පාලක මණ්ඩලයෙන් ලියුමක්
අපරිමිත වූ සෙනෙහසින්! සහෝදර සහෝදරියන් වෙත,
මිලියන හතකට වඩා වැඩි යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් වන ඔබ වෙත ලිපියක් ලියන්න ලැබීම අපට ඉමහත් සතුටක්. ලෝකයේ කොතැනක සිටියත් සහෝදරයෙක් හෝ සහෝදරියක් මුණගැසෙන විට අප අතර බැඳීමක් ඇති වන්නේ නිතැතින්මයි. (යොහ. 13:34, 35) දෙවිට විශ්වාසවන්තව සේවය කරන අපගේ සෙසු සහෝදරයන්ගේ අද්දැකීම් අහන්න ලැබෙන විටත් අපගේ බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා.
ලොවේ නන් දෙසින් අසන්න ලැබෙන වාර්තාවලින් පැහැදිලි වන්නේ බොහෝදෙනෙක් පවුලේ නමස්කාරයට මුල් තැන දීමට කටයුතු කරන බවයි. කුඩා දරුවන් සිටින පවුල්වල දෙමාපියන්, පවුලේ නමස්කාරයෙන් දරුවන්ට ප්‍රීතියක් ලබාගැනීමටත් ඔවුන්ගේ අවධානය ලබාගැනීමටත් විවිධ ක්‍රම භාවිත කරනවා. (එෆී. 6:4) විවාහක අයගේ බැඳීම ශක්තිමත් වීමටත් පවුලේ නමස්කාරය විශාල රුකුලක් වී තිබෙනවා. (එෆී. 5:28-33) දෙවිගේ වචනය ගැන පුළුල්ව සාකච්ඡා කිරීමට ලැබෙන මෙම අනගි අවස්ථාවෙන් පවුලක් හැටියටත් තනි තනි පුද්ගලයන් හැටියටත් බොහෝ අය ප්‍රයෝජන ලබනවා.—යොෂු. 1:8, 9.
ස්වාභාවික විපත් නිසා මෑත කාලයේදී ඔබ අතරේ සිටින සමහර අය අපමණ පිඩාවන්ට මුහුණ දුන්නා. එය අපේ හදවතට ගෙන දුන්නේ මහත් වේදනාවක්. එවැනි අවස්ථාවලදී බොහෝ අය වෙහෙස නොබලා අන් අයට උපකාර කිරීමට ගත් වෑයම අප අගය කරනවා. (ක්‍රියා 11:28-30; ගලා. 6:9, 10) ඒ වගේම සභාවන් තුළ අගහිඟකම්වලින් පෙළෙන අයව රැකබලා ගනිමින් ඔබ නිහඬව කරන සේවයද ප්‍රශංසනීයයි. පුරාණයේ විසූ දොර්කස් මෙන් ඔබත් ‘අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළේ’ හද පිරි සතුටිනුයි. (ක්‍රියා 9:36) යෙහෝවා දෙවි මේ සෑම දෙයක්ම දකින බවත් ඒ සෑම ක්‍රියාවකටම ආශීර්වාද කරන බවත් අමතක කරන්න එපා.—මතෙ. 6:3, 4.
සමහර රටවල සාක්ෂිකරුවන්ගේ නිදහසට බාධා කරමින් ‘දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවා’ තිබෙනවා. (ගීතා. 94:20-22) එවැනි පීඩාවලට මුහුණ දීමට සිදු වන බව යේසුස් කලින්ම කියා තිබෙන නිසා ඔබ ඊට එඩිතරව මුහුණ දෙමින් යෙහෝවා දෙවිව ඔබේ රැකවරණය කරගෙන තිබීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. (යොහ. 15:19, 20) ‘ඔබේ බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට සූදානම් වී සිටින’ ඔබව අපගේ යාච්ඤාවලදී නිරතුරුවම සිහිපත් කරන බව අමතක නොකරන්න.—1 පේතෘ. 3:13-15.
