සුළු වටිනාකමකින් යුත් කාසි දෙකක්
දේවරාජ්‍යයේ වැඩකටයුතු කරගෙන යන්න අපිට උදව් වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි ලෝක ව්‍යාප්ත දේශනා සේවය සඳහා සම්මාදම් කරන එක. ඒත් ‘සම්මාදම් කරන්න තරම් මං ළඟ සල්ලි නෑ’ කියලා ඔබට හිතෙනවාද?
එක් අවස්ථාවක දිලිඳු වැන්දඹු ස්ත්‍රියක් වටිනාකමින් අඩු කාසි දෙකක් දේවමාලිගාවේ මුදල් බඳුනට දානවා යේසුස් දැක්කා. “ඇයට අගහිඟකම් තිබුණත් තමන් සතුව තිබුණු සියල්ල එනම්, ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා.” ඇය එහෙම කළේ යෙහෝවාදෙවිට හුඟක් ආදරේ නිසයි. (මාක් 12:41-44) යේසුස් ඒ ගැන සඳහන් කිරීමෙන් තේරෙන්නේ ඇය කළ පරිත්‍යාගය යෙහෝවා දෙවිට ගොඩක් වටින බවයි. දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සම්මාදම් කිරීමේ වගකීම තිබෙන්නේ පොහොසත් අයට විතරක් කියලා යේසුස්ගේ කාලේ හිටපු ක්‍රිස්තියානීන් හිතුවේ නැහැ. ඒ නිසයි පාවුල් මැසිඩෝනියාවේ හිටිය දිලිඳු සහෝදරයන් ගැන මේ වගේ දෙයක් කිව්වේ. ‘ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ යම් දේවල් පරිත්‍යාග කරන්න ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න කියායි.’—2 කොරි. 8:1-4.
දිලිඳු වැන්දඹු ස්ත්‍රිය වගේ අපිටත් සම්මාදම් කරන්න තියෙන්නේ “සුළු වටිනාකමක් ඇති” කාසි කිහිපයක් වෙන්න පුළුවන්. ඒ වුණත් අපි හැමෝම සම්මාදම් කරන සතය, රුපියල එකතු වෙලා තමයි විශාල මුදලක් වෙන්නේ. ‘සතුටු සිතින් දෙන තැනැත්තාට දෙවි ප්‍රේම කරන’ නිසා, මුළු හදවතින්ම කරන ඒ වගේ පොඩි පරිත්‍යාග වුණත් අපේ ත්‍යාගශීලී දෙවි වන යෙහෝවා හුඟක් අගය කරනවා.—2 කොරි. 9:7.