අපගේ දරුවන් ව අප රැකගන්නේ කෙසේ ද?
“කාටවත් කියන්න එපා. මේක අපේ රහසක්.”
“කවුරුත් ඔයා ව විශ්වාස කරන්න යන්නේ නෑ.”
“ඔයා කිව්වොත්, ඔයාගේ දෙමව්පියන් ඔයාට වෛර කරයි. මේක ඔයාගේ වැරැද්ද කියා එයාලා දැනගනීවි.”
“මගේ විශේෂ මිතුරා ලෙස දිගට ම ඉන්න ඔයා කැමති නැද්ද?”
“මම සිරගෙදර යනවාට ඔයා කැමති නෑ, නේද?”
“ඔයා කිව්වොත් ඔයාගේ දෙමව්පියන් ව මං මරනවා.”
තමන්ගේ විකෘති ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා ළමයින් ව භාවිතා කිරීමෙන් පසු ව, එමෙන් ම ඔවුන්ගේ සුරක්ෂිතභාවය සහ අහිංසකකම ඔවුන්ගෙන් පැහැර ගැනීමෙන් පසු ව, ළමයින්ට ලිංගික ව අඩන්තේට්ටම් කරන්නන්ට තවත් යමක් තමන්ට ගොදුරු වූවන්ගෙන් අවශ්‍ය වේ—එනම් නිශ්ශබ්දතාවය ය. එම නිශ්ශබ්දතාවය රැකගැනීම සඳහා, ලජ්ජාව, රහසිගතභාවය, මුළුමනින් ම බිය ගැන්වීම පවා ඔවුහු භාවිතා කරති. එබැවින් දරුවන්ට වන ලිංගික අතවරයට විරුද්ධ ව ඔවුන්ට තිබෙන හොඳ ම ආයුධය ඔවුන්ගෙන් පැහැර ගනු ලබයි—එනම් එය හෙළි කිරීම සඳහා තිබෙන කැමැත්ත, නොහොත් කථා කර වැඩිහිටියෙකුගෙන් ආරක්ෂාව පැතීමය.
බොහෝ විට වැඩිහිටි සමාජය ළමා දූෂකයන්ට සහයෝගය දැක්වීම දුකට කරුණක් වේ. ඒ කෙසේ ද? මෙම උවදුර ගැන දැනුවත් ව සිටීම ප්‍රතික්ෂේප කිරීම මගින්, එය රහසිගත ව තබාගැනීමේ ආකල්පයකට අනුබල දීමෙන්, බොහෝ විට නැවත නැවත කියනු ලබන මිථ්‍යාවන් විශ්වාස කිරීම මගින් ය. නොදැනුවත්කම, වැරදි තොරතුරු ලැබීම සහ නිශ්ශබ්ද වීම ආදිය ළමා දූෂකයන් ව මිස ඔවුනට ගොදුරු වන අය ව ආරක්ෂා කරන්නේ නැත.
නිදසුනක් වශයෙන්, කතෝලික පැවිදි පිරිස අතර දශක ගණනාවකට දරුණු ළමා දූෂණය දිගට ම පැවතීමට හේතුවක් වූයේ “නිශ්ශබ්දතාවය සඳහා වූ පොදු එකඟ වීමක්” වූ බව කතෝලික බිෂොප්වරුන්ගේ කැනේඩියානු සම්මේලනය විසින් මෑතක දී නිගමනය කරන ලදි. දසත පැතිරුණු වසංගතයක් බඳු ව්‍යභිචාරය පිළිබඳ ව ටයිම් සඟරාව වාර්තා කළ විට, එය ද පවුල් තුළ “එම දුක්ඛදායක තත්ත්වය දිගට ම පැවතීමට උපකාර කරන්නා වූ” සාධකයක් වශයෙන් “නිශ්ශබ්දතාවය සඳහා එකඟ වීම” සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම එකඟ වීම අන්තිම වශයෙන් දැන් බිඳ වැටෙමින් පවතින බව ටයිම් සඟරාවෙහි සඳහන් විය. ඒ මන්ද? සරල ව කියතොත්, දැනුවත් කිරීම නිසා ය. එය වනාහි ඒෂියාවීක් සඟරාව පැවසුවාක් මෙනි: “ළමා දූෂණයට එරෙහි ව තිබෙන හොඳ ම ආරක්ෂාව නම් ඒ සම්බන්ධයෙන් පොදු ජනයා දැනුවත් ව සිටීම යන බවට සියලු ම ප්‍රවීණයෝ එකඟ වෙති.” තමන්ගේ දරුවන් ව ආරක්ෂා කරගැනීමට නම්, දෙමව්පියන් තර්ජනයේ යථාර්ථයන් අවබෝධ කර ගත යුතු ය. දරුවන් ව නොව නමුත් දූෂණය කරන අය ව ආරක්ෂා කරන්නා වූ වැරදි වටහාගැනීම් නිසා අඳුරේ නොසිටින්න.—පහත කොටුව බලන්න.
ඔබගේ දරුවා දැනුවත් කරන්න!
ප්‍රඥාවන්ත සාලමොන් රජ තම පුත්‍රයාට කීවේ, දැනුම, ප්‍රඥාව සහ කල්පනා කිරීමේ හැකියාව, ඔහු ව “නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද” රැකගන්න බව ය. (හිතෝපදේශ 2:10-12) දරුවන්ට අවශ්‍ය වන්නේ එම දේ ම නොවේ ද? චයිල්ඩ් මොලස්ටර්ස්: එ බිහෙවියරල් ඇනැලිසිස් නමැති FBI (ඒකාබද්ධ විමර්ශන කාර්යාංශය) පත්‍රිකාව “නියම ගොදුර” යන මාතෘකාව යටතේ මෙසේ සඳහන් කරයි: “ලිංගික ක්‍රියා වනාහි බොහෝ දරුවන්ට, විශේෂයෙන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් නිවැරදි තොරතුරු ඉතාමත් ම අඩුවෙන් ලැබෙන රහසිගත විෂයකි.” ඔබගේ දරුවන්ට “නියම ගොදුරු” වීමට ඉඩ නොහරින්න. ලිංගික ක්‍රියා පිළිබඳ ව ඔවුන් ව දැනුවත් කරන්න.a නිදසුනක් වශයෙන්, මල්වර වියට පා තබන විට ශරීරයට සිදු වන්නට යන වෙනස් වීම් පිළිබඳ ව කිසිවක් නොදැන සිටීම කිසි ම ළමයෙකුට සුදුසු නැත. නොදැනුවත්කම ඔවුන් ව වික්ෂිප්තයට, ලජ්ජාවට—එමෙන් ම පහසුවෙන් ගොදුරු වන ස්වභාවයකට පත් කරනු ඇත.
ජැනට් යයි අප විසින් හඳුන්වනු ලබන ස්ත්‍රියක් බාල වියේ දී ලිංගික දූෂණයට ලක් වූවා ය, වසර ගණනාවකට පසු ව ඇගේ ම දරුවන් දෙදෙනා ද ලිංගික දූෂණයට අසු වූහ. ඇය මෙලෙස සිහියට නංවයි: “අප ඇති දැඩි කරනු ලැබූ ආකාරය නිසා, අප කවදාවත් ලිංගික ක්‍රියා ගැන කථා කළේ නැහැ. එමනිසා ඒ සම්බන්ධ ව ව්‍යාකූල හැඟීමකින් යුක්ත ව මා වැඩුණා. එය ලජ්ජාශීලී දෙයක් වුණා. තව ද මට දරුවන් ලැබූ විටත් තත්ත්වය එසේ ම වුණා. මට ඒ සම්බන්ධ ව අන් අයගේ දරුවන් සමඟ කථා කළ හැකි වූ නමුත්, මගේ ම දරුවන් සමඟ මට එසේ කළ නොහැකි වූවා. එය නුසුදුසු දෙයක් යයි මට සිතෙයි, මන්දයත් මේ දේවල් ගැන ඔබ දරුවන් සමඟ කථා නොකළා නම් ඔවුන් පහසුවෙන් ම ඒවාට ගොදුරු විය හැකි නිසායි.”
ලිංගික දූෂණය වැලැක්වීම ගැන කල් ඇති ව ඉගැන්විය හැකි ය. යෝනි මාර්ගය, පියයුරු, ගුද මාර්ගය, ශිශ්නය වැනි ශරීරාංග නම් කිරීමට ඔබ දරුවන්ට උගන්වන විට, මෙම ප්‍රදේශ හොඳ බවත්, විශේෂ වන බවත්—නමුත් පෞද්ගලික වන බවත් ඔවුනට කියා දෙන්න. “ඒවා අත ගෑමට වෙනත් අයට ඉඩ නෑරිය යුතුයි—අම්මා හෝ තාත්තා පවා—එමෙන් ම අම්මා හෝ තාත්තා සිටිනවා නම් මිසක හෝ ඊට අවසර දී තිබෙනවා නම් මිසක වෛද්‍යවරයෙකුට පවා එසේ ඉඩ නෑරිය යුතුයි.”b නියම වශයෙන් එබඳු ප්‍රකාශයන්, දෙමව්පියන් දෙදෙනාගෙන් හෝ එක් එක් වැඩිහිටි භාරකරුවාගෙන් විය යුතු ය.
දූෂකයෙකු නොසලකා හැරීමට, ළං වූ විට කෑ ගැසීමට, නැතහොත් ඔහුගෙන් පලා යාමට තමන්ට නිදහසක් තිබෙන බව දරුවන්ට හැඟිය යුතු නමුත්, ලිංගික දූෂණයට ගොදුරු වන බොහෝ දරුවන් ඔහුට පරුෂ වීමට තමන් අකැමති වූවා යයි පැහැදිලි කරන බව ද සේෆ් චයිල්ඩ් බුක් හි, ශෙරිල් ක්රේසර් සඳහන් කරයි. එමනිසා ඇතැම් වැඩිහිටි අය නරක දේවල් කරන බවත්, දරුවන් වුවත්, ඔහුට හෝ ඇයට වැරදි යමක් කිරීමට කියන්නා වූ ඕනෑ ම කෙනෙකුට කීකරු විය යුතු නැති බවත් ඔවුන් දැනගෙන සිටිය යුතු ය. එවැනි අවස්ථාවල දී, දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන්ට අපවිත්‍ර ආහාර අනුභව කිරීමට කීවා වූ බබිලෝනිය වැඩිහිටියන්ට ඔවුන් පිළිතුරු දුන්නාට සමාන ව, එපා යයි කීමට දරුවෙකුට සම්පූර්ණ අයිතිය තිබේ.—දානියෙල් 1:4, 8; 3:16-18.
