යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න
8. අනාචාරයට අහු නොවී ඉන්න දෙවි එක්ක තියෙන මිත්‍රත්වය උදව් වෙන්නේ කොහොමද?
8 ගීතාවලිය 97:10 කියවන්න. අපිට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් අනාචාරය කියන උගුලට අහු වෙන්නේ නැතුව ඉන්න ඒක උදව්වක්. යෙහෝවා දෙවිට තියෙන පුදුමාකාර ගතිලක්ෂණ ගැන ඉගෙනගද්දී බයිබලේ තියෙන මේ උපදෙස පිළිපදින්න අපිත් උත්සාහ කරනවා. ‘ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න. ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.’ එහෙම කරද්දී ‘වේශ්යාකමෙනුත්, ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියාවලිනුත්’ වැළකිලා ඉන්න අපිට පුළුවන්. (එෆී. 5:1-4) “වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබෙනවා” කියලා දන්න සැමියෙක්, බිරිඳක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න පුළුවන් උපරිමය කරනවා.—හෙබ්‍රෙ. 13:4.
9. (අ) අනාචාරයට අහු නොවී ඉන්න යෝසෙප්ට පුළුවන් වුණේ කොහොමද? (ආ) අපිට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?
9 වැඩ වෙලාවෙන් පස්සෙත් රැකියා ස්ථානයේ ඉන්න සාක්ෂිකරුවන් නොවන අය එක්ක කාලය ගත කරපු එකෙන් සමහරු ඔවුන්ගේ සදාචාර ප්‍රමිති බාල කරගෙන තියෙනවා. පරෙස්සම් වුණේ නැත්නම් රැකියාව කරන වෙලාවේදී වුණත් අපි වරදට වැටෙන්න පුළුවන්. යෝසෙප්ගේ සිද්ධිය බලන්න. ඔහු වැඩ කරපු තැන ස්වාමියාගේ බිරිඳ ඔහුට අනවශ්‍ය විදිහට කිට්ටු වෙන්න හදනවා කියලා ඔහුට තේරුණා. තමන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන්න කියලා ඇය දවස ගානේ ඔහුට කරදර කළා. දවසක් ඇය “යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලා ඔහුව තමා ළඟට ඇදගනිමින්, ‘මා සමඟ සයනය කරන්න’ යයි කීවාය.” ඒත් යෝසෙප් ඉක්මනින්ම එතැනින් අයින් වුණා. වරදට වැටෙන්නේ නැතුව ඉන්න යෝසෙප්ට පුළුවන් වුණේ දෙවි එක්ක තමන්ට තියෙන මිත්‍රත්වය දිගටම තියාගන්න ඔහුට ලොකු අධිෂ්ඨානයක් තිබුණ නිසයි. ඇත්ත, යෝසෙප්ට රැකියාව නැති වුණා. හිරේ යන්නත් වුණා. ඒත් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔහුට ලැබුණා. (උත්. 39:1-12; 41:38-43) රැකියා ස්ථානයේ හිටියත් වෙන කොහේ හිටියත් වරදට වැටෙන්න තියෙන අවස්ථාවලින් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න අධිෂ්ඨාන කරගන්න.
අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න
10. විවාහය ආරක්ෂා කරගන්න අලුත් පෞද්ගලිකත්වය උදව් වෙන්නේ කොහොමද?
10 බයිබලේ මෙහෙම කියනවා. “ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆී. 4:24) පෞද්ගලිකත්වය අලුත් කරගන්නවා නම් අනාචාරයෙන් වළකින්න යුවළකට පුළුවන්. අපි අපේ පෞද්ගලිකත්වය අලුත් කරගද්දී ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද තණ්හාවද සහමුලින්ම අපේ ශරීරයේ අවයවවලින් නැති කර දමන්න’ ඕනේ. (කොලොස්සි 3:5, 6 කියවන්න.) ‘සහමුලින්ම නැති කර දමන්න’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ අනාචාර සිතුවිලි නැති කරලා දාන්න අපි ලොකු සටනක් කරන්න ඕනෙ කියන එකයි. අනාචාරයට මඟ පාදන හැඟීම් ඇති කරන ඕනම දේකින් අපි වළකින්න ඕනේ. (යෝබ් 31:1) දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී ‘දුෂ්ට දේවල් පිළිකුල් කරන්නත් අත් නෑර යහපත් දේවලට ඇලුම් කරන්නත්’ අපි ඉගෙනගන්නවා.—රෝම 12:2, 9.
