‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
සැප්තැම්බර් 7-13
දේවවචනය නිධානයක් | නික්මයාම 23-24
“වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා”
it-1-E 11 3¶
ආරොන්
ආරොන් අතින් වැරදි වුණු අවස්ථා තුනක් ගැන බයිබලයේ වාර්තා වෙනවා. ඒ අවස්ථා තුනේදිම එයා ඒ විදිහට වැඩ කළේ අනිත් අයගේ බලපෑමට අහු වුණු නිසා මිසක් එයාටම ආපු වැරදි පෙලඹීමක් නිසා නෙවෙයි. අනිත් අයගෙන් ආපු බලපෑම නිසා එයාගේ හිතට එකඟ නැති දෙයක් වුණත් කරන්න එයා පෙලඹුණා. පළවෙනි වරද කරන්න එයාට බලපෑමක් ඇති වෙද්දිම “වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න” කියන ප්‍රතිපත්තිය එයාට අදාළ කරගන්න තිබුණා. (නික් 23:2) කොහොමවුණත් පස්සේ කාලෙකදි බයිබලයේ එයාව හඳුන්වලා තියෙන්නේ ගෞරවනීය කෙනෙක් විදිහටයි. මේ පොළොවේ හිටපු කාලෙදි යේසුස් පවා ආරොන්ගෙන් පැවත ආපු පූජකයන් කරපු කාර්යයට යටත් වුණා.—ගීතා 115:10, 12; 118:3; 133:1, 2; 135:19; මතෙ 5:17-19; 8:4.
it-1-E 343 5¶
නොමඟ යැවීම, නම්මගැනීම
විනිශ්චයමය කාරණාවලදී අල්ලස් ගන්න එක, තෑගි ගන්න එක සහ කෙනෙක්ට විශේෂ සැලකිල්ලක් දක්වන එක වගේ දේවල් දෙවියන්ගේ නීතියේ හෙළාදැකලා තිබුණා. මොකද ඒ වගේ දේවල් නිසා කෙනෙක් විනිශ්චයකදී පැත්තක් අරන් වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි.” (නික් 23:8) “හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.” (ද්වි 16:19) හොඳට කාරණා කිරලා මැනලා බලන්න හැකියාව තියෙන විනිශ්චයකරුවෙක් වුණත් එයාට ලැබුණු තෑග්ගක් නිසා හිතාමතාම හරි නොදැනුවත්ව හරි, අසාධාරණ තීන්දුවක් දෙන්න පෙලඹෙන්න පුළුවන්. තෑග්ගක් නිසා විතරක් නෙවෙයි හැඟීම්වලට වහල් වෙන එකෙනුත් විනිශ්චයකරුවෙක් නොමඟ යන්න පුළුවන්. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ. “නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන් හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක් දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.” (ලෙවී 19:15) ඒ වගේම දුප්පත් කෙනෙක් ගැන ඇති වෙන අනුකම්පාව නිසා හරි වැඩිදෙනෙක්ගේ හිත් දිනාගන්න අරමුණින් හරි පොහොසත් කෙනෙක්ට විරුද්ධව අසාධාරණ තීන්දුවක් දෙන එකත් බයිබලයේ හෙළාදැකලා තියෙනවා.—නික් 23:2, 3.