පුළුල් වශයෙන් පිළිගත් එක් ඉගැන්වීමේ මාධ්‍යයක් නම් “. . . ඔබ මොනවා ද කරන්නේ?” යන සෙල්ලමයි. නිදසුනක් වශයෙන් ඔබට මෙසේ ඇසිය හැකි ය: “තවත් ළමයෙකුට පහරක් ගසන්න ඔබගේ ගුරුවරිය ඔබට කීවා නම් ඔබ මොනවා ද කරන්නේ?” එසේත් නැතහොත්: “උස ගොඩනැගිල්ලකින් පහළට පනින්න කියා ඔයාට (අම්මා, තාත්තා, දේව ගැතිවරයෙක්, පොලීස් භටයෙක්) කීවා නම් ඔයා මොනවා ද කරන්නේ?” දරුවාගේ පිළිතුර අප්රමාණවත් හෝ වැරදි හෝ විය හැකි ය, නමුත් රළු ලෙස දරුවා ව හරිගස්සන්න එපා. එම සෙල්ලමට කම්පා ඇති කරන හෝ බිය ඇති කරන උපක්‍රම ඇතුළත් වීමට අවශ්‍ය නැත; ඇත්ත වශයෙන් ම එය මෘදු, ප්‍රේමනීය සෙල්ලක්කාර අන්දමකින් සෙල්ලම් කළ යුතු යයි ප්‍රවීණයෝ නිර්දේශ කරති.
ඊළඟට, නොහොබිනා හෝ තමන්ට අසහනයක් දැනෙන්නට සලස්වන ස්නේහයේ විදහාපෑම් ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ට උගන්වන්න. නිදසුනක් වශයෙන්, “අම්මාගෙත් තාත්තාගෙත් මිත්‍රයෙක් ඔයාට අමුතු හැඟීමක් දෙන ආකාරයකින් සිඹින්නට කැමති වුණොත් ඔයා කුමක් කරාවි ද? ”c ඔහු හෝ ඇය කරන්නට යන දෙය රඟ දැක්වීමට දරුවාට දිරිගැන්වීම බොහෝ විට වඩාත් ම සුදුසු දෙය වෙයි, එමගින් එය “අපි රඟපාමු” සෙල්ලමක් බවට පත් කළ හැකි ය.
ඒ ආකාරයෙන් ම, ලිංගික දූෂකයන්ගේ වෙනත් උපක්රමවලට ද එරෙහි ව ක්‍රියා කිරීමට දරුවන්ට ඉගෙන ගත හැකි ය. නිදසුනක් වශයෙන්, ඔබට මෙසේ ඇසිය හැකි ය: “ ‘මං වැඩියෙන් ම ප්‍රිය කරන්නේ ඔයාටයි, මගේ යහළුවා වන්නට ඔයා කැමති නැද්ද?’ යනුවෙන් යමෙකු පැවසුවා නම් ඔබ කරන්නේ කුමක් ද? ” එබඳු උපක්රමවලට එරෙහි ව ක්‍රියා කිරීමට දරුවා ඉගෙන ගත් විට, වෙනත් උපක්‍රම සාකච්ඡා කරන්න. ඔබට සමහර විට මෙසේ ඇසිය හැකි ය: “ ‘මා ව රිදවන්න ඔයා ආස නෑ නේද?’ යනුවෙන් යමෙකු පැවසුවා නම්, ඔයා මොනවා ද කියන්නේ?” වචන මගින් ද පැහැදිලි, ස්ථිර අභිනයන් මගින් ද එපා යයි පැවසීමේ ක්‍රමය දරුවාට කියා දෙන්න. සූක්ෂ්ම එළැඹීම්වලට දරුවන් ප්‍රතිචාරය දක්වන ආකාරය දූෂකයන් විසින් බොහෝ විට සෝදිසි කරනු ලබන බව මතකයේ තබා ගන්න. එමනිසා ඊට ස්ථිර විරුද්ධත්වයක් දක්වමින්, “මම ඔබ ගැන වැඩිහිටියෙකුට දන්වනවා” යයි කීමටත් දරුවෙකුට ඉගැන්විය යුතු ය.
ඔබගේ පුහුණුව සම්පූර්ණයෙන් කරන්න
එවන් පුහුණුව එක්වරක සාකච්ඡාවකට සීමා නොකරන්න. දරුවන්ට බොහෝ සෙයින් නැවත නැවත කිව යුතු ය. එම පුහුණුව කොපමණ පැහැදිලි විය යුතු දැයි තීරණය කිරීමේ දී ඔබගේ ම විචාර බුද්ධිය භාවිතා කරන්න. එසේ වුවත් එය සම්පූර්ණයෙන් කරන්න.
නිදසුනක් වශයෙන්, රහස් ගිවිසුමක් ඇති කරගැනීමට දූෂකයෙකු ගත හැකි ඕනෑ ම වෑයමක් වැළැක්වීමට සහතික වන්න. තමන්ගේ දෙමව්පියන්ගෙන් එක් කෙනෙකුටවත් නොකියා රහසක් වසා තැබීමට වැඩිහිටියෙකු ඉල්ලා සිටීම කිසිවිටකත් සුදුසු දෙයක් නොවන බව දරුවන් දැන සිටිය යුතු ය. නොකියන්නට ඔවුන් පොරොන්දු වූවත්—ඒ ගැන කීම හැමවිට ම සුදුසු දෙය වන බව ඔවුනට නැවත නැවත තහවුරු කරන්න. (සසඳන්න ගණන් කථාව 30:12, 16.) දරුවා පවුලේ යම් නීතියකට අකීකරු වී තිබෙන බව ඇතැම් දූෂකයන්ට දැනගන්නට ලැබූ විට ඔවුහු දරුවාට තර්ජනය කරති. “ඔයා මං ගැන කීවේ නැත්නම් මමත් ඔයා ගැන කියන්නේ නැහැ” යන්න එම පණිවුඩය වේ. එමනිසා—මෙවන් තත්ත්වයන් යටතේ දී පවා—දෙමව්පියන්ට කීමෙන් ඔවුන් කිසි දිනක කරදරයකට පත් නොවන බව දරුවන් දැනගත යුතු ය. කීම ආරක්ෂා සහිත දෙයකි.