සාතන්ගේ මේ ලෝකය දුරාචාරයෙන් පිරී තිබුණත් ඔබ වසරක් වසරක් පාසා දෙවිට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට දරන වෑයම අප බෙහෙවින් අගය කරනවා. ලෝකයේ සදාචාරය පහත්ම අඩියට වැටී තිබෙන මෙවැනි කාලයකදී ඔබ ‘ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන ශක්තිමත් වීම’ මොන තරම් අගනේද! (එෆී. 6:10) ඔබ ‘දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙන’ සිටින නිසා “යක්ෂයාගේ උපායන්වලට” විරුද්ධව සිටීමට ඔබට හැකි වී තිබෙනවා. (එෆී. 6:11, 12) සාතන්ට පිළිතුරක් දීමට ඔබේ ආදර්ශය යෙහෝවා දෙවි යොදාගන්නා බව අමතක නොකරන්න.—හිතෝ. 27:11.
වර්ෂ 2011දී යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා 1,93,74,737දෙනෙක් සහභාගි වීම ගැන ඇත්තෙන්ම අප සතුටු වෙනවා. එවැනි විශාල සංඛ්‍යාවක් සහභාගි වුණේ අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කරන්න කියා දුන් ආරාධනාව ඔබ පිළිගත් නිසයි. යෙහෝවා දෙවිගේ සේවකයන් දෙවිට කළ ප්‍රශංසාවේ හඬ ලොව වටා සිටින මිලියන ගණන් ජනයාට අසන්න ලැබුණා. (රෝම 10:18) ඔබ, උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණු 26,57,377දෙනාගෙන් කෙනෙකු හෝ එම මාසයේදී වැඩි සේවයක් කළ කෙනෙකු හෝ වේවා ඔබ තුළ තිබූ උද්‍යෝගය හා කැපවීම ගැන අප බොහෝ සෙයින් සතුටු වෙනවා.—ගීතා. 110:3; කොලො. 3:23.
පසුගිය වසරේ 2,63,131දෙනෙක් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. මේ ගැන අප මුලින්ම ස්තුතිවන්ත වන්නේ යෙහෝවා දෙවිටයි. ඒ වගේම පිපාසයෙන් සිටින සෑම කෙනෙකුටම ජීවනදායක වතුර නොමිලේ ලබාගන්න “එන්න” කියා ආරාධනා කිරීමට අප හා එක් වූ ඔබ සැමටත් මුළු සිතින්ම ස්තුති කරන්න කැමතියි. (එළි. 22:17) විශේෂයෙන්ම 2011 වසරේදී පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදී දැනටමත් පිහිටුවා තිබෙන දෙවිගේ රාජ්‍යයේ අංග ගැන සලකා බැලීමට අවස්ථාව ලැබුණා. එමගින් පෙරටත් වඩා උද්‍යෝගයෙන් “දෙවිගේ රාජ්‍යය පැමිණේවා” කියා පැවසීමට අපට හැකි වී තිබෙනවා. එමෙන්ම “මම ඉක්මනින් එන්නෙමි” කියා යේසුස් දුන් පොරොන්දුවෙන් දිරිගැන්වීම් ලබන අප යොහන් මෙන් “ස්වාමීන් වන යේසුස්, එන්න” කියා මුළු හදවතින්ම හඬ නඟා කියමු.—එළි. 22:20.
ඒ ප්‍රිතීමත් අවස්ථාව පැමිණෙන තෙක් සුපරීක්ෂාවෙන් සිටිමින් යෙහෝවා දෙවිට “ක්‍රියාවෙන් හා අවංකකමින්” ප්‍රේමය පෙන්වන ඔබ එක් එක් කෙනාට අප තුළත් ඉමහත් ප්‍රේමයක් තිබෙන බව කිසිවිටකත් අමතක කරන්න එපා!—1 යොහ. 3:18.
ඔබේ සහෝදරයෝ,
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය