නිවසේ දී එය සිදුවීමෙන් වැළැක්වීම
ඔහු මොනික් ව දූෂණය කිරීමට පටන් ගත් විට ඇයට අවුරුදු නවයක් විය. ඔහු පටන් ගත්තේ ඇය ඇඳුම් ලිහන විට හොරෙන් බලා සිටීමෙන් ය; ඔහු පසු ව රාත්‍රියේ දී ඇය ව බැලීමට ඇගේ කාමරයට ගොස් ඇගේ රහස් අංග ස්පර්ශ කිරීමට පටන් ගත්තේ ය. ඇය ඔහුට විරුද්ධත්වය දැක් වූ විට, ඔහු අතිශයින් කෝපයට පත් වූයේ ය. වරක් ඔහු ඇයට මිටියකින් පවා පහර දී පඩි පෙළකින් පහළට ඇය ව තල්ලු කළේ ය. “කවුරුත් මා ව විශ්වාස කළේ නැහැ,” යනුවෙන් මොනික් සිද්ධිය මතකයට නංවයි—ඇගේ මව පවා ඇය ව විශ්වාස කළේ නැත. මොනික් ව දූෂණය කළේ ඇගේ කුඩප්පා ය.
දරුවන්ට විශාලත ම තර්ජනයක් වන්නේ, රහසිගත ව කටයුතු කරන අමුත්තාගෙන්, හෝ සැඟවුණු ස්ථානවල හුදෙකලාවේ ගැවසෙන තැනැත්තාගෙන් හෝ නොවේ. ඒ වනාහි පවුලේ සාමාජිකයෙකි. ලිංගික දූෂණය විශාල වශයෙන් ම සිදු වන්නේ නිවස තුළ ය. එබැවින් නිවස තුළ දූෂණය වැළැක්විය හැක්කේ කෙසේ ද?
ස්ලෝටර් ඔෆ් ද ඉනසන්ට්ස් නමැති ඔහුගේ පොතෙහි, ඉතිහාසඥ ආචාර්ය සැන්ඩර් ජේ. බ්රයිනර් පුරාණ සමාජ පහක—එනම් මිසරය, චීනය, ග්‍රීසිය, රෝමය සහ ඊශ්‍රායලය යන සමාජයන් හි, ළමා දූෂණය සම්බන්ධ සාක්ෂි පරීක්ෂා කරයි. ඊශ්‍රායලයේ ළමා දූෂණය පැවතුණ නමුත්, අනෙක් ශිෂ්ටාචාර හතර සමඟ සන්සන්දනය කිරීමේ දී එය සාපේක්ෂ වශයෙන් අඩුවෙන් පැවතුණ බව ඔහු නිගමනය කරයි. ඒ මන්ද? ඔවුන්ගේ අසල්වැසියන් මෙන් නොව, ඊශ්‍රායලයේ විසූ අයට එනම් ස්ත්‍රීන්ටත් දරුවන්ටත් ගෞරව කිරීමට උගන්වනු ලැබිණ—එය වනාහි ශුද්ධ ලියවිලිවලට ඔවුන් ගැති ව සිටීමට හේතුවක් වූ වඩාත් අවබෝධාත්මක ආකල්පයකි. ඊශ්‍රායෙල්වරු පවුල් ජීවිතයට දිව්‍යමය නීති අදාළ කළ විට, ඔවුන් ළමා දූෂණය වැළැක්වූහ. අද දින සිටින පවුල්වලට මෙම පිරිසිදු, ප්‍රායෝගික ප්‍රමිති කවදාටත් වඩා වැඩියෙන් අවශ්‍ය කෙරේ.
සදාචාර නීති
බයිබල් නීතියට ඔබගේ ජීවිතය කෙරෙහි බලපෑමක් තිබේ ද? නිදසුනක් වශයෙන්, ලෙවී කථාවේ 18:6 හි මෙසේ කියවන්නට තිබේ: “නුඹලාගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය, NW ].” ඊට සමාන ව අද දින ක්‍රිස්තියානි සභාව සියලු ආකාර ලිංගික දූෂණයට විරුද්ධ ව බලවත් නීති පනවයි. දරුවෙකුට අතවර කරන ඕනෑ ම කෙනෙකු සභා ඇසුරෙන් කපා හරිනු ලැබීමේ, එනම් සභාවෙන් නෙරපා දමනු ලැබීමේ අවදානම් තත්ත්වයක් තිබේ.a—1 කොරින්ති 6:9, 10.