තර්ජනවලට බිය නොවීමට හැකියාවක් ද ඔබගේ පුහුණුවෙන් දරුවාට ලැබිය යුතු ය. ඇතැම් ළමා දූෂකයන් දරුවෙකු ඉදිරිපිට කුඩා සතුන් මරා, එම දරුවාගේ දෙමව්පියන්ට එලෙස ම කරන බව පැවසීමෙන් දරුවන් ව බිය ගන්වා තිබේ. ගොදුරු වූ දරුවාගේ බාල සහෝදර සහෝදරියන්වත් දූෂණය කරන බවට තවත් සමහරුන් අනතුරු අඟවා තිබේ. එමනිසා, කොතරම් බියගන්වන සුලු තර්ජන එල්ල වී තිබුණත්, දරුවන් නිතර ම දූෂකයෙකු සම්බන්ධයෙන් වැඩිහිටියන්ට දැන්විය යුතු බව ඔවුනට උගන්වන්න.
මේ සම්බන්ධයෙන් බයිබලය, ඉගැන්වීමට උපකාරවත් මෙවලමක් විය හැකි ය. යෙහෝවඃ වහන්සේගේ සර්වපරාක්‍රම බලය එතරම් විචිත්‍ර ලෙසින් එහි හුවා දැක්වෙන නිසා, දූෂකයන්ගේ තර්ජනවල බිය උපදවන පැත්ත සැහැල්ලු කිරීමට එයට හැකි ය. කෙලෙස තර්ජනය කරනු ලැබුවත්, ස්වකීය ජනයා හට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේට හැකියාව තිබෙන බව දරුවන් දැන සිටිය යුතු ය. (දානියෙල් 3:8-30) යෙහෝවඃ වහන්සේ ප්‍රේම කරන අයට කුරිරු අය වේදනාවක් ඇති කළත්, ඉන් ඇති වූ හානිය නැති කිරීමටත් නැවතත් දේවල් යහපත් අතට හැරවීමටත් උන් වහන්සේට නිතර ම හැකි ය. (යෝබ්, පරිච්ඡේද 1, 2; 42:10-17; යෙසායා 65:17) නරක දේ කරන අය සහ ඔවුන්ට එරෙහි ව නැගී සිටීමට තමන්ට හැකි සියල්ල කරන හොඳ අය ඇතුළු, සිදුවන සෑම දෙයක් ම යෙහෝවඃ වහන්සේට පෙනෙන බව ඔවුනට තහවුරු කරන්න.—සසඳන්න හෙබ්‍රෙව් 4:13.
සර්පයන් මෙන් නුවණ ඇතිව
ළමා දූෂකයන් අතර වුවත් දරුවෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරීම සඳහා කායික බලය යොදන්නේ ස්වල්ප දෙනෙකු පමණි. ඔවුන් සාමාන්‍යයෙන් වඩාත් ම කැමති වන්නේ මුලින් දරුවා සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට ය. එබැවින් “සර්පයන් මෙන් නුවණ ඇතිව” සිටීම සඳහා වූ යේසුස් වහන්සේගේ උපදේශය යෝග්‍ය වේ. (මතෙව් 10:16) ප්‍රේමනීය දෙමව්පියන්ගේ කිට්ටු අධීක්ෂණය, අනිසි ළමා දූෂණයට එරෙහි ව තිබෙන හොඳ ම ආරක්ෂාවකි. දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් කරන ඇතමෙක් ප්‍රසිද්ධ ස්ථානයක තනි ව සිටින දරුවෙකු සොයා දරුවාගේ කුතුහලය අවුස්සන සංවාදයක් පටන් ගනියි. (“ඔයා මෝටර් සයිකල්වලට කැමති ද?” “මගේ වාහනේ සිටින බලු පැටියන් ව ඇවිල්ල බලන්න.”) ඔබගේ දරුවන් සමඟ හැම විට ම සිටීමට ඔබට නොහැකි බව සැබෑවකි. එමෙන් ම වට පිට ඇවිදීම සඳහා යම් ප්‍රමාණයක නිදහසක් දරුවන්ට අවශ්‍ය බව ළමා-සාත්තු ප්‍රවීණයෝ පිළිගනිති. එහෙත් නියම කලට පෙර පමණට වඩා වැඩි නිදහසක් දරුවන්ට දීම ගැන ප්රඥ්යාවන්ත දෙමව්පියෝ අවධානයෙන් සිටිති.
ඔබගේ දරුවන් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන වැඩිහිටියන් හෝ වයසින් වැඩි යෞවනයන් ව හොඳින් දැන සිටීමට සහතික වන්න, ඔබ නොසිටින විට ඔබගේ දරුවන් ව බලා ගත යුත්තේ කවුද යන්න ගැන අමතර අවධානයක් යොමු කරන්න. ඔබගේ දරුවන් තුළ අමුතු හැඟීමක් ඇති කරන හෝ අසහනකාරී ස්වභාවයක් ගෙන දෙන ආයලා ගැන සැලකිලිමත් වන්න. එලෙස ම, තමන්ගේ ම වයසේ මිතුරන් නොමැති, බාල ළමුන් කෙරෙහි පමණට වඩා වැඩි උනන්දුවක් දක්වන නහඹරයන් ගැන ද ප්‍රවේසම් වන්න. දිවා කාලයේ ළමුන් බලා ගන්නා ස්ථාන සහ පාසල් හොඳින් සෝදිසි කරන්න. ගොඩනැගිල්ලට අයත් සම්පූර්ණ ප්‍රදේශය ම පරීක්ෂා කොට, කාර්ය මණ්ඩලය සමඟ කථා බහ කරන්න, ඔවුන් දරුවන් සමඟ අන්‍යෝන්‍ය සබඳකම් පවත්වන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. අනපේක්ෂිත අවස්ථාවල දී ඔබගේ දරුවා බැලීමට ඔබ පැමිණෙනවාට අකමැත්තක් තිබේ ද කියා විමසන්න; එසේ කිරීමට අවසර නොලැබේ නම්, වෙන තැනක් සොයන්න.—1987 දෙසැම්බර් 8 එවේක්! සඟරාවේ පිටු 3-11 බලන්න.