11. විවාහ බැඳීම ශක්තිමත් කරගන්න අලුත් පෞද්ගලිකත්වය උදව් වෙන්නේ කොහොමද?
11 අපේ පෞද්ගලිකත්වය අලුත් කරගද්දී යෙහෝවා දෙවිව අනුකරණය කරන්නත් අපි උත්සාහ කරනවා. (කොලො. 3:10) විවාහක යුවළක් “දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින්” වැඩ කරනවා නම් දෙන්නගේ බැඳීම ශක්තිමත් වෙනවා. යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ලැබෙනවා. (කොලො. 3:12) ඒ විතරක් නෙමෙයි ‘සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට ඉඩ දෙද්දී’ සාමයෙන් දේවල් කරන්නත් පුළුවන් වෙනවා. (කොලො. 3:15) ඒ දෙන්නා “එකිනෙකාට ගැඹුරු ස්නේහයක්” දක්වනවා නම් අනිත් කෙනාට සැලකිල්ල, ගෞරවය පෙන්නන්න දෙන්නම “පෙරමුණ ගන්නවා.”—රෝම 12:10.
12. පවුල් ජීවිතේ සතුටෙන් ගත කරන්න වැදගත් වෙන්නේ මොන ගුණාංග කියලද ඔයා හිතන්නේ?
12 ‘පවුල් ජීවිතේ සතුටෙන් ගත කරන්න උදව් වුණේ මොන වගේ ගුණාංගද’ කියලා අහපුවම එක සැමියෙක් මෙහෙම කිව්වා. “ප්‍රධානම ගුණාංගය තමයි ආදරය. ඒ වගේම මෘදුකමත් අපිට හුඟක් ප්‍රයෝජනවත් වුණා.” එයාගේ බිරිඳ කිව්වේ මෙහෙමයි. “කරුණාවන්තකමත් හුඟක් වැදගත්. සමහර වෙලාවට ටිකක් අමාරු වුණත් නිහතමානීව වැඩ කරන්නත් අපි උත්සාහ කළා.”
හොඳින් කතාබහ කරන්න
13. ශක්තිමත් විවාහයකට අත්‍යවශ්‍යම දෙයක් මොකක්ද? ඒ ඇයි?
13 ආදරෙන් බැඳුණු ශක්තිමත් පවුලක් පිටිපස්සේ තියෙන එක ප්‍රධාන රහසක් තමයි කාරුණිකව කතාබහ කරන එක. ඒත් හුඟක් අය තමන්ගේ සැමියාට, බිරිඳට කතා කරන්නේ කිසිම ගරුසරුවක් නැතුව. සමහරු අමුත්තන්ට, සුරතල් සතුන්ට ඊට වඩා ආදරෙන්, ගෞරවයෙන් කතා කරනවා. පවුල් ජීවිතය තුළ “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” තියෙනවා කියන්නේ දෙන්නගේ බැඳීම දුර්වල වෙනවා කියන එකයි. (එෆී. 4:31) විවේචනය කරද්දී, හිත රිද්දන වචන කියද්දී විවාහ බැඳීම දෙකඩ වෙනවා. එහෙම නොවෙන්න නම් දෙන්නට දෙන්නා තේරුම් අරන්, කාරුණිකව, දයානුකම්පාවකින් කතා කරන්න ඕනේ.—එෆී. 4:32.
14. අපි නොකරන්න ඕනෙ මොනවද?
