‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
නොවැම්බර් 4-10
දේවවචනය නිධානයක් | 1 යොහන් 1-5
ගැඹුරින් හොයමු
it-1-E 862 5¶
සමාව දීම
අපි යාච්ඤා කරද්දී අනිත් අය වෙනුවෙන්, සමහරවිට මුළු සභාවක් වෙනුවෙන් වුණත් සමාව ඉල්ලන්න පුළුවන්. මෝසෙස් ඒ දේ කළා. ඊශ්‍රායෙල් ජාතිය කරපු වැරදි ගැන යෙහෝවා දෙවියන්ට කියලා එයාලා වෙනුවෙන් එයා සමාව ඉල්ලුවා. යෙහෝවා දෙවියන් එයාගේ යාච්ඤාව අහලා සෙනඟට සමාව දුන්නා. (ගණන් 14:19, 20) සලමොනුත් ඒ වගේ දෙයක් කළා. දේවමාලිගාව කැප කරපු අවස්ථාවේ එයා දෙවියන්ගෙන් ඉල්ලුවා සෙනඟ අතින් වෙන වැරදි ගැන එයාලා අවංකවම පසුතැවිලි වෙද්දී එයාලට සමාව දෙන්න කියලා. (1රාජා 8:30, 33-40, 46-52) වහල්භාවයේ ඉඳන් ආපහු මව්බිමට ආව යුදෙව්වන් වෙනුවෙන් එස්රා ප්‍රසිද්ධියේම යාච්ඤා කරද්දී එයාලා අතින් වුණු වැරදි ගැන සඳහන් කළා. එස්රා හදපත්ලෙන්ම යාච්ඤා කළා විතරක් නෙවෙයි සෙනඟට අවවාදත් කළා. අන්තිමේදී සෙනඟ තමන් අතින් වුණු වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙලා දෙවියන්ගේ අනුමැතිය දිනාගෙන සමාව ලබාගන්න අවශ්‍ය පියවර ගත්තා. (එස්රා 9:13–10:4, 10-19, 44) කෙනෙක්ට දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙලා තියෙනවා නම් සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න කියලා යාකොබ් දිරිගැන්නුවා. එතකොට ඒ කෙනාට පුළුවන් වුණා එයා අතින් පාපයක් වෙලා තිබුණා නම් වැඩිමහල්ලන් කරන යාච්ඤාව මගින් ඒ වරදට දෙවියන්ගෙන් සමාව ලබාගන්න. (යාකො 5:14-16) කොහොමවුණත් “මරණය ලැබිය යුතු පාපයක්” ඒ කියන්නේ දෙවියන්ගෙන් සමාව ලැබෙන්නේ නැති පාපයක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ තමයි හිතාමතාම දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයට විරුද්ධව වැරදි කරන එක. ක්‍රිස්තියානීන් හැටියට අපි කවදාවත් ඒ වගේ වරදක් කරන අය වෙනුවෙන් යාච්ඤා කරන එක සුදුසු නැහැ.—1යොහ 5:16; මතෙ 12:31; හෙබ්‍රෙ 10:26, 27.
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි” කියලා කියද්දී “ප්‍රේමය සම්පූර්ණ” වෙනවා කියන එකෙන් යොහන් අදහස් කළේ මොකක්ද? ‘බිය දුරු වෙනවා’ කියන එකෙන් අදහස් කළේ මොකක්ද?
1 යොහන් 4:18 යොහන් මෙහෙම සඳහන් කළා. “ප්‍රේමය ඇති කෙනෙකු තුළ කිසි බියක් නැත. ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි. මන්ද බිය පසුබෑමට හේතුවකි. ඇත්තෙන්ම බියෙන් සිටින පුද්ගලයා තුළ ප්‍රේමය සම්පූර්ණයෙන් දැකගත නොහැක.”
