පාඩම් ලිපිය 10
යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ, අගය බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවයි
“මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව.”—ක්‍රියා 8:36.
ගීතිකාව 37 මුළු සිතින් දෙවිට සේවය කරමි
මේ ලිපියෙන්a
1-2. ක්‍රියා 8:27-31, 35-38 පෙන්නන විදිහට ඉතියෝපියානු නිලධාරියා බව්තීස්ම වෙන්න පෙලඹුණේ ඇයි?
යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට බව්තීස්ම වෙන්න ඔයා කැමතිද? ඒ තීරණය ගන්න හුඟදෙනෙක් පෙලඹිලා තියෙන්නේ යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ සහ අගය නිසයි. ඉතියෝපියානු නිලධාරියාගේ ආදර්ශය බලන්න.
2 තමන් කරන්න ඕනෙ මොනවාද කියලා ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගත්ත ගමන්ම ඉතියෝපියානු නිලධාරියා බව්තීස්ම වුණා. (ක්‍රියා 8:27-31, 35-38 කියවන්න.) ඒ තීරණය ගන්න එයා පෙලඹුණේ ඇයි? ඒ වෙද්දීත් එයාට ශුද්ධ ලියවිලි ගැන අගයක් තිබුණා. ඒකයි එයා ගමන යන අතරතුරේ යෙසායාගේ ලියවිල්ලෙන් කොටසක් කියවමින් හිටියේ. ෆිලිප් එයාට තොරතුරු පැහැදිලි කරලා දුන්නාම යේසුස් එයා වෙනුවෙන් කරපු දේ ගැන එයාගේ හිතේ ලොකු අගයක් ඇති වුණා. ෆිලිප්ට ඒ නිලධාරියාව හම්බ වුණේ එයා යෙරුසලමට ගිහින් එන අතරමඟදී. ඇයි එයා යෙරුසලමට ගියේ? එයා එහෙට ගියේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න. ඒ කියන්නේ ඒ වෙද්දීත් එයාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් තිබුණා. එයාට උපතින්ම ලැබුණ ආගම එයා වෙනස් කරලා සැබෑ දෙවියන්ට කැප වෙලා හිටපු එකම ජාතිය එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කළා. ඒ පියවර ගන්න එයාව පොලඹවපු ආදරේම තමයි ඊළඟ වැදගත් තීරණය ගන්නත් එයාව පෙලඹුවේ. ඒ තමයි යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට බව්තීස්ම වෙන්න ගත්ත තීරණය.—මතෙ. 28:19.
3. කෙනෙක් බව්තීස්ම නොවී ඉන්න හේතු වෙන්න පුළුවන් මොනවාද? (“ඔයාගේ හදවත මොන වගේද?” කියන කොටුව බලන්න.)
3 යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවන්නේ ඔහු ගැන ඔයාගේ හිතේ තියෙන ආදරයයි. හැබැයි යම් අයට තියෙන ආදරේ හෝ යම් දේවලට තියෙන දැඩි ආසාව නිසා ඒ තීරණය නොගෙන ඉන්නත් කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. මේ උදාහරණ බලන්න. සත්‍යයේ නැති ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට ඔයා ගොඩක් ආදරේ ඇති. ඔයා බව්තීස්ම වුණොත් එයාලා ඔයාට වෛර කරයි කියලා ඔයාට බයක් ඇති. (මතෙ. 10:37) යෙහෝවා දෙවියන් අකමැති සමහර පුරුදුවලට ඔයා කොච්චර ඇබ්බැහි වෙලාද කියනවා නම් ඒවා අත්හරින්න ඔයාට අමාරු ඇති. (ගීතා. 97:10) අසත්‍යය උගන්වන ආගම්වල සමහර උත්සව පුංචි කාලේ ඉඳන්ම ඔයා සමරලා ඇති. පවුලේ අය, යාළුවෝ එක්ක ඒ උත්සවවලට හවුල් වෙලා ඔයා ලොකු සතුටක් ලබලා ඇති. ඒවා සුන්දර මතකයන් නිසා ඒ උත්සව සමරන්නේ නැතුව ඉන්න එක ඔයාට අමාරු දෙයක් වෙන්න පුළුවන්. (1 කොරි. 10:20, 21) ඒ නිසා ‘මං වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද’ කියන තීරණය ගන්න ඔයාට වෙනවා.
අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනෙ කාටද?
4. බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවන්න ඕනෙ ප්‍රධානම දේ මොකක්ද?
