නියම වේලාවට උපකාර
1 සෙසු ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ප්‍රේරිත පේතෘස් දුටු විට, ඔවුන්ට ප්‍රේමණීය ලෙස සිහිගැන්වීම් හා දිරිගැන්වීම් ලබා දීමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ ඔවුන් කෙරෙහි තිබූ සැලකිල්ලයි. (2 පේතෘ. 1:12, 14; 3:1, 2ආ) ‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන නිවැරදි දැනුම සම්බන්ධයෙන් අක්‍රිය වීමෙන් හා පල නොදැරීමෙන් වැළකීමට’ උපකාරවත් වන ආත්මික ගුණාංග දිගටම වර්ධනය කරගන්න කියා ඔහු ‘ඇදහිල්ල අත් කරගත් අයගෙන්’ ඕනෑකමින් ඉල්ලා සිටියේය. (2 පේතෘ. 1:1, 5-8, NW) මෙහිදී පේතෘස්ගේ අරමුණ වූයේ යෙහෝවාගෙන් ඔවුන්ට ලැබී තිබුණු කැඳවීම හා ඔවුන්ව තෝරාගැනීම ස්ථිර කරගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමයි. මෙසේ, ඔවුන් “අන්තිමේදී පලුද්දක් නොමැතිව, නිකැළැල්ව සහ සමාදානයෙන් සිටින බව” දැකගත හැකි වනු ඇත. (2 පේතෘ. 1:10, 11; 3:14, NW) පේතෘස් කළ එම දිරිගැන්වීම බොහෝදෙනෙකුට නියම වේලාවට ලැබුණු උපකාරයක් බව පැහැදිලිය.
2 අද දින සිටින ක්‍රිස්තියානි අවේක්ෂකයෝද දෙවිගේ සෙනඟ කෙරෙහි ඒ හා සමාන සැලකිල්ලක් දක්වති. මේ ‘අවදානම් සහිත තීරණාත්මක කාලවලදී’ යෙහෝවාට සේවය කරන අයගෙන් බොහෝදෙනෙකුට දුෂ්කරතා දරාගැනීමට සිදු වී තිබේ. (2 තිමෝ. 3:1, NW) ඉවරයක් නැති ආර්ථික ගැටලු, පවුල් ප්‍රශ්න හා වෙනත් පෞද්ගලික ගැටලු නිසා සමහරුන්ට දාවිත්ට මෙන් මෙසේ හැඟෙන්න පුළුවනි. “ගණන් නැති උවදුරින් වට කරනු ලදිමි. හිස නඟන්ට බැරි තරම් මාගේ අයුතුකම් මා පිට පැමුණුණේය. ඒවා මාගේ හිසකෙස්වලට වැඩිය. මාගේ සිතද මා හැර ගියේය.” (ගීතා. 40:12) මෙම පීඩාකාරී දේවල් ඔවුන්ව මොනතරම් අසීරුතාවකට පත් කරනවාද කියනවා නම් අත්‍යවශ්‍ය ආත්මික දේවල් පවා ඔවුන්ට අතපසු විය හැකියි. ඒ වගේම ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වීමද ඔවුන් නතර කර දැමිය හැකියි. එසේ වුවත්, ඔවුන් දුෂ්කරතා මැද පවා ‘යෙහෝවාගේ ආඥා අමතක කර නැත.’ (ගීතා. 119:176, NW) මෙවැනි අයට අවශ්‍ය උපකාරය ලබා දීම සඳහා වැඩිමහල්ලන්ට දැන් නියම කාලය එළඹ තිබේ.—යෙසා. 32:1, 2.
3 මෙම අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් දැනට දේවසේවයේ හවුල් වන්නේ නැති අයට උපකාර කිරීම සඳහා විශේෂ වෑයමක් දැරීමට වැඩිමහල්ලන්ට දිරිගැන්වීම් ලැබී ඇත. එවැනි අයට උපකාර කිරීම සඳහා මහත් වෑයමක් දැන් දරනු ලැබේ. මෙය මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වේ. සභාවේ ක්‍රියාකාරකම්වලට නැවත හවුල් වීමට උපකාර කිරීමේ අරමුණ ඇතුව අක්‍රියාශීලී අයව බැහැදැකීමට පොත් පාඩම් අවේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අවශ්‍යතාවක් තිබෙන අය සමඟ පෞද්ගලිකව බයිබල් පාඩමක් පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ හැක. මේ සඳහා අනිත් ප්‍රචාරකයන්ගෙන් උපකාරය ලබාගත හැකියි. මෙසේ කිරීමට ඔබෙන් ඉල්ලා සිටියහොත් මේ සඳහා ඔබ දරන වෑයමින් හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවනි. විශේෂයෙන්ම ඔබ එවැනි අයව තේරුම්ගනිමින් කාරුණික ලෙස දිරිගැන්වීම් ලබා දෙනවා නම් හොඳ ප්‍රතිඵල අපේක්ෂා කළ හැකියි.
4 යම් කෙනෙකු නැවත සභාවේ ක්‍රියාකාරකම්වල හවුල් වන විට සියලුදෙනාටම එය ප්‍රීතියට හේතුවකි. (ලූක් 15:6) අක්‍රියාශීලී අයව දිරිගැන්වීම සඳහා අප දරන වෑයම්වලදී “කලට සුදුසු වචන” ඇසෙන්න සලස්වමු.—හිතෝ. 25:11.