සියලු ම පවුල් එවන් නීති ගැන දැන සිටිය යුතු අතර ඒවා එක් ව සමාලෝචනය කළ යුතු වේ. ද්විතීය කථාව 6:6, 7 මෙලෙස උදක් ම ඉල්ලා සිටියි: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.” මෙම නීති හෘදයට කාවැදීමට සැලැස්වීම වනාහි ඔබගේ දරුවන්ට ඉඳ හිට දේශනාවක් දීමට වඩා වැඩි යමක් අදහස් කරයි. එයට නිති පතා කරනු ලබන අදහස් හුවමාරු කිරීමේ සාකච්ඡාවක් ඇතුළත් වෙයි. ව්‍යභිචාරය පිළිබඳ ව දෙවියන් වහන්සේගේ නීති සහ මෙම නීති දීම සඳහා වූ ප්‍රේමනීය හේතුවට, මව සහ පියා යන දෙදෙනා ම සහයෝගය දක්වන බව කලින් කලට තහවුරු කළ යුතු ය.
ලිංගික කාරණාවල දී කිසි කෙනෙකුට—කිට්ටු නෑදෑයන් ඇතුළු—කිසිවිටකත් නොඉක්ම විය යුතු සීමාවන් තිබෙන බව පෙන්වීමට, දාවිත්ගේ දරුවන් වූ, තාමර් සහ අම්මොන් වැනි අයගේ කථාන්දර භාවිතා කිරීමට ද ඔබට හැකි ය.—උත්පත්ති 9:20-29; 2 සාමුවෙල් 13:10-16.
එදිනෙදා ජීවිතයේ දී පවා ප්‍රායෝගික විධිවිධාන සැලසුම් කිරීම තුළින් මෙම ප්‍රතිපත්තිවලට ගෞරව කළ හැකි ය. ආර්ථික අපහසුතාවයන් නොතිබෙන විට පවා දරුවන් දෙමව්පියන් සමඟ නිදන අවස්ථාවල දී, බොහෝ දුරට ව්‍යභිචාරය සිදු වී තිබෙන බවට එක් ප්‍රාචීන රටක කරනු ලැබූ පර්යේෂණ මගින් හෙළි විය. ඊට සමාන ලෙසින් ම, විරුද්ධ-ලිංගයේ සහෝදර සහෝදරියන් වැඩෙන විට, මඟ හැරිය හැකි නම්, ඇඳක් හෝ කාමරයක් හවුලේ බෙදාගැනීමට සැලැස්වීම සාමාන්‍යයෙන් නුවණට හුරු දෙයක් නොවෙයි. එදිනෙදා ජීවන තත්ත්වයන්හි දී ඉඩකඩ සම්බන්ධයෙන් තදබදයක් තිබීම යථාර්ථයක් ව තිබෙන විට පවා, සෑම පවුල් සාමාජිකයෙක් ම නිදා ගත යුතු ස්ථානය පිළිබඳ ව දෙමව්පියන් හොඳ විනිශ්චයක් කළ යුතු ය.
බේබදුකම නීති උල්ලංගනය කිරීමට මඟ පෙන්විය හැකි බව සඳහන් කරමින්, බයිබල් නීති මගින් එය තහනම් කර තිබේ. (හිතෝපදේශ 23:29-33) එක් අධ්‍යයනයකට අනුව, ව්‍යභිචාරයට ගොදුරු වූවන්ගෙන් සියයට 60 සිට 70 දක්වා පිරිසක් වාර්තා කළේ, අතවරය පටන් ගත් විට එසේ කළ දෙමව්පියා මත්පැන් බොමින් සිටි බව ය.