4 ඔයා ආදරේ කරන, අගය කරන ගොඩක් දේවල් ඇති. උදාහරණෙකට ඔයා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න කලින් ඉඳන්ම බයිබලේ ගැන ඔයාට ලොකු ගෞරවයක් තියෙන්න ඇති. යේසුස් ගැනත් ඔයාට ආදරයක් තියෙන්න ඇති. ඔයා දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අඳුරගත්ත නිසා එයාලව ආශ්‍රය කරන්න කැමති ඇති. ඒත් ඒ දේවල් ගැන ඔයාට තියෙන ආදරේ, අගය නිසාම යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙන එකක් නැහැ. බව්තීස්ම වෙන්න කෙනෙක්ව පොලඹවන ප්‍රධානම දේ යෙහෝවා දෙවියන් ගැන එයාට තියෙන ආදරයයි. වෙන ඕනෙම කෙනෙක්ට, ඕනෙම දේකට වඩා ඔයා දෙවියන්ට ආදරේ නම් බව්තීස්ම වෙන්න ඔයා අදිමදි කරන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ බව්තීස්ම වෙන්න ඔයාව පොලඹනවා වගේම හැමදාටම ඔහුට විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙනවා.
5. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
5 යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරන්න කියලත් අපේ මුළු ජීවිතේම ඔහු වෙනුවෙන් දෙන්න කියලත් යේසුස් කිව්වා. (මාක් 12:30) දෙවියන් ගැන ඒ තරම් ආදරයක්, ගෞරවයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද? දෙවියන් අපිට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතද්දී ඔහු ගැන අපේ හිතෙත් ආදරයක් ඇති වෙනවා. (1 යොහ. 4:19) ඒ ආදරේ වැඩි වෙද්දී ඔයා පෙලඹෙන්නේ මොනවා කරන්නද?b
6. රෝම 1:20 අනුව ඔයාට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?
6 යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ඔහුගේ නිර්මාණවලින් ඉගෙනගන්න. (රෝම 1:20 කියවන්න; එළි. 4:11) දෙවියන් නිර්මාණය කරපු ගස් වැල් සහ සතුන් දිහා බලලා ඔහුගේ ප්‍රඥාව ඒවායින් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා හිතන්න. ඔයාගේ ශරීරය කොයි තරම් පුදුමාකාර විදිහට නිර්මාණය කරලා තියෙනවාද කියලා ටිකක් හොයලා බලන්න. (ගීතා. 139:14) දෙවියන් කොයි තරම් බලයක් සූර්යයාට දීලා තියෙනවාද! ඒක මේ විශ්වයේ තියෙන බිලියන ගාණක් තරු අතරින් එකක් විතරයි.c (යෙසා. 40:26) දෙවියන්ගේ නිර්මාණ ගැන හිතද්දී ඔහු ගැන ඔයාට තියෙන ගෞරවය වැඩි වෙයි. යෙහෝවා දෙවියන් කොයි තරම් ප්‍රඥාවන්තද, බලවත්ද කියලා ඔයා තේරුම්ගන්න එක වැදගත්. ඒත් ඔහු ගැන තියෙන ආදරේ වැඩි කරගෙන ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න නම් ඔයා ඔහු ගැන තවත් දේවල් දැනගන්න ඕනේ.
7. යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්න නම් ඔයාට ස්ථිර වෙන්න ඕනෙ මොකක්ද?
7 යෙහෝවා දෙවියන් පෞද්ගලිකව ඔයාට ගොඩක් ආදරෙයි කියලා ඔයාට ස්ථිර වෙන්න ඕනේ. ඒත් අහසත් පොළොවත් නිර්මාණය කරපු දෙවියන් ඔයා ගැන දන්නවා කියලත් ඔයා ගැන සැලකිලිමත් කියලත් විශ්වාස කරන්න ඔයාට අමාරුද? එහෙමනම් යෙහෝවා දෙවියන් “අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙමෙයි” කියලා මතක තියාගන්න. (ක්‍රියා 17:26-28) ඔහු “සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.” අපි “නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු අපිව පිළිගෙන අපිට උපකාර කරනවා” කියලා ඔහු පොරොන්දු වෙනවා. (1 ලේක. 28:9) ඔයා මේ වෙද්දී බයිබලේ පාඩම් කරන එකෙන්ම තේරෙනවා දෙවියන් ඔයාව ‘මහත් ආදරයකින් ඔහු ළඟට අරන් තියෙනවා’ කියලා. (යෙරෙ. 31:3) දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම තේරුම්ගන්න තරමට ඔහු ගැන ඔයාට තියෙන ආදරේ තව වැඩි වෙයි.
