ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 6වන කොටස:
ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් අසන විට
1 බයිබල් පාඩමක් නොකඩවාම කරගෙන යන්න ලැබුණ විට එක් විෂයකින් තවත් විෂයකට විගස මාරු වෙනවා වෙනුවට බයිබල් ඉගැන්වීම් පිළිවෙළකට සලකා බැලීම තමයි සුදුසුම දෙය වන්නේ. නිවැරදි දැනුම මත පිහිටා සිටීමටත් ආත්මිකව ප්‍රගතියක් ලැබීමටත් බයිබල් ශිෂ්‍යයෙකුට එයින් උපකාරයක් ලැබෙයි. (කොලො. 1:9, 10) එහෙත් බොහෝවිට ශිෂ්‍යයන් පාඩම අතරතුරේදී විවිධ විෂයන් ගැන ප්‍රශ්න අසනවා. එවැනි අවස්ථාවකදී කළ යුතු වන්නේ කුමක්ද?
2 ඥානවන්ත වන්න: පාඩමේ කරුණුවලට අදාළව අසන ප්‍රශ්නවලට ඒ මොහොතේදීම පිළිතුරු දිය හැකියි. අසන ලද යම් ප්‍රශ්නයක් අධ්‍යයනය කරන ප්රකාශනයේ පසුව සාකච්ඡා කෙරේ නම් ඒ බව සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත්. එහෙත් පාඩම් කරන කරුණුවලට අදාළ නොවන ප්‍රශ්නයක් ඇසුවොත්, සුදුසු පිළිතුරක් දීම සඳහා යම් පර්යේෂණයක නියැලීම අවශ්‍ය නම් පාඩමෙන් පසුව හෝ වෙනත් වෙලාවක ඒ ගැන සලකා බැලීම සුදුසු විය හැකියි. එම ප්රශ්නය ලියාගැනීමෙන් තමාගේ ප්රශ්නය ගැන සුළුවෙන් නොතකන බව ශිෂ්‍යයාට තහවුරු වෙයි. එමෙන්ම පාඩම වෙනතකට හැරීමෙන් වළක්වාගැනීමටද එය උපකාරයක් වෙනවා.
3 අපේ මූලික අධ්‍යයන ප්රකාශනවල බයිබල් ඉගැන්වීම් බොහොමයක් සලකා බැලෙන්නේ ඉතා කෙටියෙන්. ශිෂ්‍යයෙකුට යම් ඉගැන්වීමක් පිළිගැනීමට අපහසු නම් හෝ යම් මිථ්‍යා විශ්වාසයකින් මිදීමට ඔහුට නොහැකි නම් කුමක් කළ යුතුද? එම විෂය පිළිබඳව බයිබලයේ පවසන දේ ගැන පැහැදිලිව පෙන්වා ඇති අමතර කරුණු සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැකියි. ඉන්පසුව පවා ශිෂ්‍යයා ඒත්තුගෙන නැති බව පෙනේ නම් ඒ විෂය පැත්තකින් තබා නිතිපතා කරන පාඩම දිගටම කරගෙන යන්න. (යොහ. 16:12) බයිබලය ගැන මනා දැනුමක් හා ආත්මික ප්‍රගතියක් ලබන විට ඔහු එම බයිබල් ඉගැන්වීම වටහාගනීවි.
4 නිහතමානි වන්න: ප්‍රශ්නයකට නිසි පිළිතුරක් දීමට ඔබට නොහැකි නම් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට තිබෙන පෙලඹීම වළක්වාගන්න. (2 තිමෝ. 2:15; 1 පේතෘ. 4:11) ඒ කාරණය ගැන හොඳින් පර්යේෂණය කර පිළිතුරක් දෙන බව පැහැදිලි කරන්න. පර්යේෂණය කරන ආකාරය ශිෂ්‍යයාට ඉගැන්වීමට පවා එය ප්‍රස්තාවක් කරගැනීමට ඔබට හැකියි. යෙහෝවාගේ සංවිධානයෙන් සපයා ඇති ආධාරක ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගන්නා ආකාරය ක්‍රම ක්‍රමයෙන් ඔහුට පෙන්වා දෙන්න. එවිට පසු කලකදී ඔහුගේ ප්‍රශ්නවලට ඔහුටම පිළිතුරු සොයාගැනීමට හැකි වේවි.—ක්‍රියා 17:11.