ගැඹුරින් හොයමු
it-2-E 393
මිකායෙල්
1. බයිබලයේ ගාබ්‍රියෙල්ට අමතරව නම සඳහන් කරලා තියෙන එකම දේවදූතයා මිකායෙල්. “අග්‍රදේවදූතයා” විදිහට හඳුන්වලා තියෙන්නෙත් ඔහුව විතරයි. (යූද් 9) ඔහු ගැන බයිබලයේ මුලින්ම සඳහන් වෙන්නේ දානියෙල් 10වෙනි පරිච්ඡේදයේ. එතැන ඔහුව හඳුන්වන්නේ “අධිපතීන්ගේ ප්‍රධානියෙකු” විදිහට. ඔහු තමන්ට වඩා බලයෙන් අඩු දේවදූතයෙක්ට “පර්සියානු රාජධානියේ අධිපතියාට” විරුද්ධව සටන් කරන්න උදව් කළා කියලා එතැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම “[දානියෙල්ගේ] සෙනඟව රැකබලා ගන්නා අධිපතියා” විදිහටත් “[දානියෙල්ගේ] සෙනඟ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා” විදිහටත් මිකායෙල්ව හඳුන්වලා තියෙනවා. (දානි 10:13, 20, 21; 12:1) එහෙම හඳුන්වලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා පාළුකරයේදී ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්වපු දේවදූතයා මිකායෙල් කියලා. (නික් 23:20, 21, 23; 32:34; 33:2) “මෝසෙස්ගේ මළ සිරුර ගැන අග්‍රදේවදූත මිකායෙල් සහ යක්ෂයා අතර මතභේදයක් ඇති වුණා” කියලා සඳහන් වෙලා තියෙන එකෙන් තවත් තහවුරු වෙනවා ඊශ්‍රායෙල් සෙනඟ එක්ක හිටපු දේවදූතයා මිකායෙල් කියලා.—යූද් 9.
සැප්තැම්බර් 14-20
දේවවචනය නිධානයක් | නික්මයාම 25-26
“ශුද්ධ කූඩාරමේ තිබුණු වැදගත්ම දේ”
it-1-E 165
ගිවිසුම් පෙට්ටිය
සැලැස්ම. ශුද්ධ කූඩාරම හදන්න ඕන විදිහ ගැන යෙහෝවා දෙවියන් මෝසෙස්ට මඟ පෙන්වීම් දෙද්දී මුලින්ම කිව්වේ ගිවිසුම් පෙට්ටිය හදන්න ඕන විදිහ ගැනයි. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරේ වගේම ශුද්ධ කූඩාරමේ තිබුණු වැදගත්ම දේ වුණේ ගිවිසුම් පෙට්ටියයි. යෙහෝවා දෙවියන් කියපු විදිහටම ඒ පෙට්ටිය හදලා තිබුණේ දිග රියන් 2.5ක්, පළල රියන් 1.5ක් සහ උස රියන් 1.5ක් (සෙ.මි. 111 × 67 × 67; අඟල් 44 × 26 × 26 පමණ) වෙන විදිහටයි. ඒ වගේම ෂිටිම් ලීවලින් හදලා තිබුණු ඒ පෙට්ටියේ ඇතුළත සහ පිටත පවිත්‍ර රන් ආලේප කරලා තිබුණා. ඒ පෙට්ටියේ “උඩ දාරයට යටින් පෙට්ටිය වටාම රන් ලියවැලක්” හදලා තිබුණා. ඒකේ පියන හදලා තිබුණේ රන් ආලේප කරපු ලීවලින් නෙවෙයි. ඒ වෙනුවට තනි රත්තරන්වලින්. ඒකේ දිග පළල පෙට්ටියේ දිග පළලට හරියටම සමාන වුණා. ඒ වගේම රත්තරන් තළලා හදපු කෙරුබ්වරුන් දෙදෙනෙක්ව මුහුණට මුහුණ ලා ඉන්න විදිහට ඒ පියන උඩ සවි කරලා තිබුණා. ඒ කෙරුබ්වරුන්ව පියාපත් ඉහළට ඔසවගෙන, පියන දෙසට හිස නමාගෙන, පියාපත් වියනක් සේ විහිදගෙන ඉන්න විදිහටයි නිර්මාණය කරලා තිබුණේ. (නික් 25:10, 11, 17-22; 37:6-9) පව්වලට සමාව ලබාගත්තෙත් ඒ පියන ඉදිරියෙයි.—නික් 25:17; හෙබ්‍රෙ 9:5.