8. යෙහෝවා දෙවියන් පෙන්නලා තියෙන ආදරේ අගය කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?
8 යෙහෝවා දෙවියන් පෙන්නලා තියෙන ආදරේ ඔයා අගය කරද්දී යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න ඔයා පෙලඹෙනවා. ඔයා කනස්සලු වෙන දේවල් ගැන ඔහුට කියද්දී, ඔහු ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවලට ඔහුට ස්තුති කරද්දී ඔහු ගැන ඔයාට තියෙන ආදරේ වැඩි වෙනවා. ඔයාගේ යාච්ඤාවලට දෙවියන් උත්තර දෙන විදිහ ඔයා දකිද්දී ඔය දෙන්නා අතරේ තියෙන බැඳීම තව වැඩි වෙනවා. (ගීතා. 116:1) දෙවියන් ඔයාව තේරුම්ගන්නවා කියලා ඔයාට ස්ථිර වෙයි. ඒත් දෙවියන්ට තව තවත් ළං වෙන්න නම් ඔහු හිතන විදිහ වගේම ඔහු ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ ඔයා තේරුම්ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම විදිහ බයිබලේ අධ්‍යයනය කරන එක.
දෙවියන්ට ළං වෙන්නත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්නත් පුළුවන් හොඳම විදිහ බයිබලය පාඩම් කරන එකයි (9 ඡේදය බලන්න)d
9. ඔයා බයිබලේ අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?
9 බයිබලේ ගැන අගයක් ඇති කරගන්න. යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ අරමුණ ගැනත් සත්‍ය තොරතුරු ඔයාට හොයාගන්න පුළුවන් බයිබලෙන් විතරයි. හැමදාම බයිබලය කියවද්දී, ඔයාගේ බයිබල් පාඩමට හොඳින් සූදානම් වෙද්දී, ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගද්දී ඔයා පෙන්නනවා ඔයා බයිබලේ අගය කරනවා කියලා. (ගීතා. 119:97, 99; යොහ. 17:17) ඔයා සැලැස්මකට අනුව හැමදාම බයිබලේ කියවනවාද?
10. බයිබලේ විශේෂ වෙන්න එක හේතුවක් මොකක්ද?
10 බයිබලේ විශේෂ වෙන්න එක හේතුවක් තමයි යේසුස් පොළොවේ ඉද්දී ඔහු කියපු කරපු දේවල් ඇසින් දුටු අයගේ වාර්තා ඒකේ සඳහන් වෙන එක. යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ ගැන නිවැරදි වාර්තාවක් සඳහන් වෙන එකම පොතත් බයිබලයයි. යේසුස් ගැන ඔයා ඉගෙනගද්දී ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයා තුළ ආසාවක් ඇති වෙයි.
11. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?
11 යේසුස් ගැන ආදරයක් ඇති කරගන්න. එතකොට යෙහෝවා දෙවියන් ගැන ඔයාට තියෙන ආදරේ වැඩි වෙයි. එහෙම කියන්නේ ඇයි? යේසුස් යෙහෝවා දෙවියන්ව 100%ක්ම අනුකරණය කළා. (යොහ. 14:9) ඒ නිසා ඔයා යේසුස් ගැන ඉගෙනගන්න තරමට යෙහෝවා දෙවියන්ව තව හොඳින් තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඔහු ගැන ලොකු අගයකුත් ඔයාට ඇති වෙයි. දුප්පත්, අසනීපයෙන් හිටපු, අසරණ අයට යේසුස් දයානුකම්පාව පෙන්නපු විදිහ ගැන හිතන්න. ඒ වගේම එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනවත් වෙන යේසුස් දීලා තියෙන මඟ පෙන්වීම් ගැනත් ඒවා අදාළ කරගද්දී ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් හිතන්න.—මතෙ. 5:1-11; 7:24-27.
12. යේසුස් ගැන ඔයා ඉගෙනගද්දී ඔයා පෙලඹෙන්නේ මොකක් කරන්නද?
