අපට දී තිබෙන අගනා වස්තුව
1 දෙවි තමන්ට දී තිබෙන දේශනා කිරීමේ වැඩය වටින දෙයක් ලෙස සැලකූ නිසයි පාවුල් එයට “වස්තුව” කියා පැවසුවේ. (2 කොරි. 4:7) එම කාර්යය ඉටු කිරීමේදී ඔහු කරදර හා පීඩා විඳදරාගත්තා. මුණගැසෙන ඕනෑම කෙනෙකුට ඔහු අත් නෑර දේශනා කළා. ඒ වගේම දේශනා කිරීම සඳහා ඔහු මුහුදෙත් ගොඩ බිමෙත් අනතුරුදායක සංචාරයන්වල යෙදුණා. පාවුල් මෙන් අපත් දේශනා කිරීම නමැති අනගි වස්තුව අගය කරන බව පෙන්වන්නේ කොහොමද? (රෝම 11:13) මෙය වෙන කිසිම දේකට වඩා වටින්නේ ඇයි?
2 අගනා වස්තුවක්: දේපොළ වස්තුව තිබෙනවා නම් එය රැකගැනීම සඳහා සෑහෙන වෙහෙසක් දැරුවත් ඉන් ලැබෙන ලාභය සීමිතයි. නමුත් අපේ දේවසේවය නමැති වස්තුව දෙස බලද්දී ඉන් අපටත් අන් අයටත් ලැබෙන්නේ සදාකාලික ප්‍රයෝජනයි. (1 තිමෝ. 4:16) මෙම සේවය මගින් අවංක සිත් ඇති අයට යෙහෝවා දෙවිව දැනගන්නත්, තම ජීවිත ක්‍රමය වෙනස් කරගන්නත්, සදාකාලික ජීවත්වීමේ බලාපොරොත්තුව තබාගන්නත් ප්‍රස්තාව ලැබෙයි. (රෝම 10:13-15) අපේ ජීවිතයට සාර්ථකත්වයක් සහ අරමුණක් පමණක් නොව අනාගතය සඳහා කදිම බලාපොරොත්තුවක්ද මේ සේවය මගින් ලැබෙනවා. එසේනම් එය අගය කළ යුතු අගනා වස්තුවක් නොවෙයිද!—1 කොරි. 15:58.
3 ඔබ මෙම වස්තුව අගය කරනවාද? යම් දෙයක් වටිනවා කියා අපි සිතනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න අපි ලෑස්තියි. එසේනම් යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා අපේ කාලය හා ශ්‍රමය වැය කිරීමට ලැබීම වරප්‍රසාදයක් නොවෙයිද! (එෆී. 5:16, 17) අපි අපේ කාලය වැය කරන ආකාරයෙන් දිස් විය යුත්තේ අප සතු දේවල්වලට වඩා යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධය වටින බවයි. අප බෙදාහරින දේ අන් අයටත් ඉතා වටිනා නිසා අපි දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් විය යුතුයි. ඒ වගේම සෑම අවස්ථාවකදීම ශුභාරංචිය කියා දීමටත් අපි සූදානම්ව සිටිය යුතුයි.
4 සාමාන්‍යයෙන් කාටත් දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කරන්නේ අගනා වටිනා දේවල්. අපත් අපේ දේවසේවය වටිනා දෙයක් ලෙස සලකනවා නම් එය අපේ ජීවිතයේ මුල් තැනෙහි තිබෙන බව දිස් විය යුතුයි. (මතෙ. 5:14-16) පාවුල් මෙන් අපත් අපේ දේවසේවය අගය කරන බව අපේ ක්‍රියාවලින් අපි පෙන්වමු. ඒ සඳහා අපි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමු. ඇත්තටම එය අපට භාර දී තිබෙන අගනා වස්තුවක්.