it-1-E 166 2¶
ගිවිසුම් පෙට්ටිය
විශේෂ සිද්ධීන් මතක් කරගන්න උදව් වුණු පරිශුද්ධ දේවල් ආරක්ෂිතව තැන්පත් කරන්න ගිවිසුම් පෙට්ටිය යොදාගත්තා. සාක්ෂියක් විදිහට යෙහෝවා දෙවියන්ම එයාලට දීලා තිබුණු දසපනත ඇතුළත් ගල් පුවරු දෙක තමයි ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තිබුණු වැදගත්ම දේ. ඒකට අමතරව “මන්නා දැමූ රන් භාජනයත් දලු හටගත් ආරොන්ගේ සැරයටියත්” ඒක ඇතුලේ තැන්පත් කරලා තිබුණා. (නික් 25:16; හෙබ්‍රෙ 9:4; නික් 16:32-34; ගණන් 17:10) හැබැයි මන්නා දැමූ භාජනයත් ආරොන්ගේ සැරයටියත් සලමොන්ගේ දේවමාලිගාව හදන්න ටික කාලෙකට කලින් ගිවිසුම් පෙට්ටියෙන් ඉවත් කළා. (1රාජා 8:9; 2ලේක 5:10) මෝසෙස් මැරෙන්න කලින් ‘නීතිය සඳහන් ලියවිල්ලේ’ පිටපතක් ලෙවී පූජකයන්ට දීලා ඊශ්‍රායෙල්වරුන්ට “විරුද්ධව සාක්ෂියක්” විදිහට ඒක “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ළඟින්ම තබන්න” කියලා එයාලට කිව්වා.—ද්වි 31:24-26.
it-1-E 166 3¶
ගිවිසුම් පෙට්ටිය
යෙහෝවා දෙවියන් ඉන්නවා. ගිවිසුම් පෙට්ටියෙන් යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්නවා කියන දේ නියෝජනය වුණා. යෙහෝවා දෙවියන් මෙහෙම පොරොන්දු වුණා. “ගිවිසුම් පෙට්ටියේ පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි. කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කරන්නෙමි.” “ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින් වලාකුළක් තුළ මම පෙනී සිටින්නෙමි.” (නික් 25:22; ලෙවී 16:2) ඒ වගේම සාමුවෙල් ලිව්වා යෙහෝවා දෙවියන් “කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටිනවා” කියලා. (1සාමු 4:4) ඒකෙන් පැහැදිලි වෙනවා ඒ කෙරුබ්වරුන්ගෙන් “දෙවිගේ ස්වර්ගීය රථය නියෝජනය” වුණා කියලා. (1ලේක 28:18) ඒ වගේම බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම ගිවිසුම් පෙට්ටියේ පියනට ඉහළින් කෙරුබ්වරුන් දෙදෙනා අතරින් හඬක් ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.” (ගණන් 7:89) පස්සේ කාලෙක යොෂුවා සහ උත්තම පූජක පිනෙහාස් ගිවිසුම් පෙට්ටිය ඉදිරියට ගිහින් යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පැතුවා. (යොෂු 7:6-10; විනි 20:27, 28) හැබැයි සාමාන්‍යයෙන් අතිශුද්ධස්ථානයට ගිහින් ගිවිසුම් පෙට්ටිය දකින්න අවස්ථාව තිබුණේ උත්තම පූජකයාට විතරයි. ඒකත් අවුරුද්දකට එක සැරයක් එන සමගි වීමේ දවසේදී කරන වත්පිළිවෙත් ඉටු කරන්නයි. එහෙම නැතුව දෙවියන් එක්ක කතා කරන්න නෙවෙයි.—ලෙවී 16:2, 3, 13, 15, 17; හෙබ්‍රෙ 9:7.
ගැඹුරින් හොයමු
it-1-E 432 1¶
කෙරුබ්වරයා
ශුද්ධ කූඩාරම ඉදි කරද්දී ඒකේ තිබුණු සමහර දේවල්වලට කෙරුබ්වරුන්ගේ රූප ඇතුළත් කරලා තිබුණා. ගිවිසුම් පෙට්ටියේ පියන මත රත්තරන් තළලා හදපු කෙරුබ්වරුන් දෙන්නෙක්ව සවි කරලා තිබුණා. ඒ දෙන්නා මුහුණට මුහුණ ලාගෙන පියන දෙසට හිස නමාගෙනයි හිටියේ. ඒකෙන් පෙන්නුවේ ඒ අය යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා කියන එකයි. ඒ වගේම කෙරුබ්වරුන් දෙන්නා පියාපත් ඉහළට ඔසවගෙන, වියනක් සේ විහිදගෙන හිටියා. ඒකෙන් පෙන්නුවේ ඒ අය මුරකරුවන් වගේ විමසිල්ලෙන් ඉන්නවා කියන එකයි. (නික් 25:10-21; 37:7-9) ශුද්ධ කූඩාරම ආවරණය කරලා තිබුණ තිර රෙදිවල ඇතුල් පැත්තෙත් ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කරපු තිර රෙද්දෙත් කෙරුබ්වරුන්ගේ රූප මසා තිබුණා.—නික් 26:1, 31; 36:8, 35.