ප්‍රේමනීය පවුල් මූලිකයෙක්
උඩඟු ලෙස බලය පවත්වන ස්වාමිපුරුෂයන් සිටින පවුල්වල අතවරය වඩා සාමාන්‍ය දෙයක් වූ බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. ස්ත්‍රීන් සිටින්නේ පුරුෂයන්ගේ අවශ්‍යතා සපුරාලීමට පමණක් ය යන ව්‍යාප්ත ලෙස පැතිර තිබෙන මතය ශුද්ධ ලියවිල්ලට අනුව වැරදි සහගත වේ. ඇතැම් පුරුෂයෝ භාර්යාවගෙන් ලබා ගත නොහැකි ඕනෑ ම දෙයක් දියණියකගෙන් ලබා ගැනීම වරදක් නැති බව ඔප්පු කිරීම සඳහා ක්‍රිස්තියානි නොවන මෙම ආකල්පය භාවිතා කරති. මේ ආකාරයේ පීඩාව, මෙම තත්ත්වයන් යටතේ සිටින ස්ත්රීන්ට ඔවුන්ගේ චිත්ත වේගීය සමබරතාවය අහිමි කිරීමට සැලැස්විය හැක. බොහෝ දෙනෙකුට තමන්ගේ ම දරුවන් රැකගැනීමට තිබෙන ස්වාභාවික ආශාව පවා අහිමි වෙයි. (සසඳන්න දේශනාකාරයා 7:7.) අනෙක් අතට, තමන්ගේ රැකියාවට ම ඇලී ගැලී සිටින පියවරුන් නිතර ම වාගේ නිවසේ නොසිටින විට, ඇතැම් අවස්ථාවල දී මව සහ පුතා අතර ලිංගික අතවරය සිදු වී ඇති බව එක් අධ්‍යයනයකින් හෙළි විය.
ඔබගේ පවුල සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? ඔබ ස්වාමිපුරුෂයෙකු වශයෙන් මූලිකයා ලෙස ඔබට තිබෙන කාර්යභාරය බැරෑරුම් ලෙස සලකනවා ද, නැතහොත් ඔබ එය ඔබගේ භාර්යාවට භාර දෙනවා ද? (1 කොරින්ති 11:3) ඔබගේ භාර්යාවට ඔබ ප්‍රේමය, ගැඹුරු සැලකිල්ල සහ ගෞරවය ඇතුව සලකනවා ද? (එපීස 5:25; 1 පේතෘස් 3:7) ඔබ ඇගේ අදහස් සැලකිල්ලට ගැනීමට වටින බව සිතන්නෙහි ද? (උත්පත්ති 21:12; හිතෝපදේශ 31:26, 28) එමෙන් ම ඔබගේ දරුවන් සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? ඔවුන් අනර්ඝ බව ඔබට හැඟෙනවා ද? (ගීතාවලිය 127:3) එසේත් නැතහොත් ඔවුන් බරක් මෙන්, පහසුවෙන් අසාධාරණ ලෙස භාවිතා කළ හැකි යයි ඔබ සලකනවා ද? (සසඳන්න 2 කොරින්ති 12:14.) ඔබගේ නිවසේ සාමාජිකයන් අතර පවුලේ කටයුතු සම්බන්ධයෙන් වැරදි, ශුද්ධ ලියවිලිමය නොවන අදහස් සම්පූර්ණයෙන් ම ඉවත් කරලන්න, එසේ කිරීමෙන් නිවසේ දී ලිංගික දූෂණය සිදුවීමට ඇති ඉඩකඩ ඉවත් කිරීමට ඔබට හැකි වනු ඇත.
චිත්ත වේගීය වශයෙන් සුරක්ෂිත ස්ථානයක්
සැන්ඩි යනුවෙන් අපට හැඳින්විය හැකි එක් තරුණ ස්ත්‍රියක් මෙසේ කියයි: “මගේ මුළු පවුල ම අතවරයට ගොදුරු විය හැකි තත්ත්වයක සිටියා. එය සමාජශීලිකමෙන් තොර, එමෙන් ම එක් එක් සාමාජිකයා අනෙක් සාමාජිකයාගෙන් ඈත් වී සිටියා.” හුදෙකලාව, දැඩිකම සහ අතිශය රහසිගතභාවය—යන මෙම අයහපත්, ශුද්ධ ලියවිලිවලට එකඟ නොවන ආකල්පයන් අතවර සිදුවන නිවසක තිබෙන සලකුණු ය. (සසඳන්න 2 සාමුවෙල් 12:12; හිතෝපදේශ 18:1; පිලිප්පි 4:5.) දරුවන් හට චිත්ත වේගීය වශයෙන් සුරක්ෂිත වාතාවරණයක් නිවස තුළ ඇති කරන්න. නිවස වනාහි ඔවුන්ට ගොඩ නැගෙන ස්වභාවයක් දැනෙන, තමන්ගේ හෘද විවෘත කර නිදහසේ කථා කිරීමට පහසුවක් දැනෙන ස්ථානයක් විය යුතු ය.