කෙසේ වෙතත්, දක්ෂතම දෙමව්පියන්ට පවා ඔවුන්ගේ දරුවන්ට සිදු වන සියල්ලක් ම පාලනය කිරීමට නොහැකි වීම ශෝකයට කරුණක් වුවත් සත්‍යයක් වෙයි.—දේශනාකාරයා 9:11.
දෙමව්පියන් සහයෝගයෙන් කටයුතු කරනවා නම්, ඔවුනට පාලනය කළ හැකි දෙයක් තිබේ: එනම් නිවස තුළ තිබෙන වාතාවරණයයි. තව ද ළමා දූෂණයන් වැඩි ප්‍රමාණයක් ම සිදුවන තැන නිවස වන හෙයින්, ඊළඟ ලිපිය යොමු දක්වන්නට යන්නේ ඒ පිළිබඳව ය. g93 10/8
[පාදසටහන්වල]
a වර්ෂ 1992 පෙබරවාරි 22, පිටු 3-11 සහ 1992 ජූලි 8, පිටු 30 යන එවේක්! සඟරා බලන්න.
b ඉතා කුඩා දරුවන් ව දෙමව්පියන් විසින් නාවා ඇදුම් මාරු කළ යුතු බව සැබෑවකි, එමෙන් ම එවන් අවස්ථාවල දී දෙමව්පියන් විසින් රහස් අංග සේදීම ද අවශ්‍ය වේ. එහෙත් බාල වියේ දී ම තමන් ව ම නෑවීමට ඔබගේ දරුවන්ට උගන්වන්න; ළමා-සාත්තු කිරීම සම්බන්ධ ඇතැම් ප්‍රවීණයෝ උපදෙස් දෙන්නේ දරුවන් තමන්ගේ ම රහස් අංග සේදීමට හැකි නම් අවුරුදු තුන වන විට පුහුණු විය යුතු බව ය.
c ස්නේහයේ එවන් ප්‍රකාශයන් ඉල්ලා සිටින සෑම කෙනෙක් ව ම සිඹීමට හෝ වැළඳගැනීමට ඔබ ඔබගේ දරුවාට බල කළොත්, ඔබ විසින් මෙම පුහුණුවට අනතුරක් සිදු කළ හැකි යයි ඇතැම් ප්‍රවීණයෝ අනතුරු අඟවති.
[6 පිටුවෙහි ඇති කොටුව]
පොදු වැරදි වටහාගැනීම්
වැරදි වටහාගැනීම: ළමා දූෂකයෝ වනාහි දරුවන් ව පැහැරගෙන ගොස් ඔවුන් ව දූෂණය කිරීමට කායික බලය යොදන, බොහෝ විට කවුරුත් නාඳුනන, සිහි විකල් වූ, සමාජයට නොගැළපෙන අය ය.
අවස්ථා බොහොමයක—ඇතැම් තක්සේරු කිරීම්වලට අනුව සියයට 85 සිට සියයට 95 දක්වා—දූෂකයා දරුවා අඳුරන මෙන් ම විශ්වාස කරන තැනැත්තෙකි. බලය භාවිතා කිරීම වෙනුවට, දූෂකයන් බොහෝ විට ලිංගික ක්‍රියාවන්ට දරුවා ව මෙහෙයවන්නේ ක්‍රමක්‍රමයෙනි, ඔවුහු දරුවාගේ සීමිත අද්දැකීමෙන් මෙන් ම සීමිත විමර්ශන ශක්තියෙන් අනිසි ප්‍රයෝජන ගනිති. (සසඳන්න 1 කොරින්ති 13:11 සහ හිතෝපදේශ 22:15.) මෙම දූෂකයෝ වනාහි මානසික ලෙස අසමබර වූ තනියෙන් ගැවසෙන අය නොවෙති. බොහෝ දුරට වැඩි දෙනෙක් භක්තිවන්ත, ගෞරව කරනු ලබන, එමෙන් ම ප්‍රජාව තුළ හොඳින් ප්‍රිය කරනු ලබන අය වෙති. එක්සත් ජනපදයේ ඒකාබද්ධ විමර්ශන කාර්යාංශයට අනුව, “පුද්ගලයෙකු හුදෙක් ප්‍රසන්න වන නිසා, පල්ලියට යන නිසා, වෙහෙස වී වැඩ කරන නිසා, සතුන්ට කරුණාවන්ත වන නිසා, වැනි දේ හේතුවෙන් යම් කෙනෙකු ළමා දූෂකයෙකු නොවන බව සිතීම මෝඩ දෙයකි.” දූෂකයෝ සියල්ලෝ ම පිරිමින් වන බව හෝ ගොදුරු වන සියල්ලෝ ම ගැහැණු ළමුන් වන බව හෝ කල්පනා කිරීම වැරදි බව මෑත පර්යේෂණවලින් දැක්වේ.
වැරදි වටහාගැනීම: දරුවෝ ලිංගික දූෂණය පිළිබඳ ව මනඃකල්පිත දේ පවසති, නැතහොත් බොරු කියති.
