පාලක මණ්ඩලයෙන් ලිපියක්
නව ලොව අද්දර සිටින අප යෙහෝවා කෙරෙහි බලා සිටීම ඉතාමත් හදිසි කාරණයක්. (ශෙප. 3:8) “රහස් දේ එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයේ සිටින්නේය. ඔහු අන්තිම දවස්වලදී පැමිණෙන දේ . . . දැන්නුවේය” කියා ප්‍රොපේත දානියෙල් සඳහන් කළා. (දානි. 2:28) පුරෝකථනය කරන ලද කාලයේ අවසන් භාගයේ ජීවත් වෙන්න ලැබීමත් යෙහෝවා අපගේ කාලයේ එළිදරව් කරන දිව්‍ය රහස් තේරුම්ගන්න ලැබීමත් මොනතරම් උතුම් භාග්‍යයක්ද!
යෙහෝවා දෙවි “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් ඔහුගේ අරමුණ ක්‍රමානුකූලව එළිදරව් කර තිබෙනවා. මෙම “අන්තිම දවස්වලදී” ලොව වටා සිටින ජනතාවගෙන් “මහත් සමුහයක් ” සැබෑ නමස්කාරයන් වීම සඳහා ඒක රාශී කිරීම එම අරමුණයි. (මතෙ. 24:45; එළි. 7:9; 2 තිමෝ. 3:1) ලොව පුරා සිදු කෙරෙන මෙම කාර්යය “මතු පැමිණෙන දවස්වලදී” සිදු වන බව යෙසායා 2:2, 3 විස්තර කර තිබෙනවා. සෑම වසරකම මෙම එක්රැස් කිරීම සිදු වන්නේ හිංසා පීඩා මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් පිරි වාතාවරණයක් තුළයි.
“සෝදිසියෙන් සිටින්න . . . සූදානමින් සිටින බව පෙන්වන්න” කියා යේසුස් පැවසූ වදන්වලට කීකරු වීමේ ඇති අවශ්‍යතාව ගැන 2004 පුරාවටම අපට සිහිගන්වනු ලැබුවා. (මතෙ. 24:42, 44) ඇත්තෙන්ම “නියම කරන ලද කාලවල ලකුණු” තේරුම්ගෙන ඒ අනුව කටයුතු කරන ක්‍රිස්තියානීන්ට ලෝකයේ සිදු වන සිදුවීම්වල වැදගත්කමක් තිබෙනවා. (මතෙ. 16:1-3) තම දිව්‍යාණ්ඩු විධිවිධානයට එකඟව සංවිධානය වූ සෙනඟ කුමන විරුද්ධවාදීකමකට මුහුණ දුන්නත් යෙහෝවා ඔවුනට පොරොන්දු වූ ලෙස ඔවුන් සමඟ සිටිනවා.
රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කිරීම වැළැක්වීමට හෝ නතර කිරීමට සමහරෙකු උත්සාහ දැරුවද අපගේ සහෝදරයන් සත්‍යය ගැන කතා කිරීමත් එකට එක්රැස්වීමත් නවත්වා නැහැ. (ක්‍රියා 5:19, 20; හෙබ්‍රෙ 10:24, 25) වර්ෂ 2004 ජූනි මාසයේදී රුසියාවේ සිදු වූ දේ සලකා බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කිරීමටත්, මොස්කව්වල ඔවුන්ගේ නීත්‍යනුකූල ලියාපදිංචිය අහෝසි කිරීමටත් උසාවියක් විසින් දුන් තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළද, එහි අභියාචන අධිකරණය තම තීරණය වෙනස් කළේ නැහැ. කෙසේවෙතත් සහෝදරයෝ අධෛර්යයට පත් වුණේ නැහැ. දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේත් මිනිසුන්ට වඩා දෙවිට කීකරු විය යුතු බවත් ඔවුන් දැනගෙන සිටිනවා. (ක්‍රියා 5:29) නීතියෙන් තහංචි දමා තිබුණත් යෙහෝවා තම සේවකයන්ට මඟ පෙන්වන බව අපට නිසැකයි.
ජෝර්ජියා ජනරජයේ පසුගිය වසර කිහිපය තුළ සහෝදරයන්ට ඔවුන්ගේ ඉඩ කඩම් අහිමි වූ අතර මැර ප්රහාරයන්ටද ඔවුන් ලක් වුණා. එමෙන්ම ඔවුන්ගේ ඇස් පනා පිටම ඔවුන්ගේ පොත් පත් පුලුස්සා දැමුවා. නමුත් ඔවුන්ට විරුද්ධව එසවූ කිසි ආයුධයක් සඵල වුණේ නැහැ. (යෙසා. 54:17) වර්ෂ 2004 සේවා වසර තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ජෝර්ජියාවේ පනවා තිබූ තහනම ඉවත් කෙරුණා. ඉන්පසු කිසිම බාධාවකින් තොරව සමුළු පවත්වනු ලැබූ අතර පොත් පත් ගෙන්වා ගැනීමටත් ඔවුන්ට හැකි වුණා. ප්‍රචාරකයන්ගේ සහ සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාවේ නව උපරිමයක් වාර්තා වුණා.