යොහන් ඒ අවස්ථාවේදී කතා කරමින් හිටියේ දෙවියන් එක්ක කිසිම බයක් නැතුව කතා කරන්න ක්‍රිස්තියානීන්ට තියෙන නිදහස ගැනයි කියලා අවට පදවලින් පැහැදිලි වෙනවා. යොහන් විශේෂයෙන්ම කාවද්දමින් හිටියේ දෙවියන් ගැන තියෙන ආදරය, කෙනෙක්ට ඔහු එක්ක කිසිම බයක් සැකක් නැතුව කතා කරන්න උදව් වෙන විදිහ ගැනයි. 1 යොහන් 4:17 යොහන් ඒ ගැන මෙහෙම කිව්වා. “ප්‍රේමය එලෙස පූර්ණ ආකාරයකින් පෙන්වීමට අපට හැකි වන නිසා දෙවිගේ විනිශ්චය සිදු වන දවසේදී අපට කිසි බියක් සැකක් නැතුව කතා කිරීමට හැකියාව ලැබේ.” කෙනෙක්ට දෙවියන් ගැන ලොකු ආදරයක් තියෙනවා නම් ඒ වගේම දෙවියන්ගේ ආදරය එයාට හොඳින්ම දැනෙනවා නම් යාච්ඤා කරද්දී කිසිම බයක් නැතුව හිතේ තියෙන දේ නිදහසේ දෙවියන්ට කියන්න එයාට පුළුවන් වෙනවා. අනිත් අතට කෙනෙක්ට දෙවියන් ගැන තියෙන ආදරය අඩුයි නම් ඒ වගේම දෙවියන්ගේ ආදරය එයාට දැනෙන්නේ නැත්නම් යාච්ඤා කරද්දී ඒ වගේ නිදහසක් එයාට දැනෙන්නේ නැහැ.
“ප්‍රේමය සම්පූර්ණ” වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? සමහර අවස්ථාවලදී බයිබලයේ “සම්පූර්ණ” නැත්නම් “පරිපූර්ණ” කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ හැම අතින්ම අංග සම්පූර්ණයි කියන අදහස දෙන්න නෙවෙයි. උදාහරණෙකට කන්ද උඩ දේශනයේදී “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි” කියලා යේසුස් කිව්ව දේ බලන්න. යේසුස් ඒ අවස්ථාවේදී තම අනුගාමිකයන්ට පැහැදිලි කරමින් හිටියේ අපිට ආදරය කරන අයට විතරක් අපි ආදරය කරනවා නම් අපේ ආදරයේ යම් අඩුවක් තියෙනවා කියලයි. ඒ කියන්නේ දෙවියන් බලාපොරොත්තු වෙන තරමටම ආදරය කියන ගුණාංගය අපි ඇති කරගෙන නැහැ කියන එකයි. අපේ ආදරය පරිපූර්ණ මට්ටමකට ඒ කියන්නේ දෙවියන් බලාපොරොත්තු වෙන මට්ටමකට ගේන්න අපිට පුළුවන් වෙන්නේ සතුරන්ටත් ආදරය කරන්න අපි ඉගෙනගත්තොත් විතරයි. ඒ වගේ තමයි “ප්‍රේමය සම්පූර්ණ වූ විට” කියලා කියද්දී යොහන් අදහස් කළේ දෙවියන් බලාපොරොත්තු වෙන තරමටම අපි ඔහුට ආදරය කරන්න ඕනෙ කියන එකයි. ඒ කියන්නේ අපි මුළු හදවතින්ම දෙවියන්ට ආදරය කරන්න ඕනේ. ඒ ආදරය අපි හිතන පතන, කියන කරන හැම දේකින්ම පැහැදිලිව පේන්න තියෙන්නත් ඕනේ.—මතෙව් 5:46-48; 19:20, 21.
අපි හැමෝම පව්කාරකම උරුම කරගෙන තියෙන නිසා අපේ අතින් වැරදි අඩුපාඩු වෙනවා. යාච්ඤා කරද්දී ක්‍රිස්තියානියෙක් ඒ දේ දන්නවා. එහෙම වුණත් දෙවියන්ට මුළු හදවතින්ම ආදරය කරනවා නම් ඒ වගේම දෙවියන් එයාට කොච්චර ආදරෙයිද කියන එක ගැන නිසැකකමක් තියෙනවා නම් දෙවියන් එයාව ප්‍රතික්ෂේප කරයි කියලා එයා බය වෙන්නේ නැහැ. දෙවියන්ගේ අනුමැතිය එයාට තියෙනවා කියලත් ඔහු එයාගේ යාච්ඤාවට සවන් දෙනවා කියලත් එයාට ලොකු නිසැකකමක් තියෙනවා. ඒ නිසා හිතේ තියෙන දේ නිදහසේ දෙවියන්ට කියන්න එයාට පුළුවන් වෙනවා. ඒ වගේම දෙවියන් ආදරෙන් අපිට ලබා දීපු යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන වැරදිවලට සමාව අයදින්නත් පුළුවන් වෙනවා.