ඇතැම් දරුවන් විස්තර ගැන පැටලැවිය හැකි නමුත්, සාමාන්‍ය තත්ත්වයන් යටතේ දූෂණය පිළිබඳ ව පැහැදිලි වාර්තාවක් ගෙතීම සඳහා, ලිංගික කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය අද්දැකීම හෝ දැනුම දරුවන්ට නොමැත. පර්යේෂකයන් අතර අධික වශයෙන් අනුමාන කරන අය පවා දූෂණය පිළිබඳ වාර්තා වැඩි ප්‍රමාණයක් ම ඒත්තු ගත යුතු ඒවා බවට එකඟ වෙති. ළමා දූෂණය පිළිබඳ බොරු චෝදනා කෙරෙහි යොමු දක්වන, සෙක්ස් එබ්යූස් හිස්ටීරියා—සේලම් විච් ට්‍රයල්ස් රීවිසිටඩ් නමැති පොත සැලකිල්ලට ගන්න.d මෙම පොත මෙය පිළිගනියි: “දරුවන්ට සැබෑ ලෙස ලිංගික දූෂණය කිරීම දසත පැතිර පවතින්නක් මෙන් ම, දරුවන් ව ලිංගික දූෂණයට ලක් කිරීම පිළිබඳ වාර්තා වැඩිහරියක් ම . . . සාධාරණ ඒවා ය. (ඇතැම් විට 95% හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්).” දූෂණය පිළිබඳ ව වාර්තා කිරීමට අතිශය දුෂ්කරතාවයක් දරුවන්ට හැඟෙයි. ඔවුන් දූෂණය පිළිබඳ ව බොරු දේවල් පවසන විට, ඔවුන් බොහෝ විට එසේ කරන්නේ එය සැබවින් ම සිදු වූ නමුත්, එසේ වූ බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට ය.
වැරදි වටහාගැනීම: දරුවන් කාමුක ලෙස හැසිරෙන නිසා, බොහෝ විට එම හේතුවෙන් ම ඔවුන් ව අනිසි ලෙස ලිංගික ව දූෂණය කරනු ලැබේ.
මෙම මතය විශේෂ වශයෙන් වැරදි සහගත එකකි, මන්දයත්, ඇත්තෙන් ම එමගින් දූෂණයට ගොදුරු වූ තැනැත්තා මත දොස් පැවරේ. ලිංගිකතාව සම්බන්ධ ව දරුවන්ට සැබෑ වැටහීමක් නොතිබේ. එවන් කටයුතුවලින් අඟවන දෙය හෝ එය ඔවුන් ව වෙනස් කරන ආකාරය පිළිබඳ ව හෝ ඔවුහු කිසිවක් නොදනිති. එමනිසා ඕනෑ ම අර්ථවත් ආකාරයකින් එය අනුමත කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. දූෂණයේ වරද දරන්නේ දූෂකයා ය, දූෂකයා පමණි.—සසඳන්න ලූක් 11:11, 12.
වැරදි වටහාගැනීම: තමන් ළමා දූෂණයට ගොදුරු වූ බව දරුවන් අනාවරණය කරන විට, ඒ ගැන කථා කිරීමෙන් වැළකීමටත් ‘එය අමතක කර දැමීමටත්’ දෙමව්පියන් ඔවුන්ට ඉගැන්විය යුතු ය.
දූෂණය පිළිබඳ ව දරුවා නිශ්ශබ්ද ව සිටියා නම් වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේ කාට ද? දූෂකයාට නොවේ ද? ඇත්ත වශයෙන් ම, චිත්ත වේගයන් මැඩපැවැත්වීම සමඟ එය සිදු වූ බව පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීම, දූෂණය නිසා ඇති වූ ක්ෂතිය සමඟ ක්‍රියා කිරීම අඩු ම ඵලදායි ක්‍රමය විය හැකි බව අධ්‍යයනවලින් පැහැදිලි වෙයි. එංගලන්තයේ දී, බාල කාලයේ ඊට ගොදුරු වූ වැඩිහිටියන්ගේ කණ්ඩායමක්, ඒ සමඟ සාර්ථක ව කටයුතු කිරීමට භාවිතා කළ ක්‍රම නවය අධ්‍යයනය කිරීමේ දී, එය පිළිගැනීමට ප්‍රතික්ෂේප කළ හෝ වැළකී සිටි හෝ කාරණය මැඩපැවැත් වූ අය, වැඩිහිටි ජීවිතයේ දී චිත්ත වේගීය වශයෙන් අතිශයෙන් නොගැළපෙන භාවයකින් සහ ශෝකයෙන් පීඩා වින්ද බව සොයා ගන්නා ලදි. ඔබට බිය ගන්වන සුලු ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වූවා නම්, ඒ ගැන කථා නොකර සිටීමට ඔබට කියනු ලබනවාට ඔබ කැමති ද? එසේ නම් එවැනි දෙයක් දරුවෙකුට කිව යුත්තේ මන්ද? එවන් දරුණු සිද්ධියකින් දරුවාට ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවට, එනම් දොම්නස, කෝපය, ශෝකවීම යනාදියට ඉඩ දීම අවසානයේ දී එම සිද්ධිය අමතක කර දැමීම සඳහා ඔහුට අවස්ථාව සලසා දෙනු ඇත.
[පාදසටහන්වල]
d ඇතැම් දික්කසාද නඩුවල දී, විවාදශීලී වැඩිහිටියන්, ළමා දූෂණය පිළිබඳ චෝදනාවක් ආයුධයක් වශයෙන් පාවිච්චි කරන බව දැනගන්ට ලැබී ඇත.
[7 පිටුවෙහි ඇති කොටුව]
ඔහු හඬ නගා උපකාරය ඉල්ලුවා
“යෙහෝවඃ වහන්සේට කළ ආයාචනය නිසා යෞවනයකු කෙරෙහි දූෂකයකුගේ ප්‍රහාරය නතර වෙයි,” යනුවෙන් 1993 මැයි 5වන දින දි ඇරිසෝනා රිපබ්ලික් නමැති පුවත් පතේ සිරස්තලයක් ප්‍රකාශ කරයි. කියන ලද දූෂකයා අවුරුදු 13ක් වයසැති යෞවනයා ව තුවක්කුවකින් බියගන්වා ඔහු ව පැහැරගෙන තමාගේ නවාතැනට ගෙන ගියේ ය. එම යෞවනයා, “යෙහෝවඃ වහන්ස, මට උපකාර කරන්න!” කියා හඬ නැගූ විට, දූෂකයා කම්පිත වී යෞවනයා ව නිදහස් කළේ ය. පසු ව පොලීසියෙන් එම මිනිසා ව අල්ලා ගනු ලැබිණි.
එවන් තත්ත්වයන් හි දී, යෙහෝවඃ වහන්සේගේ නාමය අමතා හඬ නැගීම සැබවින් ම යෝග්‍ය වන නමුත්, මෙම අන්තරා සහිත “අන්තිම දවස්වලදී” දෙවියන් වහන්සේගේ සේවකයන් පහර ලැබීමෙන් නිදහස් වන බවක් ඉන් අදහස් කරන්නේ නැත. (2 තිමෝති 3:1-5, 13) එමනිසා, නාඳුනන සියල්ලන් සමඟ ම ප්‍රවේසම් සහිත ව සිටීමට දෙමව්පියන් තමන්ගේ දරුවන් පුහුණු කළ යුතු ය, එම නාඳුනන අයට යම් අධිකාරිත්වයක් තිබෙනවා යයි පෙනෙන්නට තිබුණත් තත්ත්වය වෙනස් විය යුතු නැත.
[9 පිටුවෙහි ඇති කොටුව]
ඔබගේ දරුවා ළමා දූෂණයට ගොදුරු වී ඇත්නම්
දූෂණය නතර කිරීමට නම්, එය දුටු විගස ඔබ එය හඳුණාගත යුතු ය. දෙමව්පියන්ට අවධානයෙන් සිටිය හැකි වන පරිදි, දූෂණය වූ බවට අනතුරු අඟවන සංඥා ගණනාවක් එම විෂය සම්බන්ධ ව තිබෙන පොත් රාශිය තුළ, ප්‍රවීණයන් විසින් ලැයිස්තු ගත කර ඇත. මේවාට පහත සඳහන ඇතුළත් වේ: මුත්‍රා හෝ මළ පහ කිරීමේ දී වේදනාව ගැන පැමිණිලි කිරීම, ලිංගේන්ද්‍රියන් සම්බන්ධ ආසාදන, ලිංගේන්ද්රීය පෙදෙස්වල සීරීම් හෝ තුවාල, සිටි ගමන් ම ඇඳ තෙමීමට පටන් ගැනීම, කෑම අරුචිය හෝ වෙනත් ආහාර ගැනීමේ ගැටලු, වයසට නොහොබිනා ලිංගික හැසිරීම, පාසල හෝ නිවසේ ඇතැම් ස්ථාන ගැන සිටි ගමන් ම බියක් හට ගැනීම, කලබලකාරී කාල පරිච්ඡේද, ඇඳුම් ලිහීමට අතිශය බියක්, දැන හඳුනන පුද්ගලයෙකු සමඟ තනියෙන් සිටීමට බියක් සහ තමාගේ සිරුරට හානි කිරීම.
කෙසේ වෙතත්, හදිසි නිගමනයකට බැසීම ගැන සුපරීක්ෂාකාරී වන්න. මෙම සහලක්ෂණවලින් බොහොමයක් දක්නට තිබීමෙන් පමණක් ම ළමයෙකු සැබවින් ම දූෂණය වී තිබෙන බව අඟවන්නේ නැත. ඉන් හැම එකක් ම වෙනත් යම් ගැටලුවක් තිබෙන බව ඇගවිය හැකි ය. එහෙත් ඔබගේ සිතට වද දෙන සහලක්ෂණ ඔබට පෙනේ නම්, සෙමින් විෂයට බහින්න, ඇතැම් විට ඔබට මෙසේ ප්‍රකාශ කිරීමට හැක: “ඔබට අපහසුවක් දැනෙන ආකාරයකින් කවුරු හරි කවදා හෝ ඔබ ව අතගෑවා නම්, ඒ ගැන ඔබට ඕනෑ ම වේලාවක මට කියන්න පුළුවන් බව ඔයා දැන ගන්නවාට මං කැමතියි, එ වගේ ම ඔයා ව ආරක්ෂා කිරීමට මට හැකි හැම දෙයක් ම මම කරනවා. එවැනි දෙයක් කවදාහරි ඔයාට සිදු වෙලා තිබෙනවා ද?”—හිතෝපදේශ 20:5.