it-2-E 936
පුදන රොටි
ශුද්ධ කූඩාරමේ තිබුණු ශුද්ධස්ථානයේ මේසයක් මත රොටි දොළහක් තියලා තිබුණා. හැම සබත් දවසකදීම පරණ රොටි අයින් කරලා ඒ වෙනුවට අලුත් ඒවා තිබ්බා. (නික් 35:13; 39:36; 1රාජා 7:48; 2ලේක 13:11; නෙහෙ 10:32, 33) ඒ වගේම දෙවියන් කිව්වා “ඔබ මට පුදන රොටි හැමවිටම මා ඉදිරියේ එම මේසය මත තැබිය යුතුයි” කියලා. (නික් 25:30) පුදන රොටි බයිබලයේ තවත් තැන්වල “පිදීමේ රොටි” (මාක් 2:26) විදිහටත් නිකම්ම “රොටි” (2ලේක 2:4) විදිහටත් හඳුන්වලා තියෙනවා.
සැප්තැම්බර් 21-27
දේවවචනය නිධානයක් | නික්මයාම 27-28
“පූජකයන්ගේ ඇඳුම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?”
it-2-E 1143
ඌරීම් සහ තුම්මීම්
හුඟක් බයිබල් විශාරදයන් විශ්වාස කරනවා ඌරීම් සහ තුම්මීම් කියන්නේ දාදු වර්ගයක් කියලා. ජේම්ස් මොෆට්ගේ පරිවර්තනයේ නික්මයාම 28:30 ඌරීම් සහ තුම්මීම් කියන යෙදුම පරිවර්තනය කරලා තියෙන්නේ “ශුද්ධ දාදු කැට” කියලයි. සමහර අය හිතනවා “ඔව්,” “නැහැ” කියලා සඳහන් වුණු කෑලි දෙකක් සහ කිසිම දෙයක් සඳහන් වුණේ නැති එක කෑල්ලක් ඒකට ඇතුළත් වුණා කියලා. එයාලා හිතන විදිහට ඒ කෑලි දිහා බලන්නේ නැතුව එකක් තෝරගන්න එකෙන් ප්‍රශ්නයකට උත්තරේ දැනගන්න පුළුවන් වුණා. හැබැයි කිසිම දෙයක් සඳහන් වුණේ නැති කෑල්ල ගත්තොත් ඒ ප්‍රශ්නයට උත්තරයක් ලැබුණේ නැහැ කියන එක ඒකෙන් අදහස් වුණා. තවත් අය කියන විදිහට ඌරීම් සහ තුම්මීම් කියන්නේ එක පැත්තක් සුදු පාට සහ අනිත් පැත්ත කලු පාට පැතලි ගල් දෙකක්. ඒ අනුව දෙකේම සුදු පාට වැටුණොත් උත්තරය “ඔව්” කියලත් කලු පාට වැටුණොත් උත්තරය “නැහැ” කියලත් එකක කලු පාට සහ අනිත් එකේ සුදු පාට වැටුණොත් කිසිම උත්තරයක් නැහැ කියලත් අදහස් වුණා. එක අවස්ථාවකදී සාවුල් රජ පිලිස්තිවරුන් එක්ක කරපු සටන දිගටම කරගෙන යන්නද කියලා පූජකයා මාර්ගයෙන් යෙහෝවා දෙවියන්ගෙන් ඇහුවත් එයාට කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. එහෙම වුණේ එයාලා අතර හිටපු කෙනෙක් යම් වරදක් කරපු නිසා කියලා හිතපු සාවුල් “අනේ ඊශ්‍රායෙල්හි දෙවියනි, තුම්මීම් ලවා අපට පැහැදිලි උත්තරයක් දෙන්න” කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. වරද වෙලා තියෙන්නේ සෙනඟ අතින් නෙවෙයි, සාවුල් රජ සහ යොනාතාන් අතින් කියලා ඌරීම් සහ තුම්මීම් මාර්ගයෙන් දෙවියන් පෙන්නලා දුන්නා. ඊටපස්සේ ඒ දෙන්නාගෙන් වරද කරපු කෙනා කවුද කියලා එයාලා දාදු දාලා හෙව්වා. ඒ වාර්තාවේ ඌරීම් සහ තුම්මීම් මාර්ගයෙන් විමසුවා කියන එකත් දාදු දැම්මා කියන එකත් වෙන වෙනම සඳහන් වෙලා තියෙන එකෙන් ඇඟවෙනවා ඒවා දෙවියන්ගෙන් තොරතුරු විමසපු විදි දෙකක් වුණත් ඒවා අතර යම් සම්බන්ධයක් තියෙන්න ඇති කියලා.—1සාමු 14:36-42.
