15වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
මූලිකත්වයට යටත් වීමෙන් ප්‍රයෝජන ලබමු
159 සිට 163 දක්වා පිටු
යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම සඳහා අපි හොඳින් සංවිධානය වී සිටීම වැදගත්. මේ සඳහා ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවිට යටත් වීම අත්‍යවශ්‍යයි. එමෙන්ම ඔහු සිය පුත්‍රයාව ක්‍රිස්තියානි සභාවේ මූලිකයා හැටියට පත් කර තිබෙන බවද අපි තේරුම්ගත යුතුයි. එපමණක්ද නොවෙයි, අපේ ජීවිතයේ වෙනත් කාරණාවලදීද මූලිකත්වය පිළිබඳ දෙවිගේ සැලැස්මට යටත් වීමත් වැදගත්. එමගින් අපද අන් අයද ප්‍රයෝජන ලබනවා.
අධිකාරියට යටත් වීමේ අවශ්‍යතාව මුලින්ම මිනිසුන්ට පෙන්වා දෙනු ලැබුවේ ඒදන් උයනේදී බව උත්පත්ති 1:28 සහ 2:16, 17හි සඳහන් දෙවිගේ ආඥාවෙන් පැහැදිලි වෙනවා. සතුන් මිනිසුන්ට යටත් විය යුතු වූ අතර ආදම් සහ ඒව දෙවිගේ අධිකාරියට යටත් විය යුතු වුණා. දෙවිට යටත් වීමේ ප්‍රතිඵලය වන්නේ සාමය මෙන්ම සෑම දෙයක්ම හොඳින් සංවිධානය වී තිබීමයි. මූලිකත්වයට යටත් වීම ගැන පසු කලෙක නැවතත් අවධාරණය කර තිබෙන බව 1 කොරින්ති 11:3හි පාවුල් සඳහන් කළ මෙම වදන්වලින් පෙනී යනවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” මින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි හැර අන් සියලුදෙනාම මූලිකත්වයට යටත් විය යුතු බවයි.
අද බොහෝදෙනෙක් ඉහත සඳහන් කළ මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මීට ප්‍රධානතම හේතුව වන්නේ සියලුම මිනිසුන් පැවතෙන මුල්ම මිනිස් යුවළ මූලිකත්වය හොබවන ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන යෙහෝවා දෙවිට යටත් වීම හිතාමතාම ප්‍රතික්ෂේප කිරීමයි. (උත්. 3:4, 5) කෙසේවෙතත් එයින් ඔවුන්ට වැඩි නිදහසක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් නොපෙනෙන දුෂ්ට පුද්ගලයෙකු වන සාතන්ට යටත් වීමයි. මෙසේ මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් දෙවිගෙන් ඈත් වුණා. (කොලො. 1:21) අද බහුතරයක් දුෂ්ටයාගේ බලයට හසු වී සිටින්නේ ඒ නිසයි.—1 යොහ. 5:19.
අපි දේවවචනයෙන් සත්‍යය ඉගෙනගෙන ඊට එකඟව ජීවත් වන නිසා අපි සාතන්ගේ බලයට හසු වී සිටීමෙන් නිදහස් වී සිටිනවා. කැපවූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් හැටියට ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස අපි යෙහෝවා දෙවිව පිළිගෙන තිබෙන බව අපි ජීවත් වන ආකාරයෙන් පෙන්වනවා. එමෙන්ම ඔහු “සියල්ලට උසස්ව හිසක් මෙන් සිටින්නේය” කියා දාවිත් මෙන් අපිත් පිළිගන්නවා. (1 ලේක. 29:11) “යෙහෝවා දෙවියයි දැනගන්න. ඔහු අප මැවුවේය. අපි ඔහුගේය. අපි ඔහුගේ සෙනඟත් ඔහුගේ ගොදුරු බිමේ බැටළුවොත්ය” කියා අපිත් නිහතමානිව පිළිගන්නවා. (ගීතා. 100:3) සියල්ල මවා ඇත්තේ දෙවි නිසා මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම තැනැත්තා ඔහු බවත් අපි එකහෙළාම ඔහුට යටත් විය යුතු බවත් අපි තේරුම්ගෙන සිටිනවා. (එළි. 4:11) දෙවිට යටත් වීම සම්බන්ධයෙන් පරිපූර්ණ ආදර්ශයක් තැබුවේ යේසුස්. සැබෑ දෙවිගේ සේවකයන් හැටියට අපි යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා.