ඔබගේ දරුවා ලිංගික ව දූෂණය වීම එළි කරයි නම්, ඔබට සිත් තැවුලක හැඟීමක් ඇති වීම ගැන සැකයක් නැත. එහෙත් මෙය මතක තබා ගන්න: ඔබ ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය දරුවා සුව වීමෙහි ප්‍රධාන කොටසක් දරනු ඇත. ඔබගේ දරුවා දැරිය නොහැකි තරම් බරක් උසුලාගෙන තිබෙන අතර, ඔබගේ මුළු වැඩිහිටි ශක්තියෙන් එය ඇගේ හෝ ඔහුගේ කරෙන් ඔසවා ගැනීම අවශ්‍ය කරවයි. සිදු වූ දෙය ඔබට පැවසීමට තරම් නිර්භීත වීම ගැන දරුවාට ප්‍රශංසා කරන්න. ආරක්ෂාව සැපයීම සඳහා ඔබ ඔබගේ උපරිමය කරන බවටත්; සිදු වී තිබෙන දූෂණය දූෂකයාගේ වැරැද්ද වූ බවටත්; එම දරුවා “නරක” නොවන බවටත්; ඔබ දරුවාට ප්‍රේම කරන බවටත්; දරුවාට නැවත නැවත සහතික වන්න.
හැකි තරම් ඉක්මනින් දූෂණය ගැන අධිකාරීන්ට දන්වන මෙන් නීත්‍යානුකූල ප්‍රවීණයන්ගෙන් සමහරෙක් උපදෙස් දෙත්. ඇතැම් රටවල නීත්‍යානුකූල ක්‍රමයට මෙය අවශ්‍ය විය හැකි ය. එනමුත් වෙනත් තැන්වල සාර්ථක අභිචෝදනය සඳහා නීත්‍යානුකූල ක්‍රමයෙන් ලැබිය හැකි වනුයේ අල්ප බලාපොරොත්තුවක් පමණි.
කෙසේ වෙතත්, දූෂකයා තමාගේ ම ප්‍රේමනීය කලත්‍රයා නම් කුමක් කිව හැකි ද? බොහෝ ස්ත්‍රීන් තීරණාත්මක ව කටයුතු කිරීමට අසමත්වීම, දුකට කරුණකි. තමාගේ කලත්‍රයා ළමා දූෂකයෙකු වන බවට වූ අප්‍රසන්න යථාර්ථයට මුහුණ දීම කිසිවිටකත් පහසු දෙයක් නොවන බව සැබෑවකි. චිත්ත වේගීය සම්බන්ධතා සහ මූල්‍යමය රඳා පැවැත්ම පවා අතිශයින් බලවත් විය හැකි ය. ඒ පිළිබඳ ව පියවර ගැනීමෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ඔහුගේ පවුලත්, රැකියාවත්, නම්බුනාමයත් අහිමිවන බව තේරුම් ගැනීමට අයුතුකමට මුහුණ දෙන භාර්යාවට සිදු වේ. කෙසේ වෙතත්, සැබෑව වනුයේ, ඔහු විසින් වපුරපු දේ ඔහු ම නෙළා ගැනීමයි. (ගලාති 6:7) අනෙක් අතට, අහිංසක දරුවන් ව අවිශ්වාස කර ඔවුන් ව ආරක්ෂා නොකළා නම් ඔවුන්ට ඊටත් වඩා වැඩි දේ අහිමි වීමට හැකි ය. ඔවුන්ගේ මුළු අනාගතය ම අවදානමට ලක් ව තිබේ. වැඩිහිටියන්ට තිබෙන හැකියාවන් ඔවුන්ට නොමැත. ක්ෂතිය නිසා ඔවුන්ට මානසික කැලලක් ද ජීවිතාන්තය දක්වා ඔවුන් අයහපත් ලෙසින් හැඩගැහෙන්නට ද පටන් ගත හැකි ය. මෘදු සැලකිල්ල අවශ්‍ය මෙන් ම දීමට වටින්නේ ඔවුනට ය.—සසඳන්න උත්පත්ති 33:13, 14.
සැබෑ තත්ත්වයන් යටතේ ලිංගික අඩන්තේට්ටම් කරන්නාත් කරදරයට මැදි වී සිටින අතර ඔහුට උපකාරය සඳහා හදිසි අවශ්‍යතාවයක් තිබෙයි. අපරාධය සිදු කළ තැනැත්තා ශෝකය පළ කළත්, අයුතු ලෙස සලකනු ලැබූ කලත්‍රයා හට මේ කාරණාව සලකා බැලීමට හැකි ය: ඔහුට ගොදුරු වූ තැනැත්තා විසින් ඔහු ව හෙළි කිරීමට කළින් ඔහු වරද පිළිනොගත්තේ මන්ද?
එබැවින් දෙමව්පියන් තමන්ගේ දරුවන් ව ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම සාධාරණ වෑයමක් ම දැරීම අවශ්‍ය වෙයි! දූෂණය කරනු ලැබූ දරුවෙකු සඳහා වෘත්තිමය උපකාරය පැතීමට වගකීමක හැඟීමක් දරන බොහෝ දෙමව්පියෝ තෝරා ගනිති. ඔබ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් කරන්නාක් මෙන් ම, එම වෘත්තියේ සිටින ඕනෑ ම කෙනෙකු ඔබගේ ආගමික දෘෂ්ටියට ගෞරව කරනු ඇති බවට සහතික වන්න. නොකඩවා දරු සෙනෙහස බොහෝ සෙයින් වැගිරවීම මගින් කැඩී බිඳී ගිය ඔහුගේ හෝ ඇගේ ආත්ම-අභිමානය නැවත ගොඩනගා ගැනීමට ඔබගේ දරුවාට උපකාර කරන්න.
නිදසුනක් වශයෙන්, රුධිර පාරවිලයනය පිළිබඳ ප්‍රශ්නවලට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදු වන විට, වෛද්‍යවරයා ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගරු කරන බවට ඔවුහු සහතික කර ගනිති.
[8 පිටුවෙහි ඇති පින්තූර]
නුසුදුසු ළඟාවීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා වචන, එමෙන් ම පැහැදිලි ස්ථිර අභිනයන් භාවිතා කිරීමට දරුවනට උගන්වන්න