දවස පුරාම යෙහෝවා කෙරෙහි බියෙන් සිටින්න
1 ‘යෙහෝවා කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය.’ (ගීතා. 111:10) යෙහෝවා කෙරෙහි ඇති බිය යහපත් දේවල් කිරීමට අප තුළ පෙලඹවීමක් ඇති කරන අතර, වැරදි දේවලින් ඉවත් වීමටද උපකාරවත් වෙයි. (හිතෝ. 16:6) මෙම බිය අපේ මැවුම්කරු කෙරෙහි තිබෙන ගැඹුරු ගෞරවයකින් යුත් බියක් වන අතර, එය ඔහුව අසතුටට පත් කරවන දේවලින් වැළකීමටත්, නිතරම ඔහුට කීකරු වීමටත් අපව පොලඹවයි. මෙය අප විසින් වර්ධනය කරගනිමින් දවස පුරාම විදහාපෙන්විය යුතුයි.—හිතෝ. 8:13.
2 සාතන්ගේ ලෝකය තුළ බලපවත්වන ස්වභාවය මගින් එහි නපුරු මාර්ගවලට අනුව හැඩගැසීමට අප මත මහත් පීඩනයක් ඇති කරයි. (එපී. 6:11, 12) අපේ අසම්පූර්ණ පව්කාර මාංසය නිරායාසයෙන්ම නැඹුරු වන්නේ නරක දේවල් කිරීමටයි. (ගලා. 5:17) මේ නිසා, යෙහෝවාගේ ආඥාවලට කීකරු වෙමින් සන්තෝෂය හා ජීවනය අත් කරගැනීමට නම් දවස පුරාම අප තුළ ඔහු කෙරෙහි බියක් තිබිය යුතුයි.—ද්වි. 10:12, 13.
3 අපි ජීවත් වන මේ කාලයේදී එකිනෙකාව “වඩ වඩා” දිරිමත් කිරීම සඳහා එකට එක්රැස් වන්න කියා හෙබ්‍රෙව් 10:24, 25 අපට උපදෙස් දෙයි. මෙම අන්තිම දවස්වලදී අපට එල්ල වන පීඩනවලට සාර්ථකව මුහුණ දීම සඳහා නිතිපතා රැස්වීම්වලට යෑම අත්‍යවශ්‍යයි. රැස්වීම්වලට යෑමටත් සෑම රැස්වීමකම අරමුණ අගය කිරීමටත් අපව පොලඹවන්නේ යෙහෝවාව අසතුටට පත් කිරීමට තිබෙන බියයි. දේවබියැති පුද්ගලයන් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම සලකන්නේ දෙවිට නමස්කාර කිරීම සඳහා තමන්ට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක් ලෙසයි.
4 රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට දී තිබෙන ආඥාවට කීකරු වීම, දෙවි කෙරෙහි තිබෙන අපේ බිය පෙන්විය හැකි තවත් මාර්ගයක්. (මතෙ. 28:19, 20; ක්‍රියා 10:42) අපේ දේශනා සේවයේ ප්‍රධානතම අරමුණුවලින් එකක් වන්නේ යෙහෝවා කෙරෙහි බියක් වර්ධනය කරගනිමින් ඔහුගේ කැමැත්ත කිරීමට ජනයාට උපකාර කිරීමයි. අපි මෙය කරන්නේ දෙවි අණ කර තිබෙන සියල්ල කිරීමට ජනයාට ඉගැන්වීම සඳහා නැවත බැලීම් කිරීමෙන් හා නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට උත්සාහ කිරීමෙනුයි. මේ දේවල් කිරීමෙන් යෙහෝවා කෙරෙහි තිබෙන අපේ බියත් අසල්වැසියන් කෙරෙහි තිබෙන අපේ ප්‍රේමයත් අපි පෙන්වන්නෙමු.—මතෙ. 22:37-39.
5 දෙවි කෙරෙහි බියක් නොමැති අය ආත්මික දේවල් අගය නොකරන අතර, මේ ලෝකයේ මාරාන්තික විෂ වායුවට, එනම් මානසික නැඹුරුවාවන්වලින් යටපත් වෙයි. (එපී. 2:2) නමුත් ඊට වෙනස්ව, ‘ගෞරවයෙන්ද දේවභයින්ද දෙවිට සේවය කිරීම’ අප සැමගේ අධිෂ්ඨානය කරගනිමු. (හෙබ්‍රෙ. 12:28) මෙම අධිෂ්ඨානයට අනුව කටයුතු කිරීමෙන් දවස පුරාම යෙහෝවා කෙරෙහි බියෙන් සිටින අය අද්දකින ආශීර්වාද අපටත් අද්දැකිය හැකිය.