14 “නිහඬව සිටීමට කාලයක්” තියෙනවා කියලා බයිබලේ කියනවා. (දේශ. 3:7) ඒත් ඒකෙන් අදහස් කරන්නේ ප්‍රශ්නයක් ඇති වුණාම සැමියා, බිරිඳ එක්ක කතා නොකර ඉන්න පුළුවන් කියන එක නෙමෙයි. ශක්තිමත් විවාහයකට හොඳ කතාබහක් ඕනෙමයි. බිරිඳක් මෙහෙම කියනවා. “කතා නොකර ඉද්දී ඔයාගේ සැමියාට, බිරිඳට හුඟක් රිදෙන්න පුළුවන්. අනිත් අතට කේන්තිය එකපාරම පිට කරලා දාන එකත් හොඳ නෑ. ලොකු පීඩනයක් දැනෙද්දී සන්සුන්ව ඉන්න එක ලේසි නෑ. ඒත් කේන්තිය පිට කළොත් අනිත් කෙනාගේ හිත පාරන දෙයක් ඔයා අතින් කියවෙයි. නැත්නම් ඔයා අතින් වෙයි. එතකොට ප්‍රශ්නේ තවත් නරක අතට හැරෙයි.” කෑගහලවත් කතා නොකර ඉඳලවත් ප්‍රශ්න විසඳගන්න බැහැ. එකඟ නොවීම් ඇති වෙද්දී බහින් බස් වීමක් දක්වා දුර දිග යන්න නොදී ඒක ඉක්මනට විසඳගන්නවා නම් විවාහය ශක්තිමත් කරගන්න යුවළකට පුළුවන්.
15. හොඳ කතාබහක් විවාහ බැඳීම ශක්තිමත් කරන්නේ කොහොමද?
15 තමන්ට හිතෙන, හැඟෙන දේවල් හංගන්නේ නැතුව කතාබහ කරන යුවළකගේ බැඳීම හුඟක් ශක්තිමත්. මොනවා හරි දෙයක් කියන විදිහ කියන කාරණය තරම්ම වැදගත්. මොන තරම් අමාරු වෙලාවකදී වුණත් කාරුණිකව කතා කරන්න ලොකු උත්සාහයක් ගන්න. එතකොට ඔයාට ඇහුම්කන් දෙන්න එයාට ලේසි වෙයි. (කොලොස්සි 4:6 කියවන්න.) දිරිගැන්වෙන, ප්‍රයෝජනවත් වෙන විදිහට හොඳින් කතාබහ කරද්දී ශක්තිමත් වෙන්නේ දෙන්නගේ බැඳීමයි.—එෆී. 4:29.
හොඳ කතාබහක් විවාහ බැඳීම ශක්තිමත් කරනවා (15 ඡේදය බලන්න)
එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරන්න
16, 17. අනිත් කෙනාගේ හැඟීම් ගැන, ලිංගික අවශ්‍යතා ගැන තේරුම්ගන්න එක වැදගත් ඇයි?
16 තමන්ට අවශ්‍ය දේට වඩා අනිත් කෙනාගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙනවා නම් විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ඒකත් ලොකු උදව්වක්. (ෆිලි. 2:3, 4) සැමියා වගේම බිරිඳත් එකිනෙකාගේ හැඟීම් ගැන, ලිංගික අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.—1 කොරින්ති 7:3, 4 කියවන්න.
17 තමන්ගේ සැමියාට බිරිඳට ආදරේ පෙන්නන්න, සිප වැළඳගන්න, ලිංගික සතුටක් ලබන්න සමහරුන් කැමති නැහැ. සමහර පිරිමි හිතන්නේ ආදරේ පෙන්නන්න ගියොත් තමන්ව බොළඳ කෙනෙක් විදිහට දකියි කියලයි. ඒත් බයිබලේ කියන්නේ මෙහෙමයි. “ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න.” (1 පේතෘ. 3:7) විවාහ ජීවිතේදී එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරනවා කියන්නේ ලිංගික අවශ්‍යතා තෘප්තිමත් කරන එක විතරක් නෙමෙයි ඊට වඩා වැඩි දෙයක් කියලා සැමියෙක් තේරුම්ගන්න ඕනේ. තමන්ගේ බිරිඳව ආදරෙන් වැළඳගන්න එකත් එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකන එකත් ඒකට ඇතුළත්. එතකොට දෙන්නා අතර ඇති වෙන ලිංගික ඇසුරෙන් බිරිඳත් සතුටක් ලබයි. දෙන්නට දෙන්නා ආදරෙන් සලකද්දී එකිනෙකාගේ හැඟීම් තේරුම් අරන් වැඩ කරන්නත් එකිනෙකාගේ ශාරීරික අවශ්‍යතා ඉටු කරන්නත් පුළුවන් වෙනවා.
18. යුවළකට දෙන්නා අතරේ තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
18 සැමියාට, බිරිඳට ද්‍රෝහි වෙන්න කිසිම නිදහසට කරුණක් නැහැ. ඒත් වෙන කෙනෙක්ගෙන් ආදරේ, ලිංගික සතුටක් ලබන්න කෙනෙක් පෙලඹෙන්න හේතුවක් වෙන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ සැමියාගෙන්, බිරිඳගෙන් ලැබෙන ආදරේ අඩු වෙන එක. (හිතෝ. 5:18; දේශ. 9:9) ඒ නිසයි බයිබලේ කියන්නේ විවාහ වුණ දෙන්නෙක් එකිනෙකාගේ ලිංගික “අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙමින් එය ඉටු කර දීමට වගබලා ගත යුතුයි” කියලා. ටික කාලයකට එම අවශ්‍යතාව ඉටු කර නොගන්න යුවළක් තීරණය කරනවා නම් මුලින්ම ඒ දෙන්නා ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේ උපදෙසක් දීලා තියෙන්නේ ඇයි කියලා බයිබලේම මෙහෙම පැහැදිලි කරනවා. “එසේ නොකළොත් ඔබේ ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වීම නිසා ඔබ සාතන්ගේ පෙලඹීම්වලට හසු විය හැක.” (1 කොරි. 7:5) යුවළකට තමන්ගේ ‘ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වුණොත්’ ඒක අතකොළුවක් කරගන්න සාතන් බලාගෙන ඉන්නවා. ඔහුට ඕන අනාචාරය කියන උගුලට ඒ අයව අහු කරගන්නයි. එකිනෙකාට සැලකිල්ල පෙන්නද්දී, එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරද්දී දෙන්නම කරන්නේ “තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත්” වෙන එකයි. දෙන්නෙක් එහෙම කරන්නේ දෙන්නට දෙන්නා ආදරේ කරන නිසා මිසක් ඒක එයාලගේ යුතුකමක් හැටියට සලකලා නෙමෙයි. ඒ ආදරය, සැලකිල්ල දෙන්නගේ බැඳීම තවත් ශක්තිමත් කරනවා.—1 කොරි. 10:24.
ඔයාගේ විවාහය දිගටම රැකගන්න
19. අපි අධිෂ්ඨාන කරගන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි?
19 පාරාදීස පොළොව තියෙන්නේ අපිට පෙනෙන නොපෙනෙන තරම් කිට්ටුවකයි. එදා ඊශ්‍රායෙල්වරුන් 24,000කට වුණා වගේ වැරදි ආශාවන්ට වහල් වෙලා ඒ ලස්සන තෑග්ග අපිත් නැති කරගත්තොත් ඒක මොන තරම් කනගාටුදායකද! එදා සිද්ධ වුණ දේ මතක් කළාට පස්සේ බයිබලේ මෙහෙම කියනවා. “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ.” (1 කොරි. 10:12) ඔයාගේ විවාහය ශක්තිමත් කරගන්න ඕනෙ නම් ඔයාගේ සැමියාට, බිරිඳට වගේම යෙහෝවා දෙවිටත් විශ්වාසවන්තව ඉන්න දිගටම උත්සාහ කරන්න. (මතෙ. 19:5, 6) එහෙම කරන්න නම් වෙන කවරදාකටත් වඩා අපි “අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න” අධිෂ්ඨාන කරගමු.—2 පේතෘ. 3:13, 14.