it-1-E 849 3¶
නළල
ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා. “දෙවිට කැප වූ බවට ශුද්ධ සංකේතයක්” වුණු “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” යන වචන පෙළ කොටපු රත්තරන් තහඩුවක් උත්තම පූජකයාගේ හිස්වැස්මේ ඉදිරිපස බඳින්න කියලා යෙහෝවා දෙවියන් කිව්වා. ඒ තහඩුවේ තිබුණු ‘වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කොටපු අකුරු වගේ වුණා.’ (නික් 28:36-38; 39:30) ඒ තහඩුව පැළඳගෙන හිටපු එකෙන් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ යෙහෝවා දෙවියන්ව නියෝජනය කරපු ප්‍රධාන කෙනා විදිහට එයා දිගටම දෙවියන්ගේ ශුද්ධ ප්‍රමිති රැකගන්න ඕනෙ කියන එක උත්තම පූජකයාට මතක් කරලා දුන්නා. ඒ වගේම සෙනඟට ඒකෙන් මතක් කරලා දුන්නා එයාලා දිගටම ශුද්ධකම රැකගන්න ඕනෙ කියන එක. උත්තම පූජකයාගෙන් නියෝජනය වුණේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වන යේසුස් ක්‍රිස්තුස්වයි. ඒ වගේම උත්තම පූජකයා තහඩුව පැළඳගෙන හිටපු එකෙන් නියෝජනය වුණේ දෙවියන්ගේ ශුද්ධ ප්‍රමිති රැකගන්න ඇප කැප වෙලා වැඩ කරන්න යෙහෝවා දෙවියන් යේසුස්ව පත් කරලා තියෙනවා කියන එකයි.—හෙබ්‍රෙ 7:26.
ගැඹුරින් හොයමු
it-1-E 1130 2¶
ශුද්ධකම
සතුන් සහ පලදාව. ගවයන්, බැටළුවන් සහ එළුවන්ගේ කුළුඳුල් පිරිමි සතුන් යෙහෝවා දෙවියන්ට අයිති ශුද්ධ සතුන් විදිහට සැලකුවා. ඒ නිසා ඒ සතුන්ව මුදව ගන්නවා වෙනුවට උන්ව යෙහෝවා දෙවියන්ට පූජාවක් විදිහට ඔප්පු කළා. ඒ ඔප්පු කරපු පූජාවලින් කොටසක් පූජකයන්ට අයිති වුණා. (ගණන් 18:17-19) දෙවියන්ට ඔප්පු කරපු සියලුම පූජා සහ ශුද්ධ කූඩාරමේ වැඩකටයුතු වෙනුවෙන් කැප කරපු සියලුම තෑගි වගේම මුල්ම පලදාවෙන් වෙන් කරගත්ත කොටස සහ දසයෙන් කොටස සැලකුවෙත් ශුද්ධ දේවල් ඒ කියන්නේ ශුද්ධ වස්තු විදිහටයි. (නික් 28:38) ඒ හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කැප කරපු ශුද්ධ දේවල් වුණු නිසා ඒවා එදිනෙදා වැඩවලට පාවිච්චි කරන එක එහෙමත් නැත්නම් අගෞරවනීය විදිහට පාවිච්චි කරන එක බරපතළ වරදක් විදිහට සැලකුවා. උදාහරණෙකට කෙනෙක් තමන්ගේ තිරිඟු වගාවෙන් දසයෙන් කොටස වෙන් කළාට පස්සේ එයා හරි එයාගේ පවුලේ කෙනෙක් හරි නොදැනුවත්ව ඒ වෙන් කරපු කොටස ඉවුම් පිහුම් වගේ ගෙදර වැඩකට පාවිච්චි කළා කියලා හිතන්න. ඒ කෙනාව දෙවියන්ට අයිති ශුද්ධ දේවල් කෙලෙසුව, ශුද්ධස්ථානයට විරුද්ධව පව් කරපු කෙනෙක් විදිහට සැලකුවා. ඒ නිසා තමන් කරපු වරද වෙනුවෙන් වන්දියක් ගෙවන්න ඒ කෙනාට නීතියෙන් නියම කළා. නියම කළ වන්දිය සහ ඒ වන්දියෙන් පහෙන් කොටසක් වගේම නිකැළැල් බැටළුවෙක්ව පූජා කරන්නත් එයාට සිද්ධ වුණා. යෙහෝවා දෙවියන්ට අයිති වුණ ශුද්ධ දේවල් හුඟක් ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—ලෙවී 5:14-16.
සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4
දේවවචනය නිධානයක් | නික්මයාම 29-30
“යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්”
it-2-E 764-765
ලියාපදිංචි කිරීම
සීනයිවලදී. පළවෙනි වතාවට ඊශ්‍රායෙල්වරුන්ව ලියාපදිංචි කරන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වේ එයාලා ඊජිප්තුවෙන් නිදහස් වෙලා ඇවිත් දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ සීනයිවල කඳවුරු බැඳගෙන ඉද්දීයි. මෝසෙස්ට ඒ කාර්යය කරන්න උදව් කරන්න හැම ගෝත්‍රයකින්ම අධිපතියෙක් විදිහට පුරුෂයෙක්ව තෝරගත්තා. තමන්ගේ ගෝත්‍රයේ ලියපදිංචි කිරීමේ කටයුතු අධීක්ෂණය කරන වගකීම පැවරිලා තිබුණේ ඒ අධිපතියන්ටයි. හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු විස්සක් හරි ඊට වඩා වැඩි හැම පුරුෂයෙක්වම ලියාපදිංචි කරන්න කියලත් ශුද්ධ කූඩාරමේ සේවාවන් වෙනුවෙන් ඒ හැම කෙනෙක්ගෙන්ම ෂෙකෙල් භාගයක (ඇමෙරිකානු ඩොලර් 1.10ක) බදු මුදලක් අය කරන්න කියලත් නීතියේ සඳහන් වෙලා තිබුණා. (නික් 30:11-16; ගණන් 1:1-16, 18, 19) ලියාපදිංචි කරපු අයගේ මුළු ගණන 6,03,550ක්. දේශයේ උරුමයක් හිමි වුණේ නැති ලෙවීවරුන් ඒ ගණනට ඇතුළත් වුණේ නැහැ. මොකද හමුදා සේවයට බැඳෙන එකවත් ශුද්ධ කූඩාරමේ සේවාවන් වෙනුවෙන් ගෙවිය යුතු බදු මුදල ගෙවන එකවත් ලෙවීවරුන්ගෙන් බලාපොරොත්තු වුණේ නැහැ.—ගණන් 1:44-47; 2:32, 33; 18:20, 24.
it-1-E 502
සම්මාදම්
ඊශ්‍රායෙල්වරුන් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන සම්මාදම් ගැන නීතියේ කියලා තිබුණා. මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ගේ සංගණනයක් ගත්ත අවස්ථාවේදී වයස අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි පුරුෂයන් හැමෝම තමන්ගේ ජීවිතය මුදවගන්න “ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්” “ෂෙකෙල් භාගයක්” [ඇමෙරිකානු ඩොලර් 1.10ක් විතර] ගෙවන්න ඕනෙ කියලා දෙවියන් කිව්වා. ඒ මුදල සෙනඟගේ ජීවිත මුදවගන්නත් “සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහාත්” ‘යෙහෝවා දෙවිට දිය යුතු’ සම්මාදමක් හැටියට සැලකුවා. (නික් 30:11-16) යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් කියන විදිහට (The Jewish War, VII, 218 [vi, 6]), පස්සේ කාලෙක හැම අවුරුද්දකදීම ඒ “ශුද්ධ බද්ද” ගෙවලා තියෙනවා.—2ලේක 24:6-10; මතෙ 17:24.