තව ද, ශාරීරික ව විදහා පානු ලබන ප්‍රේමයේ ප්රකාශනවලට—එනම් වැලඳ ගැනීම, අතගෑම, අත්-ඇල්ලීම, දුව පැන සෙල්ලම් කිරීම, යනාදියට මහත් අවශ්‍යතාවයක් දරුවන්ට තිබේ. ලිංගික දූෂණය සම්බන්ධ අවදානමට පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාරය දැක්වීම තුළින්, ප්‍රේමය විදහාපෑමට තිබෙන මෙම අවස්ථාවන්ගෙන් වැළකී නොසිටින්න. දරුවන් අගය කරනු ලබන බව, විවෘත, උණුසුම් ස්නේහයෙන් සහ ප්‍රශංසා කිරීම මාර්ගයෙන් ඔවුනට උගන්වන්න. සැන්ඩි මෙය මතකයට නංවයි: “ඕනෑ ම කෙනෙකුට යම් දෙයක් වෙනුවෙන් ප්‍රශංසා කිරීම වැරදි සහගත දෙයක් යන්න මගේ මවගේ ආකල්පය විය. එසේ කිරීම ඔබ ව උඩඟු කරවයි.” සැන්ඩි අඩු ම තරමින් වසර දහයක් පමණ ලිංගික දූෂණය නිසා නිහඬ ව දුක් වින්දා ය. තමන් ප්‍රේමනීය, ප්‍රයෝජනවත් පුද්ගලයන් ය යන දැනුමෙහි සුරක්ෂිතභාවයක් නොලබන දරුවන් දූෂණය කරන්නෙකුගේ ප්‍රශංසාව, ඔහුගේ “ස්නේහවන්තකම,” නැතහොත් එසේ ප්‍රේම නොකිරීම සඳහා වූ ඔහුගේ තර්ජනවලට පහසුවෙන් ගොදුරු විය හැකි ය.
“වඩාත් ම” පහසුවෙන් ගොදුරු වූයේ තමා වැනි මිතුරෙකු සතු ව සිටීමට චිත්ත වේගීය අවශ්‍යතාවය තිබූ පිරිමි ළමුන් ය කියා වසර 40ක කාල පරිච්ඡේදයක් තුළ පිරිමි ළමුන් සිය ගණනකට ලිංගික ලෙස අතවර කළ ළමා දූෂකයෙක් පිළිගත්තේ ය. ඔබගේ දරුවා තුළ එබඳු අවශ්‍යතාවයකට ඉඩ නොතබන්න.
අතවර චක්‍රය බිඳ දමන්න
දරුණු පරීක්ෂණය යටතේ දී යෝබ් මෙසේ පැවසුවේ ය: “මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.” (යෝබ් 10:1) ඊට සමාන ව, බොහෝ දෙමව්පියන් සොයාගෙන තිබෙන්නේ, තමන්ට ම උපකාර කිරීම තුළින් ඔවුනට තමන්ගේ දරුවන්ට උපකාර කළ හැකි බව ය. ද හාවර්ඩ් මෙන්ටල් හෙල්ත් ලෙටර් හි මෑතක දී මෙසේ සඳහන් විය: “පුරුෂයෝ එම වේදනාව ගැන කථා කිරීමට එරෙහි ව තිබෙන බලවත් සමාජීය බලපෑම ළමා දූෂණය දාමයක් ලෙස දිගට ම පැවතීමට ඉඩ සලසා තිබෙන බව පෙනේ.” ලිංගික දූෂණයට අසු වීම පිළිබඳ ව ඔවුනට තිබෙන වේදනාව ප්‍රකාශ කිරීමට කිසි දිනක අවස්ථාවක් නොලබන පුරුෂයන් තමුන් ම දූෂිකයන් බවට පත්වීමට වැඩි ඉඩ කඩක් තිබෙන බව පෙනේ. ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කරන බොහෝ දෙනෙක් බාල කාලයේ දී ලිංගික ව දූෂණය කරනු ලැබූ අතර සුව වීම සඳහා කවදාවත් උපකාරය නොලැබූ බව, ද සේෆ් චයිල්ඩ් බුක් වාර්තා කරයි. ඔවුන් තමන්ගේ වේදනාවත් කෝපයත් ප්‍රකාශ කරන්නේ වෙනත් දරුවන් ව ලිංගික ව දූෂණය කිරීමෙනි.b—යෝබ් 7:11; 32:20 ද බලන්න.