12 අපේ පව්වලට සමාව ලබාගන්න අපිට අවස්ථාව දෙන්න යේසුස් කරපු කැප කිරීම ගැන හොඳින් හිතද්දී යේසුස් ගැන ඔයාට තියෙන ආදරේ වැඩි වෙයි. (මතෙ. 20:28) යේසුස් ඔයා වෙනුවෙන් මැරෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා කියන දේ ඔයා තේරුම්ගද්දී ඔයාගේ වැරදි ගැන පසුතැවිලා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න ඔයා පෙලඹෙයි. (ක්‍රියා 3:19, 20; 1 යොහ. 1:9) යේසුස් ගැනත් යෙහෝවා දෙවියන් ගැනත් ඔයාට තියෙන ආදරේ වැඩි වෙද්දී ඒ දෙන්නාට ආදරේ කරන අයව කිට්ටුවෙන් ඇසුරු කරන්න ඔයා පෙලඹෙයි.
13. යෙහෝවා දෙවියන් ඔයාට දීලා තියෙන්නේ මොනවාද?
13 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අය ගැන ආදරයක් ඇති කරගන්න. ඔයාගේ ජීවිතේ දෙවියන්ට කැප කරන්න ඔයා කැමති ඇයි කියලා ඔයාගේ පවුලේ අයට, ඔයාගේ කලින් යාළුවන්ට තේරෙන එකක් නැහැ. සමහරවිට එයාලා ඔයාට විරුද්ධ වෙයි. ඒත් යෙහෝවා දෙවියන් ඔයාට ආදරණීය පවුලක් දීලා තියෙනවා. ඒ ඔයාගේ සභාවේ සහෝදර සහෝදරියන්. ඔයා ඒ පවුලට ළං වෙලා ඉද්දී එයාලගේ ආදරේ, උදව් ඔයාට ලැබෙයි. (මාක් 10:29, 30; හෙබ්‍රෙ. 10:24, 25) කාලයත් එක්ක සමහරවිට ඔයාගේ පවුලේ අයටත් යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති ගැන අගයක් ඇති වෙලා ඔහුට නමස්කාර කරයි.—1 පේතෘ. 2:12.
14. 1 යොහන් 5:3 කියන විදිහට යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති ගැන ඔයා තේරුම්ගත්තේ මොකක්ද?
14 යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති ගැන අගයක් ඇති කරගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්න. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න කලින් ඔයා ඔයාට හරියි කියලා හිතෙන විදිහට දේවල් කරන්න ඇති. ඒත් දැන් ඔයා දන්නවා දෙවියන්ගේ ප්‍රමිති කොච්චර වටිනවාද කියලා. (ගීතා. 1:1-3; 1 යොහන් 5:3 කියවන්න.) බයිබලේ ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට දීලා තියෙන මඟ පෙන්වීම් ගැන ටිකක් හිතන්න. (එෆී. 5:22–6:4) ඒවා අදාළ කරගත්ත නිසා කලින්ට වඩා සතුටින් ඔයා පවුල් ජීවිතේ ගෙවනවාද? ඔයා තෝරගන්න ඕනෙ යාළුවන් ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා ඔයාගේ ජීවිතේ හොඳ අතට හැරිලාද? කලින්ට වඩා ඔයා දැන් ඉන්නේ සතුටින්ද? (හිතෝ. 13:20; 1 කොරි. 15:33) ඒ හැම ප්‍රශ්නයකටම උත්තරේ “ඔව්” කියලා ඔයා කියයි.
15. බයිබලේ තියෙන ප්‍රමිති අදාළ කරගන්න ඔයාට උදව් ඕනෙ නම් ඔයා කරන්න ඕනෙ මොකක්ද?
15 ඔයා ඉගෙනගන්න බයිබල් ප්‍රමිති ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඔයාට අමාරු ඇති. ඒ නිසයි යෙහෝවා දෙවියන් බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්නත් හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්නත් ඔයාට උදව් කරන්න ඔහුගේ සංවිධානය මාර්ගයෙන් විවිධ ප්‍රකාශන ලබා දෙන්නේ. (හෙබ්‍රෙ. 5:13, 14) ඔයා ඒ ප්‍රකාශන කියවලා හොඳින් අධ්‍යයනය කරද්දී ඒවා එදිනෙදා ජීවිතේට කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලත් ඒවා අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් ඔයාට තේරෙයි. එතකොට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ඔයාට ආස හිතෙයි.
16. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?