ගැඹුරින් හොයමු
it-1-E 1029 4¶
අත
අත් තැබීම. අතීතයේදී විවිධ හේතු නිසා යම් කෙනෙක් මත, යම් දෙයක් මත අත් තැබුවා. එහෙම කළේ යම් කෙනෙක්ව හරි යම් දෙයක් හරි, විශේෂ දෙයකට පත් කරනවා නැත්නම් වෙන් කරලා තියෙනවා කියලා පෙන්වන්නයි. ආරොන්ව සහ එයාගේ පුතුන්ව පූජකයන් විදිහට අභිෂේක කරපු අවස්ථාවේදී වස්සෙක් සහ බැටළුවන් දෙන්නෙක් මත අත් තබන්න කියලා දෙවියන් කිව්වා. ඒ සතුන් මත අත් තබන එකෙන් පෙන්නුවේ එයාලව පූජකයන් විදිහට පත් කිරීම වෙනුවෙන් පූජාවක් හැටියට ඒ සතුන්ව වෙන් කරනවා කියන එකයි. (නික් 29:10, 15, 19; ලෙවී 8:14, 18, 22) යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට මෝසෙස් යොෂුවාව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට පත් කරද්දී එයා පිට අත් තැබුවා. එහෙම කළේ යොෂුවා තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙලා ප්‍රඥාවන්තව කටයුතු කරන්න’ එයාට පුළුවන් වෙන්නයි. (ද්වි 34:9) සමහර අවස්ථාවලදී පුද්ගලයන්ට ආශීර්වාද කරද්දී එයාලා මත අත් තියලා තියෙනවා. (උත් 48:14; මාක් 10:16) යේසුස් ක්‍රිස්තුස් සමහර පුද්ගලයන්ව සුව කරද්දී එයාලා මත අත් තියලා තියෙනවා. (මතෙ 8:3; මාක් 6:5; ලූක් 13:13) ඒ වගේම යේසුස්ගේ නියෝජිතයනුත් සමහර අවස්ථාවලදී අනිත් අයට දෙවියන්ගේ බලය ලබා දෙන්න එයාලා මත අත් තියලා තියෙනවා.—ක්‍රියා 8:14-20; 19:6.
it-1-E 114 1¶
අභිෂේක ලත්, අභිෂේක කිරීම
යෙහෝවා දෙවියන් මෝසෙස්ට දීපු නීතියේ අභිෂේක කිරීම සඳහා භාවිත කරපු ශුද්ධ තෛලය හදන්න ඕන විදිහ ගැන සඳහන් කරලා තිබුණා. ඒ විශේෂ තෛලය හදන්න කියලා දෙවියන් කිව්වේ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය වන සුවඳ ලාටු, සුවඳවත් කුරුඳු, සුවඳ දඬු, පැඟිරි කුරුඳු, ඔලීව තෙල් යොදාගෙනයි. (නික් 30:22-25) කෙනෙක් ඒ ශුද්ධ තෛලයට සමානව වෙන තෛලයක් හැදුවොත් හරි දෙවියන් කියපු දේට හැර වෙන දෙයකට ඒක යොදාගත්තොත් හරි ඒ පුද්ගලයාට මරණ දඬුවම නියම වුණා. (නික් 30:31-33) ඒ වගේ දඬුවමක් දෙන එකෙන් පැහැදිලි වුණේ කෙනෙක්ව ශුද්ධ තෛලයෙන් අභිෂේක කරලා පූජකයෙක් විදිහට එයාට දෙන පැවරුම හුඟක් වැදගත් හා ශුද්ධ දෙයක් විදිහට සලකන්න ඕනෙ කියන එකයි.