අතීතයේ සිදු වූ දූෂණය සමඟ ක්‍රියා කිරීමට මව්වරුන් ඉගෙන නොගන්නා විටත්, දරුවන්ට තිබෙන අවදානම් සහිත තත්ත්වය ඉහළ යා හැකි ය. නිදසුනක් වශයෙන්, බාල කාලයේ දී ලිංගික ව දූෂණය කරනු ලැබූ ස්ත්‍රීන් බොහෝ විට ළමා දූෂකයන් වන පුරුෂයන් ව විවාහ කරගන්නා බව පර්යේෂකයෝ වාර්තා කරති. තවදුරටත්, ස්ත්‍රියක් අතීතයේ දී සිදු වූ දූෂණය සමඟ ක්‍රියා කිරීමට ඉගෙන ගෙන නොතිබේ නම්, ඇගේ දරුවන් සමඟ දූෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇයට දුෂ්කරතාවයක් ඇති වීම තේරුම්ගත හැකි දෙයකි. ලිංගික අතවරය සිදු වුවහොත්, එසේ සිදු වී තිබෙන බව වටහා ගැනීමටත් ඒකාන්ත ලෙස කටයුතු කිරීමටත් ඇයට අඩු හැකි කමක් තිබිය හැකි ය. එවිට මවගේ අක්රීයභාවය නිසා දරුවන්ට මහත් පාඩුවක් සිදු වේ.
මෙලෙසින්, ලිංගික දූෂණය එක් පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට යා හැකි ය. ඇත්ත වශයෙන්, තමන්ගේ වේදනාකාරී අතීතය ගැන කථා කිරීමට කැමැත්තක් නොදක්වන බොහෝ දෙනෙක්, ජීවිතයේ හොඳින් කටයුතු කරන බව පෙනේ, එය ප්‍රශංසනීය දෙයකි. එහෙත් බොහෝ දෙනෙකුට එම වේදනාව වඩා ගැඹුරු එකකි, එමනිසා ඔවුන්ට ළමා වියේ ඇති වූ එබඳු දරුණු තුවාල සුව කිරීම සඳහා මහත් උත්සාහයක් දැරීමට අවශ්‍ය වනු ඇත—ඇතැම් විට අවශ්‍ය නම්, වෘත්තීය උපකාරය පැතීමට පවා අවශ්‍ය වේ. ඔවුන්ගේ ඉලක්කය වනුයේ තමන් ගැන ම ශෝක වීමෙන් වැළකී සිටීම ය. ඔවුන්ගේ පවුලට බලපාන්නා වූ මෙම පිළිකුල් සහිත, වේදනාකාරී ළමා දූෂණයේ චක්‍රය කඩන්නට ඔවුනට වුවමනා වේ.—1992 මාර්තු 8 පිබිදෙව්! හි පිටු 3-11 බලන්න.
අතවරයට නිමාව
නිසියාකාරයෙන් අදාළ කළ විට, ඉහත සඳහන් තොරතුරු ඔබගේ නිවසේ අතවර ඇති වීමට තිබෙන ඉඩකඩ අඩු කිරීමට බොහෝ සෙයින් උපකාරවත් වේ. කෙසේ වෙතත්, අතවර කරන්නෝ රහසිගත ව කටයුතු කරන බව මතක තබා ගන්න, ඔවුන් කෙරෙහි තබන විශ්වාසයෙන් ඔවුහු අනිසි ප්‍රයෝජන ගනිති, එමෙන් ම අහිංසක දරුවන් කෙරෙහි වැඩිහිටි උපක්‍රම ඔවුහු භාවිතා කරති. එමනිසා අනිවාර්යයෙන් ම, ඔවුන්ගෙන් සමහරෙකු එම පිළිකුල් උපදවන අපරාධවලට දඬුවම් නොලැබ බේරෙන බව නොකිවමනා ය.