යේසුස් මිහිපිට සිටි කාලයේදී වින්ද දේවලින් ඉගෙනගත් දෙයක් ගැන හෙබ්‍රෙව් 5:8හි මෙසේ සඳහන් වෙනවා. “ඔහු පුත්‍රයෙකුව සිටියත්, තමන් වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්තේය.” ඉතා දුෂ්කර අවස්ථාවලදී පවා යේසුස් ඔහුගේ ස්වර්ගික පියාට යටත්ව සිටියා. එපමණක් නොවෙයි, ඔහුගේම අදහසට අනුව කිසිවක් කළේවත් ඔහුගේ අදහස් මිනිසුන්ට ඉගැන්වූයේවත් නැහැ. තමන්ට ගෞරවය ලබාගන්න උත්සාහ කළේද නැහැ. (යොහ. 5:19, 30; 6:38; 7:16-18) දෙවිගේ කැමැත්ත කිරීමේදී විරුද්ධවාදිකම්වලට හා පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණත් යේසුස් දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුටක් ලැබුවා. (යොහ. 15:20) ඔහු “වධකණුවක මරණය දක්වාම යටහත් වී” දෙවිට තිබෙන ඔහුගේ යටත්කම පෙන්නුවා. එහි ප්‍රතිඵලයක් හැටියට මනුෂ්යවර්යාට සදාකාල ගැලවීමේ මඟ විවෘත වූ අතර දෙවි ඔහුව උසස් තත්වයකට පත් කළා. එමෙන්ම දෙවිවද මහිමයට පත් කිරීමට ඔහුට හැකි වුණා.—ෆිලි. 2:5-11; හෙබ්‍රෙ. 5:9.
මූලිකත්වයට යටත් විය යුතු පැති
මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයා යෙහෝවා දෙවි වන නිසා අපි ඔහුට කොන්දේසි විරහිතව යටත් විය යුතුයි. (යෙසා. 33:22) ඔහුගේ කැපවූ නමස්කාරකයන් හැටියට ඒ බව අපි ජීවත් වන විදිහෙන් පෙන්විය හැකි ආකාර කිහිපයක් අපි සලකා බලමු. දෙවිගේ කැමැත්ත කිරීමට අපේ ජීවිතයේ මුල් තැන දීමෙන් දෙවිට අපේ යටත්කම පෙන්විය හැකියි. (ගීතා. 16:8) මෙසේ කිරීමෙන් දෙවිට යටත් වීම ප්‍රතික්ෂේප කරන අය අද්දකින සිත්තැවුල් බොහොමයකින් වළකින්න අපිට හැකියි. අපේ ප්‍රධානතම විරුද්ධකාරයා වන සාතන් නිතර වෑයම් කරන්නේ අපිව ගිලගැනීමටයි. අපි දුෂ්ටයාට විරුද්ධව සිටීමට පියවර ගැනීමෙන් හා නිහතමානිව දෙවිට කැමැත්තෙන්ම යටත් වීමෙන් දුෂ්ටයාගෙන් ගැලවෙන්න අපිට පුළුවන්.—මතෙ. 6:10, 13; 1 පේතෘ 5:6-9.
යෙහෝවා දෙවිට කැමැත්තෙන්ම යටත් වන විට අන් අය සමඟ අප පවත්වන සබඳතාද වර්ධනය වෙයි. කිසිවෙකුට යටත් නොවී තමන් කැමති දෙය කරන අය අද්දකින ගැටලුවලින් වැළකීමටද අපිට හැකියි. එමෙන්ම සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කළ හැකි අතර සේවකයන් සහ ස්වාමිවරුන් අතර යහපත් සබඳතාවක් පවත්වාගැනීමටත් හැකි වෙයි. රජයේ බලධාරීන් සමඟ කටයුතු කරන විට අපි නීති ගරුක වන අතර එමගින් යහපත් හෘදය සාක්ෂියක්ද ඇතුව සිටිය හැකියි. එමෙන්ම අපි සෙසු සහෝදර සහෝදරියන් සමඟ හොඳ ඇසුරක්ද භුක්ති විඳිනවා.
ක්‍රිස්තියානි සභාවේ මූලිකයා යේසුස් බවත් ඔහු විශ්වාසවන්ත හා නුවණ ඇති දාස පන්තියට යම් බලතල දී තිබෙන බවත් අපි පිළිගන්නවා. මෙය අපේ ආකල්පවලට මෙන්ම හැසිරීමටද බලපානවා. සභාව තුළ මූලිකත්වය පිළිබඳ දෙවිගේ සැලැස්මට අපි යටත් වන විට අපේ නමස්කාරය හා බැඳි සෑම කාරණයක් ගැනම දේවවචනයේ සඳහන් කර තිබෙන දේවලට අපි කීකරු වෙන්න පෙලඹෙනවා. ඒ දේවලට අපේ සේවය, රැස්වීම්වලට පැමිණීම හා සහභාගි වීම, වැඩිමහල්ලන් සමඟ කටයුතු කිරීම හා සංවිධානයේ සැලසුම්වලට සහයෝගය දීම ඇතුළත් වෙනවා.—මතෙ. 24:45-47; 28:19, 20; හෙබ්‍රෙ. 10:24, 25; 13:7, 17.
අපි දෙවිගේ සැලැස්මට යටත් වන විට ක්‍රිස්තියානි සභාවේ තිබෙන සාමය හා සුරක්ෂිතභාවය දිගටම රැකගන්න පුළුවන්. දෙවිගේ සැලැස්මට යටත් වීම අපිට බරක් නොවෙයි. (1 යොහ. 5:3) දෙවිගේ සිත සතුටු කරන අයුරින් එකමුතුව ජීවත් වන සෙනඟ අතර ඔහුගේ උතුම් ගුණාංග දැකිය හැකියි. (1 කොරි. 14:33, 40) දෙවිගේ සංවිධානය තුළ අපි දැක තිබෙන හා අද්දැක තිබෙන දේවල් ගැන සිතා බලන විට දෙවිගේ සේවකයෙකු වූ දාවිත්ට ඇති වුණා හා සමාන හැඟීම් අපි තුළත් ඇති වෙයි. දෙවිගේ සේවකයන් හා තමන්ගේ බලය හා ධනය ගැන පුරසාරම් දොඩන දුෂ්ටයන් අතර තිබෙන පැහැදිලි වෙනස ගැන තමා තුළ ඇති වූ හැඟීම් දාවිත් පළ කළේ මෙසේයි. “ඇත්තෙන්ම සන්තෝෂවත් වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි කරගෙන සිටින සෙනඟය!”—ගීතා. 144:15, නව ලොව පරිවර්තනය, NW.
පවුල් ජීවිතය තුළ දෙවි පිහිටුවා තිබෙන සැලැස්මට අනුව ‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි.’ (1 කොරි. 11:3) එමෙන්ම පුරුෂයන් යේසුස්ට යටත් විය යුතු අතර යේසුස්ද දෙවිට යටත් වෙයි. භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ටද දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ටද යටත් විය යුතුයි. (එෆී. 5:22-24; 6:1) මූලිකත්වය පිළිබඳ දේවවචනයේ සඳහන් එම ප්‍රතිපත්තියට පවුලේ සෑම සාමාජිකයෙක්ම යටත් වන විට එහි ප්‍රතිඵලය පවුල තුළ සාමය තිබීමයි.
ස්වාමිපුරුෂයන් යේසුස්ව ආදර්ශයට ගනිමින් තම මූලිකත්වය මෙහෙයවිය යුත්තේ ප්‍රේමණීය ලෙසයි. (එෆී. 5:25-29) ඔවුන් මූලිකත්වය අනිසි ලෙස නොව ප්‍රේමණීය ලෙස මෙහෙයවන විට එයට යටත් වන භාර්යාව හා දරුවන් ප්‍රීතිය අද්දකියි. භාර්යාවගේ කාර්යය වන්නේ සහකාරියක් ලෙස නිවසේ වැඩකටයුතු බලාගැනීමයි. (උත්. 2:18) තම ස්වාමිපුරුෂයාට ඉවසිලිවන්තව සහයෝගය දැක්වීමෙන් හා ගෞරවය පෙන්වීමෙන් ඇය ඔහුගේ ප්‍රසාදයට ලක් වන අතර දෙවිටද ප්‍රශංසාව ගෙන එයි. (1 පේතෘ. 3:1-4) ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් මූලිකත්වය පිළිබඳ බයිබලයේ සඳහන් උපදේශය පිළිපදින විට ඔවුන් දෙවිට යටත් වීම සම්බන්ධයෙන් තම දරුවන්ටද හොඳ ආදර්ශයක් තබයි.
අපි ‘උසස් බලධාරීන්ව’ සලකන ආකාරය, දෙවිට අපි දක්වන යටත්කමට බලපායි. ඔවුන්ට හිමි “සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි” විසිනුයි. (රෝම 13:1-7) නීතිගරුක පුරවැසියන් හැටියට ක්‍රිස්තියානීන් බදු ගෙවනවා. ඔවුන් “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද” දෙනවා. (මතෙ. 22:21) දෙවිගේ නීතිවලට පටහැනි නොවන සෑම කාරණයකදීම බලධාරීන්ට යටත් වන විට හා කීකරු වන විට අපිට දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ අතිවැදගත් කාර්යය පහසුවෙන් කරගෙන යා හැකියි.—මාක් 13:10; ක්‍රියා 5:29.
බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තම රාජකාරි ඉටු කරමින් සේවක ස්වාමි සබඳතා හොඳින් තබාගැනීමට ක්‍රිස්තියානීන් වෑයම් කරනවා. සමහර අවස්ථාවලදී මෙය දුෂ්කර වුණත් දෙවිගේ සේවකයන් මහත් වෑයමක් දරන්නේ සියලුදෙනා සමඟ සාමයෙන් සිටින්නයි. ඔවුන් අවංකව හා විශ්වාසවන්තව තම රැකියාව කරගෙන යයි. (රෝම 12:18; 1 පේතෘ. 2:18) බයිබලයට එකඟව ගොඩනඟා ගෙන තිබෙන තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධ කිසිම දෙයකට ඔවුන් සම්බන්ධ වන්නේ නැහැ.
මූලිකත්වය පිළිබඳ දෙවිගේ සැලැස්මට යටත් වීම ජීවිතයේ සෑම කාරණයකටම බලපානවා. සියලුම මිනිසුන් යෙහෝවා දෙවිට යටත් වන කාලයේදී සිදු වන දේවල් ඇදහිල්ල නමැති ඇස්වලින් අද අපි දකිනවා. (1 කොරි. 15:27, 28) මුළු මහත් විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවිට සදහටම යටත් වන අය අනාගතයේදී භුක්ති විඳින ආශීර්වාද මොන තරම්ද!