දෙවියන් ගැන අපිට තියෙන ආදරය “සම්පූර්ණ” කරගෙන ඔහු අපිව ප්‍රතික්ෂේප කරයි කියන බය නැති කරගන්න අපිට පුළුවන් කොහොමද? “කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම් දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක” කියලා යොහන් පැහැදිලි කළා. (1 යොහන් 2:5) මේ ගැන හිතලා බලන්න. අපි පව්කාරයන් වෙලා ඉද්දීත් දෙවියන් අපිට ආදරය කළා නම් අපි කරන වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙලා ‘දෙවි පවසන දේ පිළිපදින්න’ උපරිමයෙන් වෑයම් කරද්දී ඔහු ඊටත් වඩා අපිට ආදරය කරන්නේ නැද්ද? (රෝම 5:8; 1 යොහන් 4:10) අපි දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්නවා නම් පාවුල් කියපු මේ දේ ගැන ලොකු නිසැකකමක් ඇතුව ඉන්න අපිටත් පුළුවන් වෙනවා. “ඔහු අප සියල්ලන් උදෙසා ඔහුගේ පුත්‍රයාව පවා දීමට සතුටු විය. ඔහු එතරම් මහත් දෙයක් කර ඇත්නම් අන් සියල්ලත් අපට කාරුණිකව ලබා දෙන්නේ නැද්ද?”—රෝම 8:32.
නොවැම්බර් 11-17
දේවවචනය නිධානයක් | 2 යොහන් 1-13; 3 යොහන් 1-14–යූද් 1-25
ගැඹුරින් හොයමු
it-2-E 279
ප්‍රිය සාදයන්
යූද් සඳහන් කරලා තියෙන ප්‍රිය සාදයන් ගැන බයිබලයේ ඒ හැටි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. ඒවා පවත්වපු අවස්ථාවන් ගැන සඳහන් වෙන්නෙත් නැහැ. (යූද් 12) යේසුස්වත් ඔහුගේ නියෝජිතයන්වත් ඒ ප්‍රිය සාදයන් පවත්වන්න කියලා අණ කරලා නැති නිසා ඒ ප්‍රිය සාදයන් අනිවාර්යයෙන්ම පවත්වන්න ඕන ඒවා හැටියට එදා හිටිය ක්‍රිස්තියානීන් සැලකුවේ නැහැ කියලා පැහැදිලියි. සමහර අය කියනවා ධනවත් ක්‍රිස්තියානීන් ඒ ප්‍රිය සාදයන් පවත්වලා තියෙන්නේ තමන් අතරේ හිටිය දිලිඳු ක්‍රිස්තියානීන්ට ආරාධනා කරන්න ඕන නිසයි කියලා. ඒ වගේ සාදයන්වලදී පියා නැති දරුවන්, වැන්දඹුවන්, පොහොසත් අය, ඒ තරම් වත්පොහොසත්කමක් තිබුණේ නැති අය හැමෝම එකතු වෙලා එක පවුලක් වගේ එකට කෑම කමින් සතුටු වෙලා තියෙනවා.
it-2-E 816
ගල්පර
පේන විදිහට “ස්පිලාස්” කියන ග්‍රීක වචනයෙන් වතුර යට සැඟවිලා තියෙන ගල්පරයක් නැත්නම් පර්වතයක් කියන එක අදහස් වෙනවා. යූද් ඒ වචනය යොදාගෙන තියෙන්නේ ක්‍රිස්තියානි සභාවේ ඉන්න අයව නොමඟ යවන අරමුණින් සභාවට ඇවිත් ඉන්න අය ගැන විස්තර කරන්න. මුහුද යට තියෙන ගල්පර නිසා නැව්වලට ලොකු අනතුරක් වෙන්න පුළුවන් වගේ සභාවට ඇතුල් වෙලා ඉන්න ඒ වගේ මිනිසුන් නිසා සභාවේ අයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ අය ගැන යූද් මෙහෙම කිව්වා. “ඔබේ ප්‍රිය සාදයන්වලට පැමිණ ඔබ සමඟ කමින් බොමින් සිටින ඔවුන්, දිය යට සැඟවී තිබෙන ගල්පර හා සමානය.”—යූද් 12.