කෙසේ වෙතත්, ඔවුන් කරන දේ දෙවියන් වහන්සේ බලා සිටින බවට නිසැක වන්න. (යෝබ් 34:22) ඔවුන් පසුතැවිලි වී වෙනස් වුවහොත් මිසක, ඔවුන්ගේ කුරිරු ක්‍රියාවන් උන් වහන්සේ අමතක නොකරන සේක. උන් වහන්සේගේ නියමිත කාලයේ දී උන් වහන්සේ ඔවුන් ව හෙළි කරන සේක. (සසඳන්න මතෙව් 10:26.) එමෙන් ම උන් වහන්සේ යුක්තිය නියම කරන සේක. ද්‍රෝහී ලෙස ක්‍රියා කරන එබඳු මනුෂ්‍යයන් සියල්ලන් ම ‘පොළොවෙන් කපා හරිනු ලබන’ කාලයක් පැමිණෙන්නට යන බවට යෙහෝවඃ වහන්සේ පොරොන්දු කරන සේක, එවිට ඉතිරි ව සිටින්නට යන්නේ දෙවියන් වහන්සේටත් අසල්වැසියාටත් ප්‍රේම කරන මෘදු සහ මොළොක් ගුණැති අය පමණි. (හිතෝපදේශ 2:22; ගීතාවලිය 37:10, 11, 29; 2 පේතෘස් 2:9-12) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය හේතුවෙන් එබඳු නව ලොවක් සඳහා මවිතාකාර බලාපොරොත්තුවක් අපට තිබේ. (1 තිමෝති 2:6) ලිංගික දූෂණය සදහට ම කෙලවර වනුයේ එවිට ය, එවිට පමණි.
ඒ අතරතුරේ දී අපගේ දරුවන් රැකගැනීමට අපට හැකි සියල්ල ම අප කළ යුතු ය. ඔවුන් අතිශයින් අනර්ඝ ය! බොහෝ දෙමව්පියෝ තමන්ගේ කුඩා දරුවන් ආරක්ෂා කිරීම සඳහා කැමැත්තෙන් ම තමන්ගේ ජීවිත උවදුරට ලක් කරති. (සසඳන්න යොහන් 15:13.) අපගේ දරුවන් ව අපි රැක නොගත්තෙමු නම්, එහි විපාක දරුණු විය හැකි ය. ඔවුන් ව රැකගත්තා නම්, අප ඔවුනට දෙන්නේ මවිතකර දීමනාවක් ය—එනම් අහිංසක මෙන් ම විපත්තියෙන් නිදහස් ළමාවියකි. ගීතිකාකරුට හැඟුණාක් මෙන් ඔවුන්ටත් හැඟීමට හැකි වේ, ඔහු මෙසේ ලීවේ ය: “උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ, NW ] ගැන කියන්නෙමි.”—ගීතාවලිය 91:2. g93 10/8
a දරුවෙකුට ලිංගික දූෂණය සිදුවන්නේ යමෙකු විසින් ඔහුගේ හෝ ඇගේ ම ලිංගික ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා දරුවෙකු ව භාවිතා කරන විට ය. එයට බොහෝ විට බයිබලයේ වේශ්‍යාකම, නැතහොත් පෝර්නියා (por·neiʹa) යනුවෙන් හඳුන්වන ක්‍රියාව සම්බන්ධ වෙයි, මෙයට ලිංගේන්ද්‍රියන් අතගෑම, ලිංගික සංවාසය සහ මුඛ හෝ ගුද ලිංගික සම්බන්ධතා ඇතුළත් විය හැකි ය. පියයුරු අත ගෑම, අතිශය දුරාචාරමය යෝජනා ඉදිරිපත් කිරීම, දරුවෙකුට කාමුක චිත්‍ර පෙන්වීම, ලිංගික අවයව හෝ ලිංගික ක්‍රියා දෙස බලා සිටීමෙන් ලබන ආස්වාදය සහ අවිනීත ලෙසින් අනාවරණය වීම, යනාදී සියල්ලක් ම “සල්ලාලකම” යනුවෙන් බයිබලය හෙලා දකින්නා වූ දේට සමාන විය හැකි ය.—ගලාති 5:19-21; වර්ෂ 1983 මාර්තු 15 ද වොච්ටවර් හි 30වන පිටුවේ පාද සටහන බලන්න.
b ළමයින්ට අඩන්තේට්ටම් කරන බොහෝ දෙනෙක් බාල කාලයේ දී ලිංගික දූෂණයට ලක් වී තිබෙන නමුත්, අතවරය දරුවන් ව දූෂකයන් බවට පත් කරන බව මින් අඟවන්නේ නැත. ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නන් බවට පත් වෙන්නේ, ලිංගික දූෂණයට ලක් වන දරුවන්ගෙන් තුනෙන් එකකටත් වඩා අඩු පිරිසකි.