16 යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන ආදරයක් ඇති කරගෙන ඒකට සහය දෙන්න. දෙවියන් ඔහුගේ සෙනඟව ක්‍රිස්තියානි සභාව යටතේ සංවිධානය කරලා තියෙනවා. ඒ සභාවේ නායකයා යේසුස්. (එෆී. 1:22; 5:23) මේ කාලේ කරන්න ඕනෙ වැඩකටයුතු සංවිධානය කරන වගකීම යේසුස් අභිෂේක ලත් අයගෙන් සෑදුණු කුඩා කණ්ඩායමකට භාර දීලා තියෙනවා. ඔහු ඒ කුඩා කණ්ඩායම හැඳින්නුවේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට. දෙවියන්ට ළං වෙන්නත් ඔහුත් එක්ක ඔයාට තියෙන බැඳීම රැකගන්නත් ඔයාට උදව් කරන වගකීම යේසුස් එයාලට දීලා තියෙනවා. එයාලා ඒක සලකන්නේ බැරෑරුම් වගකීමක් විදිහට. (මතෙ. 24:45-47) ඔයාට මඟ පෙන්නන්න සහ ඔයාව ආරක්ෂා කරන්න සුදුසුකම් ලත් වැඩිමහල්ලන්ව පත් කරලා තියෙන එක දාසයා ඔයාව බලාගන්න එක විදිහක්. (යෙසා. 32:1, 2; හෙබ්‍රෙ. 13:17; 1 පේතෘ. 5:2, 3) වැඩිමහල්ලන් ඔයාව සනසන්න, දෙවියන්ට තව ළං වෙන්න ඔයාට උදව් කරන්න එයාලට පුළුවන් උපරිමය කරනවා. ඔයා වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් වැදගත්ම දේවලින් එකක් තමයි යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට උගන්වන්න ඔයාට උදව් කරන එක.—එෆී. 4:11-13.
17. රෝම 10:10, 13, 14 අනුව යෙහෝවා දෙවියන් ගැන අපි අනිත් අයට කියන්නේ ඇයි?
17 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න අනිත් අයට උදව් කරන්න. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට උගන්වන්න කියලා. (මතෙ. 28:19, 20) ඒක යේසුස් දුන්න ආඥාවක්. ඒ නිසා ඒකට කීකරු වෙන්න ඕනෙ කියලා අපි දන්නවා. හැබැයි ඔයා දෙවියන්ට තියෙන ආදරේ නිසා ඒකට කීකරු වෙද්දී ඒකේ වටිනාකම වැඩියි. දෙවියන් ගැන ඔයාට තියෙන ආදරේ වැඩි වෙද්දී ඔයාත් මෙහෙම කියයි. “අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.” (ක්‍රියා 4:20) යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න තව කෙනෙක්ට උදව් කරද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඉතියෝපියානු නිලධාරියාට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ තේරුම්ගන්න උදව් කරලා එයා බව්තීස්ම වුණාම ෆිලිප්ට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! ඔයාත් ෆිලිප්ව ආදර්ශයට අරන් යේසුස් කරන්න කියපු දේ කරනවා නම් ඔයා පෙන්නන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඔයා කැමතියි කියලා. (රෝම 10:10, 13, 14 කියවන්න.) ඔයාත් ඉතියෝපියානු නිලධාරියා වගේ මෙහෙම අහන්න පෙලඹෙයි. “මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?”—ක්‍රියා 8:36.
18. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
18 ඔයාට ජීවිතේ ගන්න පුළුවන් වැදගත්ම තීරණය බව්තීස්ම වෙන්න ඔයා ගන්න තීරණයයි. ඒක බැරෑරුම් තීරණයක් නිසා බව්තීස්ම වෙන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔයා හොඳින් හිතන්න ඕනේ. බව්තීස්මය ගැන ඔයා දැනගන්න ඕනෙ මොනවාද? බව්තීස්ම වෙන්න කලින් සහ ඊටපස්සේ ඔයා කරන්න ඕනෙ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි
a යෙහෝවා දෙවියන් ගැන හිතේ ලොකු ආදරයක් තිබුණත් ඔහුගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න තමන් තාම සූදානම් නැහැ කියලා සමහරුන්ට හිතෙනවා. ඔයාටත් එහෙම හැඟෙනවා නම් බව්තීස්ම වෙන්න තීරණය කරන්න ඔයාට උදව් වෙන දේවල් කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.
b අපි එක් එක් කෙනාගේ පෞද්ගලිකත්වයන් වෙනස් නිසා මේ ලිපියේ තියෙන යෝජනා හැමෝම එකම අනුපිළිවෙළින් අදාළ කරගනියි කියලා හිතන්න බැහැ.
c තවත් උදාහරණ ගැන දැනගන්න ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරා බලන්න.
d පින්තූරයේ අදහස: සහෝදරියක් පොළට ගිය වෙලාවක කාන්තාවකට පත්‍රිකාවක් දෙනවා.