ඔබට ලැබී ඇති වරප්‍රසාදය අගය කරන්න
1. අප කරන සේවය බොහෝදෙනෙක් සලකන්නේ කොහොමද?
1 අද සමාජයේ බොහෝදෙනෙක් අපගේ දේවසේවය සලකන්නේ “මෝඩ දෙයක්” ලෙසයි. (1 කොරි. 1:18-21) අපි පරෙස්සම් නොවුණොත් ඔවුන්ගේ එම ආකල්ප නිසා අප අධෛර්යයට පත් වීමට හා දේවසේවය සඳහා අපට ඇති උද්යෝගය අඩු විය හැකියි. (හිතෝ. 24:10; යෙසා. 5:20) ඒ නිසා අපට ලැබී ඇති වරප්‍රසාදය රැකගන්න අපට තිබෙන හේතු කිහිපයක් සලකා බලමු.—යෙසා. 43:10.
2. දේවසේවය ‘ශුද්ධ කාර්යයක්’ ලෙස හඳුන්වන්නේ ඇයි?
2 ‘ශුද්ධ කාර්යයක්’: පාවුල් දේවසේවය හැඳින්වූයේ ‘ශුද්ධ කාර්යයක්’ ලෙසයි. (රෝම 15:15, 16) ඒ ඇයි? අප එම කාර්යයේ හවුල් වීමෙන් “ශුද්ධ තැනැත්තාණන්” වන යෙහෝවා දෙවිගේ “හවුල් වැඩකරුවන්” බවට පත් වන අතර ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීමේ කාර්යයටද දායක වෙනවා. (1 කොරි. 3:9; 1 පේතෘ. 1:15) අප කරන සේවය දෙවි සලකන්නේ ඔහුට ‘කරන ප්‍රශංසා පූජාවක්’ ලෙසයි. ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීම අපගේ නමස්කාරයේ අත්‍යවශ්‍ය අංගයක්.—හෙබ්‍රෙ. 13:15.
3. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබීම උතුම් වරප්‍රසාදයක් වන්නේ ඇයි?
3 දෙවි එය දේවදූතයන්ට පැවරුවා නම් ඔවුන් ඒ ගැන බොහෝ සේ ප්‍රීතිමත් වී එය අකුරටම ඉටු කරන බවට සැකයක් නැහැ. (1 පේතෘ. 1:12) ඒ වුණත් යෙහෝවා දෙවි එම උතුම් කාර්යය සඳහා තෝරාගෙන තිබෙන්නේ “මැටි භාජන” හා සමාන අසම්පූර්ණ මිනිසුන්වයි. ඔවුන් අතරිනුත් එය පැවරී ඇත්තේ සුළු පිරිසකට පමණයි. එහි හවුල් වීමට ලැබීම අපට ඇත්තටම වරප්‍රසාදයක්!—2 කොරි. 4:7.
4. අප දේවසේවය අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද?
4 වඩා වැදගත් කාර්යයක්: අපට ලැබී ඇති වරප්‍රසාදය අගය කරන නිසා දේවසේවය අපි සලකන්නේ ජීවිතයේ ‘වඩා වැදගත් දෙයක්’ ලෙසයි. (ෆිලි. 1:10) සෑම සතියකම අපි ඒ සඳහා කාලයක් වෙන් කරන්නේ ඒ නිසයි. උදාහරණයකට ලෝක ප්‍රසිද්ධ තූර්ය වාදක කණ්ඩායමක සාමාජිකයෙක් වීමට ලැබුණු කෙනෙක් ගැන සිතන්න. ඔහු එය වරප්‍රසාදයක් ලෙස සලකන නිසා ඉදිරියට තිබෙන සෑම සංගීත සංදර්ශනයක් සඳහාම ඔහු තම හැකියාවන් ප්‍රගුණ කරගනිමින් ඊට හොඳින් සූදානම් වෙනවා. එලෙසම අපත් දේවසේවයේ හවුල් වීමට පෙර ‘දේවවචනය නිසි ලෙස භාවිත කිරීමට’ හොඳින් සූදානම් වීම සහ ‘දක්ෂ ලෙස ඉගැන්වීමේ’ හැකියාවන් වැඩි දියුණු කරගැනීම අවශ්‍යයි.—2 තිමෝ. 2:15; 4:2.
5. අප කරන සේවය අගය කරන්නේ කවුද?
5 අප කරන සේවය අන් අය මෝඩ දෙයක් ලෙස සැලකුවත් අප අධෛර්යය නොවිය යුතුයි. අප කරන සේවය අගය කරන බොහෝදෙනෙක් තවමත් අපට හමු වෙනවා. දේවසේවයේදී අප උත්සාහ කරන්නේ මිනිසුන්ව සතුටු කිරීමට නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ සිත සතුටු කිරීමටයි. අප උද්යෝගයෙන් කරන සේවය දෙවි බොහෝ සේ අගය කරනවා.—යෙසා. 52:7.