ආමේනියාවේ, එරිට්‍රියාවේ, කොරියානු සමුහාණ්ඩුවේ, රුවන්ඩාවේ සහ ටර්ක්මනිස්ථානයේ වෙසෙන සහෝදරයන්ට ඔවුන්ගේ ඇදහිල්ල නිසා සිර බත් කන්න සිදු වුණා. ඔවුන්ට හිංසා පීඩා විඳින්න සිදු වුණත් එසේ පීඩා විඳින්නේ මන්ද කියා ඔවුන් ශුද්ධ ලියවිල්ල පිළිබඳ දැනුම තුළින් තේරුම් ගෙන තිබෙනවා. යෙහෝවා ගැලවීම ලබා දෙන තුරු දිගටම ඔහුට විශ්වාසවන්තව සිටීමට එය ඔවුන්ට උපකාරයක් වී තිබෙනවා.—1 පේතෘ.16; 2 පේතෘ. 2:9.
ඔබ 2005 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ තිබෙන 2004 සේවා වසරේ වාර්තාව බලන විට යෙහෝවාගේ යහපත්කම ගැන ප්‍රීතිවන බව නිසැකයි. (ගීතා. 31:19; 65:11) දෙවිට ප්‍රසන්න අයුරින් දිගටම කටයුතු කිරීමට මෙම වාර්තාවෙන් ඔබට දිරිගැන්වීමක් ලැබෙනු ඇතැයි කියා අපට විශ්වාසයි.—1 තෙස.4:1.
සෑම කෙනෙකුටම සත්‍යය ලබා දීම සඳහා විශාල වෑයමක් දරා තිබෙනවා. අන්ධ සහ බිහිරි අයට දෙවි පිළිබඳ දැනුම ලබා දීම සඳහා බ්‍රේල්වලින් පොත් පත් සකස් කර තිබෙන අතර සංඥා භාෂාවෙන් වීඩියෝ පට සහ DVD තැටි මෙන්ම වෙනත් දේවල්ද සකස් කර තිබීම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි. තම බල ප්‍රදේශ අවට වෙසෙන විදේශිකයන්ට සාක්ෂි දැරීම සඳහා බොහෝ රාජ්‍ය ප්‍රචාරකයන් විදේශ භාෂා ඉගෙන ගෙන තිබෙනවා.
මීට අමතරව, යෑමට දුෂ්කර පළාත්වල, කුඩා කණ්ඩායම් සිය ගණනක් ඇති වී තිබෙනවා. එක් රටක එවැනි කණ්ඩායම් තුන් සියයකට වඩා සිටින අතර එම කණ්ඩායම්වල සිටින ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 7000කට වඩා වැඩියි. මෙයින් පෙනී යන්නේ නව සභාවන් ඇතිවීමට බොහෝ ඉඩ කඩක් තිබෙන බවයි! එපමණක් නොව මෙම සේවා වසරේ සිහි කිරීමේ උත්සවයට පැමිණි 1,67,60,607 දෙනාගෙන් මිලියන දහයකට වඩා වැඩි සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් නොවෙයි. මෙය, තවමත් නෙළා නැති පැසුණු ගොයම නෙළිය යුතු බවට හොඳ ඉඟියක් කියා ඔබ සිතන්නේ නැද්ද?
යෙහෝවාගේ මහඟු ආශීර්වාදවලට සහ දිනපතා අපව ප්‍රේමණීය ලෙස රැකබලා ගන්නා ආකාරයට අපි ස්තුති වන්නෙමු. (හිතෝ. 10:22; මලා. 3:10; 1 පේතෘ. 5:7) මෙම “අන්තිම දවස්වලදී” අපි එක්ව ගමන් කරන්නේ යෙහෝවා කෙරෙහි විශ්වාසය හා නිසැකකම ඇතුවයි. අප කුමන ප්‍රශ්නයකට මුහුණ දුන්නද ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ යන 2005 වාර්ෂික පදය අපි සිත් තුළ ලියා තබාගනිමු. (ගීතා. 121:2) අප ඔබට ප්‍රේම කරන බවටත් ඔබ වෙනුවෙන් යාච්ඤා කරන බවටත් සහතික වන්න.
ඔබේ සහෝදරයෝ,
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය